Loading...

February 26, 2012

සිහිනයක් දෝ ..........?



ඔබේ නෙත් දෙක
නොදැක මං අද
කෙසේ පියමං
කලා‍දෝ ..........?

නොදැක්කා මෙන්
මෙමට පිටුපා
කෙලෙස ඔබ අද
ගියාදෝ ..........?  

වෙනදා කහ ඉර
මාරුවී එන
මාව සුරතින් ගත්තේ
නැද්දෝ ..........?  

මාස හයකට පස්සේ
දුටු විට
කෙලෙස ඒ ලෙස
නුඹ ගියාදෝ ..........?

හැඩැති ඇදුමක්
ඇදන් නොගියෙන්
අදත් කැතටම
පෙනුනවත්දෝ ..........?

උපන් කැත බෑ
උනාලන්නට
එයත් නුඹහට
නොවැටහුනාදෝ ..........?

එහෙම පිටුපා
මගෙන් ගිය නුඹ
යළිත් මාවතේ
මුණ ගැසේදෝ ..........?

මගේ ඇස් දෙක
නොදැක ගිය නුඹ
යළිත් ආවත්
වැඩක්වේදෝ ..........?

February 23, 2012

රුපියල දෙනවද ?

      බට්ටි ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර යද්දී බස් එකේ හරිම අමුතු විදියේ වලියක් ගියා. කට්ටියම දන්නවනේ අර අපේ මාමා නෑ නෑ අපේ නෙවෙයි අර සමහරුන්ගේ මාමා ලෝක වෙළද පොලේ තෙල් මිල ගැන හිතලා මෙහෙත් තෙල් මිල ඉහල දැම්මා කියලා. අනේ ඉතිං මේකෙන් පස්සේ බස් මාමලත් මිල නැග්ගුවේ කිසිම හිතක් පපුවක් නැති විදියටනේ. 

    අප්පා කියන්න ගිය එකත් අමතක වුනානේ මේ මාමලා නිසා. මේකයි සිද්ධිය. ඔන්න බස් එකේ කොන්දොස්තර අයියා හැමෝගෙන්ම සල්ලි එකතු කර කර යනවා. එහෙම යද්දි ටික ටික ෂිට් වලින් කුටු කු‍ටු ගානවා. මට නම් ඕක හරියටම මීටර් වුනේ නෑ. මොකද ඉතිං 25ට ගෙදර ගිය බට්ටිට මාරු කාසි ප්‍රශ්න ඇති නොවෙන්න වැඩි පහසුව සදහා කෙලින්ම ගාන 30ක්ම කරානේ. ඒකෙන් නම් ලොකුම පාඩුව වුනේ මගේ පුංචි කැටේට. ඇයි ඉතිං හැමදාම එයාට දෙන රුපියල් 5 ට නේ තට්ටු වුනේ. දැන් ඉතිං අර බස් එකේ කුටු කුටු ගාගා හිටිය අයගෙන් එක ඇන්ටි කෙනෙක් වහාම ක්‍රියාත්මක වුනා.

ඇන්ටි               -           අහවල් තැන ඉදලා අහවල් තැනට දැන් කීයද  
                                      අලුත් බස් ගාස්තුව
කොන්දොස්තර  -           19 යි
ඇන්ටි               -           එහෙනම් මනුස්සයෝ මොකටද මගෙන් 20 ක් 
                                     ගත්තේ. එතකොට ඉතුරු රුපියල කෝ?
කොන්දා නෙවෙයි ගානකට ගත්තේ. මෑන්ස් හෙමින් ඉතුරු අයගෙන් සල්ලි අරගෙන පිටි පස්සටම ගියා. හැබැයි ඇන්ටි වැඩේ අත අරින පාටක් නෑ.
ඇන්ටි               -           එහෙන් බස් ගාස්තු වැඩි කරා මදිවට මුන් අපේ 
                                     ඉතුරු රුපියලටත් විදින්න පටන් අරන්නේ.
            
මගියෙක්           -           කී දෙනෙක්ට රුපියල දුන්නේ නැද්ද. ගෙයක් 
                                     හදන්න රුපියලේ කාසි ඇති.
තව මගියෙක්     -           ඔයා රුපියලක් දීලා දෙකක් ඉල්ලන්න. රුපියල් 
                                     දෙකේ ඒවා නැති වෙන්නේ නෑනේ.
ඇන්ටි               -           ආනේ ඇත්තමයි....

