Loading...

October 31, 2011

මෙන්න නියම ට්‍රිප් .......


අපිට ඉතිං ට්‍රිප් එකක් යන්න ලැබෙන්නේ ඉදලා ඉදලා යාන්තම් හාවා හඳ දකිනවා වගේ තමයි. මේ ගමන නම් යාන්තන් යෝජනා සම්මත වෙලා ජූරිය විසින් තීරණය කළා ගෙදර හැමෝමයි ගමේ තව පවුල් තුනකුත් එක්ක ට්‍රිප් එකක් යන්න. යන දවස ලං වෙද්දී අනිත් අයගෙන් කිසිම හාවක් හූවක් නෑ.  බැරිම තැන තාත්තා අම්මට කිව්වා ගිහින් අහලා බලන්න යනවද නැද්ද කියලා. ගෙවල් දෙකකින් මොන මොනවද ප්‍රශ්න කියලා යන්න වෙන්නේ නෑ කිව්වලු. අන්තිමේදී අපේ ගෙදර අයයි තාත්ත‍ගේ යාළුවෙක්ගෙ ගෙදර අයයි එයාලගේ වෑන් එකෙන් යන්න ලෑස්ති වුනා.
අම්මා ඊට කලින් දවසෙ වම්බටුමෝජු , සීනි සම්බෝල හදලා බෝතල් වලට දාලා තිබ්බා. ආ කියන්න අමතක වුනානේ  මං මේ ලෝකෙ ආසම පැණි රස කෑම සුදු අලුවා ටිකකුත් මමම  හැදුවා.  යාන්තම් ඉතිං මට ඔය ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ පුළුවන් ඔය කැවිලි හදන එක විතරයි. අනිත් කෑම ඉතිං අඩු ගානේ මටවත් කන්න බෑ.  අපරාදෙ කියන්න බෑ ඒ තරම් රසයි. (මාර සරණිය ප්‍රින්ට් කරන් නම් ගියා තාම වැඩේ කරන්න බැරි වුනා.බලමුකෝ මාරයියාගේ පිහිටෙන්වත් ඒ ප්‍රශ්නෙන් ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා.)
කොහොමින් කොහොම හරි ගමනට ඕන කරන හැම දෙයක්ම කලින් දවසෙ ලෑස්ති කරලා තිබ්බා. උදේ 4 වෙද්දී වෑන් එකෙන් ඒ මාමලා එනව කිව්ව නිසා අපි ඉතිං වෙලාවටත් කලින් ලෑස්තිවෙලා හිටියා. 4 වැදුනා, 4.30 වැදුනා, 5 ත් වැදුනා වෑන් එක නම් එන පාටක් නෑ. දැන් ඉතිං මොනවා කරන්නද? ඒ දවස් වල ඔය ෆෝන් එහෙම තිබුනෙ නෑනේ. එහෙම වුනා නම් ඉතිං පැය ගානක් බලන් ඉන්න ඕනෙ නෑනේ. බලන් ඉදලා බැරිම තැන 5.30 ට විතර තාත්තා උඩහ ගෙදරින් පුට්සයිකල් එකක් ඉල්ලගෙන ඒ ගෙදරට ගිහින් එන්න ගියා.
ඔන්න බොලේ පැය භාගයක් විතර යද්දී තාත්තා එනවා. ඈතදිම මූණේ ලක්ෂණ අධ්‍යනය කරලා මම නම් දැන ගත්තා දැන්නම් එන්නේ අසූහාරදාහට නැගලා තමයි කියලා. එහේ වෑන් එක කැඩිලලූ. ස්ටාර්ට් වෙන්නෙ නෑලු. ඒක නිසා ඇවිත් නැත්තේ. දැන් ඉතිං මොනවා කරන්නද ඇදුම් මාරු කර ගන්න හිතන් අපි ගෙට ගියා.
මිදුලට වෙලා හිටිය තාත්තා ඔහොමම තව ටිකක් ඉන්න කියලා බයික් එකෙන්ම කොහේද ගියා. තාත්තා කිව්වොත් ඉතිං අපි නෝ හෙල්ලුන් තමයි. (ඒක නිසා හිටිය මිසක් නැත්නම් ඉතිං 3.30 ඉදන් ඇදගෙන තව මොනවා ඉන්නද)
ඔහොම ඉදිද්දී ඩොනල් අයියගේ ත්‍රීවිල් එක ඇවිත් මිදුලේ නතර කලා. ඒ එක්කම තාත්තත් ආවා. දැන් හරි අපි මේකෙන් යමු කියලා තාත්තා කිව්වහම කවුරුත් කිසිම ඇඩ් එකක් නොදා ඒකෙන් යන්න ලෑස්තිවුනා. වැඩිය බඩු දාගන්න ඕන නෑ කියපු නිසා අපි දාගෙන හිටිය ඇදුම් ටිකක් අඩු කරා.
අපේ ගෙදර පස්දෙනයි ත්‍රීවිල් එකේ අයියයි ඔක්කොම හය දෙනෙක්. අම්මයි තාත්තයි වාඩි වුනහම යාන්තම් තව එක්කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ ඉතුරු වෙනවා. මොනවා කරන්නද කොහොම හරි යන්නත් ඕනනේ. ‍මම ඉතිං නැග්ගේ මගේ අතිජාත පිලෝ යාළුවත් තුරුල් කර ගෙනමයි.
ඒ ගමන තාත්තා කියපි එයාලා වාඩිවෙන ෂීට් එකට පිටිපස්සෙන් අර ත්‍රීවිල් වල බෆල් එහෙම හයි කරන කෑල්ල තියෙන්නේ අන්න ඒකේ කොට්ටෙ දාගෙන මට හාන්සි වෙලා යන්න කියලා. (දැන් ඉතිං කට්ටියටම හිතා ගන්න පුළුවන් නොවැ මගේ සයිස් එක.හැබැයි ඉතිං මෙහෙම ගියේ මීට අවුරුදු 10කට කලින් ‍)
මාත් සනීපෙට හාන්සි වෙලා පිටිපස්සෙ වීදුරු කෑල්ලෙන් නියමෙට වටපිට බල බල ගියා. අම්මෝ කියන්න බැරි වුනානේ මේ විදියට ගියාට මොකද අපි ඉතිං තාම දන්නේ නෑ මේ කොහේද යන්නේ කියලා. අපි කියන්නේ මායි, අක්කයි, අයියයි තුන්දෙනා. අනිත් අය නම් දන්නවා ඇතිමයෙ හිතේ.....

