Loading...

May 15, 2012

බ්ලොග් එක නැතිවෙයි කියලා බට්ටි හුගක් බයෙන්


අද පෝස්ටුවක් ලියන්න හිතන් නොහිටියත් වැඩ ගොඩක් තිබුණත් ඒ හැම දෙයක්ම අතපසු කරලා මට මේ පොස්ටුව ලියන්නම වෙලා. මොකද සමහර විට බට්ටි මේ බ්ලොග් එකේ ලියන අන්තිම පොස්ටුව මේක වෙන්න පුළුවන් නිසා.ඒක එහෙම වුනොත් මගේ රත්තරන් යාළුවෝ බට්ටි එක්ක තරහ වෙයි. බට්ටි නොකියම යන්න ගිහින් කියලා.
බට්ටි ජීවිතේ කවම දාවත් එක දිගට මෙච්චර ආදරෙන් මොනම වැඩක්වත් කරලා නෑ. බට්ටි කිව්වට දැන් බට්ටිට අවුරුදු 24ක්. පුංචි නෑ.මේ වයසට බට්ටි ජොබ් 9ක් කරලා තියෙනවා.ඒලෙවෙල් වෙනකන් ඉගෙන ගත්තත් බාහිර උපාධිය පළවෙනි අවුරුද්ද විතරක් කරලා බට්ටි නතර කලා. ඒලෙවෙල් ඉවර වෙලා බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ගන්න බැරි වුන බට්ටි කොළඹ ආවා. කෑම කඩේක වැඩට.ඉගෙන ගත්තට එක පාරට කැෂියර් එකට ගත්තේ නෑ.මොප්කරන්න, භාජන හොදන්න තමයි වුනේ. එහෙමයි බට්ටිගේ රැකියා ජීවිතේ ආරම්භ වුනේ. එක එක හේතු නිසා හුගක් කල් කලේ නෑ. උඩ ගෙදර අක්කා කිව්වේ අපලයි කියලා. ඒත් මොන අපලේ තිබුණත් එක ජොබ් එකක් ඉවර වෙද්දී ජොබ් කොහොම හරි හොයා ගනිපු නිසා බට්ටි ගෙදරට බරක් නොවී ජීවත් ‍වුනා.
ඒත් කල හොද වෙලාද මොනව වෙලාද කියන්න දන්නෑ පහුගිය අවුරුදු දෙකේ බට්ටි එක තැනක නතර වුනා. ඒ අදටත් වැඩකරන මේ රස්සාවේ.බට්ටි වැඩ කරන්නේ කොමියුනිකේෂන් එකක. කම්පියුටර් ගැන මෙලෝ දෙයක් නොදැන ආපු බට්ටි දැන් ඇස් පියාගෙන ටයිප් සෙටින් කරන්න තරම් හැම දෙයක්ම ඉගෙන ගත්තා. අම්මා ගෙදර නතර කරන්න ඕන නිසා හොද පඩියක් ගන්න ජොබ් එකකට යන්න ගන්න 12 000 පඩියෙන් මාසෙ 8000ක් දීලා ග්‍රැපික් කෝස් එකක් කරන්න ගියා. තවමත් යනවා. තව මාස 6කින් සහතිකය ගත්තට පස්සේ හොද ජොබ් එකකට යන්න.
ඉතිං මේච්චර කාලයක් බට්ටිව එක තැන රැදෙන්න රස්සාවට වඩා ඉන්න ගෙදර හේතුවක් වුනා. මගේ දුක සතුට හැමදේම එහේ වුනා. ඉක්මනින්න කේන්තියන බට්ටි සමහර වෙලාවට සේරම දාල යන්න හිතුවත් කෑගහල ඇඩුවත් ටික වෙලාවකින් ඒ හැම දේටම ආයෙම ආදරේ කරන්න පටන් ගත්තා. අම්මා ඇරුනට පස්සේ ජීවිතේට එතරම් හෙවණැල්ලක් ලැබුනේ මම දැන් ඉන්න ගෙදර අක්කගෙන් විතරයි.
