Loading...

November 25, 2011

පොරොන්දු වූ පරිදි ‍අත්කම් පාඩම .................................

මම හදාපු බෝනික්ක හදන හැටි කියල දෙන්න කියලා හුග දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණනේ. ඉතිං ඒ ඉල්ලීම් ඉෂ්ට කරන්න පමා වුනාට හැමෝම මට සමා වෙන්න ඕන. 

මෙන්න මේවිදයට තමයි ඒ බෝනික්කා හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය 
පාට කිහිපයක A4 
කතුරක් 
ටූත්පික් එකක්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්


සාදන ආකාරය
A4 කොලයේ දිග අතට සෙන්ටිමීටර් භාගයක් පළල සිහින් පටි කපා ගන්න. ( 1 රෑපය බලන්න) 
ටූත් පික් එකක ආධාරයෙන් රවුමක හැඩයට A4 පටි ඔතා ගන්න. රවුම් සෑදීමේදී වර්ණ තුනක් යොදා ගන්න. ඉන් එවුම් දෙකක් එක සමාවන ද අනෙක් එක තරමක් විශාලවද සාදා ගත යුතුය. ( 2 රෑපය ලෙස දමා ඇති රවුම් දෙක)
එකම සයිස් එකට සාදාගත් රවුම් දෙක මූණ සහ ඔළුව සදහා ද තරමක් විශාලව සාදාගත් රවුම ඇග කොටස සදහාද යොදා ගනී.
එසේ සාදා ගත් රවුම් ඇගිල් වලින් සීරුවට උඩු අතට තල්ලු කරන්න. ඇග කොටස සදහා සෑදූ රවුම සීනුවක හැඩයටද, අනෙක් අවුම් දෙක බෝලයක පළුවක් ආකාරයටද සකසා ගන්න. (3 රෑපය )































බෝලයකින් භාගයක් ලෙස සකසා ගත් කොටස් දෙක එකට අලවා ගන්න. ( 4 රෑපය බලන්න)






කකුල් දෙක සෑදීම සදහා සෙන්ටිමීටර් 4ක් දිග 3ක් පළල A4 කොටු දෙකක්  ටූත් පික් එකේ කද කොටස ආධාර යෙන් රෝල් කර ගන්න. ( 5 රෑපය බලන්න) 



අත් දෙක සදහා සෙන්ටිමීටර් 2ක සහ 1.5 ක් දිග පළල සෙන්ටි මීටර් 0.5 ක් වූ සිහින් පටි දෙකක් රවුමක් ආකාරයට ඔතා එහි මැදින් නිය පොත්තෙන් සීරුවට උඩට අදින්න. (6 රෑපය බලන්න)

 


ඉන් පසු එම කොටස් දෙක 7 රෑපයේ පෙන්වා ඇති ආකාරයට අලවා ගන්න. එවැනි කොටස් දෙකක් අත්දෙක සදහා සාදා ගත යුතුය. 





ඉන් පසු වර්ණ දෙකක පටි දෙකක් දිගට අලවා ටූත් පික් එක ආධාරයෙන් ඔතා ගන්න. මෙය එතීමේදී හොදින් තදට එතිය යුතුය. එසේ ඔතා ගත් රවුමෙහි එක් කෙලවරක් උල් හැඩයක් එන සේ අතින් හැඩ කරන්න. (8 රෑපය බලන්න) 





දැන් අවශ්‍ය සියලු කොටස් සාදා ගෙන අවසානයී. ඉන් පසු එම කොටස් එකින් එක අලවා ගන්න. මුලින්ම ඔළුව කොටස සහ කද කොටස. (9 රෑපය බලන්න)





ඉන්පසු කකුල් දෙක, යටිපතුල්, අත් දෙක අලවා ගන්න.ජෙල් පෑනක් ආධාරයෙන් ඇස් දෙක කට සහ ගවුමේ සික් සැක් ඉරි ඇද ගන්න. මෙය  කීටැක් එකක් ලෙස භාවිතා කිරීම සදහා A4 වලින් පුංචිවට මුද්දක් සාදා එය හිසෙහි මුදුනෙහි අලවා වෙළද පොලෙහි ඇති කීටැක් දගරය එයට සවි කර ගන්න. ( වෙළද පොලෙහි ඇති එම කොටසට කියන නම නම් නොදනී) 






































දැන් ඔබට ඉහත ආකාරයේ හුරුබුහුටි බෝනික්කෙකු දැක ගත හැකිය.