සමාවෙන්න මං මේක කොල කෑල්ලක ලිව්වේ ගෙදර කවුරුත් නැතුව කරුවලේ එළියට වෙලා පඩි පෙළේ වාඩි වෙලා ඉදිද්දී. ඔන් දැන් ගෙදර අය ආවා. ඉතුරු ටික ඉක්මනින්ම ලියන්නම්......

මට වෙච්ච දෙයක්


අපේ අම්මා දවසක් කොළඹ ඉදලා එද්දී මගේ උපන් දිනේට බැක්මින්ටන් සෙට් එකක් ගෙනැත් දුන්නා. ඒක නම් මම අම්මට කියලම ඉල්ල ගනිපු උපන්දින තෑග්ගක්.

ඉතිං ඕක ගෙනාපු දවසෙ ඉදලම අක්කගෙයි මගෙයි වැඩේම හවස් වරුවේ සෙල්ලම් කරන එක. මට ඉතිං ඕන කොහොම හරි දිනන්න. මම දිනනකල් ඉතිං රෑවෙලා ලයිට් දාගෙන හරි ගහන්න ඕන. නැත්නම් අක්කට යන්න දෙන්නෙ නෑ.
ඔන්න ඉතිං දවසක් අක්කයි මායි හවස් වෙලාවක පටන් ගත්තා. අක්කත් එක්ක ඉතිං සෙල්ලම් කරලා දිනන්න බුදු ගේමක් දෙන්න ඕන. ඒක නිසා ඉතිං මම කරන්නේ එයා නීතිය කැඩුව සැනින් නීතිය ක්‍රියාත්මක කරන එක. හැබැයි ඉතිං ඕක මට නම් අදාල වෙන්නේ නෑ. හැම නීතියක්ම හදන්නේ මම නේ. එයා මට වඩා හුගක් දක්ෂයි. එහෙමයි කියලා මේ බට්ටි කෙලීටත් ඉතිං හැමදාම පරාද වෙන්න පුළුවන්ද?
එදා ඔහොම දිගටම සෙල්ලම් කර කර ඉදිද්දී මල ගියා වහලට. බිම ඉදන් බැලුවහම නම් පේන්නෙ නෑ. මං ගේ ඉස්සරහ තියෙන රතු පේර ගහ උඩට නැගලා ත්‍රිමාන දෘෂ්ටිය යවලා පුල් ස්කැන් එකක් දුන්නා වහලට. මුදුන් වහලට උළු කැට දෙක තුනක් පහලින් මල දිලිසි දිලිසි තියෙනවා. අක්කනම් වැඩේ අත ඇරලා දාලා ගෙට ගියා. මගේනේ ඉතිං කාට ඕන නැතිවුනත් මගේ එක මට වටිනවා කිය කියා අක්කට හොදටම බැනබැන කොස් කඩන උණ ගහ අරන් ඇවිත් පේර ගහ උඩ නැගලා යාන්තම් තිබුණ තැනින් ටිකක් පහලට දාගත්තා. දැන්නම් ඉතිං ගහ උඩට වෙලා වෙව්ල වෙව්ල ඉතිපිසෝ කිය කිය ඉන්න ඕනෙ නෑ කියලා හිතලා බිමට බැහැලා ගන්න බැලුවා. මගේ කරුමේ කියන්නේ අන්තිමට මල බිමට වැටුනේ උළු කැට දෙකකුත් අරගෙන. උළු කැට දෙක හොරාම කුණු දාන තැනට දැලා දනුවට පස්සේ ඔහෙම මාරුවෙන්න බෑ එනවා එනවා කියලා අක්කව ආයෙමත් කතාකර ගෙන ආවා.
මේ පාර නම් දිනනවමයි කියලා හිතලම තමයි මං වැඩේට බැස්සේ. අක්කා ගහපු පාරකට මෙන්න බොලේ මල ඔළුවට අඩි 4ක් විතර උඩින් යන්න හදනවා. එහෙම යන්න දෙන්න පුළුවන්ද? ඕක ගිහින් බිමට වැටුනොත් පරාද වෙන්නේ මමනේ කියලා හිතලා පුළුවන් තරම් උඩ පැනලා යාන්තන්මලට ගැහුව නම් මතකයි.
දෙයියනේ මලට ගහලා ඉවර වුනාට පස්සේ මට කකුල් දෙක බිම තියන්න අමතක වුනානේ. මොනවා කරන්නද මල බිමට වැටෙන්නත් කලියෙන් තලපතා පොළොවෙ ගැහුවා වගේ මිදුලෙ මැද මං වැටුනා.
