Loading...

June 25, 2012

හා ...........මූද?


මේ පුංචි කොලෙට කරපු ජොබ් ගොඩ. අම්මෝ මතක් වෙද්දිත් දුකේ බෑ. එක එක ජොබ් එක එක හේතු නිසා අත අරින්න වුනා. දැන් නම් ඒ නරක පුරුද්ද නෑ. දෙයියනේ කියලා දැන් මේ රස්සාවට අවුරුදු 2ක් වෙනවා. අද කියන්න හදන්නේ බට්ටිට මෙහෙම ගිය ජොබ් එකකින් වෙච්ච දෙයක් තමයි. :'(
ඔන්න මේ කියන කාලේ බට්ටි හිටියේ ජොබ් එකක් හොය හොය. ඉතිං යෞවන සමාජෙන් පණිවුඩයක් එනවා අහවල් දවසේ අහවල් තැන ඉන්ටව් එකක් තියෙනවා යන්න කියලා. කියපු තනතුරත් නරකම නැති නිසා වටිනා කියන ගමන් වලට යන්න අරන් තියා ගනිපු රෝසපාට සායයි , හැට්ටෙයි ඇදගෙන තියෙන සහතික ටිකත් අරගෙන බට්ටිත් ගියා මේ සම්මුඛ පරීක්ෂණයට.හරියටම මතක විදියට ඇවිත් හිටියා 18 දෙනෙක්. බට්ටිගෙ වෙලාව එනකල් වාඩි වෙලා හිටියා. ටිකක් මෙහෙම ඉන්න කොට ඔන්න බට්ටිගෙ වෙලාව ආවා. ගිහින් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. හිටපු කෙනා සහතික එහෙමත් අතට අරන් බලලා මෙන්න එක පාරටම කියනවා
“ඔයාට කවද ඉදලද වැඩට එන්න පුළුවන්“
“හෙට ඉදන් වුනත් පුළුවන් සර්“ බට්ටි ඉතිං එහෙම කිව්වා. පඩි ගැන නම් ඇහුවෙම නෑ. මොකද බට්ටි කවදාවත් කිසිම තැනකින් පුරුද්දක් වශයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. ඒකට හේතුව විදියට මම හිතන්නේ තවම අත්දැකීම් ගන්නියක් නිසා ඒ ප්‍රශ්නේ තමන්ට අදාල නෑ කියලයි.
ඉතිං ඊට පහුවදා ඉදලම බට්ටිට වැඩට එන්න කිව්වා. ඒ වගේ ජොබ් එකකට යන පළවෙනි දවස නිසා හුගක් ආසවෙන් තමයි ගියේ. ඒක තේ කර්මාන්ත ශාලාවක්. කරන්න තිබුනේ පොත්වල ගණන් හදන එක, එන කෝල් වලට පිළිතුරු දෙනඑක, දළු සල්ලි ඇ‍ඩ්වාන්ස් දෙන්න, තේ කොල දෙන්න ඔය වගේ වැඩ ටිකක්. පළවෙනි දවසෙම වැඩ ටික අල්ල ගන්න අමාරුවක් වුනේ නෑ. ඔෆිස් එකේ හිටියේ මමයි තව අක්කා කෙනෙකුයි අයිතිකාරකෙනයි විතරයි. තේ හදලා අපිට ගෙනැත් දෙන්න වෙනම කෙනෙක් හිටියා.ඇතුලෙ වැඩ කර අයත් ඉතිං සැරින් සැරේට එක එක ඒවට එනවා ඔෆිස් එකට. වැඩ කරන අනිත් අය මට කිව්වේ චූටි මිස් කියලා.
ඔය විදියට හරිම ආසාවෙන් තමයි ජොබ් එකට ගියේ. මෙන්න තුන්වෙනි දවසෙ යද්දි ඉන්නවා කොණ්ඩේ කොටට කපපු, කලිසමක් ඇදපු මැඩම් කෙනෙක් වගේ කෙනෙක්.මමත් ඉතිං හිනාවෙලා ගියා මම වැඩ කරන කාමරේට. කලින් දවසේ දළුපොත් ටික චෙක් කර කර ඉන්න කොට සර් එක්ක එනවා අර මැඩම් වගේ හිටිය කෙනා. 
‘‘*** ළමයෝ මම නෙවෙයි මේ ෆැක්ටරි එක බලා ගන්නේ මේ මගේ නේනා තමයි.මම වැඩිපුර ඉන්නෙ කොළඹ ඔෆිස් එකේ“
මම කියලා මොනවා කියන්නද මමත් ඉතිං හිනාවෙලා හිටියා. හිනාවුනාට අර මැඩම් නෙවෙයි හිනාවුනේ. ෂිට් ඇයි වදේ මිනිහෙක්ට නිකන් දෙන්න පුළුවන් ඔය හිනාව දෙන්න මොකට දෙපාරක් හිතනවද මන්දා? 