සැ.යු. මේය සෑ‍දීමේදී දෑත් ඉතා පිරිසිදුව තබා ගැනීමට සැලකිලිමත් වන්න.

ප.ලි. මෙය මාගේ පළමු පාඩම නිසාත් කලින් කිසිම දවසක මෙවැනි දෙයක් කර නොමැති නිසාත් මෙහි ඇති අඩු පාඩු වලට සමාවෙන්න.

November 24, 2011

කොහොමද හැබෑට මොහෙම වුණේ..............

අද ඉතිං වැඩ අඩු දවසක් නිසා බට්ටිට හිතුනා නිකං ඉන්න එකේ බට්ටිට වෙච්ච දෙයක් ලියන්න ඕන කියලා. මේක මට වුනේ හරියටම 9 වසරේ ඉගෙන ගනිද්දී. බට්ටි ඉතිං පුංචි කාලේ ඉදලම හරිම කැමතියි ස්වාධීන පුද්ගලයෙක් වෙන්න. ඒක නිසා හැම වියදමකටම අම්මට කරදර නොකර බට්ටි පුළුවන් විදියට ඒ කාලේ ඉදලම පුංචි මුදලක් හොයා ගත්තා. 

අම්මා ඒ දවස් වල ගෙදර එන්නේ මාස 2කට සැරයක් වගේ. ඉතිං අම්මා ඇවිත් ගිහින් ගොඩක් දවස් යද්දී ටිකක් අමාරුයී වියදම් එහෙමෙහෙ කර ගන්න. මට සිකුරාදා පන්ති. යන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉදිද්දී උඩහ  ගෙදර අත්තම්මා ඇවිත් කිව්වා අපේ තේ ගස්ටික මට්ටම් කැපුවනේ පැත්තේ අතුවල දළු පිරිලා තියෙනවා. කවුද අනේ ඔව කඩන්න ඉන්නේ අපරාදේ මොරලා යනවා කියලා. දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා කියන්නේ ඉතිං ඕවට තමයි. මම ඉතිං අත්තම්මා එහෙම කිව්ව ගමන් ඇහුවා එහෙනම් මම කඩා ගන්නද අත්තම්මේ කියලා. අනේ හා බට්ටි දුවේ. නිකන් මොරලා යන එකේ කඩලා කීයක් හරි හොයා ගන්න කියලා. 

ඊට පස්සෙන්දම ඉස්කෝලෙ ගිහින් ආපු ගමන්ම පෝර කවරෙකුත් ඉනේ ගැටගහ ගෙන ගියා දළු ටික කඩන්න. මට්ටම් කපපු නිසා හොදටම කැලේ වැවිලා. ඒ දවස්වල ඉතිං මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයත් හරියට හිටියා. එව්වට නම් මම කලින්ම ලෑස්ති වෙලා තමයි ගියේ. ලෙමන් ගෙඩියක් කකුල් දෙකේ ගාගෙන ගියහම ඒ  උදවිය අපිව මනින්න එන්නේ නෑ.


පැනගෙන ආවට මොකද මෝරපු දළු කඩන එක නම් ලේසී නෑ. දබර ඇගිල්ල ඉවරයී. තුවාල වෙනවා, කහට ගෑවිලා කළු පාට වෙනවා. ඒ වුනත් ඉතිං ඔය සේරම ගැන හිතන්න බෑනේ. 

