Loading...

July 21, 2014

යළිත් එන්න

ලියන කවි පද
නුඹේ නමටයි
හෙමින් නුඹ මට කියනවා

ඒත් එහි ඇති
අරුත් හින්දම
හිතට සැකයක් දැනෙනවා

මෙමට නුපුරුදු
ඇයගෙ තතුදෝ
නුඹ ලියන්නේ හිතෙනවා

කමක් නැහැ කවි
කාට ලිව්වත්
මගේ ආලය පුදනවා

ෂොප් එකේ වැඩ කල කාර්ය බහුල කාලෙදි මාසයකට බ්ලොග් පෝස්ට් හතරක් වත් ලියපු මට නිදහසේ සැහැල්ලුවෙන් කරන රැකියාවක් ලැබුනට පස්සේ එක පෝස්ට් එකක් වත් ලියා ගන්න බැරි වුන එක ඇත්තටම හරිම පුදුමයි. බ්ලොග් කියවන්න ලියන්න හිතේ තිබුන ආසාව ලෝබකම උනන්දුව මටත් නොදැනිම මුහුණු පොත අයිති කර ගත්තා. ඒත් තුදු තිස්සෙම බ්ලොග් ලියන්නෙ නෑ කියලා බනිද්දි ඇත්තටම බ්ලොග් එක අත ඇරලා දාල තියෙන එක අපරාදෙ කියලා ගොඩක් හිතුනා. අපි ඒ කාලෙ කොයිතරම් පිස්සු නැටුවද. සයුරි අක්කා දෙන තෑග්ග ගන්න එයා පෝස්ට් එකක් දානකල් ඒක දිහාම බලන් හිටිය කාලය ඇත්තටම හරිම සුන්දරයි. බ්ලොග් නොලිය ඉන්න කාලෙදි මගේ බ්ලොග් සැරින් සැරේට කියවලා හොඳට හිනා වෙන කෙනෙක් තමයි ෆාති. එයා කැමති ඒෆෝ පිටුවක් පිරෙන නොපිරෙන ගානට මම ලියන පෝස්ට් එක හුස්මට කියව ගෙන යන්න. ඉතිං ලියන්න ආසයි ආයෙම. කොහොම හරි මාසෙට එකක්වත්. කියවන්න එන හින්දා මගේ පුරුදු යාළුවෝ හැමදාමත්.

December 31, 2013

ඔයා යද්දි මං අඬන්නද? හිනාවෙන්නද?

ආදරණීය 2013 ,

ඔයා ඉන්නේ සතුටින්ද දුකින්ද කියලා මම අහන්නෙ නැහැ. මොකද ඒක ඔයාවත් දන්නෙ නැති නිසා. ඔයා යන්න කිට්ටු වෙනකල් ඉදලා මම ඔයාට ලියන එක වැරදි ඇති. ඒත් කලින් කිව්වත් දැන් කිව්වත් ඔයා යන වෙලාවට යන එක මම නිසා නතර වෙන්නෙ නැහැනේ. ඒක නිසා කියන්න තියෙන හැම දෙයක්ම දැන් ලියලා එවන්නම්.

හොඳට මතක් කරලා බලන්න. ඔයා එයා එද්දි මම හිටියෙ කොහේද කියලා. මතක නැහැ නේද? මට නම් හොඳට මතකයි. මම ඒවෙලාවෙ හිටියේ පන්සලේ. අධිෂ්ඨාන පූජාවට ගිහිං. පුදුමෙ කියන්නේ ඔයාවගේ තව කීදෙනෙක් ඇවිත් ගියාද? ඒත් ඒ කිසිම කෙනෙක් එද්දි නම් මම පන්සලක හිටියෙ නැහැ. එයාලා එද්දි මම ඔය ටීවි එකේ යන හින්දි ෆිල්ම් එකක් බලනවා , නැත්නම් පෙරව ගෙන සමහර දවසට හොඳට නිදි. ඔය කොළඹ ඔයාලා එද්දි කිරි ඉතුරලා , එක දිගට සද්ද පූජා පැවැත්තුවට අපේ ගමේ නම් එහෙම කරන්නෙ නැහැ. ඉතිං විශේෂයෙන් නැගිටලා ඉන්න දෙයකුත් ගමේ නම් නැහැ. ඉතිං ඔයා ආවෙම ලොකු වෙනසක් එක්ක කියලා මට ඔයා එද්දිම දැනුනා.