එදා දවසේ පුරුදු විදියට වැඩ කර ගෙන ගියා. සමහර වෙලාවට මට මැඩම්ගෙ රූම් එකට යන්න වුනා එක එක වැඩ වලට. ඉතිං මැඩම් කියා ගෙන තමයි කරන්න යන වැඩේ කියන්නේ. හවස ඕෆ් වෙන්න ලං වෙලා ඔන්න ගියා ඒ රූම් එකට 
“*** අපි මැඩම්ලා නෙවෙයි. අපි හාමුලා. මට හාමු කියන්න. මගේ මහත්තයට හාමු මහත්තයා කියන්න.“
මල මගුලයි. කවදා කාපු ටකරන්ද? :D
‘‘හා හරි මැඩම්“ කෑවනේ වැඩේ පුදන කොටම. ඒ ගමන නම් ඉතිං අහක බලා ගත්තා මිසක් මුකුත් කිව්වේ නෑ. ඇතුලෙ වැඩ කරන අය කියන්නේ ඔහොම කියලා දැන ගෙන හිටියා. ඒත් කවුද හිතුවෙ අපිටත් කියන්න වෙයි කියලා.
ඊට පහුවදත් ඉතිං වැඩට ගියා කියමුකෝ. දැන් ඉතිං උවමනාවක් වුනත් එයා ලගට යන්න හිතෙන්නෙ නෑ. ඒත් ඉතිං නොගිහිනුත් බෑ. පැය දෙක තුනක් මුකුත් නමක් නොකියම යාන්තම් ගෙවා ගත්තා. ඊට පස්සෙ නම් ඉතිං ගිහින් ‘‘මෑ මෑ හාමු මේක අත්සන් කරලා දෙනවද?මෑ...හාමු අහවලා කොල් කරනවා“ඔය විදියට කියලා ෂේප් වුනා. ඇයි අනේ ඔය වචනේ කියලා කවදාවත් කටවත් කතා කරලා තියෙන එකක්යෑ. 
හවස්වරුවෙ තමයි වැඩේ දෙල් වුනේ. මොකද්ද වැඩකට ගිහින් “මැඩම්..“ ඉවරයි මෙන්න මූණ කුණ්ඩ හට්ටියක් වගේ වුනා. 
“** කිව්ව නේද මට මැඩම් කියන්න එපා කියලා. “ පටන් ගෙන වලව් පරම්පරාවම කියවන්න ගත්තා.අනේ බට්ටිත් ඔළුව නවාගෙන අහන් ඉදලා සද්ද නැතුව මේසෙ ලගට ඇවිත් හිටියා. ඒ වෙද්දි නම් කියපු දේවල් වලට හිත මහ හුගක් රිදිලා හිටියේ. 
එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ආයෙ නම් මම එන්නෙ නෑ කියලා තීරණය කරලා. ගෙදර ගිහින් කිව්වා. තාත්තත් මුකුත් කිව්වෙ නෑ නවතිනවා කිව්වහම ‘‘පුදුම මනුස්සයෙක්නේ“ කිව්වා විතරයි. 
ඊට පහුවදා  අපේ ගෙදරට ආවා උඩහ ගෙදර අයියා. 
‘‘මොකෝ බට්ටෝ වැඩට යන්නෙ නැද්ද?“
“මම අයෙ යන්නෑ චූටි අයියේ. මට බෑ හාමු හාමු ගාන්න.කියන්න පුළුවන් වුනත් කාටද ඕක  මතක් වෙන්නේ“
‘‘මොකද බං වුනේ“ 
වෙච්ච සිද්දිය මුල ඉදන් කිව්වා.
‘‘බට්ටො ඔෆිස් එකේ නම්බර් එක තියෙනවද?“
“ඔව්“
“කවුද පොන් එක උස්සන්නේ“
“දැන් නම් ඉතිං මැඩම් වෙන්න ඇති.ඇයි ඒ?“
“ මම ගන්නම් ඕකට කොල් එකක්  අරන් කියන්නම් මෙහෙම ‘‘හා.............මූද මේ පඩි ටොක් දාන කෙනා“
මට ඉතිං එයා ඇදලා පැදලා කිව්ව තාලෙට හිනා. ඒත් ඉති මොන පිස්සුවකට කොල් කරනවද? කියලා හිනාවෙලා, එහෙමම ජොබ් එකට නොගිහින් නිකන් හිටියා.
අනේ මන්දා මට අදටත් තේරෙන්නෙ නෑ මෙච්චට දියුණු වෙච්ච ලෝකෙක එහෙම අදහස් තියෙන අය ඉන්නවද කියලා. හැම වලව්වකම ඉන්න අය මෙහෙමද මන්දා?

June 17, 2012

වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....