කොහොම හරි දළුටික කඩාගෙන උළුව උඩ තියාගෙන හන්දියේ තියෙනවා දළු ගන්න තැනක් එතනට අරගෙන ගියා. දළු කිලෝ එකක‍ට රුපියල් 25ක් දෙනවා.  මම ගෙනියපු දළු ටික කිරලා බැලුවහම කිලෝ 4ක් තිබුනා. ඒ කියන්නේ රුපියල් 100 ක් නේ. එතන දළු ගන්න තැන ඉන්නේ නැන්දා කෙනෙක්. එයා ඉතිං සල්ලී අරන් එන්නම් කියලා ගේ ඇතුලට ගිහින් ආවා. මෙන්න බොලේ වැඩක්. එයා බිල් කෑල්ලකුත් එක්ක මගේ අතට රුපියල් 25ක් දුන්නා. මමත් ඉතිං බැලුවා මොනවද අප්පා ගෙනාපු දළු ටිකට වුනේ කියලා. 

දළු කිලේ              04 
කිලෝවක මිල      25
මුළු මුදල             100
වතුරට                 -25
කවරෙට             -25
මොරපු නිසා       -25
ඉතිරිය             = 25

දැන් ඉතිං මොනවා කරන්නද? බිල දිහා ඇස්දෙකේ කදුළු පුරව ගෙන බලන් ඉදලා බැරිම තැන මම ඒ නැනදගෙන් ඇහුවා ''එතකොට නැනදේ මං දළු ගෙනාවෙම නෑ?'' එයා සද්දයක් නෑ. 

මම රුපියල් 25ත් අරගෙන එන්න ආවා. රුපියල් 25න් මොනවා කරන්නද? මම එකෙන් මාරි පැකට් දෙකක් ගෙනැත් දුකයි කේනතියයි දෙකම යන්න ඔක්කොම කාලා රෑටත් නොකා නිදිය ගත්තා......

November 21, 2011

නුඹට ................


ආදරයෙන් අන්ධවෙලා
සතුටින් නුඹ ඉන්න හිතන්
ඔහුත් සමග එදා ගියේ
හැදූ අම්මටත් හොරෙන්ම................

ගෙයක් දොරක් නැති ඔහු හා
ඉන්න තැනක් නැති හින්දා
තාත්තාත් නැති නුඹ හට
අම්මා ලගට එන්න වුනා ..............

ඔය විදියට පවුල් කද්දී
නුඹ ආවා මෙහේ වැඩට
රණ්ඩු වෙවී යාළු වෙවී
අවුරුද්දක් වැඩ කෙ‍රුවා .............

නුඹේ සැමියා රට ගියමුත්
සැනසීමක් නැතිලු නුඹට
ඔහු සැමදා වෙරිමතින් ලූ
හිතන් නෑලූ හෙටක් ගැනක් ...........

අනේ මන්දා මම කිව්වේ
ඉවසන්නයි කියා නුඹට
නුඹ ඇහුවා හැරුණු ගමන්
මා අසරණ වෙන පැනයක් .....................

අපේ අම්මා ඉවසුවාට
මොනවද අහනවා ලැබුණේ
පස් දෙනාම පස් පලකලූ
මොකද්ද ඔය ජීවිතේලූ .....................

නුඹත් එක්ක තර්ක කරලා
කිසිදු පලක් නොමැති නිසා
නිහඩ වෙලා මම උන්නේ
අසරණ වූ නිසයි එදා ............

ඊයේ රෑ හදිස්සියේ
දුරකතනෙන් මා අමතා
මට කියනවා නුඹ යනවලූ
ඩුබා‍යිවල රැකියාවට ...................

අවුරුදු තුනකුත් ගෙවීලා
නුඹ එද්දී ලංකාවට
මම කිව්වා මම නම් මෙහි
සිටිනවාට සැකයි කියලා ................

ඒ වෙලාවේ නුඹ කියනවා
හොද කොල්ලෙක් හොයා ගන්න
හීන ටිකත් ගොඩ දා ගෙන
මෙහේම මට සෙට්ල් වෙන්න ..............