කොච්චර හයියෙන් වැටුනද කියනව නම් සතියක් විතර යනකල් කොන්ද කෙලින් කරන් ඇවිදින්න බැරි වුනා.
ඒක ඉතිං එහෙමයි කියලා ආයෙම සෙල්ලම් නම් නොකර හිටියේ නෑ. ඇයෙම සෙල්ලම් කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලම අත්තම්මගෙ වැඩේ බනින එක. මොකද ආයෙම කොන්ද කඩාගනින් කියලා.
මම ඉතිං ඒ වෙලාවට පොඩි හිනාවක් දාලා අත්තම්මට කියන්නේ  “ කොන්දවගේද අත්තම්මේ බැක්මින්ටන්, කොන්ද කැඩුනත් සෙල්ලම් කරලනේ .” 


October 27, 2011

සමාධි (පළමු කොටස)


ඈත අහස දිහා උළුවස්සට හේත්තු වෙලා බලන් හිටිය මම කලබලෙන් නැගිට්ටේ ලිපේ තියලා ආපු කේතලේ වතුර නටනවා ඇති කියලා මතක්වුන නිසා.  ඉක්මනින් කුස්සියට ගිහින් මම ගෙදර හැමොටම තේ හදන්න ගත්තා. ඒ වෙද්දිත් ගෙදර හැමෝම හොදටම නිදි.
“අම්මේ තේ හැදුවා නැගිටින්න”
“මොකද කෙල්ලෙ මේ පැන්දරම නැගිට ගෙන”
“නිකං ඇහැරැනා අම්මේ, පහුගිය ටිකේම පාඩම් කරන්න නැගිටපු නිසා දැන් පුරැද්දටම ඒ වෙලාවට ඇහැරෙනවා”
“ලොක්කියේ හාල් ටිකක්වත් ලිපට කරපන්කෝ පොල් සම්බලක්වත් හදලා පොඩි වුනාට ඉස්කෝලෙ ගෙනියන්න දෙන්න”
මම හාල් ටිකකුත් වළදට දාගෙන හොදන් එද්දී අයෙමත් ලිප නිවිලා. පොල් කොල දෙක තුනක් පත්තු කරලා ආයෙමත් යාන්තම් ලිප අවුල ගත්තා. ඇවිලෙන ගින්න දිහා බලන් හිටියේ මං මීට පස්සේ මොනවද කරන්නේ කියලා හිත හිතා. විභාගෙත් ඉවරයි.කැම්පස් යන්න ලැබුනොත් නම් හොදයි. තාත්තා කරන සිල්ලර බඩු කඩේ නිසා මුදල් අතින් ඒතරම් අගහිගයක්  ඒ හැටි දැනෙන්නේ නෑ. ඒ වුනත් හැමදාම තාත්තගෙන් කකා බිබී ඉන්න පුළුවන්ද?
“ලොක්කියේ මොනවද ඔය තරම් අහස පොළොව ගැටලන්න තරම් කල්පනා කරන්නේ”
විභාගෙ ඉවර වුන දවසේ ඉදලම මං හිටියේ හීන ලෝකෙක. අනාගතේ ගැන ලොකු බයක් හිතේ හිරවෙලා තිබුනා.
“නෑ අම්මේ මං මේ හිතුවේ රස්සාවක් හොයලා දෙන්න කියලා මාමටවත් කියන්න කියලා”
“ඒ ගමන රස්සාවල් කරන්න හිතුවේ ඉගෙන ගෙන ඉවර කරලද ලොක්කියේ”
“කවුද අම්මේ දන්නේ කැම්පස් යන්න ලැබෙයිද? නැද්ද? කියලා”
“ඉතිං ලොක්කියේ මේ ගමන බැරිනම් ආයෙම විභාගෙ කරන්න ලෑස්ති වුනානම් නේද හොද? දෙයියනේ කියලා තාත්තා අඩුපාඩු ටික බලාගන්නවනේ ලොක්කියේ”
“ඒ වුනාට අම්මේ හැම‍දාම තාත්තාට ඔය කඩ කෙරැවාව කරන්න පුළුවන්ද? දැනුත් තාත්තට නිතරම ලෙඩ.”
“අනේ මන්දා” 
අම්මා එහෙම කියලා ලොකු හුස්මක් පිටකරලා ගේ ඇතුලට යන්න ගියා. මමත් කළෙත් අරගෙන ළිද ලගට ගියේ අම්මා මොනව කිව්වත් කොහොම හරි රස්සාවක් හොයා ගන්නවා කියලා හිත හිතා.  