ඔන්න ඉතිං එකෝමත්තෙක ගමක හිටියලු දහයකට වුනත් ගහන්න පුළුවන් ගෑනු ළමයෙක්. හැබැයි ඉතිං කටින් තමයිලු.ඉතිං මේ ගෑනු ළමයට පුංචි කාලෙ ඉදලම මාරම පිස්සුවක් තිබුනලූ නර්ස් කෙනෙක් වෙන්න. කවුරු හරි ඇහුවොත් ඔයා කවුරු වෙන්නද ආස කියලා ගත් කටටම කියන්නේ නර්ස් කෙනෙක් වෙන්න ආසයි කියලලු. හේතුව ඇහුවහම කියන්නේ ලොකුම ලොකු අඩි උස සපත්තු දාගෙන ටකස් ටකස් ගාලා යන්න පුළුවන්නේ ඒක නිසා කියලලු. විකට ඇදුම් තරග වලට යද්දිත් ගෙදර බිම පෙරලී පෙරලී අඩන්නේ මට ‍නර්ස් කෙනෙක් වෙන්න ඕන කිය කියාලු. ඒත් ඉතිං නර්ස්ගෙ ඇදුමට හුගක් වියදම් වෙන නිසා මෙයාට හැමදාම විකට ඇදුම් තරගෙ වෙන්න වුනේ කපුමහත්තයෙක්මලූ. ගෙදර තියෙන දුඹුරුපාට කොට් එකයි කළු ලොකු කුඩයයි අරන් ගිහින් හැමදාම මෙයා කියන්නේ
‘‘ඇති දේවල් නැති කර කර
නැති දේවල් ඇති කර කර
අතන මෙතන ගිහින් කියන
මගුල් කපුවා මං”
හැබැයි ඉතිං විකට ඇදුම් තරගෙට ඔහොම රගපෑවට මෙයා අද තාවනතුරු හොදම යාළුවට ඇරෙන්න එකම කපුකමක්වත් කරලා නැතිලූ.:D විකට ඇදුම් තරග වලට වෙන්න බැරි වුන නර්ස් ලොකු වෙලා හරි වෙනවා කියලා හිතාගෙනලු මෙයා හිටියේ. 

ඉතිං නර්ස් පිස්සුව තියෙන මේ වෙන්ඩ නර්ස් නෝනා යනවලු දවසක් තව මිස් කෙනෙක් එක්ක අසනීප වෙලා දැඩිසත්කාර ඒකකයේ ඉන්න මිස් කෙනෙක්ව බලන්න. ඇතුලට යන්න බැරි නිසා විදුරුවෙන් බලන් ඉන්න මෙයා මෙන්න බොලේ හෙමිහිට වීදුරුවට හේත්තු වෙලා බිමින් වාඩිවෙනවලු. ඒක නිසා යාන්තම් නොවැටි බේරුනාලු. ඉතිං එදා මෙයාව එක්කර ගිය මිස් බනිස්, ක්‍රීම් සෝඩා කන්න අරන් දීලා ගෙදරටම ඇරලවලලු ගියේ.
ඉතිං එදා කාපු පරිප්පුව නිසා මෙයා හිතා ගන්නවලු ආයෙම ඉස්පිරිතාලෙකට  යන්න තියා හිතන්නෙවත් නෑ,වෙන්ඩ හිටිය නර්ස්කමත් ඕනෙම නෑ කියලා.‍ඉතිං මේ පුංචි ගෑනු ළමයා ‍ඔන් ජොබ් කරන වයසටත් එනවලූ.
ඉතිං මෙයාට එහෙම ඇවිල්ලා වැඩ කරද්දි හොදම යාළුවෙක්ගේ තාත්තෙක් කළුබෝවිල නතර වෙලා ඉන්නවා කියලා ආරංචියක් එනවලු. ඉතිං මෙයා අම්මා යද්දි අම්මා එක්ක දැන් ලෙඩා බලන්න යන්නලු හදන්නේ. ‘නෑ නෑ ඔයා එන්න ඕනෙ නෑ ඔයා ඉන්න’ කියලා කිව්වත් මේයා කියනවලූ ‘නෑ නෑ අම්මේ දැන් මට හොදට ගඩ්ස් තියෙනවා බය වෙන්න කිසිම දෙයක් නෑ’ කියලා. එහෙම කියලා අම්මා එක්ක ලෙඩා බලන්න යනවලූ.
ඉතිං කාලෙකින් දැක්ක යාළුවගෙ අම්මයි තාත්තයි තව අනිත් ලෙඩා බලන්න ආපු කට්ටියයි එක්ක හිනා වෙවී ඇද ලග හිටගෙන මෙයා කතා කර කර ඉන්නවලු. එහෙම ඉන්න කොට මෙන්න මෙයාගෙ ඇස් දෙක නිලංකාර වෙලා ඉස්පිරිතාලෙ උඩ යනවා පේනවලු. වෙන්නෑ කියලා ආව නිසා දැන් අම්මට කියා ගන්නත් බෑලූ. ඉතිං ඉස්පිරිතාලෙ පෑන් එක නිකන් උඩ යනවා වගේ පෙනවත් එක්කම එයාට මොකද්දෝ වුනාලූ. මූණට වැටිච්ච වතුර නිසා මෙයා ඇස් ඇරිලා බලද්දි නර්ස්ලා , වාට්ටුවේ හිටිය ලෙඩ්ඩු, බලන්න ආපු අය හැමෝම මෙයාව වටකරගෙනලූ. එයා අර බලන්න ආපු ලෙඩාගෙ ඇදේලූ. දැන් ඉතිං මේ ලැජ්ජාවට ඇස් ආයම පියා ගන්න හිතුනත් මෙයා යාන්තම් ඉතුරු කරන් හිටිය ගඩ්ස් ටික අරන් බස්සලූ ඇදෙන් බිමට. එහෙම බැහැලා ඉක්මනින්ම ශේප් එකේ අම්මා එක්ක එනවලු ගෙදර යන්න. එහෙම එද්දී අම්මා කියනවලූ ‘‘කිව්වනේ එන්න එපා කියලා. ‍තව පොඩ්ඩෙන් අර නර්ස් සේලයිනුත් දෙනවා.” මේන්න මෙයා ඒ ගමන කියනවනේ “අපරාදෙ අම්මේ.එහෙනම් අපි හෙටත් ගිහින් ඒ සේලයින් ටික අරන් එමු’’ කියලා.
 