ආව නමුත් මගේ හිතට
දීමට පිළිතුරක් එයට
නිහඩ වුනේ ඊයෙත් මම
නුඹේ හිත නොරිදා ඉන්නයී ...................
මෙහෙම හැදුණු වැඩුණූ නුඹේ
හීන බිදී නුඹත් යද්දී
ගමෙන් ආපු මගේ හීන
කොහොම මෙහේ ගොඩ ගසම්ද ..................?

කොහේ ගියත් නැගණියෙ නුඹ
ළදක් කියා සිතට ගනීන්
මේක ක්‍රෑර අධම ලොවක්
එය දැන ගෙන වැඩ කරපන් ................

කවදා හරි නුඹ දිනපන්
අම්මාහට සැපක් දියන්
අවසානේ එහෙම කියලා
නතර කළා ඒ ඇමතුම..................

November 18, 2011

කොහොමද අනේ මෙහෙම යන්නේ.........?


මේක නම් හරි යන්නේ නෑ. කවද වෙනකල් කියලා ඉවසන්නද? අද වෙයි හෙට වෙයි කියලා මං කොච්චර මග බල බලද ඉන්නේ.ඒත් ඒක නම් හරියන පාටක් නෑ. 

බෙල්ට් එකක් ගත්තා අප්‍රේල්වල. අනේ ඉතිං ඒකේ තිබුණු එක සිදුරක්වත් ඇගේ තරමට හරි යන්නේ නෑ. ඇණයක් අරගෙන පුංචියට විදගත්තා ඇගේ සයිස් එකට හරියන මිම්මට සිදුරක්. දැන්නම් හරි. කලිසම වැටෙන් නැතුව රදව ගන්න ඉතිං ඕක තමයි පිහිට. ඇදුම් ගන්න ගිහින් මගේ ඉනේ සයිස් කිව්වහම පොඩි ළමයින්ගේ ඇදුම් තියෙන තැන පෙන්නනවා එතනයි තියෙන්නේ කියලා. ඒක නිසා කාගෙන්වත් සයිස් ගැන අහන්නේ නැතුව මම ලොකුවට අරගෙන ඇවිත් ඔය බෙල්ට් එකේ පිහිටෙන් තමයි අදින්නේ. 

මාසයක් විතර ඔය විදියට යද්දී බෙල්ට් එක හොදටම හිරයි. කොච්චර සතුටක්ද ඉතිං. බට්ටි මහත්වෙලා. හුරේ හුරේ කියලා මං බෙල්ට් එකේ අගල් දෙකක් විතර වැඩි කරලා විදගත්තා තව සිදුරක්. හැබැයි ඉතිං අර බෙල්ට්වල විදලා තියෙන සයිස් එකට නම් ලගපාතකවත් නෑ. ඒත් මොකද හිටිය සයිස් එකට අගල් දෙකක් මහතයි කියන්නේ ලොකු ප්‍රගතියක්නේ.
ගිය අවුරුද්දේ වෙසක් සද බැහැගෙන යද්දී ගමෙන් ආපු මං ලබමාසේ ගමේ යන්න හීන බලබල තමයි මේ දවස්වල ඉන්නේ. එච්චර කාලෙකින් ගමේ ගියහම බට්ටි සුදුවෙලා, මහත්වෙලා, හැඩවෙලා කියලා අහන්න බට්ටි හරි ආසයි. ඔහොම අහන්න ඉතිං  කවුද අකමැති නේද? 

ඒත් ඉතිං ඔක්කොම හීන වතුරේ . ගමේ යන්න තව මාසයක්වත් නෑ. දැන් ආයේ අර බෙල්ට් එකේ මුලින්ම විදපු සිදුරටත් අගලක් අඩුවෙන් සිදුරක් විදගෙන බෙල්ට් එක දාන්න වෙලා. ඒ මදිවට පෙරේදා බර කිරුවා 34ක් තිබුණ බර 31ක් වෙලා. මම නම් අක්කට කිව්වෙම ඔය බර මනිනන එක වැරදී කියලමයි. මොන එයා ඒක පිළිගන්නේ නෑ. වරදින්න විදියක් නෑලු එයාගේ බර හරියට හරිලූ. 