ප.ලි.
මගේ හිතේ තිබුනු ලොකු හීනයක්.මගේම කියලා නවකතාවක් ලියන එක. මේ ඒකේ පළවෙනි කොටස.කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හැකි උපරිමයෙන්ම සුන්දර කතාවක් ඔයාලට කියවන්න දෙන්න මං උත්සාහ කරනවා.

October 26, 2011

සැදෑ අහස සුන්දරද කෙතරම්.......................


ගේ ඉස්සරහ තියෙන මාළු ටැංකිය ලග තියෙන බංකුවට වෙලා කන්ද පාමුලින් අවරට යන ඉර දිහා බලන් ඉන්න මං හරිම ආසයි. එක එක දවසට අහසේ පාට එක එක විදියයී. පාට පෙට්ටියකට කවදාවත් එකතු කරන්න බැරි තරම් අහසටම උරැම වෙච්ච පාට කොයි තරම් ඇද්ද? වළාකුළු ගොඩක් එකතුවෙලා එහෙට මෙහෙට පාවෙද්දී මට නම් හරිම ලෝබයි.මොකද ඒ සැහැල්ලුව කවදාවත් අපිට ලබා ගන්න බැරි නිසා.
හවසට ඉර තමන්ගේ රාජකාරිය ඉවරකරලා අවරට යන ලස්සන බලන් ඉදිද්දී ඔය අතරේ තව කීදෙනෙක් නම් වැඩ ඉවර වෙලා කඩිමුඩියේ තමන්ගේ නවාතැන් වලට යනවද. එහෙම යන අයගෙන් ඇහැ ඉවතට ගන්නම බැරි අය තමයි සුදු කොක්කු රෑන්. එක රංචුවකට අඩුගානේ 10ක් 12ක් වත් ඉන්නවා. පුදුමෙ කියන්නේ වෙන වෙනම රංචු වලට එක එක වෙලාවට ගියත් උන් හැමෝම යන්නේ එකම හැඩයකට. සමහර විට එහෙම කියල දෙන පංතියක්වත් තියෙනවද දන්නේ නෑ. නැත්නම් කොහොමද අනේ එච්චර ලස්සනට යන්නේ. අපිට ක්‍රීඩා උත්සව දවස් වල මාඡ්පාස්ට් එක කීපාරක් ගහ ගහද ලොකු අයියලා අක්කලා කියලා දෙන්නේ. පුංචි කාලේ අහස දිහා බලන් ඉන්න වාඩි වෙද්දිම හිතනවා අදනම් හැම කොකෙක්ම ගනිනවමයි කියලා.  මොනවා කරන්නද කිසිම දැනුම් දීමක් නැතුව රංචු තුන හතරක් එකපාරටම  ගියහම ගනන් කරන එක ඉබේම අමතක වෙලා යනවා.ඔය අතරෙ දකින්න ලැබෙ හොදම සිද්ධිය තමයි තමන්ගේ රංචුවට සෙට්වෙන්න බැරිවෙලා පන කඩාගෙන පියාඹන කොක්කු . එහෙම දෙයක් දැකපු දවසට නම් මම පැය ගානක් යනකල් කල්පනා කරනවා එයා රංචුවට එකතු වුනාද? පාර හොයාගන්න පුළුවන් වුනාද කියලා.  හවසට අහසේ තියෙන ලස්සන අම්මෝ කියලා ඉවරයක් කරන්න බෑ. අහස දිහා බලන් ඉදිද්දි හිතට දැනෙන සතුට වචන වලට කොහොම පෙරලන්නද? ඒවා මතක් වෙද්දි නම් ගමේ තියෙන ගේ ඉස්සරහා බංකුව උඩ ඉදගෙන අහස දිහා බලන් ඉන්න ඇත් නම් කියලා හිතෙන වාර අනන්තයි.
අද කාලේ හැමෝම කාර්ය බහුල වෙලා. අහස දිහා පැය ගනන් බලන් ඉන්නවා තියා යන එන ගමන්වත් බලන්න අමතක වෙලා. නිකමට බැලුවත් කොක් රංචු නෙවෙයි අඩුගානේ තමන්ගේ කැදලි හොයාගෙන යන එක කොකෙක්වත් දකින්න ලැබෙන්නේ නෑ. කාලේවෙනස් වෙලා පරිසරය වෙනස් වෙලා. කොහොමත් ගමේ තියෙන නිස්කලංක බව ලස්සන නගරේ අහසේ නෑ. සමහර විට නගරේ අහසත් ගමේ අහස තරම්ම නැතත් බලන් ඉදිද්දි ලස්සන ඇති. ඒත් ඒ ලස්සන අපිට හොයා ගන්න බැරි අපේ වරදක් නිසාද? එහෙම නැත්නම් කාලයේ වෙනස් වීම නිසාද? 