ඔන්න ඉතිං මධු මාමා ඇතුළු පිරිස හූ කියන්න හිනා වෙන්න බෑලු අලී. මේ පුංචි කෙල්ල එහෙම වැටුනට මොකද අනේ සයුරි අක්කගේ ලොකුම ලොකු අයියලත් මෙහෙම වැටෙද්දී.

සැ.යු. ආ දැන් මෙයාට මෙහෙම වෙන්නේ නැතිලූ. මොකද ඩෙංගු මදුරුවෙක්ගෙ පිහිටෙන් මෙයා ඉස්පිරිතාලෙ ගෙදරවගේ කරගෙනලූ..හිකිස්....

June 7, 2012

උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?


අද 2012 ජූනි මස 7 වැනිදා. බට්ටි ඉතිං එනකල් ඇගිලි ගැන ගැන හිටිය දවස තමයි අද. අද පායපු ලස්සන ඉරත් එක්ක බට්ටි ලියන බ්ලොග් එකට පළවෙනි අවුරුද්ද සම්පූර්ණ වුනා. ඉතිං මේ සතුට කොහොම වචන වලට පෙරලන්නද? ඇත්තමයි වෙනද පෝස්ට් ලියද්දි කවදාවත් මම මේ තරම් අමාරුවක වැටිලා නෑ. ලියනවා මකනවා.

බ්ලොග් එකට අවුරුද්දක් එහෙමත් නැත්නම් දවස් 365ක් ඉවරයි. මේ ගෙවිල ඉවර වෙච්ච දවස් දිහා හැරිලා බැලුවොත් සුන්දර මතක වගේම අමිහිරි, මතක් කරන්නත් අකමැති සිද්ධිත් තියෙනවා. හ්ම්..මොනා කරන්නද ? ජීවිතේ හැටිතමයි ඉතිං. නම් ලියලා ස්තූති කරන්න අමාරුයි. එහෙම නම් ලියන්න ගිහින් එක නමක්වත් අත ඇරෙයි කියලා බයයි. ඒත් එහෙමයි කියලා නම් නොලියත් බෑ. මොකද නොලියම බැරි නම් ටිකක් තියෙනවා. මම දන්නවා ඒ නම් ලියලා මම ඒ අයට ස්තූති කරා කියලා මා එක්ක මගේ යාළුවෝ අමනාප වෙන එකක් නෑ කියලා.