           ඇන්ටි කොන්දොස්තරට රුපියලක් දීලා 2ක් ඉල්ල ගත්තා. අනිත් අය නම් ඉතිං නොලැබුන රුපියල අත ඇරලා සද්ද නොකරම හිටියා. ඇයි ඉතිං රුපියල මේ පාවෙන හැටියට එහෙම ඉන්න එකෙත් වරදක් නෑනේ.
මට නම් මේ සිද්ධිය වෙච්ච වෙලාවේ මතක් ‍වුනේ අපේ තාත්තා කියපු කතාවක්. ඔන්න ඒකත් මේ ගමන්ම කියන්නම්කෝ.

         ඔන්න එක දවසක් වයසක සීය කෙනෙක් බස් එකෙන් ගමනක්  ගියාලු. ඉතිං මේ සීයා ටිකට් ගත්තලූ. ‍ඉතිං ටිකට් එක ලැබුනට ඉතුරු ලැබිලා නෑ. ඉතිං සීයා ආයෙම කොන්දොස්තර එනකන් ඉදලා ඇහුවලූ ‘‘කොලුවෝ මගේ ඉතුරු සත පනහ” . කොන්දොස්තර කොලුව ගත් කටටම කිව්වලූ ‘‘අයියෝ සීයේ සතපනකත් මොකද්ද” කියලා. කොලුවා එහෙම කිව්වට දුක් මහන්සියෙන් හම්බකරපු සතපනහ නිකම්ම අත අරින්න සීයා කැමති වෙලා නෑ. කොලුවා ආයෙම එතනින් යද්දි සීයා එයාට කතා කරලා ‘‘කෝ මට රුපියලක් දෙන්න මම ඔයාට සත පනහක් දෙන්ම්” කියලා සීයා සාක්කුවෙන් සත පනහක් එළියට අරන් පෙන්නුවලූ. ඒ ගමන ඉතිං කොන්දොස්තර කොලුවා සීයට රුපියලක් දීලා. ඊට පස්සේ සීයා රුපියලයි සත පහනයි දෙකම සාක්කුවේ දාගෙන. මේක දැකපු කොන්දොස්තර කොලුවා ඇහුවලූ ‘‘ සීයේ සත පනහ”. ගත් කටටම සීයා කිව්වලූ ‘‘ අයියෝ කොලුවෝ සත පනහත් කජ්ජක්ද” කියලා.  


ප.ලි.  හිත මෙව්ව වෙලා හිටිය මට හිත ශක්තිමත් කර ගන්න වචනයකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම මහ හුගක් පිං. ඔන්න ආයෙම බට්ටි සුපුරුදු ප්‍රීතියෙන්. හැම දේම වෙන්නේ හොදට කියනවනේ. මේ පාර නම් අහිමි වුන දේවල් වලට සිය දහස් ගුණයක් වැඩි දේවල් බට්ටිට ලැබුනා. ඒ තමයි මානසිකව හොදටම වැටිල හිටිය මාව අපේ ‍පවුලේ අය තුරුළු කරන් නැගිට්ටුවා. අපි පස් දෙනාගේ බැදීම කිසිම දාකටත් වඩා ශක්තිමත් වුනා. ඉතිං දැන් බට්ටිට වෙන මොනවා නැතත් මොකද නේද?

February 17, 2012

නොරිදවන්න කිසිවෙක්


ඔබ රිදවන මිතුරාට  - නොරිදවන්න
ඔබට අදරය කරන මිතුරාට - පැලෙන්න ආදරේ කරන්න
මිතුරා වෙනුවෙන් හැමදේම කැප කරන්න
නමුත් කිසිවක් වෙනුවෙන් මිතුරාව කැප නොකරන්න