October 24, 2011

ඔබේ සිත කුමන හෝ ඉලක්කයක් සමග ..................

එන යන බොහෝ දෙනා අතරේ මා හා සබැදි වූ එක් සොයුරියක් විසින් සංස්කරණය කරන ලද මාසික සගරාවක් නොමිලේම ඇය මට පිරි නැමුවා. ඉතින් එහි සටහන් වුනු පහත සිතුවිල්ල මගේ සිත තදින් ඇද තබා ගත් නිසා එය බ්ලොග් පිටුවේ ලියා තබන්නට හිතුනා.
ළගා කර ගැනීමේ මනසක් නැති අයෙක් පමණයි
සාමයෙන් ජීවත් වෙන්නේ,
ළගා කර ගැනීමේ මනස විරහිත විය හැක්කේ
අරමුණු විරහිත ලෝක විෂය පිළිබදව
දැනුවත් අයෙකුට පමණි.
මුළු පැවැත්මම
අරමුණු විරහිත නම්
ඔබට පමණක් අරමුණු අවශ්‍ය වන්නේ නැත.
ඉතිං ඔබට පුළුවන් සෙල්ලම් කරන්න,
ඔබට පුළුවන් සිංදු කියන්න, නටන්න,
ඔබට පුළුවන් ප්‍රමෝදයට පත්වන්න,
ඔබට පුළුවන් ආදරය කරන්න සහ ජීවත් වන්න,
කිසිවක් අවශ්‍ය වන්නේ නෑ !
අරමුණු නිර්මාණය කරන්න එපා.
මෙතැන සහ දැන් ! මේක තමයි මොහොත,
සීමාරහිත වර්තමානය ! ඔබ සූදානම් නම් අසීමිතත්වයට
ඇතුළුවිය හැක.නමුත් ඔබ මෙතැන, දැන් නැත.
ඔබේ මනස අනාගතයේ කොතැනක හෝ කුමන හෝ
ඉලක්කයක් සමග .........................
(ඕෂෝ)  

October 21, 2011

සතුටු දිනය ඔබලාට පුදමි ........................................