බ්ලොග් එක පටන් ගෙන අවුරුද්දක් වෙන පෝස්ට් එක ලියන්න බට්ටි ඇගිලි ගැන ගැනයි මේ ටිකේම හිටියේ. බට්ටිගේ ජීවිතේ තිබුණ ලොකුම හීන වලින් එකක් මේ 20 වෙනිදට එළිවෙද්දී අවුරුද්දේ පොස්ටුව ඒ සතුට එක්කම ලියනවා කියලයි හිතන් හිටියේ. ඒත් මොනවා කරන්නද ඒ දේ කරන්න බැරි වෙයිද කියලා බයෙන් ඉන්නවෙලා. කඩේට කට්ටිය එන නිසා මට අඩන්නත් බෑ. ඒත් නොඅඩ මේක ලියන්නත් බෑ. අනේ ම‍ට තේරෙන්නෑ මොනවා කියලා කරන්නද කියලා.
පහුගිය 13 වෙනිදා හරියටම 1 පහුවෙලා විනාඩි 2ක් වෙද්දී බට්ටිට ආපු කොල් එකකින් ආරංචි වුනා බට්ටිගේ බ්ලොග් එක නෑ කියලා. ඒ වෙලාවේ මට දැනුනේ හුස්ම නැවතුනාවගේ. ඉතිං මම ගූගල් එකේ ගහලා බැලුවා. එතකොට පෙන්නුවේත් බ්ලොග් එක ඩිලීට් කියලා. බ්ලොග් එකට ලොග් වෙන්න බැලුවා. ඒත් බැරුව ගියා. අන්තිමේදී පෝන් නම්බර් එක දීලා එකට ආපු කෝඩ් එක ගහලයි ලොග් වුනා. ඉතිං ඒ දේ එහෙම වුනා. ආයෙම මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. මේ දවස් වල මගේ මැෂින් එකේ හුගක් වයිරස් ඒක නිසා එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගත්තා. ඒත් ඊයේ හදිස්සියෙම මූණු පොතට ‍කෙනෙක් ලොග් වුනා කියලා පොන් එකට මැසේජ් එකක් ආවා. ඒ එක්කම මමත් ලොග් වෙන්න බැලුවා. රහස් අංකය රීසෙට් කරලා පොන් එකට කෝඩ් එක ගෙන්න ගෙන මම හවස ලොග් වුනා. අංකේ වෙනස් කරනවා ඇරෙන්න වෙන ආරක්ෂිත දෙයක් කරන්න බට්ටි දන්නේ නෑ. ඉතිං හිතුවා  දැන් හරි කියලා. ඒත් අද උදේ බලද්දී හැම දේම නැතිවෙලා. ඊයේ රෑ රහස්ය අංකේ මාරු කලා කියනවා. මූණු පොතට ලොග් වුන මේල් එකටත් යන්න බෑ.
මට හිතා ගන්න බෑ. බට්ටිට තරහ කාරයෝ හිටියේ නෑ. මේ තරම් දරුණු දෙයක් කරන්න බට්ටි කාටවත් ඒ තරම් වරදක් කලේ නෑ. ඒත් අනේ කවුරු හරි බට්ටිට එහෙම කරලා. හෙට වෙද්දී බට්ටි ආදරෙන් රැක ගන්න මේ බ්ලොග් එකටත් එන්න බැරුව යයි කියලා බට්ටි හුගක් බයෙන් ඉන්නේ. මූණු පොත නැති වුනාට දුක නෑ. ඒත් බ්ලොග් එක නැති වුනොත් හුගක් දුක හිතෙයි. ඒත් බට්ටි නොලිය ඉන්නෙ නෑ. මම ම‍ගේ යාළුවන්ට පොරොන්දු වුනා මොනදේ වුනත් බ්ලොග් එක ලියනවා කියලා. එහෙම වුනොත් අලුතින් එකක් හදන් බට්ටි ලියනවා. අනේ මගේ යාළුවනේ බ්ලොග් එකේ ආරක්ෂාව වැඩි කරන විදිය ඔයාල දන්නව නම් මට කියල දෙන්න. මම මේකට හුගක් ආදරේයි.
මගේ යාළුවනේ මට මේකට එන්න බැරුව ගියොත් මාව අමතක කරන්න එපා. කොළඹට වෙලා ඉන්න මම හැම අතින්ම හිත නිදහස් කර ගත්තේ මේ බ්ලොග් එක නිසා. දුක සතුට කේන්තිය හැමදේම මේ කීබොඩ් එකෙන් අකුරු කරලා හිත සැහැල්ලු කර ගත්තා. හැමෝම පරිස්සමින් ඉන්න.