මේක මම අහල තියෙන එකක්.ඔය පැලෙන්න ආදරේ කරන්න කියන එක නම් මගේ ශබ්ද කෝෂයේ මහ ලොකුවට තියෙන වචනයක්. ඇත්තමයි මම නම් එහෙමයි. මට නම් ඕනත් එහෙම අය. මම මේ කියන්නේ පෙම්වතුන් ගැන නම් නෙවෙයි. ලෝකේ අපි වටා ඉන්න හැමෝම ගැන. බට්ටි හුගක් සැලකිල්ලෙන් ජීවිතේ අඩිය තියන කෙනෙක්. සමහර වෙලාවට සැලකිල්ල වැඩිද මන්දා? බස් එකට නැග්ගොත් හෑන් බෑග් එකේ ෂිපර් එක පිටුපස්සට වෙන්නද තියෙන්නේ කියලා අනිවා බලනවා. හොදටම ෂුවර් හරියට තියෙනවා කියලා ඒත් අනේ මොන පිස්සුවක්ද මන්දා ඔය වගේ  පුංචි සිද්ධ ගැන ඕනවට වඩා හිතනවා‍.  මොකද වෙන්න කලින් හිතන එක හොදයි කියලා මගේ හිත හැම වෙලාවෙම කියනවා.

ඒවගේම තමයි මගේ වටා ඉන්න අය ගැනත්. හිතනවා අහස උසට.  මගේ අතින් කාගේ හරි හිතක් රිදෙනවනම් එක වෙන්නේ හුගක් කලාතුරකින්. හැබැයි ඉතිං ආයේ තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා වගේ මගේ හිතනම් ඕන තරම් රිද්දනවා. ඇයිද මන්දා පොඩ්ඩක් තමන්ගේ හිත වගේම අනිත් හිතුත් රිදෙනවා කියලා මිනිස්සුන්ට හිතන්න බැරි. 

ප.ලි. අද පෝස්ට් එකක් ලියන්න නෙවෙයි හිටියේ. ඒත් ඔළුව නිකන් මෙව්ව වෙලාවගේ. ඔය අදහස් ටික මට වදදෙනවා. ඒකයි ලිව්වේ. සමාවෙන්න මට මේ පිස්සු පෝස්ට් එක දැම්මට.

February 13, 2012

රතු රෝස මලේ කතාව .....