අපරාදේ බට්ටි ඉපදෙන්න තිබුණේ රාහුල හාමුදුරුවෝ කවි ලිව්ව කාලේ. එහෙම වුණා නම් මෙහෙම ප්‍රශ්න නෑ නේ. මොකද ඒ දවස්වල හිටියේ ඉණ මිටින් ගන්න පුළුවන් සයිස් එකේ අයනේ. ඒකයී. 

දැන් ඉන්න සයිස් එකෙන් ගමේ යනවට වැඩිය හොදයි නොගිහින් ඉන්න එක. මොකද හම්බවෙන හම්බවෙන කෙනා අනිවාර්යයෙන්ම “මොකද බට්ටි මේ ඇදිලා ගිහින් , අයියෝ බට්ටි දුවේ දැන් හිටියැයින් භාගවක්වත් නෑනේ” ඔය විදිය නානාප්‍රකාර ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න වෙනවමයි.

මේක නම් බලන් ඉදලා හරි යන්නෑ. බට්ටි කෙට්ටු එක බට්ටිට ප්‍රශ්නයක් නෙවෙයි වුණාට ගමේ අයට ඕක ලොකු ප්‍රශ්නයක්නේ. 

ගමේ යන්න කලින් මහත් වෙන්න ක්‍රමයක් දන්නේ නම් පිං ඇත්තෙක්  එය මට පවසනු මැනවි.(සැ.යු. ඌරු පෙති හැර වෙන ඕනෑම දෙයක්. මොකද ඒව බීලා ඌරෙකු වගේ මහත් වීමට නම් බට්ටී කැමති නැත.) 

කාටවත්ම වැඩේ ගොඩදාලා දෙන්න බැරි වුනොත් නම් සත්තකින්ම මම පුළුන් කෑලි දෙකක්වත් ගමේ යද්දී කන් දෙකේ ගහගෙන යනවා. මොකද මට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා.  

November 17, 2011

සමාව ඉල්ලා ලියමි .....................

මම කලින් දැමූ පෝස්ට් එකේ මට ලැබුණු මේල් පණිඩුඩයක් ඒ ආකාරයෙන්ම පළකලේ එය කවුරැන් විසින් හෝ ගොතන ලද එකක් බව නොදැනය. ඒ  කතාව යථාර්ථවාදියාගේ නිර්මාණයක් කියලා දැන ගත්තේ සෝඩා ගුනේ එහි ලින්ක් එක සමගම කමෙන්ට් කර තිබුණු පසුවයි.

ලැබුණු ඊමේලයේ මේ ගැන කිසිදු සටහනක් නොතිබුණ බැවින් මම එය පෝස්ටුවක් වශයෙන් ඉදිරිපත් කළ බවත්, යතාර්තවාදියාගේ නිර්මාණයට හානියක් සිදු වුණි නම් ඊට සමාව ඉල්ලා සිටිමි.
ඔහුගේ ලිපිය   http://nihalw.wordpress.com/2011/10/23/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D/

November 16, 2011

ලොකු වරදකි එදා කලේ ...............


මේක මගේ ජීවිතේ අදටත් මං හුගක් පසුතැවෙන මගේ හිතේ තදින්ම කාවැදිලා තියෙන සිද්ධියක්. මේක වුනේ මම දහය වසරේ ඉගෙන ගනිද්දී. 
 ඉස්කෝලේ හැම පන්තියකම තිබුණේ කළුලෑලි. ඉතිං මේවායේ ටික දවසක් ලියද්දී සුදු පාට වෙලා ආයෙම කළු ගාන්න වෙනවනේ. කළු ලෑල්ල පාට කරන්නේ අර බැට්රි කෑලි වල ඇතුලෙ තියෙන කුඩු දොඩම් ඉස්මයි එක්ක කවලම් කරලා. ඔහොම පාට කරාට පස්සේ ටික දවසක් යනකම් මිස්ලා සර්ලගේ අතේ කළුපාට ගෑවෙනවා. 