May 14, 2012

ලොවම හඩයි ...ඔබ නිසලයි....


ඉපදුනොත් කවුරුත් මැරෙනවා. ඒක කාටත් පොදු දෙයක්. එත් ගහක් ගලක් වගේ හිටිය කෙනෙක් මෙහෙම එක පාරට අපිව දාල ගියහම අපි ඒදේ කොහොම උහුලන්නද? ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ලෝකෙ මවලා තියෙන්නේ හරිම අසාධාරණ විදියට. එච්චර හොද හදවතක් තිබුණ ඔබා මාමා අපෙන් සදහටම ඈත් කරන්න ලෝකෙ කුරිරු වෙලා. කොහොමද ඔබා මාමේ මෙච්චර ඉක්මනට ඔයාට නිවන් සුව පතලා බට්ටි පොස්ට් එකක් ලියන්නේ.
ඔබා මාමා මගේ බ්ලොග් ලෝකෙ ඉන්න පතාක යොදයන් තුන් දෙනාගෙන් කෙනක්. මාමා මගේ බ්ලොග් එකට ආපු දවසේ මට කොච්චර සතුටක් දැනුනද..මගේ බ්ලොග් එකේ, වෙන අයගෙ බ්ලොග් වල මාම දාන කමෙන්ට් වලට මම හුගක් වෙලාවට මොනව හරි විහිළුවක් කරලා කමෙන්ට් කරලා එනවා. ඒ මාමා කවමදාවත් කේන්ති ගන්නේ නැති කරන විහිළුවට මාමත් විහිළුවක් කරන බව හොදටම දන්න නිසා.
ඇස් දෙකෙන් එකම එක පාරක්වත් මාමව ‍නොදැක්කට නුඹේ ලෙංගතුකම හැමදාම හිතේ පැල පදියන් වෙලා තියෙයි මාමේ.
ඔබා මාමේ උපදින හැම ආත්මයකම ඔබ අප අතරම ඉපදේවා. නුඹ වැනි තාත්තෙකුගේ දුවෙක් වන්නට මතු උපදින අත්මෙකදිවත් බට්ටි හැකි වේවා! 

May 8, 2012

අජ්ජාපචාවක් ගියෙමි


පුංචි කාලේ සිද්ධි කාලෙකින් මතක් වුනා. ආ මතක් වුනා නෙවෙයි තාත්තා මේ ලගදී ඔන්න කොල් කරලා මේක මතක් කරලා මට විහිළු කලා.අනේ ඉතිං මේක නම් වුනේ බට්ටි බටුම කාලේ. නැත්නම් ඉතිං මේ වගේ මැටි  කතාවක් කියාවිද? මම එහෙම හිතන් හිටියට හැබැයි ඉතිං අදටත් අපේ අසේල පොඩ්ඩි නම් කියන්‍නේ මට BM.ඔන්න ඉතිං තේරුම එහෙම අහනවා එහෙම නෙවෙයි හොදේ.
ඔන්න ඉතිං මේ සිද්ධිය වෙනකොට මම ඊට කලින් කවදාවත් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින් තිබුණේ නෑ. ඉතිං පන්ති භාර මිස් ඇවිත් හැමෝටම කිව්වා අධ්‍යාපන චාරිකාවක් යනවා කියලා.යනවා කිව්වේ ග්‍රහලෝකාගාරේ බලන්න. ඉතිං මිස් කිව්වා යන්න කැමති කට්ටිය ගෙදරින් ලියුමක් අරන් එන්න සල්ලි එක්ක කියලා. මම නම් ඒ වෙද්දී ඔය ග්‍රහලෝකාගාරේ කියන්නේ මොකද්ද කියලා හරියටම දැන ගෙන හිටියේ නෑ. කොහොම හරි ලොකු අක්කා කෙනෙක් ගෙන් ඇහුවහම එයා කිව්වේ අහසක් තියෙනවා.හෙන කළුවරයි. අපිට තියෙන්නේ උඩ බලාගෙන ඉන්න විතරයි කියලා.