ඔන්න මුලින්ම කිව්වා  හෙට නම් මට හැමෝගෙම්ම තෑගි ඕන. ඔයාලා දන්නේ නෑනේ හෙට හරිම විශේෂ දවසක්. දැන් ඉතින් කට්ටිය දාහතේ කල්පනා කරනවා ඇති මොකද්ද බොලේ හෙට තියෙන විශේෂය කියලා.හා හා කල්පනා කරන්න ගිහින් නිකං අමාරැවෙ වැටෙන්න එපා. ටිකක් ඉන්නකෝ මම මේ ඒක හෙමිහිට කියන්න තමයි හදන්නේ.
ආයෙ ඉතින් මහා ලොකුවට කිව්වට ඒ හැටි විශේෂයකුත් නෑ. හෙට මේ පිස්සු බට්ටිගේ උපන්දිනේ නේ. (අපෝ බට්ටිගේ බ්ලොග් එක උපන්දින වරැසාවක් කියල නම් කියන්න එපා. මේ මාස දෙකේ විතරයි ආයේ ලියන්නෑ)
තවත් අවුරැද්දක් ගෙවිලා හෙට අවුරැද්දක් ලබනවා. ජීවිතේ පුදුමාකාරයි. මගේ ජීවිතේ මේ අවුරැදු ගානේදී කොයිතරම් නම් සිදුවිම් වල‍ට මුහුනු දීලා තියෙනවද? මගේ ගැන හුගක් දේවල් මම ඔයාලට කිව්වා කොටින්ම තව අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්.ජීවිතේ දිනන්න මං නොකල දෙයක් නැති තරම්. ජිවිතේ සැලකිය යුතු අවුරැදු ගානක් ගෙවල දාලා ඉන්න මං අද ඉන්න තත්වෙ ගැන පසු තැවෙන්නේ නෑ. ඒත් තව අවුරැදු 3කින් ලබන උපන්දිනේදී මං මගේ ඉලක්කෙට කොහොම හරි යන්න ඕන. 
උසස් පෙළ කලාට පස්සේ මං කවදාවත් ගෙදරින් ලෙඩක් දුකක් හැදිලා බැරිම වුනොත් මිසක් අම්මගෙන්වත් කීයක්වත් ඉල්ලගෙන නෑ. මට ඕන වුනේ ස්වාධීන කෙනෙක් වෙන්න. 
මගේ වයසේ ඉන්න කෙල්ලෝ නොකරන දේවල් මං කලා. ගේ ඉස්සරහා තිබුන බට පදුරෙන් බට කපලා මං කූඩු හැදුවා. කූඩු හදලා කොල අලවලා රැලි තියලා මං වෙසක් කාලෙට විකිණුවා. බිම වාඩිවෙලා ඉදන් සතියක් දෙකක් එක දිගට මං කූඩු හදනවා.. කිව්වට විශ්වාස කරන්න මගේ අත්දෙකෙන් එක අවුරැද්දක් කූඩු 96 හදලා විකුනලා තියෙනවා. එක දිගට අවුරැදු 3ක් මං වෙසක් කාලෙට කූඩු හැදුවා. ගමේ හුගක් දෙනෙක් මගේන් කූඩුගන්න පුරැදු වෙලා හිටියා. වෙසක් දවසේ රෑට ගමේ ගෙවල්වල තියෙන කූඩු බලන්න යද්දී මං හදපු කූඩු හුගක් ගෙවල්වල ලස්සනට එල්ලලා තියෙනවා දකිද්දී අත්වල ආපු කර ගැටවල වේදනාවක් මට දැනෙන්නේ නෑ. 
ඊට පස්සේ මං උපන්දින කාඩ් හැදුවා. පේපර් කුලියන් ඕන මලක් මට හදන්න පුළුවන්. බුදු හාමුදුරැවන්ගේ පිහිටෙන් නිර්මාණශීලී අත්දෙකක් මට ලැබිලා තියෙනවා.ඕන දෙයක් බලාගෙන හදන්න පුළුවන් ඇහැක් මට තියෙන්නේ. කාඩ් හදලා A4 මල් හදලා මං විකුණුවා. හැම දෙයක්ම විකුණන්න කලින් මම සිය වතාවකට වැඩිය අතපත ගාලා ඒක රස විදිනවා. පුදුමාකාර සතුටක් මං ඒ දේවල් වලින් ලැබුවේ.