ඔය විදියට කළු ලෑල්ල පා‍ට කරපු දවසක එක පිරිමි ළමයෙක් මොන මොනවදෝ පල්හෑලි වගයක් ලියලා තිබුණා බෝඩ් එකේ. විද්‍යාව මිස් තමයි මුලින්ම එදා පන්තියට ආවේ. එදීදිම බෝඩ් එකේ තිබුණ දේවල් දැකලා කවුද ලිව්වේ කියලත් අත් අකුරු වලින්ම අදුන ගෙන එයාට කිව්වා ඇවිත් මකන්න කියලා. දැන් ඉතිං ඒ ළමයා නැගිටින්නෙම නෑ. 

මිස් මගේ නම කියලා කතා කරලා කිව්වා පුතේ ගිහින් කෝටුවක් කඩාගෙන එන්න කියලා. මමත් කියන සුනංගුවෙන්ම කඩාගෙන ආවා හොදට හයිය පේර කෝට්ටක්. මොකද ඉතිං ගහන එකත් වෙලා හයිය එකකින්ම ගහන්න ඕනනේ. ඒක නිසායි එහෙම එකක් කඩාගෙන ආවේ. 

අන්තිමේදී මිස් කොට්ට අතට ගන්නවත් එක්කම එයා ඇවිත් ලියපු එක මකලා දැම්මා. ඊට පස්සේ අත්දෙකේ හොදටම කළු ගෑවිලා. 

මම කොහොමත් ඒ දවස් වල ඉස්කෝලේ ටැප් එකෙන් වතුර බොන්නේ නෑ. ගෙදරින් පොඩි ප්ලාස්ටික් බෝතලයකට වතුර අරගෙනයී යන්නේ. මම හැමදාම ඉන්නේ පන්තියේ පළවෙනි පේලියේ අයිනෙම. ඉකමනට ගුරුමේසේ ලගට යන්න තියෙන ලේසිම තැන. මම ගේන වතුර බෝතලේ එතනම බිත්තිය උඩින් තියලා තියනවා. 

ඉතිං මේ පිරිමි ළමයා මගේ වතුර බෝතලේ අරන් අත හොදන්න යන්න හදද්දිම මම අනේ අනේ එපා කිව්වා. ඒත් ඉතිං කිව්වට අහන එකක්ය එයා ඒකෙන් අත හොදන්න එළියට යන්න හැදුවේ. මිස්ට මේ වැඩේට කේන්ති ගියා. මිස් කිව්වා ටැප් එක තියෙන්නේ වැඩි ඈතක නෙවෙයිනේ ගිහින් අත හෝදන් එනවා.ඒ ළමයා ගෙදරින් ගෙනාපු වතුර එක නාස්ති නොකර කියලා. 

මිස්ට හුගක් කේන්ති යනවා. අනිවාර්යයෙන්ම මිස් කියන දෙයක් ඇහුවෙ නැති වුනොත් නම් ගහනවම තමයි. පන්තියේ අනිත් ළමයි ටික මට බෝතලේ ගත්තට කමක් නෑ කියනවා කියලා කියන්න ගත්තා. මම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ‍එයාට ගැහුවොත් නම් අනිත් ළමයි ටික මව බයිට් එකට ගනී කියලා මම හෙමිහිට කමක් නෑ කිව්වා. මිස්ටත් ඕක ඇහුනේ නෑ. 

එක පාරටම අර පිරිමි ළමයා මිස්ගෙන ඇහුවා එයත් කමක්නෑ කියනව නම් මිස්ට තියෙන අමාරුව මොකද්ද කියලා.  එයා එහෙම දෙයක් කියයි කියලා මං හීනෙන්වත් හිතුවේ නෑ. ඒ එක්කම මිස් මගෙන් ඇහුවා ඇත්තද පුතේ මේ කියන්නේ කියලා. මොනවා කියන්නද? මම කලේ බිම බලා ගනිපු එක විතරයි. හරිම අකාරුණික විදියට පන්තියේ හැම ළමයෙක්ම මගේ මිස්ට හූ කිව්වා. 

