Loading...

September 16, 2011

කෙසේ පිනවන්ද මා ඇගේ හදමඩල ......

අද 2011.09.16 හරියටම තව දවස් 6කින් මගේ ජීවිතේගේ උපන් දිනේ. මගේ ජීවිතේ කියන්නේ මගේ ආදරණිය අම්මා. අම්ම තමයි මගේ පන. සැප්තැම්බර් 22 මගේ අම්මගේ රිදී ජුබිලිය. ඒ කියන්නේ අවුරැදු 50ක් ලබනවා. 
හැම මනුස්සයෙක්ම තමන්ගේ සැදෑ සමයේ නිදහසේ ඉන්නයි ආස කරන්නේ. මගේ අම්මගේ හිතෙත් ඒවගේ හීන කොච්චරනම් හිර වෙලා ඇද්ද? ඒත් නිදහසේ ඉන්න අම්ම‍ට අදටත් වරම් නෑ. පුංචි කාලෙවත් සතුටක් නොලබපු මගේ අම්මා අදටත් දුක් විදිනවා. අම්මා පුංචි කාලෙදිම අම්මගේ තාත්තා ගහකින් වැටිලා මැරැනලූ. ඊට පස්සේ අත්තම්මා ළමයි නෑයෝ වෙන අයගේ ගෙවල් වල නතර කරලා තියෙන්නේ ආර්ථීක තත්වේ එක්ක රැක ගන්න අමාරැ බව දැනුන නිසාමයිලූ. අම්මා බාප්ප කෙනෙක්ගේ ගෙදර නතර කරලා තියෙන්නේ. කොච්චර නෑයො වුනත් එයාලා අම්මව   ඉස්කොලෙ යවලා නෑ. එහේ ළමයි 4 දෙනෙක්. අම්මා තමයි ඒහැමෝ‍ගෙම වැඩ කරලා තියෙන්නේ. පුංචි කාලේ ඉදලම නොසෑ හෙන්න දුක් විදලා. එහෙම ඉන්න කොට ‍තමයි තාත්තාව මුන ගැහිලා එයා එක්ක යාළුවෙලා තියෙන්නේ. ඉන්න ගෙදරින් සතුටක් නැති නිසාම එයා සතුට හොයාගෙන තාත්තා එක්ක හොරෙන්ම ඇවිත්. ඒත් අන්තිමේදි වුනේ කබලෙන් ලිපට වැටුන එක විතරයි. 
තාත්තා අදටත් හරි හැ‍ඩකාරයි. ඉතින් ඒ දවස් වලත් හොද හැන්ඩි පාට ඉදලා තියෙනවා. තාත්තා අක්කා හම්බ වෙනකල් හොදට හිටියලූ. ටිකෙන් ටික තාත්තා නාස්තිවෙලා. ‍හදිසියෙන් බිබී හිටපු එයා හැමදාම බොන්න පටන් ගෙන. අම්මාට උයන බත් ටික කන්න ලැබෙයිද නොලැබෙයිද කියන සැකෙන් හැම දාම ජීවත් වෙන්න වුනා. අක්කට පස්සේ අයියා අයියට පස්සේ මම. අපිත් ඒ ජීවිතේට ඉ‍බේම හුරැවුනා. තාත්තා රන්ඩු වෙද්දි  අම්මා මාත් උස්සගෙන ගේ පිටිපස්සේ කැලේට හරි ලග ගෙදරකට හරි යනවලු. හරියට ඇවිද ගන්නවත් බැරිවයසේ හිටිය මං අම්මා ගිහින් හැන්ගෙන ඕන තැනක කිසිම සද්දයක් නැතුව  පැය ගනන් ඉන්නවලු. 
ඔය විදිය‍‍ට අම්මගේ ජීවිතේ පුරාම දුක විතරමයි සටහන් වුනේ. 
අම්ම‍‍ට දැන් අවුරැදු 50 ක් වෙන්න යනවා. මගේ අම්මා අදටත් ගෙදරක වලං පිගන් හොදනවා. මට පුළුවන් අම්මට කන්න අදින්න දෙන්න. ඒත් ගෙදර ගිහින් කවදාවත් අම්මට සතියකට වඩා සතුටින් ‍ඉන්න ලැබෙන්නේ නැති නිසා ගෙදර යන්නේ නැත්තේ. ම‍ගේ අම්මා තරම් ඉවසන අම්මෙක් මේ ලොකෙ කෙහේවත් නැතුව ඇති. 
අම්මටත් දැන් සැරින් සැරේ ලෙඩ. ‍මට තමයි කොල් කරලා කියන්නේ. අම්මලගට වෙලා අම්ම‍ට සලකන්න බැරි එක මට මානසික වදයක් වෙලා. අම්මට සැපක් දෙන්න ලැබෙන්නේ කවදද කියලා මං හැමදාම හීන දකිනවා. 
අම්මගේ උපන් දිනේ දවසට මට එයාව ගොඩක් සතුටු කරන්න ඕන. අම්මා ඉන්න ගෙදරට මං එදාට යනවා. මම හිතුවේ අම්මගේ අතේ අදටත් මුද්දක් නෑ මම හිතුවේ මුද්දක් අරන් දෙන්න කියලා. ඒත් හරියටම ඇගිල්ලේ සයිස් එක දන්නේ නෑ. බලන් ඇවිත් ගත්තෙත් උපන්දිනේ දවසට දෙන්න වෙන්නේ නෑ. 
අනේ මංදා මට අම්මව සතුටින් තියන්නයි ඕන. මම එදාට මොනවද කරන්නේ ?