එදා ඉතිං ඉස්කෝලේ ඉවර වෙලා මම පිම්මේ දිව්වා ගෙදර. හරියටම ඉස්කෝලේ ලග ඉදලා ගෙදරට තියෙන්නේ මීටර් 400යි. ආ දුර හරියටම දන්නේ ක්‍රීඩා උත්සව කාලෙට මීටර් 400 පටන් ගන්නේ අපේ ගේ ඉස්සරහයින් නිසා. ඉතිං ඔය තරම් පුංචිම පුංචි දුරක් තිබුණට ඉස්කොලෙදි මිස් කිව්ව අර නොතේරෙන වචන ටික ගෙදරට එද්දී බට්ටිට අමතකයි. දැන් ඉතිං මොනවා කරන්නද? 
මතක විදියට මම තාත්තට කිව්වා “අනේ තාත්තේ මටත් අජ්ජාපචාවට යන්න ඕන’’ කියලා.මේක ඇහුව ගමන් තාත්තා පුදුම වෙලා මම දිහා බලලා කියපි
“ඒ කොහේද බට්ටෝ ඒ. කොයි දීපංකරේ තියෙන තැනක්ද ඒ”.
“නෑ අනේ ..මිස් කිව්වා අජ්ජාපචාව කැමති ළමයි සල්ලියි ගෙදරින් ලියුමකුයි ගේන්න කියලා”
ඒක කියපු ගමන් ගෙදර කට්ටිය බඩ අල්ලාන් හිනා. සල්ලි තියා ලිව්වවත් දෙන්නම් නොකියා තාත්තත් හිනා වෙද්දී මට ඉතිං හොදටම කේන්ති ගියා. ඇයි අනේ මොන වරදක් කලාට ද මෙයාලා මේ තරම් මට හිනා වෙන්නේ.
“ ඔව් ඉතිං මම විතරනේ කොහේවත් යවන් නැත්තේ. අනිත් දෙන්නා කිව්වොත් ඕන තැනක යවනවා.”
මෙන්න බොලේ ඒ ගමන අක්කා කියපි
“ හා කියනවා බලන්න කවදද මම ඔය කියන එකේ ගියේ කියලා”
“යනවා යන්න බොරු නොකිය. ඇයි ඉස්කෝලෙන් දහම් පා‍සලෙන් කිය කිය කී පාරක් ගියාද?”
“අයියෝ මෝඩයෝ ඒ අධ්‍යාපන චාරිකානේ”
චිකේ මෙහෙමත් චා  වීමක්. දැන් ඉතිං මොනවා කරන්නද? චා වෙලා හරි කමක් නෑ ගමන යන්න තියෙනව නම්.
“හරි දැන් මොකක් බලන්නද යන්නේ” ඒ ගමන තාත්තා ඇහුවා. කාලා වරෙන්කෝ. මට දැන් යනවා කිව්ව තැනේ නමත් මතක නෑ.  
“මේකයි නිලූ අක්කගෙන් මම විස්තරත් අහන් ආවේ. කළුවරම කළුවරයිලු. අහස තමයිලූ පෙන්නන්නේ. අනේ බෙල්ල ටිකක් බලන් ඉද්දී රිදෙනවා කිව්වා.ඒත් මම ආසයිනේ තරු දිහා බලන් ඉන්න.”
ඒ ගමන නම් කට්ටියටම යන තැන මීටර් වුනා. කොහොම හරිනොදන්න භාෂාවෙන් කියලා වැඩේ යාන්තම් ගොඩ දාගත්තා. එක දවසේ ට්‍රිප් එකකට අපි කොළඹ ආවා. ඒත් මගේ හොදම යාළුවට මගදී කාපු කෑමක් නිසා වමනයක් හැදුනා. වෙන ළමයෙකුගේ අම්මෙක් හිටියත් එයා එක්ක ඉන්න බෑම කිව්ව නිසා මම බස් එකේ නතර වුනා. ග්‍රහලෝකාගාරේ බලන්න ගියේ නැති වුනාට එද්දී ගෝල් ‍ෆේස් නම් ගියා. හැබැයි ඉතිං බට්ටි අදටත් ග්‍රහලෝකාගාරේ නම් බලලා නෑ.
ඔන්න ඉතිං ඕක තමයි බට්ටි ගියපු පළවෙනි අජ්ජාපචාවට වුනේ.:D