ඔයා ඇවිත් කී දවසද ගියේ. කරපු කම්පියුටර් කොස් එකේ සහතික ටිකත් අතට ලැබුනා. එව්වා ලෙමිනේටින් කරපු රස්නේ යන්නත් කලින් අලුත් ජොබ් එකකට කැඳවීමකුත් ආවා. කඩවල්වල අතුගාලා, ‍මොප්කරලා, තේ හදලා, රෙදි වල වර්ණනා කර කර, පොටෝ කොපි ගහලා , රීලෝඩ් දාලා පුරුදු මට ඔයා ඔෆිස් එකක පත්වීමක් අරන් එද්දි හැබෑවටමද කියලා ලොකු සැකයක් තිබ්බා. කොහොම හරි මට ඒක කරන්න පුළුවන් කියලා ඔයා කිව්වම මාත් හිතට හයිය අරගෙන කර කර හිටිය ජොබ් එකට නැවතීම තියලා අලුත් ඔෆිස් එකේ වැඩට ආවා. හරිම නිසංකලංක පරිසරයක නිදහස් ජොබ් එකක්. මම ගොඩාක් ආස කලා. ඇයි බෝඩිම් වල නම් ඉන්න බැහැ කිය කිය හිටිය ම‍ාව ඔයා බෝඩිම් කාමරයකත් කූඩු කරලා මගේ ඒ තිබ්බ මතය නැති කරලා තනියම ඉන්න ඒ ජීවිතයට ආසාව ඇති කලා. ජීවිතේ ගනිපු ලොකුම පඩිය අතට ගත්ත වෙලාවෙ මගේ ඇස්වලට ආපු කඳුළු ඔයා දැක්කා නේද?  මට ඒ වෙලාවෙ නම් ඔයාව තදට බදා ගෙන උම්මා එකක් දෙන්නත් හිතුනා. මොකද එච්චර සතුටක් මට දුන්නේ ඔයා නිසා. 

තව පොඩ්ඩෙන් එක දෙයක් අමතක වෙනවා. ඒක නොකිව්ව නම් ඔයා මට හොඳටම බනී. මගේ කියලා බිස්නස් එකක් පටන් ගත්තෙත් මං ඔයා ආවට පස්සෙනේ. දැන් මං හදන කාඩ් දැක්කම මටත් පුදුමයි. යාළුවොත් ‍ගොඩාක් උදව් කලා ඔයා ගෙනාපු දේ වැඩි දියුණු කරන්න. දන්නවද මට දැන් මැජික් කාඩ් පවා හදන්න පුළුවන් ගොඩක් ටූල් තියෙනවා.

හ්ම්ම්ම් තව මොනාද අනේ ඔයා ඉන්නකොට උනේ. මතක් කරනවකෝ වදේ. සැක් ඔයාට කිසිම දෙයක් මතක නැහැ එතකොට නේ...? මට විතරයි මතක.  :/

ඇයි අනේ තව ලොකු හීනයක් හැබෑ උනානේ, ඔයා ආවට පස්සේ. ඇත්තටම ඔයා එන්න සෑහෙන්න කලින් ඉඳක් ගොඩාක් හීන දැක්කා මං චේන්පොටක් කරට දාගන්න. ඒත් අනිත් අය ඉන්නකොට මට මොන දෙයක් නිසාද මන්දා ඒක කර ගන්න ලැබුනෙ නැහැ. ඒත් ඔයා යන්න කලින් මගේ ඒ හීනෙත් එළි කලා. සත්තකටම ඔයා එද්දි කර ගන්න ඕන කියලා තිබ්බ දේවල් වලට වඩා දේවල් ඔයා මට දුන්නා. දැන් නම් හිතෙනවා මම තරම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න වෙන කවුරුත් නැහැ කියලා. ඇත්තටම ඔයා හිටිය කාලෙදි මට කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැහැ.