ඔහොම ඉන්න කොට මට ඕන වුනා මගේම කියලා ව්‍යාපාරයක් කරන්න. අතේ ඉතුරැ වේච්ච සල්ලි තිබුන නිසා මං වැඩේ පටන් ගත්තා. උදේ 2.45 ට ගෙදර ලගින් බස් එකේ නැගලා තනියම මහර ගමට ඇවිත් ඇදුම් ගෙනියනවා. උදේ 7 වෙද්දි මං මහරගමට යනවා. ඊට පස්සේ ඇදුම් ටිකක් අරගෙන උදේට කනවා. කොහොම හරි විසි තිස් දාහක රෙදි මේ අත්දෙකෙන් උස්ස ගෙන අමාරැවෙන් දෙහිවලට ඇවිත් බස් එකක් එනකන් ඉන්නවා. එතන තියෙන කඩේකින් කිරි පැකට් 2ක් අරන් එකක් මං ඒ වෙලාවෙම බොනවා. අනිත් එක මගදී බොන්න තියා ගන්නවා. මොකද තේ බොන්න බස් එක නැවැත්තුවට මං බහින්නේ නෑ. දුක් මහන්සියෙන් උස්ස ගෙන එන රෙදි බෑග් එකක් අරන් කව්රැ හරි බැස්සොත් කියලා මං හරි බයයි. කොච්චර මහන්සි වුනත් බස් එකේදි පොඩ්ඩක්වත් නිදියන්නෑ. ‍ගෙදර එන කොට 3.15 වෙනවා. ඔය විදියට මං දුක් විදින්න පුරැදු වුනා. මට කොහොම හරි නැගිටින්න ඕන වුනා. අතේ අපු කර ගැට කැලැල් අදටත් තියෙනවා. මට ඕන ලොකු තැනකට යන්න.
මේ උපන්දිනේ වෙද්දී මං සැලකිය යුතු පඩියක් ලබන කෙනෙක් වෙලා. මට දැන් ජොබ් එකක් තියෙනවා. කම්පියුටර් ගැන පුංචි දැනුමක් තියෙනවා. තවත් ඒ ගැන ඉගෙන ගන්නත් මං යනවා. මේ හැමදේම මං කරන්නේ මගේ ඉලක්ක වෙනුවෙන්. 
හෙට ලබන උපන්දිනේ ගැන කියන්න ගිහින් මේ දේවල් ලිව්වේ මගේ ජීවිතේ දුක් විදලා අද ඉන්න තැන ගැන පුංචි ආඩම්බරයක් තියෙන නිසා.
හෙට ලබන උපන්දිනේ කාට මතක තියේවිද කියන්න මං දන්නේ නෑ. කව්රැ සුභ පැතුවත් නැතත් මං මේ උපන් දිනේදී ඉන්නේ හුගක් සතුටින්. මූණු පොතේ පිහිටෙන් මට ලැබුණු අතිජාත සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් අදටත් මා එක්ක කතා කරනවා. මං විශ්වාස කරනවා මගේ ලොකු අයියටත් කොච්චර වැඩ තිබුනත් ම‍ට කෝල් එකක් දෙන්න අමතක වෙන එකක් නෑ කියලා.කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්නේ නැති මං මල්ලියගෙන් නම් පුංචි තෑග්ගක් ඉල්ලුවා. ඒ කකුල් දිග බෝනික්කෙක්. මං ආසයි එයාලට. 
ඉතින් හෙට තියෙන උපන් දිනේ තියෙද්දී අද පෝස්ට් එක දැම්මේ මං හෙට නිවාඩු නිසා.ජීවිතේ හැම දුකක්ම බෙදා ගන්න ඔයාල‍ට කේක් කෑල්ලක් නොදී කොහොමද. ඉතින් යාළුවනේ අන්තිමට මං ඔයාලගෙන් ඉල්ලන එකම තෑග්ග මාත් එක්ක හැමදාම ඉන්න. ලබන හැම උපන්දිනයක්ම විවිදාකාර වෙනස්කම් එක්ක සමරන්න. 