May 2, 2012

අවුරුද්ද , බූරුව ගැහිල්ල සහ බෝතලය


ඔන්න කාලෙකින් පොස්ටුවක් කොටන්නයි හදන්නේ. ගිය මාසේ බට්ටි කොයිතරම් කම්මැලි වුනාද කියනව සෑහෙන්න දවස් ගානක් ගිහිල්ලත් පොස්ටුවක් දාලා නෑ. කම්මැලි වුනාද නැත්නම් ප්‍රියයන්ගේ අමනාපකම් වලට නිහඩවුනාද කියලවත් තාම හිතා ගන්න බෑ. කොහොම වුනත් දැන් හරි. සුපුරුදු විදියට ඈලි මෑලි කොටු කෑලි විසිකරලා ඔන්න බට්ටි ලියනවා.
ඒකෙන් මේකෙන් වුනේ බට්ටිගේ ගමේ විස්තර කියන්න බැරි වුන එක. ඔන්න අවුරුදු විස්තර ලියන්න හදන්නේ මැයි මාසෙත් ලැබුවට පස්සේ. අවුලක් නෑ මයේ හිතේ තවමත් අවුරුදු උත්සව එහෙම තියෙනවනේ. අවුරුද්දට නගරේ පාළුවෙලා සේරමල්ල ගමේ යනවනේ. අවුරුදු තියෙන්නේ ගමේ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වුනාට මට නම් මේ පාර ගමේ ගියහම හිතුනේ දැන් ගමෙත් අවුරුදු නෑ කියලයි. සයුරි අක්කා කියලා දුන්නු පංචි කෙලි දැන් නෑ. කැටගහන තැන් හොයා ගන්නත් නෑ. හැමදේම නැතිවෙලා ගිහින්.
ලොකුම ලොකු ඔංචිල්ලා වල පුළුවන් තරම් රුකුල් අරන් උඩ ගිහින් ආපස්සට එද්දී පපුවට දැනෙන පුංචි බයට ඇස් දෙක තදකරලා පියාගත්තත් කොයි තරම් ආසාවෙන්ද අපි ඔංචිලි පැද්දේ. ඒත් දැන් ඔංචිල්ලාවක් තිබුණත් තියෙන්නේ එහෙමත් ගෙදරක විතරයි. ඒකත් පෙර පාසල් යන දරුවාගෙන් බේරෙන්න බැරි නිසා හදල දෙන පුංචිම පුංචි එකක්. 