බට්ටි බ්ලොග් කියවන්න පටන් ගන්නේ අහම්බෙන්. ඒ කියවන්න ගනිද්දි කොහොමටවත් බ්ලොග් එකක් කරන්න අදහසක් තිබුනෙම නෑ. ඉතිං ඔය විදියට කියවගෙන යද්දි බට්ටි කියවන්න පුරුදු වුනා පුදුමාකාර බ්ලොග් එකක්. ඒ දිල් අක්කා ලිව්ව අතීතයෙන් ඇහුලූ මතක ගොන්න . ඉතිං ඒ බ්ලොග් එකේ අකුරක් අකුරක් පාසා බට්ටිගෙ පපුවට දැනෙන්න ගත්තා. බට්ටිට ඕන වුනා කමෙන්ටුවක් දාන්න. එහෙම කරන්න ඕන නිසයි බ්ලොග් එක හදා ගත්තේ. ඒ ගමන බට්ටිටත් ඕන වුනා බට්ටිගේ ජීවිතේ හැම දෙයක්ම ලියන්න. ‍බට්ටි බ්ලොග් එක ලියන්නේ බට්ටිගේ ජීවිතේ ගැන ලියන්නමයි. ඒත් කාලයාගේ ඇවෑමෙන් අරමුණ වෙනස් වුනා. බට්ටිගේ ජීවි‍තේ ගැන ලියවුන සේරම පෝස්ටු ඩිලීට් වුනා. වෙන වෙන දේවල් ලියන්න බට්ටි පුරුදු වුනා. ගමෙන් ආපු බට්ටි කම්පියුටර් ගැන මෙලෝ හසරක් නොදන්න බට්ටි බ්ලොග් එක හෙමින් කරගෙන ගියා. ලොකුවට ලියන්න දන්නෙ නෑ. ඒත් කීබෝඩ් එක අතර මගේ හිත මේ අවුරුද්ද පුරාම ඔහේ වැනුනා. ඉතිං එහෙම ලිව්ව බ්ලොග් එක දිල් අක්කා එයාගේ කාලය යොදලා හැඩ කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි සින්ඩිවලට නම ඇතුලත් කරලා දුන්නා. ඉතිං දිල් අක්කිට මහ හුගක් පිං. එයා තමයි මගේ බ්ලොග් ලෝකෙ හැමදාම ඉන්න රැජිණ....

සාතන් අයියා තමයි මගේ බ්ලොග් එකට මුලින්ම ආවේ. එදා ඉදන් අද වෙනකල්ම තියන අඩිය හරියටම තියපන් කියලා මට පාරපෙන්වනවා. ඒ විතරක් නෙවෙයි බට්ටිගෙ නමට උඩින් තියෙන  ‘‘නිස්සාර දිවිය සරුසාර කරනට වෙරදරන සුහදිනියකගේ සිතුවිලි’’ කියන ටික ලස්සන අකුරෙන් හදලා දාගන්න විදිය කියල දුන්නෙත් සාතන් අයියා. ඉතිං ඒ සහෝදරකම බට්ටිට ලොකුම ලොකු හයියක්.

බ්ලොග් එක නිකමට පටන් ගත්තට ටික දවසක් යද්දි ලෝගෝ එකක් එහෙම දාලා හැඩ කර ගන්න ඕන වුනා. දැන්නම්  ඒවා කරන්න පන්ති ගිහින් බට්ටි ඉගෙන ගෙන තිබුනට ඒ දවස්වල ඉතිං මොකවත් දන්නෙ නෑ. ඉතිං හිතේ තියෙන අදහස සුදු මල්ලිට කිව්වා(බ්ලොග් එකේ කෙනෙක් නම් නෙවෙයි). ඉතිං කිව්ව විදියටම සුදු මල්ලි ඒක හදලා ටීම්වීව් වල පිහිටෙන් බ්ලොග් එකේ අටවලත් දුන්නා. සුදු මල්ලියගේ ලෝගෝ එක හරිම හැඩයි නේ.. 
  
බට්ටි ජීවිතේ ගැන මහ හුගක් දේවල් මේ අවුරුද්දට බ්ලොග් එකෙන් ඉගෙන ගත්තා. බට්ටිගේ අහිංසකකම දුප්පත්කම නිසා කියලා ආපු අයම එයාලගේ යටි අරමුණු ඉටුකරගෙන යද්දි බට්ටි ඒ හැම දෙයින්ම පාඩම් ඉගෙන ගත්තා. වෛර කලේ නෑ. ජාත්‍යන්තර පාසල් වලට, ලොකු ඉස්කෝලවලට ‍නොගියට බට්ටි ගිය ගමේ පුංචි ඉස්කෝලෙන් බට්ටි ඉගෙන ගනිපු දේවල් හුගක් වටිනවා. ඒවගේ හයියෙන් බට්ටි ගරු කල යුත්තාට ගරු කරන්නත් ,ගරහන පුද්ගලයා ඉදිරියේ නිහඩ වෙන්නත් පුරුදු වුනා. ලෝකය ඉස්සරහ සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න බට්ටිට බැරි වෙයි ඒත් බට්ටිගේ හෘදසාක්ෂිය ඉස්සරයි බට්ටිගෙ පන අම්මාගේ හදවතෙයි හොද කෙල්ලෙක් වෙන්න බට්ටිට පුළුවන්.ඕනවටත් වඩා මිනිස්සු විශ්වාස කරන ජීවිතේට ලං කර ගන්න පුරුද්ද මේ බ්ලොග් එක නිසා අත ඇර ගන්න බට්ටිට පුළුවන් වුනා. අපෝ ඕකට නම් මට වඩා සතුටු වෙන්නේ ඉන්න ගෙදර අක්කා. ගොන් වස්සා ඇති යන්තන් බ්ලොග් එක නිසාවත් ඒක අත ඇර ගත්තා කියලා. :D ඔන්න මේ අවුරුද්දෙ නම් බට්ටිගේ අත්කම් ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. බට්ටි ඉතිං හැමදේටම වඩා ආස දෙයක් තමයි ඒ...