2011-10-22 
ප.ලි. හෙටින් ලබන මගේ උපන් දිනෙත් එක්ක මගේ බ්ලොග් එක ලස්සන වෙයි. කවදාවත් නැති විදියට. හිතේ සතුට එක්ක ලියමි හිත නිවෙන තුරැ. 

October 17, 2011

කාලය කෙතරම් අපූරැද ......................

ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. ඒවගේම කාලය කියන්නෙත් ඒ ජීවිත පුදුමාකාර විදියට වෙනස් කරන එක්තරා මෙවලමක්.මේ ලිපිය ඔයාලා කියවද්දි පුදුමත් වෙයි. මොනවා කරන්නද මේක තමයි හිතේ නියම ස්වභාවය. මේ ලියන්න යන දේ ගැන හුගක් ලියන්න පුළුවන් වුනත් තියෙන පුංචි ඉඩෙන් මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් තරමක් ලියනවා.
ගිය අවුරැද්දේ මැයි මාසේ 28 වෙනිදා. එදා ගෙදරින් ආපු මම තාවනතුරැ ගෙදර ගියේ නෑ කියන එක ඔයාලට විශ්වාස කරන්න පුළුවන් වෙයිද ? ඒක තමයි මගේ ජීවිතයේ ඇත්තම ඇත්ත. ඊටත් වඩා දෙයක් තියෙනවා. ඒ තමයි මම එදා ඉදන් අද වනතුරැ තාත්ත එක්ක එකම එක වචනයක්වත් කතා නොකල හරිම අකීකරැ දුවෙක්. අම්මගේ උපන්දිනේට මාස ගානක් තිස්සේ හීන දැක දැක සැලසුම් හදපු මං තාත්තගේ එක උපන් දිනයක් අමතකම කරලා හෙට ලබන උපන්දිනේටවත් සුභ පතනවද කියලා දෙගිඩියාවෙන් හිටියේ.
 මෙහේ මගේ හෙවණැල්ල වගේ මාව රැක ගන්න අක්කා. එයා කියනවා හැම තිස්සේම බට්ටියෝ පරන දේවල් අමතක කරලා තාත්තට කතා කරන්න කියලා.
ඔව් මං හෙට අනිවාර්යයෙන්ම තාත්තට කතා කරනවා. මේ ජීවිතේ එයා අපට මොනවත් නොදුන්නත් හැමදාම මැරෙනකල් ඒ මගේ තාත්තා. ඒක කොහොම වෙනස් කරන්නද? බීපු වෙලාවට තමයි තාත්තා නරකම නරක. බොනදේ ඇරැනු කොට එයා  වෙන කිසිම වරදක් කරලා නෑ.
කුකුල්මස් ගෙනපු දවසට කකුල කපන්නෙම නැතුව උයලා අල්ලගෙන කන්න මං හරිම ආසයි. මං තාත්තට කතා නොකරත් ඇනටත් එයා මස් කපද්දි දෙපාරක් තුන්පාරක් කකුල කපන්න ගිහින් නොකපා මං හිටිය නම් කියලා කියනවලූ. ඉතිං තාත්තාගේ වැරදි කොච්චර තිබුනත් මං කොහොමද හිත හයිය කරන් ඉන්නේ.
එයා මගේ තාත්තා හැමදාටම. තාත්තටත් කොතනදි හරි ලොකු වරදක් වෙන්න ඇති.නැත්නම් ගිය ආත්මේ අපි ඔක්කොම එකතු වෙලා ලොකු පවක් කරන්න ඇති. එයා බලාපොරොත්තු වුන තැනට අපිට එන්න බැරිවුනා. ඒකෙ දුක එයාට උහුල ගන්න අමාරැ ඇති.
කොච්චර වැරදි කලත් ඉස්කෝලේ තියෙන හැම රැස්වීමකටම තාත්තා ආවා. මාත් හරිම ආසයි තාත්තා එනවට. මොකද අපි කවුරැත් ලස්සන නැති වුනාට තාත්තා හරිම ලස්සනයි.සුදු අත්දිග ෂර්ට් එකක් ඇදලා කළු කලිසම ඇදලා සපත්තු ඩීසන් එකට තමයි තාත්තා එන්නේ. හැම අවුරැද්දෙම ඉස්කොලේ නිවාසාන්තර
තරග වල අම්පර්යාර් විදියටත් තාත්තා යනවා.
ලියන්න දේ කොච්චර දේ තිබුනත් අහස උසට වැඩ නිසා මේ ලිපිය කෙටි කරන්න වෙනවට සමා වෙන්න.
මං පරන හැමදේම අමතක කරලා තාත්තට හෙට සුභ පතනවා.

October 6, 2011

වදිමි පායුග ඔබේ සදා .....................

ගුණ ධර්ම ලැබ ගන්න
තරණය කරන දිවි යාත්‍රාවේ
නවාතැන් පල නුඹයි......
ව්‍යාජවූ හද තුල
අව්‍යාජයෙන් ඒකාලෝක කළ
ගුණ පහන් ටැඹ නුඹයි .....


හද ඉමට හසරැල්ල වී
නැණ පහස නිවන නූඹට බොහෝ මිරිගු
නිබදවම හද රැදුණ
මට නුඹ ලෙන්ගතු වූ
ඉන්ද්‍රකීලයක් නොවේද ?


අද ගුරැ දිනේ . ඉතින් අද මම පෝස්ට් එකක් දැම්මේ නැත්නම් මම ඒක මගේ ගුරැ මණ්ඩලයට කරන ලොකු වරදක්.
මගේ ජීවිතේ හැම තැනකදිම මට නැගිටින්න පුදුමාකාර විදියට ගුරැවරැ උදව් කලා. ඒ අය නොහියින්න සමහර විට මගේ ජීවිතේ අවලංගු කාසියක් තරම් නොවටිනා දෙයක් වෙන්නත් ඉඩ තිබුනා. පුදුමාකාර බැදීමක් මං පොඩි කාලේ ඉදලම ගුරැවරැ එක්ක තිබුනේ. අද උදේ මගේ මිස්ලට මං කෝල් කලා. එක මිස් කෙනෙක් කිව්වා මගේ කෙල්ලේ ඔයාට වදාවත් වරදින්නෑ උතුරන්න ලගදිම ලැබෙයි කියලා. ඉතින් ඒතරම් ආශිර්වාදයක් ගෝලයෙකුට තවත් තිවෙනවද?
ගමේ ගිහින් දෙපා වැදලා එන්න බැරි වුනත් මගේ මුළු හදවතින්ම මං ගුරැවරැ හැමෝටම නමස්කාර කරනවා. ඒ එය මගේ ජීවිතේ හරියට භාගයක් වගේ. මට එයා ලා වෙනුවෙන් කරන්න පුළුවන් හොද තැනකට යන එක කවදා හරි මං ඒ තැනට යන්වමයි. එදාට මේ ලෝකෙ ඉන්න ආඩම්බරකාරම ගුරැවරැ මගේ සදාදරණීය ගුරැමව්පිය වරැ වේවි.