හේ හේ ඔයා ඉතිං මාව සතුටින් තියලම අන්තිමේදි දෙන්න තිබුන තෑග්ගත් මමත් නොදැනම දීලා. මගේ ජීවිතේ කාලෙටම කවදාවත් බට්ටි දැන් මහත් වෙලා කියල නම් අහලම තිබ්බෙ නැහැ ඔයා එනකල්ම. හේ හේ ඔයා ඉතිං කෝටු බට්ටි අතුරුදහන් කලානේ. දැන් ඉතිං ඔන්න කට්ටිය කියනවා ඕයිට වඩා නම් මහත් වෙන්න එපා. දැන් නියම ගානට ඉන්නවා කියලා. ඇත්තටම ඔයා දීපු හීනාව හින්දම වෙන්න ඇති ඒ දේ නම් වෙන්න ඇත්තේ.

තව ගොඩාක් ලියුම දිග කලොත් ඔයා‍ට යන්න පමා වෙයිනේ. තව ලියන්නෙ නැහැ ඔන්න මම. අවංකවම හිතේ තිබ්බ හැම දෙයක්ම මම ඔයාට කිව්වා. ඔයා ගියාට ඔයාගෙ මතකය සදාකාලිකව මගේ හිතේ පදිංචිවෙලා තියේවි. හෙට එන 2014 ඔයාට දෙන්න බැරි උන මගේ ජීවිතේ එකම එක බලාපොරොත්තුව මට දෙයි කියලා මම විශ්වාසෙන් ඉන්නවා. ඔයා දිපු හැමදෙයක්ම මම ගොඩාක් ආදරෙන් රැක ගන්නවා.පුළුවන් නම් ඔයා මං වෙනුවෙන් එකම එක දෙයක් 2014න් ඉල්ලනවාද,  මම දුන්න සතුට හැමදාටම බට්ටිට රැක‍ දෙන්න කියලා.
මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා යද්දි මං අඬන්නද? හිනාවෙන්නද? කියලා ඔයාම කියල දෙන්න.

බුදු සරණයි !

මීට ,
ඔයාට ‍මහගොඩක් ආදරේ කරන
බට්ටි

  ප.ලි.  2013දිත් මාත් එක්ක කලින් හිටිය යාළුවෝ හිටියා. අලුතින් ගොඩාක් යාළුවොත් ලැබුනා. බ්ලොග් ලියන එක නම් ටිකක් මඟ ඇරුනා. ඒක හින්ද මුණු පොතට මරණ තර්ජනත් කලා අනේ මගේම යාළුවෝ. ඉස්සරට වඩා දැන් නිදහස තියෙන ජොබ් එකක් කරලත් මොකද මේ ලියන්නෙ නැත්තෙ කියලා හැමෝම බනිනවා. පාළුව මකා ගන්න මූණු පොතෝ පේජ් එක කරන නිසා බ්ලොග් ලියන්න කම්මැලි වෙලා. එන අවුරුද්දෙ නම් දිගටම ලියන්නම්. නිතරම නොලිව්වත් නිතරම ඔයාලගෙ පෝස්ට් බලන්න එන්නම්. කලින් වගේම. ජීවිතේ අමාරුවෙන් අඩියෙන් අඩිය නැගිටින මට හැමදාම හොඳ නරක කියා දෙමින් ලඟින් ඉන්න යාළුවෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! :*   

ඔන්න බට්ටිම හදපු කාඩ් එකක් අලුත් අවුරුද්දෙ ඔයාලා හැමෝටම. හෝව් හෝව් අද පළවෙනියටම කමෙන්ට් කරන කෙනාට ලොකුම ලොකු තෑග්ගක්  දෙනවා.