ගිහිපු අයට වඩා බට්ටි වටේ දැන් ඉන්න යාළුවෝ බට්ටිට ලොකු හයියක්. කම්මුල වල ගැහෙනකල් හිනාවෙන්න ඕන වුනහම,ඇස් දෙක රතුවෙනකල් අඩන්න ඕන වුනහම බට්ටි පොස්ට් ලිව්වා. ඒ හැම පොස්ට් එකක් එක්ක දුක සතුට බෙදා ගන්න ආපු මගේ යාළුවෝ හැමෝටම හුගක් පිං. එකම එක දවසක් හරි මේ පැත්තේ ඇවිත් ගිය වචනයකින් හරි මට ශක්තියක් වුන හැමෝටම මහ හුගක් ස්තූතියි..

ප.ලි.
හරි දැන් පාටිය.හැමදාම නෑ හැම තැනමත් නෑ.ඔන්න ගියපාර මදිවුන අයට මේ පාර ඇති වෙන්න දෙනවා.එහෙනම් උපන්දින කේක් එක කපලම ඉමු....
ආ මේ වෙනම කෑල්ලක් හැදුවේ සාතන්ට.නැත්නම් ඉතිං එයා මුලින් ඇවිත් සේරමකයි. ඒකයි..(ඔන්න එයාට කියන්න නම් එපා ඒකට ටිකක් ලුණු වැඩී:P)

ඔන්න දැනුයි පාටිය.....:D 

දැන් බීම..
 ඔන්න මදිපාඩුවක් ‍වුනොත් බය වෙන්න එපා. අද කතා කරලා ඉල්ලගන්න කෙනෙක් ඉන්නවා. අද වැඩ කරන්න ෂාරුක්ට එන්න කියලා තියෙන්නේ..:D  අද නම් හැඩි වෙනකම් පාටි දැම්මට කමක් නෑ අතුගාන්න මධුරිටත් එන්න කිව්වා...:D 

June 1, 2012

අපි හැමෝම වැඩ්ඩෝ තමයි..


මිනිස්සු කියන්නෙ හරිම පුදුම ජාතියක්. ඒ මිනිස්සුන්ගෙ හිත් කියන්නේ හිතන්නවත් අමාරු තරමටම මහම මහ පුදුම දෙයක්. ‍ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු එකි නෙකට කොයි තරම් වෙනස්ද? රූපෙන් , තරාතිරමෙන්,සිතුවිලි වලින් ඒ හැමෝම එකිනෙකට වෙනස්. කෙනෙක් එක දෙයකට හුගක්ම ආසයි අනිත් කෙනා ඒ දේට පොඩ්ඩක්වත් ආස නෑ. හරියට මේ වගේ.අපේ තාත්තා බණ්ඩක්කා කන්න ආසම ආසයි. හැබැයි ඒව හැදුවොත් මම එදාට කන්නෙ නෑ. එකම විදියට ලේ මස් නහර වලින් හැදුනත් කොයිතරම් මේ මිනිස්සු අතර වෙනස්කම් තියෙනවද..? 

අනිත් දේ තමයි මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිය. එහෙමත් නැත්නම් ලද දෙයින් සතුටු නොවීම. තමන්ට නැති දේ ගැනයි හිතන්නේ. අනේ එයාට ලස්සන කාර් එකක් තියෙනවා මට නෑ නේ. ඉතිං ඉන්නෙම හිතෙන් විදව විදවා දුකින්. එයා ලග තියෙන බයික් එකේ අගය යටපත් වෙලා නැති දේ ඇති අගේ ඉස්මතු වෙනවා. හැබැයි මම කියන්නෙ නෑ තමන්ට නැති දෙයක් ලබා ගන්න හීන මවන එකේ වරදක් තියෙනවා කියලා. ඉන්න තැනට වඩා තැනකට යන්න, තියෙන දේවල් වලට වඩා සැපපහසු දේවල් ලබා ගන්න අවශ්‍යතාවක් ඇති කර ගෙන වැඩ කලොත් කවදාවත් එක බැරි වෙන්නෙත් නෑ. මොකද ලෝකය දිනලා තියෙන්නේ අඩියෙම හිටපු මිනිස්සු. ඒත් තියෙන දේ අගයක් නැතුව නැති දේ ගැන හූල්ල හූල්ල ඉන්න එක නම් මහම මහ මෝඩකමක්. සමහර මිනිස්සුන්ට කොයි තරම් තිබුණත් කටේ තියෙන්නෙම නෑ. ඇහුවොත් නෑ. අරකට අච්චර යනවා මේකට මෙච්චර යනවා. අනේ අරක නෑ මේක නෑ කියලා තමයි කියන්නේ. මම නම් තියෙද්දිත් නෑතිවාදන් කියන මිනිස්සුන්ට නම් කැමතිම නෑ. බට්ටිට මහ හුගක් නැති වුනාට තියෙන ටික ඉහටත් උඩින් ඇති. බට්ටි කවදාවත් අනේ මගේ අතේ සතේ නෑ කියලා අද තාවන‍තුරු කියලා නෑ. ඒ ආශිර්වාදෙන්ද කොහේද අද තාවනතුරු නැති වෙලත් නෑ. ඔන්න ඔය හේතුව නිසා තමයි බට්ටිගෙ ගෙදර අය බට්ටිට මහ බැංකුව කියන්නේ. මොකද ඒකෙ නැතිවුනත් මයෙ ලග නැතිවෙන්නෙ නෑ කියනවා ගෙදර අය කියනවා. 