ලෝ‍කෙ වෙනස් වෙලා. අවුරුද්ද වෙනස් වෙලා. අරක්කු බෝතලේට , බූරුව කූට්ටමට අවුරුද්ද යටවෙලා ගිහින්. බීගෙන බාල් නටන එක අලුත් විලාසිතාව වෙලා. අවුරුදු චාරිත්‍රයට ගනුදෙනු කරන්න පුරුදු වෙලා හිටිය මිනිස්සු අලුත් අවුරුද්ද ලබද්දිත් ගෙවල් වලවත් නොයිද බූරු පිටි වල ඉදගෙන එක පැරදි පහ පැරදි කියනවා. දැන් ඉතිං කියන්න එපා බට්ටිත් බූරුව ගහන තැනක බලන් ඉදලා බූරුව ගැහුවත් එකයි බලන් හිටියත් එකයි කියලා. මං මේ කියන්නේ හිටී ටිකට මුණ ගැහුන අයගෙන අහන්න ලැබුණ දේවල් හොදද? විනෝදෙට අවුරුද්දකට සැරයක් මෙහෙම කරන එක නම් කමක් නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැති එකයි. අවුරුද්දට ගමේ කෙනෙක් බූරුව ගහලා එක්ලක්ෂ අසූදාහක් පරාදයිලූ. ණය වෙලාලු එහෙම කරලා තියෙන්නේ. දැන් ඉතිං ඒ ණය ගෙවා ගන්න බැරි වුනොත් එයාට වෙන්නේ ජීවිතේන වන්දි ගෙවන්න. ඉතිං ඔන්න ඕකයි දැන් අවුරුද්දට වෙච්ච විනාසේ.
අවුරුදු විස්තර ගමේ ඔහොම වුනාට බට්ටියි ගෙදර අයයි එකතුවෙලා අවුරුදු හොදට සැමරුවා. බට්ටිගේ අම්මයි බට්ටියි එකතුවෙලා කැවිලි වර්ග හැදුවා. බට්ටි සුදු අලුවා කන්න හුගක් ආසයි. හැමපාරම බට්ටියි අම්මයි මේ පාරවත් හිච්චි අම්මා හදනවා වගේ රසම රසට කටේදිම දියවෙලා යන විදියට හදනවා කියලා තමයි පටන් ‍ගන්නේ. මොන මේ පාරත් වැඩේ චාටර් වුනා. ගල් බෝරයක් ගැහුවත් කඩන්න බැරි තරම් හයිවුනා. අර වර්ණා හදපු කිරි ටොපි වලටත් වඩා හයියද මන්දා ? :D  යන්තම් ආයෙම ලිපේ තියලා පන දාගෙන හැන්දෙන් පොඩි කරලා  චුට්ටක් විතර වැඩේ ශේප් කර ගත්තා. ආ අපේ දූ පැටියගේ උපන්දිනේ තිබුණනේ. ඉතිං ස්වාමීන් වහන්සේලාට දානයක් දීලා ගිහි පිරිතක් කිව්වා. වෙන පාටි නම් ගත්තේ නෑ. අවුරුද්දට  අම්මගෙන් බට්ටිට මහත් වෙන්න විටමිනුයි, තාත්තගෙන් ඇදුමක් ගන්න සල්ලියි හම්බවුනා. දැන් බට්ටි ජොබ් කරන නිසා නෑයොනම් ඉතිං මුකුත් දුන්නෑ. දුකේ බෑ අනේ. එක  අතකට ලොකු වෙන එකයි ජොබ් කරන එකයි හරිම අවාසියි. :D අම්මෝ අවුරුද්ද දවස්වල තිබුණ වැස්ස නිසා යන්න කියලා හිතන් ලියාගෙන ගිය තැන් වලින් භාගයක්වත් යන්න බැරි වුනා. අන්තිමේදී කොළඹත් ආවට පස්සේ කෝල් කරලා සමාව ගත්තා.
ඔන්න ඉතිං ඔය විදියට ගෙවපු අවුරුද්ද ඉවර වෙලා දැන් ඉතිං සුපුරුදු විදියට වැඩ. ආයෙම ඉතිං දිග නිවාඩුවක් ගන්න අප්‍රේල් මාසේ ඉක්මනින්ම එන්න කියලා පතමින් ඉන්නවා. අලේ හැබැයි ඒක ඉක්මනින් එනවා කියන්නේ ඉක්මනින් වයසටත් යනවා කියන එක තමයි. :P