‘‘දුමක් නගින්නට හේතුව ගින්දර             
එළියක් සොයන්නට හේතුව කලුවර          ය”
කාලය සෙමෙන් සෙමෙන් ගෙවෙයි.සිහින් පොද සහිත වැස්ස සුළං හා මුසුව හමා ආයේය. හිරු එළියේ සැදෑ දීප්තිය ඒ සිහින් වැස්ස හා මුසුවී තිබිණ. මම බොහෝ දිනවල ඒ සිහින් වැස්සට උවමනාවෙන් තෙමුනෙමි. මගේ සිතට සතුටක් දැනිණ.සොබාදහම සමග අත්වැල් බැදගත් මා කරා අධ්‍යාත්මික සුවය ළගාවූයේ මටද නොදැනුවත්වමය. මගේ සිතෙහි  සිරකාරියක කල ඒ යුගය අවසන් විය. මගේ මිදුලෙහි වඩ වඩාත් පිපුණේ වර්ණවත් රෝස මල්ය. මගේ පාත්තියේ ලේ රතු පාටින් පිපුණු රෝසමලේ කතාව මට අසන්නට ලැබුණේ දේවිගෙනි.
‘‘ඔය ලස්සන රතු රෝස මලේ හරි දුක්මුසු කතාවක් ගැබ්වෙලා තියෙනවා. ඒක පුංචි කෙවිලියක් ගැන කියපු කතාවක්. පරිසරය වගේම ඒ පරිසරයට ආදරය කරපු අහිංසක සත්තු කොයිතරම් අපේ ජීවිත වලට ලංවෙලා තියෙනවද.... ඒත් අපි ලස්සන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නරකයි.’
සුගත් සහ වින්ධ්‍යා කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක්.
‘‘හෙට මං පුෂ්පගෙ වෙඩින් එකට අදින්නෙ රතුපාට සාරියක්. ඔයා මට කොහොම හරි රතුම රතු ලස්සන රෝසමලක් ගෙනත් දෙන්න ඕන’’ වින්ධ්‍යා සුගත්ට කිව්ව
‘‘මං කොහොමද ඒ වගේ මල් හොයන්නේ”
‘‘මං ඒක දන්නෙ නැහැ. ඔයාට මට එහෙම දෙයක්වත් හොයලා දෙන්න බැරිනම් මං මොකටද ආදරය කරන්නෙ...?’’
‘‘මං බලන්නම් ......?”
‘‘බලන්නම් කියල බැහැ. ඔයාට බැරිනම් කියන්න. මට වෙන කාට හරි කියල කරගන්න පුළුවනි.....”
‘‘හරි හරි ගෙනත් දෙන්නම්කො ....”
සුගත් රතුරෝසමලක් හොයන්න හුගක් මහන්සි වුනා... එත් එයා‍ට කොහෙන්වත් හොයාගන්න බැරි වුනා. හැම තැනම පිපිල තිබුණෙ කහපාට රෝසමල්... අන්තිමේදි, එයා මහන්සිවෙලා මහන්සිවෙලා හිස් අතින් ගෙදර එන කොට පුංචි ගගක් අද්දර කහපාට රෝසමලක් පිපිල තියෙනවා දැක්ක ... ඒත් වින්ධ්‍යට ඕනකලේ රතුම රතු රෝස මලක් .... මොනවා කරන්නද? සුගත් ඒ අසල තිබුණු ගහක් යට වාඩිවෙලා ඒ රෝසමල දිහා බලාගෙන දුක් වුනා.
මං කොහොමද හෙට රෝසමල වින්ධ්‍යය දෙන්නේ...? එහෙම නොදුන්නොත් අනේ දෙවියනේ! එයා මාත් එක්ක තරහවේවි.මගෙන් සදහටම ඈත්වේවි. එයා නැතිව මං කොහොමද ජීවත් වෙන්නේ ....මේ කතාව ඒ අසල සිටි පුංචි කෙවිලියක් අහන් හිටිය. එයා සුගත්ට කතා කලා...
‘‘ නැහැ එයා ඔයා එක්ක තරහ වෙන්නෙ නැහැ. ඔයාට මං දෙන්ම්නම් ලස්සන රතු රෝසමලක්....”
‘‘ඒ කොහොමද ....?”