මිනිස්සුන්ගෙ තවත් දෙයක් තමයි තමන් පහත් කොට සිතීම. ඒ කියන්නේ එයා තමයි වැඩ්ඩා එයා තමයි පොර කියලා හිතලා අනේ මම එහෙම නෑ කියලා හිතින් තැවෙනවා. මේකට ලස්සන උදාහරණයක් නිතර කඩේට එන ටියුෂන් සර් කෙනෙක් මට කිව්‍වා. 

‘‘එක්තරා රටක හිටියලූ ගල් වඩුවෙක්. ඉතිං මේ මනුස්ස‍යා මේ විදියට ඉන්නකොට මෙයාට ඕන වුනාලු පොරක් වෙන්න. එහෙමත් නැත්නම් වැඩ්ඩෙක් වෙන්න. ‍එයාට පෙනුනලු සල්ලි තියෙන මිනිස්සු තමයි පොරවල් කියලා.ඉතිං මේ මනුස්සයා මහන්සි වෙලා මහන්සිවෙලා සල්ලි එකතු කරාලූ. එහෙම එකතු කරලා ලොකුම ලොකු සල්ලිකාරයෙක් වුනාලු. ඉතිං ඔය විදියට සල්ලිකාරයෙක් වගේ ඉන්න කොට ඒ රටේ රාජ්‍ය සේවකයො යද්දි මෙයාට කොයිතරම් සල්ලි තිබුණත් ඒ අයට ඔළුව නමලා ආචාර කරන්න වුනාලු. ඉතිං මෙයා හිතුවලූ සල්ලිකාරයෙක් වෙලා වැඩක් නෑ රජතුමාගේ සේවකයෙක් වෙන්න ඕන එයාල තමයි පොරවල් කියලා. ඒගමන සේවකයෙක් වෙලා දක්ෂතා පෙන්වලා තනතුරුවලින් ඉහලටම ගියාලු. මෙයා දැන් ගමන් බිමන් යන්නෙත් දෝලාවෙන්ලූ. ඔහොම දවසක් යද්දි දොලාවෙ ආවරණයෙන් ඇතුලට ඉර එළිය ඇවිත් මූණට වැටෙනවලූ. ඉතිං මෙයා පහත් වෙවී එහෙ මෙහෙ වෙවී ඉර එළියට මුවා වුනාලූ. ඒ ගමන මේ මනුස්සයට හිතුනලූ ඉර තමයි වැඩ්ඩා කියලා. එහෙම හිතලා ඉර වුනාලු.(දැන් ඉතිං අහනවා නෙවෙයි කොහොමද මිනිහා ඉර වුනේ කියලා. මේක කතාවක් අලී. මොකද ඔය පුරස්නෙ මාත් අහලා එයා කිව්වෙත් ඕක. :D) දැන් ඉතිං මෙහෙම ඉර වෙලා ඉන්න කොට එක දවසක් කළු වළාකුලක් ඇවිත් මෙයාව වැහුනලූ. ඒ ගමන හිතුවලූ අනේ ඉර නෙවෙයි වැඩ්ඩා කළු වළාකුල තමයි කියලා. එහෙම හිතලා වුනාලූ කළු වළාකුලක්. එහෙම වෙලා ඉන්න‍කොට මෙයාට නිකන් දැනෙනවලු තමන්ව කවුරු හරි තල්ලු කරනවා වගේ. ඒ ගමන් බැලුවලු කවුද ඒ කියලා. බැලින්නම් සුළගලූ. ඉතිං හිතුවලූ කළු වළාකුල නෙවෙයි වැඩ්ඩා සුළග තමයි කියලා සුළග වුනාලු. සුළග වෙලා ඉන්න‍‍කොට එයාව මහ ‍ලොකු දෙයක හැප්පිලා විසිවෙනවා වගේ දැනුලාලූ. ඒ ගමන හොයල බැලුවලු ඇයි කියලා. බලද්දි ඒක ‍ලොකුම ලොකු කළු ගලක්ලූ. හරි කළු ගල තමයි වැඩ්ඩා කියලා මෙයා කළු ගලක් වුනාලු. ඔය විදියට කළු ගල වෙලා ඉන්නකොට එයාට දැනුනලූ  තමන්ව ටික ටික අඩු වෙනවා පුංචි වෙනවා කියලා. හොයලා බැලුවලූ මොකද වෙන්නේ කියලා. එහෙම වෙන්නෙ ගල් වඩුවෙක් ගල ටිකටික කඩන නිසා කියලා මෙයා දැන ගත්තලූ. ඒක දැන ගෙන ගල් වඩුව තමයි වැඩ්ඩා කියලා ගල් වඩුවෙක් වුනාලූ. ඉතිං මෙයා වටේ කැරකිලා ආයෙම ආවෙ හිටිය තැනටමයි. එත‍කොට තමයිලු තේරුනේ බලන් යද්දි එයාත් වැඩ්ඩෙක් තමයි කියලා”
ඉතිං බලන් යද්දි අපිත් ඒ ඒ පැතිවලින් පොරවල් නෙවෙයිද? 