විශ්වාස කරන්න එකදිගට මමම කඩාගෙන ආපු වේවැල කැඩෙන කල් මිස් මට ගැහුවා. ඒත් මම බිම බලාගෙන කදුළු සුදු ගවුමට වැටෙනකල් ඇඩුව මිසක් මට මිස්ගෙ මූණ බැලුවෙවත් නෑ.මොකද මට එහෙම කරන්න හයියක් තිබුණේ නෑ. 

පාසල් ජිවිතයටම ගුරුවරයෙකුගෙන් ගුටි කාපු එකම දවස. .ගණිතය මිස් අස්වෙලා ගියාට පස්සේ උහුල ගන්න බැරි දුකකින් හිටිය මට හෙවණැල්ලක් වුණ එකම ගුරුවරිය. ගෙදර අම්මා නැති නිසා මගේ දේවල් කියන්න මට මේ ලෝකේ ‍බුදු හාමුදුරුවෝ එවපු එකම කෙනා. අනේ මගේ මිස්ට මං ජීවිතේ කාලෙම ගෙවලා ඉවර කරන්න බැරි වරදක් කලා. 

එදා දවසෙ මම මගේ ඩෙස් එක පෙගෙනකල් ඇඩුවා. කාලපරිච්ඡේද දෙකක් උගන්නන්න ආපු මිස් එවෙලෙම පන්තියෙන් ගියා. ඊට පස්සේ පන්තියට ආපු ගණිතය සර් කිව්වා මොකද මේ අම්මා විවේකාගාරෙ ඔළුව තියන් දුව මෙතන ඔළුව ගහ ගෙන ඉන්නවා කියලා. සර් එහෙම කියද්දී මගේ දුක තවත් වැඩි වුන එකයි වුනේ. මම අන්තිම පීරියඩ් එකේ ලැබ් එකට ගියා මිස්ගෙන් සමාව ඉල්ලන්න. සමාව ඉල්ලන්න පුළුවන් වරදක් නෙවෙයි මම කලේ ඒත් මට එහෙම කරන්න ඕන වුනා. 

මම යද්දී මිස් පොත් වගයක් බලබල හිටියේ. මිස් ලගට ගියාට මට කතා කර ගන්න බැරුව හොදටම ඇඩුනා. මිස් මගේ අතකින් අල්ලලා ලගට අරගෙන කිව්වේ ඇයි පුතේ ඔයාගේ අම්මට එහෙම කාලේ කියලා. ඒ වචන අදටත් මගේ කන්දෙකේ දෝංකාර දෙනවා. 

යාළුවො තරහ වෙයි කියලා මං එදා එහෙම කලාට අද මං ලග කිසිම යාළුවෙක් නෑ. මිස් විතරයි තට්ට තනියම ඉන්න මං එක්ක අදටත් ඉන්නේ. ජීවිතේ අපි නොදැන කරන දේවල් පස්සෙ කාලෙක මතක් වෙද්දී පුදුමාකාර දුකක් එන්නේ.  


November 15, 2011

මෙන්න වැඩක් මම යයි හෙමින් ................

මං ඉතිං මගේ පාඩුවේ වැඩ කරලා කඩියා වගේ තමයි හවසට ගෙදර දුවන්නේ. 6ට වැඩ ඇරිලා බස් එකට කලබලේන් යනවා. විනාඩියක් හරි එහෙමෙහෙ වුනොත් ඉතිං හිට ගෙන ඉන්න වෙනවා වෙන බස් එකක් එනකල් හුගක් වෙලා. ඒ වෙලාවට නම් ඉතිං සල්ලි තියෙනව නම් කොහොම හරි හෙටම ගිහින් අර එක පාරක් උඩින් ගිහින් වැටුණ ජාතියේ බයිසිකල් එකක් ගේනවා. ඒකටත් ඉතිං තව අවුරුද්දක්වත් ඉවසන්න වෙනවා. මොනවා කරන්නද? 