‘‘ඔයා හෙට උදේම මෙතනට එන්නකො ...” පුංචි කෙවිලිය කිව්ව. එයාට සුගත් ගැන හරි දුකයි. ඒ දෙන්නගෙ ආදරේ වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න තරම් ඒ පුංචි කෙවිලි උදාර වුනා. ඒ ලස්සන රාත්‍රියේ හැම දෙයක්ම නිසල වුනා.
තුෂාරය අභිබවා සද එළිය ගලාගෙන එන්න පටන් ගත්ත. ඒ සද එළියේ සෞම්‍ය රැස් කහපාට රෝසමලේ පෙති අතරට වැටුන. ඒ ලස්සන පෙති සිහින් පින්නෙන් නෑවෙන්න පටන් ගත්ත.පුංචි කෙවිලිය ඒ රෝසමලේ සමීපම කටුව ලගට කිට්ටු වුනා.
‘‘ආදරය වෙනුවෙන් ඒ උදාර මෙහෙය ඉටුකරන්න.” කෙවිලිය රහසින් රෝසමලට කෙදුරුව ....”
‘‘ මං කොහොමද එහෙම කරන්නෙ ...මට රතුපාට නැහැ...”
‘‘මං දෙන්නම් රතුපාට ....”කෙවිලිය ගී ගයන්න පටන් ගත්ත. ඒ මිහිරි ගී රාවය ඈත සුළගේ , නිංසල රාත්‍රියේ , පාවෙන්න පටන් ගත්ත. ඒ අතර ටිකෙන් ටික ඒ පුංචි හදවත උල්කටුවට තද වුනා.ඒ විස කටුව පුංචි හදවත සිදුරු කරගෙන ලේ සොයාගෙන ගමන් කලා......
පහුවෙන්ද හිමිදිරියේ සුගත් මල සොයාගෙන දුවගෙන ආව.... එයා ඈතදිම දැක්ක රතුම රතු ලස්සන රෝසමලක්. ඒ අසලම පුංචි කෙවිලිය හදවත පසාරු කරගෙන මැරිල හිටිය.
‘‘ අනේ දිවියනේ !” සුගත්ට ඉබේටම කියවුනා. එයාට හරි දුකක්, වේදනාවක් හිතට ආව. ඒ එක්කම රතුමල අතට ගත්තම ඔක්කොම එයාට මතක නැතිවුනා. එයා නොඉවසිල්ලෙන්, විශාල ජයග්‍රහණයක් ලැබුව වගේ වින්ධ්‍යා සො‍යාගෙන ගියා.
ඒත් රෝසමල දැක්කම වින්ධ්‍යගෙ මුහුණ වෙනස් වුනා.....
‘‘රතුමලක් මට එපා. මට ඕනෙ කහමලක් මං අද අදින්න හිතුවෙ කහපාට ඇදුමක්.” වින්ධ්‍යා තරහෙන් වගේ කිව්ව.
සුගත්ට කරකියා ගන්න දෙයක් නැතිවුනා. එයා මල විසිකරල දැම්ම.ආපහු දුවගෙන ගියා ඒ සිගිති සතාගෙ පුංචි සිරුර ලගට...එතකොට ඒ පුංචි සිරුර ඩැහැගෙන කූඹි වටවෙලා හිටිය. සුගත් ආදරයෙන් ඒ සිරුර අතට අරගත්ත. පුංචි වලක් හාරල ඒ සිරුර තැන්පත් කරල ලස්සන මලක් ඒ පස්ගොඩට උඩින් ගැහැව්ව.
ආදර කෙවිලියේ ...උඹ තරම් අපි උදාර නැහැ...... උඹේ ජීවිතයට වඩා අපේ ආදරය උඹට ලොකු වුනා. ඒත් පුංචි කෙවිලියේ , ඒ ටික තේරුම්ගන්න මිනිසුන්ට තව කොච්චර කාලයක් යයිද? සුගත් ආයේ කවදාවත් වින්ධ්‍ය හමුවෙන්න ගියේ නැහැ. එයා තවත් කාලයක් ඒ පුංචි කෙවිලිය වෙනුවෙන් පසුතැවුනා, දුක්වුනා.....
උපුටා ගැනීම . සුනිල් රෝහණ තුමන්ගේ ‘හොද ළමයෙක් වෙන්න දුවේ’ කෘතියේ පිටු අංක 73-77 නි.(ගුණසේන ප්‍රකාශනයක්)  
එම පොතෙහි සටහන්ව ඇති ගැහැණු ළමයෙකුට ඉතාම වැදගත් කරුණු ඔබ වෙනුවෙන් මෙහි සටහන් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