ප.ලි. පොස්ටුවක් ලියන්න හිතන් හිටියට ඒක කරගන්න බැරි තරමට පන්තියේ වැඩ තිබ්බා. ඒකයි පමාවුනේ. ඔන්න 20  වෙනිදා බට්ටි කිව්ව හීනෙ හැබෑ වුනා. ඒ තමයි බට්ටිට ලැප් ටොප් එකක් ලැබුනා. බට්ටිට ඉන්නෙ එක අක්කෙකුයි එක අයියෙකුයි. අක්කා ඉන්නෙ මැලේසියාවෙ. ඉතිං බට්ටිගෙ අක්කා තමයි හීනෙ හැබෑකලේ. තාත්තා අක්කා අත ඇරලා කොළඹට ඇවිත් ජපානෙ ඩිස්නිලන්තෙ පහල වුනත් ගෙදර අයෙම යන්නෑ කිව්ව මගේ හිත වෙනස් කරලා ගෙදර අය එක්ක එකතු කරන්න ඉන්න ගෙදර අක්කා හුගක් මහන්සි ගත්තා. නිතරම කිව්වෙ ගෙදර අයගෙ මොනව වරද තිබුණත් ඒ අය නැතුව අපිට ජීවිතයක් නෑ බට්ටො කියලා. ඒ මග පෙන්වීමෙන් බට්ටිගෙ සිතුවිලි වෙනස් කරගත්තා. තාත්තා අක්කා ගෙදර හැමෝම එක්ක එකතුවුනා. ඉතිං මට ලැබුණ ලැප් ටොප් එක ලැබුණෙත් ඉන්න ගෙදර අක්කා මාව නිවැරදි ට්‍රැක් එකට දාපු නිසා. ඉතිං අවුරුද්දකට විතර කලින් දැකපු හීනෙ එළිය කල මගේම අක්කට ස්තූති කියන්න මගේ ලග වචන නෑ.මට වගේම අම්මටත්. මේලෝකෙ මගේ හීන එළිවෙද්දි මට වඩා සතුටු වෙන්නෙ අම්මා.  ඉතිං අක්කා ලැප් ටොප් හීනෙ එළි කරද්දී මගේ ජීවිතේට මහ හුගක්  සමීපකෙනෙක් ඩොන්ගල් එකක් අරන් දුන්නා.ඒ ව‍ගේම ලැප් එක් අඩුපාඩු හදලා පන්තියෙ වැඩයි අනිත් වැඩයි කර ගන්න පුළුවන් විදියට සෝෆ්ට් වෙයා දාලා ලැප් එක පාටිෂන් කරල දුන්නෙත් හෘදයාංගම හිතවතෙක්. ඉතිං එයාලට හැමෝටම මහ හුගක් පිං.දැන් ඉතිං බට්ටි හරිම සතුටින්. 

මේ සතුට සමරන්නම ඕනනේ. දුකේදි සැපේදි ලගින් ඉන්න මගේ යාළුවො ටික එක්ක ඇරෙන්න වෙන කා එක්ක සතුට සමරන්නද?  මෙන්න බට්ටිගෙන් හැමෝටම අද කේක්. මමත් පොඩි කෑල්ලක් කපා ගත්තා. කට්ටිය තා නෑනේ...
 චොකලට් හැමතැනම ගාගනිපු අය අත් පිහිදාගෙනම යන්න.:D :D