බස් එකට යන්නේ මහන්සි වෙලා නිසා ඉතිං නින්ද යන්න ඉඩ තියෙන ඉඩ හුගක් වැඩී. ඉතිං මං සිංදුවකුත් අහගෙන ඔහේ යනවා. එක සිංදුවක් හිතට වැදුනහම ඉතිං බස් එකේ යන කල් ඒ පැයේම අහන්නේ ඒකමයි. ඒ  මගේ හැටියක්. අන්තිමට සිංදුවේ රොඩ්ඩවත් ඉතුරු වෙන්නේ නැති තරමටම අහනවා.

කොහොම හරි ඊයෙත් බස් එකෙන් බහිද්දී කළුවර වැටිලා. මම කළුවරට නම් බය නෑ. ඒත් ඉතිං නොදන්න පැතිවල නිසා ඇගට ගුණයි  කකුල ඉක්මන් කරලා යන එක. මම ඉතිං ඉක්මනට යද්දී කවුද කෙනෙක් එක පාරටම ‘නංගී නංගී ඔයා කොහේටද යන්නේ’ කියලා ඇහුවා. මාත් පිටි පස්ස හැරිලා බැලුවා කවුද බොලේ මේ අක්කා කියලා. බැලින්නං අවු.60 ක 65 ක විතර අක්කා කෙනෙක්. ඕක ඉතිං කොළඹ හැමෝටම තියෙන ලොකු ලෙඩක්නේ. දූලා පුතාලා මෙහේ නෑ. හැමෝම නංගිලා මල්ලිලා. මෙහේ ආපු අලුත නම් මට ඔහොම කියද්දී කන පැලෙන්න දෙකක් දෙන්න හිතුනා. දැන් නම් ඉතිං අනේ ඇගේ ඇලෙන එකක්යැ කියලා හිත හදා ගන්නවා. ඒ අයගෙත් ආසාවනේ.

මං ඉතිං පස්ස හැරිලා ‘දිගටම යනවා’ කියලා මං හැමදාම යන වේගෙටම තමයි ගියේ. ඒ පාර කවුරු හරි පස්සෙන් දුවනවා වගේ ඇහුණා. මං හැරිලා බලද්දී අර අක්කා සාරියත් උස්සන් දුවනවා. මං නතරවෙලා පොඩ්ඩක් ඉදලා ඇහුවා ‘හරි දැන් මොකද ඔයා ඔය දුවන්නේ’ කියලා. ‘අනේ ඔයා හරි වේගෙන් යනවනේ ඒකයි දුවන්නේ’ කියලා. මේක හරි මගුලක්නේ මං යන්නේ අපේ ගෙදර නේ.එයා කොහේ යනවද කියලා මං කොහොමද දන්නේ. ඇරත් ඉතිං මං මොකටද හිමින් යන්නේ.

වැඩේට මට හොදටම හිනා. ගෙදරට යන්න හැරෙන තැනදී මං හැරිලා බැලුවා. එයා ඈත එනවා. මම ඉතිං මේක මෙහෙම ලියන්න හිතුවේ මේ පළාතේ මිනිස්සු හරි වෙනස් ඒක නිසා. මොකද කොළඹ කියන්නේ අපිට හුරුපුරුදු පරිසරයක් නෙවෙයි. ඒකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. ඉතිං අපි දැන ගන්න ඕන පරිස්සමින් ජීවත් වෙන්න. අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ. සමහර මිනිස්සු රස්සාවට චේන් කඩනවා. මනුස්සයෙක් කොයිතරම් නම් දුක් විදලද චේන්පොටක් කරට දාගන්නේ. මම නම් හිතන්නේ ඒ වගේ අයට ලබන ආත්මයක් නම් නැතිවෙයි. මම නම් ඉතිං වේගෙන් ආවේ චේන් එක කඩා ගනී කියලා බයේ නම් නෙවෙයි. මොකද එහෙම කඩා ගන්න චේන් එකක් දාලා තියෙන්න එපැයි. ඒත් මං අදුරන්නේ නැති අය කතා කරද්දී හුගක් පරිස්සම්. කොහොමින් කොහොම හරි ඊයේ වෙච්ච සිද්ධයෙන් මං තිරණය කළ තව ටිකක් වේගෙන් යන්න.