February 9, 2012

එපා වෙනවා අනේ


මේක නම් මම අසූ හාර දාහට නැගලා ලියන ලිපියක්. පුරුදු විදියටම අදත් උදේ නැගිට්ටා. ඊයේ රෑ මැදලා තිබ්බ කළු කලිසමයී සුදුපාටයී නිල්පාටයී ඉරි තියෙන අත්දිග බ්ලවුස් එකයී ඇදගෙන වැඩට එන්න ලෑස්තිවුනා. බට්ටි කලිනුත් කිව්වනේ වැඩට එද්දී ටික දුරක් පයින් එනවා කියලා. 

අදත් ඉතිං ඒ විදියට මම හැමදාම බහින තැනින් බැහැලා පයින් ආවා. ඒ එද්දී මම මේ මාසේ ගැන හුගක් හිත හිත ආවේ. පපුවට හුගක් ලං කරගෙන හිටිය තුන් දෙනෙක්ම මම මේ මාසේ සදහටම ඈත් කරලා දැම්මා. මම දන්නෑ ඇයි එහෙම කලේ කියලා. ඒත් හිත හයිය කරන් මම ඒදේ කරා.  පැතුම් කෝටියක් නැතිවුනාට අහස උසට එකම පැතුමක් මගේ හිතේ තියෙනවා. ඒ මගේ රත්තරන් අම්මට සැප දෙන එක. මට ඒ අරමුණ කවදාවත් ඈත් වෙන්න බෑ. ඉලක්කය දිහා බලාගෙන උඩට නගිනවා මිස වෙන කිසිදෙයකට හිත යොදවන්න බෑ. ඉතිං ඒ අරමුණට මාව බලෙන් තල්ලු කරන්න පුළුවන් දෙන්නෙක් හෝ ඉන්න එක ගැන මම සතුටු වෙලා මේ ගමන යනවා ඇරෙන්න බිදුණු හිත් ගැන හිත හිතා ලතවෙන්නේ නෑ කියලා මහ හුගක් කල්පනා කරමින් මම හෙමින් හෙමින් පියවර තිබ්බා. සාමාන්‍යයෙන් බට්ටි හෙමින් යන කෙනෙක් නෙවෙයී. ඒත් ඇයි දන්නෑ අද ආවේ හුගක් හෙමින්. වෙන කල්පනාවක හිටියත් යන්නේ පාරේ කියලා මතකේ තියාගෙන මගේ පාඩුවේ තමයී මම ආවේ. 