November 13, 2013

- වැස්ස -

 
- වැස්ස -

නුඹට අකමැති
කියා දැන දැන
කුමට එනවද 
මා යනෙන මඟ 


July 18, 2013

~~~ ආත්තම්මා ~~~

ඇති හැකි තැනක ඇය ඉපදී තිබුනේ
අඟහිගකමක් නම් නැත කිසි විටකදි දැනුනේ
හැඩ වැඩ ඇති ලඳක් ලෙස කල වයසත් ආවේ
කවුදෝ කෙනෙක් ඇගෙ අත රහසෙම ගත්තේ 


ඔහු හා සන්තොසින් කල්යල් ගෙවුනා
දරු පස්දෙනෙක් ඒ නිවසෙහි පිපුණා
දුක්කම් කටොලු නොහිතම හිසමත වැටුනා
නිවසේ සතුට පිටපාරෙන් දුර ඇදුනා  


ඈත දුරක සැමියා රැකියාවකට ගියා
දරුවන් සමඟ ඇය ගමෙහිම රැදුණා
ඇගෙ හද දෙකට පුපුරන පුවතක් ලැබුනා
සැමියා වෙනත් දීගෙක ගොස් තිබුනා


ගමටම ඇසෙන්නට නැත කදුළැලි සැලුවේ
හැම කඳුලක්ම ඇය සිරකර ගෙන සිටියේ
දරුවන් හට හැම සැප දෙන්නට සිතුවේ
කුලී වැඩ නිසා ගෙයි මුට්ටියෙ බත ඉඳුනේ


හිතේ හයිය දින දින වැඩුනා
ගතේ වෙහෙස දරුවන්ගෙන් මඟ ඇරුනා
ඇගෙ නෑයනුත් ඇයහට පිහිටට උන්නා
දරුපස්දෙනාගෙත් කර දඬු උස් වුවා


ලොකු දරුවන්ගෙ ජීවිතෙ සැපටම හැරුනා
පොඩි පුතු ඔහුට ඕනෑ ලෙස වැඩ කෙරුවා
මහ ගෙයි නතර වී පුතු පෙළවහ ගත්තා
අම්මා නමින් ඇය එහි රැදෙමින් උන්නා..


බීමත්කමින් මයි පුතු කල් යල් ගෙවුවේ
ලේලීගෙ බරින් ඇය හරි අඩ අරගත්තේ
දරුවන් ලොකු වෙලත් සැප තව නැත්තේ
මුණු බුරු බරත් ඇයහට නොමිලෙම ලැබුනේ


සැප විදගන්න යන්නට තිබුනා අන් දරුවෙකු ලඟට
එනමුත් යන්න සිතුවේ නැහැ කිසිවිටක
අපේ දෙවෙනි අම්මා ලෙස ලගින් ඉද
අපටම කලා ඇගෙ වග ඇය නොබලාම


අම්මා ගේන පඩිපත නැති උනත් ලොකු
සකසුරුවමින් ඇය හැම වියදම් කෙරුවේ
අපහට බඩ පිරෙන්නට බත් බෙදමින් දීලා
බොරුවට වළඳ අතගා ඇය බඩ වතුරින් පිරවූවා


කොතරම් ගෙතුව මුතු මා පද වැල් අමුනා
ඇගෙ නම් අගය බැහැ කියලා පහදන්නා
අද යම් තැනක අප මේ ලෙස ඉන්නා
ඒ හැම කිරුළ අම්මට මෙන්ම ඇයටත් දෙන්නා


අවුරුදු 87කුත් ගෙවිලා ඇයට
තුන් සරණේ පිහිටෙන් හැක වැඩ කර ගන්න
ඇය වැනි දෙවෙනි අම්මෙක් ලබන්නට
පිං කර ඇතිය අපි තුන් දෙනාම...


දරුවන් ගේන තෑගි බෝග එකතු කරන්
තවමත් මග බලන්නේ ඇය අපි එනකල්
බත් ටික අනා කවමින් අපි ලඟට කරන්
තවමත් සිතන්නේ අපි පොඩි දරුවො කියා


ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....




ප.ලි. විශේෂ ස්තූතිය අඩුපාඩු පෙන්නලා ඒවා නිවැරදි කරගන්න කියා දුන් සඳලි සංකේත්මා අක්කාට 

April 14, 2013

සියලු පැතුම ඉටුවේවා !

 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම.ඔන්න අලුත් අවුරුදු පෝස්ට් එක බට්ටිගේ 100 වන පෝස්ට් එක උනා අහම්බෙන්ම..ඉතිං අවුරුද්දට බට්ටිගෙන් හැමෝටම කේක්..බට්ටි එක් හැමදාම එකට හිටිය මගේ බ්ලොග් මිතුරෝ හැමෝටම හුගක් ස්තූතියි...මේ සහෝදරත්වය ලොකු ශක්තියක් බට්ටිට..