ම‍ගේ ලගින් බස් එකක් ගියා. (එකක් නෙවෙයී හුගක් ගියා. මං මේ කියන්නේ එක ගොන් බස් එකක් ගැන හොදද?)   ඉතිං ඒ බස්‍එක මගේ ලගින් යනවත් එක්කම මගේ ඇගට මොනවද වැටුනා. වතුර වගයක් කියලා හිතලා මූණට වැටුන ඒවා මම පිහිදැම්මා. ඊයා ඒ වතුර නෙවෙයි කරබාලා බලද්දී මගේ බ්ලවුස් එක පුරාම බුලත් කෙල. දැන් මම මොනවද කරන්නේ.ඔළුවේ, මූණේ, ඇදුමේ බෑග් එකේ හැම තැනම අර බූරු යකා ගහල ගිය බුලත් කෙල. නිසුපා අක්කා බිත්තර නාලා ඇදුම් මාරු කරන් පන්ති ගියාට මේහේ බට්ටි කොහේ ගිහින් එහෙම වැඩට එන්නද? ආපු කේන්තිය වචන වලට පෙරලුවත් වැඩක් නෑ. කට ඇහෙන්නද? පාරෙ යන මිනිස්සු හිතයී මට පිස්සු කියලා. මම ඉවසන් කෙල ගහපු බූරුවගේ හත්මුතු පරම්පරාවටම හොද හූරන ටිකට් එකක්ම ඇදෙන්න කියලා හිතින් හිතමින් ආවා. ලග කඩයකින් වතුර ටිකක් ඉල්ල ගෙන හොද ගත්තා. ඒත් ඒ කහට යන්නෑ. ෂික් මූණ අල්ලද්දිත් මට අප්පිරියාවේ බෑ. මොනා කරන්නද හවස 6 වෙනකල් වැඩ කරන්න වෙනවා. 


ඇයි මේ මිනිස්සු ‍අනිත් අය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ? ඉස්කෝලේ යන ළමයෙක්ගේ සුදු ගවුමකට ඔහොම වුනානම් ඒ ළමය‍ කොහොමද ඒ ගමන යන්නේ?මනසින් උසස් කියන මිනිස්සු ඇයි මේ කිසිම හිතක් පපුවක් නැති අය වගේ වැඩ කරන්නේ? මම අහලා තියෙනවා සිංගප්පුරුව කියන රටේ පාරේ යද්දී කෙනෙක්ට කෙල ගහන්න ඕන වුනොත් එයා තමන් ලග තියෙන ලේන්සුවකට හරි ගහලා කුණු දානන් තියෙන භාජනයකට ඒක දානවලූ. ඉතිං ඇයි අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ගති සිරිත් නිවැරදි කර ගන්න බැරි. මම කියන්නේ නෑ ඒ මනුස්සයා හිතලම මගේ ඇගට කෙල ගැහුවා කියලා. ඒවගේ වාහනයක් යද්දී එක්කෝ බුලත් විට නොකා ඉන්න ඕන . එහෙම ඉන්න බැරි නම් ‍කාපු එක විසි කරද්දී පොඩ්ඩක් කවුද පාරේ යන්නේ කියලා ‍චුට්ටක් බලලා තමන්ගේ වැඩේ කර ගන්න ඕන. 

ෂික් මට නම් හරිම කේනතියි ඒ වගේම දුකයී. ඇයි මේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන්නේ කියලා. මට මුණ ගැහුන අයගෙන් 95%ක්ම තමන් ගැන විතරක් හිතන අය. අනික් එකා මලත් උන්ට කමක් නැති අය. ඉතිං මේ වගේ අයට ආයෙම මනුස්ස ආත්මයක් ලැබෙයිද? විකාරවගේ අනේ මෙව්වා හිතලා මගේ ඔළුවත් අවුල් වෙලා. 

ප.ලි. මේ මාසේ චුට්ටක් විතර අවුල් වෙලා ඉන්නේ. අවුල් වෙලා කියන්නේ මම මං ගැනම කලකිරිල ඉන්නේ. බ්ලොග් කියවන්නෙත් ගොඩක් අඩුවෙන්. අනේ යාළු‍වනේ ඔයාලගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න  මේ දවස්වල හුගක් අතපසු වෙනවා. මේ මාසේ මට සමාව දෙන්න. ආයේ එහෙම වෙන්නෑ.

February 8, 2012

කෙල්ලෙක් ඕනෙමද?


මේක නම් ඉතිං අර නාහෙට අහන්නැති කාලයක් එන්නේ අන්න ඒ කාලේ  යාළුවොත් එක්ක එකතුවෙලා දීපූ ලණුවක්. හැබැයී ඔන්න කියවලා ඉවර වුනහම කියන්න එපා අපෝ බට්ටි නම් හරි නරක කෙල්ල කියලා. අනේ මේක කලේ ඉතිං අපි සෙට් එකම නිසා මුළු ගානම මගේ එකවුන්ට් එකට නම් දානන් එපා මෙන්න වැන්දා.....
අපේ පන්තියේ හිටියා චන්දන කියලා ළමයෙක්. 10 වසරට විතර එද්දී චන්දනට කෙල්ලෙක් දාගන්න පුදුම පිස්සුවක් තිබුනේ. ජෙල් ගාලා , කොණ්ඩේ උඩට පීරලා, කලිසමත් ඔන්න හැලෙන්න මෙන්න හැලෙන්න ඇදගෙන, මූණ බලන්න පුළුවන් තරම් සපත්තු සුද්ද කරගෙන පුල් සුද්දා වගේ තමයි ඉස්කෝලෙ එන්නේ. ප්‍රින්සිපල් කොච්චර බැන්නත් ළමයෙක් විදියට එන්න කියලා. එයාට ඉතිං එව්වා ඇහෙන්නෑ.
දවසක් අපි යාළුවෝ කට්ටිට ඉන්නකොට එක පිරිමි ළමයෙක් කිව්වා චන්දන කෙල්ලෙක් නැතුව මාර අප්සට් එකේ ඉන්නේ තව ටික දවසක් ගියොත් නම් මූට පිස්සු හැදෙයී අපි එකතුවෙලා මොනවා හරි කරමුද කියලා. ඔහොම ඉතිං කට්ටිය කතා වෙලා පුංචි ප්ලෑන් එකක් හැදුවා.
අපි එකතුවෙලා චන්දනට ලියුමක් ලිව්වා. ලස්සනටම ලියන්න පුළුවන් ගෑනු  ළමයෙක් තමයී මේක ලිව්වේ. චන්දනගේ යාළුවෝ දන්නවා එයා කොහේ හරි ගියහම කෙල්ලන්ට දෙන ඇඩ්රස් එක. දුර ඉදන් ඉස්කෝලෙට එන ගෑනු ළමයෙකුගේ ගෙදර දානයක් තිබුණා. පන්තියේ ළමයි එහේ ගියා. ඉතිං දැන් ලියුම එවන්නෙත් ඒ දානේ ගෙදරදී චන්දන ඇඩ්රස් එක දීපූ ගෑනු ළමයෙක් කියලා තමයී ලියුමේ ලිව්වේ. ඉතිං කට්ටිට එකතුවෙලා ලිව්ව ලියුම අප ඒ ඇඩ්රස් එකටම තැපැල් කරා.
ලියුම යවලා හරියටම දවස් දෙකෙන් වැඩේ ගොඩ. චන්දන එදා ඉස්කෝලේ ආවේ අම්මෝ බදින්න ලෑස්තිවෙන මනමාලයෙක් වගේ. විස්තර කියන ගමන් අපි ටික දෙනා එකතුවෙලා ලිව්ව ලියුම මෙයා ආයෙම අපිට පෙන්නවා. අනේ ඉතිං චන්දන කොයි තරම් ඇන්දිලද කියනව නම් බලන්න මෙච්චර කල් කෙල්ලෙක් නැතුව හිටිය මට ඉදලා ඉදලා හම්බ වුනේ තේඅක්කර 12ක් තියෙන කෙල්ලෙක්නේ කියලා පුල් වර්ණනාව.
අපි ටික දෙනා එකතුවෙලා ආයම ලියුමක් ලිව්වා ඒකේ ලිව්වා , හැබැයි අයියේ ඔයා ඔය ජෙල් ගානවට, කලිසම හැලෙන්න අදනවට, උරහිස ලගින් ෂර්ට් එක නවනවට නම් මම ආස නෑ.පුළුවන් නම් ඒ අඩුපාඩු හදා ගන්න කියලා.
ඒ ලියුම යවලා දවස් ගානක් ගියා. ඒත් ගිය පාර වගේ කොල්ලා ලියුම අපිට පෙන්නනවා තියා එහෙම එකක් ආපු බවක ඉගියක් වත් දුන්නේ නෑ. ඒත් එයා අර ලියුමේ තිබුණු විදියටම වෙනස් වුනා.
චන්දන ලියන ලියුම් ඒ ගෑනු ළමයට දෙන්න කියලා අර අපි දානේ ගෙදර ගිය ළමයට ලියුම් කවරෙක දාලා අලවලා දෙනවා.විහිළුවට පටන් ගත්ත දේ එන්න එන්නම සීරියස් වුනා. එයාට කෙල්ලව දකින්නම ඕන වුනා. ඔය අතරේ ඒ අවුරුද්දේ වැලන්ටයින් දිනෙත් ලංවුනා.  එදාටවත් හම්බ වෙන්න එන්න කියලා චන්දන ලියුම් වල ලියලා තිබුණා. ඒත් කොහොමද ඒක කරන්නේ.
වැලන්ටයින් එකට එයාට යවන්න ලොකු ප්‍රෙමිසස් චොකලට් එකක් චන්දන අරන් ආවා. ඒක් අර ළමයගේ අත‍ටත් දුන්නා ගිහින් දෙන්න කියලා. ඒත් මේ විහිළුව තව වැඩි දුර ගියොත් අපේ ඇස් රතුවෙන බව අපිට ඒ වෙද්දී හොදටම තේරුම් ගිහින් තිබුණේ. ඉතිං අපි එකතු වෙලා එයාට ඇත්ත කිව්වා. ඒ වෙද්දී චන්දන හුගක් හැදිලා හිටියේ. අපි ලියුම් වලින් එයාට හුගක් වෙනස් කරා. පාඩම් වැඩවලට උනන්දු පිළිවෙලට ඉස්කෝලෙට එන ළමයෙක් කලා. ඒත් මේක දැන ගත්තට පස්සේ එයා එයා හුගක් දුක් වුනා. අපි එක්ක කතා කලේ නෑ එදා ඉස්කෝලේ ඉවර වෙනකල්ම. ඊට පස්සේ සතියක් විතර එයා ඉස්කෝලේ ආවේ නෑ. 
පිරිමි ළමයි පුළුවන් විදියට එයාගේ ගෙදර ගිහින් එයාගේ හිත හදලා ඉස්කෝලෙට එක්කර ගෙන ආවා. චන්දර මේ සිද්ධය නිසා අපෙන් ඈත් වුනා. හැබැයී හදා ගනිපු ගතිගුණ ඒ විදියටම තිබුණා. අපි බයේ හිටියේ එයා හිටියටත් වඩා අන්ත වෙයි කියලා. එයා සාමාන්‍ය ‍පෙළත් පාස් වුනා. දැන්නම් ඉතිං එයා බැදලා. ටික කාලයක් ගිහින් එයාට ගැලපෙනම කෙනා හම්බවුනා. අපෙනුත් ඈත් වෙලා හිටියේ ටික කාලයයී. මේ තමයී ඉතිං අපි කෙනෙක්ට දීපූ ලොකුම ලණුව.