26 comments:

  1. සුබ උපන්දියක් වේවා බට්ටි නංගිගේ අම්මට !!!!
    අම්මට හිතේ සතුටක් උදාවෙන දිනය වැඩි ඈතක නො වේවා කියලත් පතනවා.

    ReplyDelete
  2. හ්ම්..... අම්මා වැඩිය දෙයක් බලා පොරොත්තු වෙන එකක් නෑ නෙ නංගි.අම්මාට පුලුවන් නම් එදාට නිවාඩුවක් දාන්න කියන්න.දෙන්නත් එක්ක නිදහසේ කොහේ හරි ඇවිදින්න යන්න. අම්මා කැමති තැනක්,මෙච්චර කාලෙකටයන්න බැරි වුන තැනකට යන්න.

    මුද්දක් අරන් දෙන්න ඕනෙ නම් ඇගිල්ලෙ සයිස් එක ඔයාට යන්තම් මතක ඇති නෙ.ඊට වඩා ටිකක් ලොකු එකක් අරන් දෙන්න. එහෙම ඒවා මං දැකලා තියෙනවා කට්ටිය නූල් බැදලා දාව්වා.

    ReplyDelete
  3. මමත් අර නිසූ කිව්ව කතාවට එකඟයි ,

    අම්මලා අපෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ බට්ටි. අපේ යුතුකම එයාලව හොඳින් බලාගන්න එක..
    අපි අපේ ජීවිත එයාලට සතුටු වෙන්න පුලුවන් විදියට හැඩගස්වගෙන සාධාරණ විදියට උපය ගන්න මුදලින් ජීවත් වෙනව නම් ඒක තමයි එයාලා ලබන ලොකුම සතුට. ඒ නිසා එයාලව සතුටු කරන්න මහ විශාල තෑගි ඕන නැහැ, එක දවසක් අම්මත් එක්ක අම්ම ළඟින් ඉඳලා එයා කැමති තැනක ඇවිදින්න එක්ක යන්න..ඒක එයාට ලොකු සැහැල්ලුවක් ගෙනෙයි...

    ඔයා අම්මට මුද්දක් හදලා දුන්නත්, ඔයා එකතු කර ගත්ත සල්ලි වලින් ඔයා වෙනුවෙන් යමක් හදා ගත්තත් , ඒ දෙකෙන්ම අම්ම කෙනෙක් ලබන සතුට එක සමානයි.
    හැබැයි ඉතින් ඔයා හදල දුන්න මුද්ද අම්ම තමන්ගෙ නැදැ හිතවතුන්ට පෙන්නල " මේක බට්ටි මට හදල දුන්නෙ " කියලා ආඩම්බරෙන් කියලා අහිංසක සතුටක් විඳීවි කියලත් මට හිතෙනවා.........

    අම්මට සුභ උපන් දිනයක්...

    ReplyDelete
  4. අක්කා මන් නම් කරන්නේ අම්මා ගේ තාත්තගේ උපන්දිනේට කාර්ඩ් එකක් හදල හිතේ තියන ඔක්කොම ලියල දෙන එක :)....අම්මව day out එකකට ගෙනියන්න ....අමතක කරන්න එපා අම්මට ගොඩාක් අදරෙඉ කියල කියන්නත් එතකොට එයාලට ගොඩක් සතුටු හිතෙනවා :).....

    ReplyDelete
  5. 1. "අම්මගේ උපන් දිනේ දවසට මට එයාව ගොඩක් සතුටු කරන්න ඕන"

    2. "හැම මනුස්සයෙක්ම තමන්ගේ සැදෑ සමයේ නිදහසේ ඉන්නයි ආස කරන්නේ"

    බට්ටිගේ ප්‍රශ්නෙට උත්තරේ ඔතන තියෙනවා කියා හිතනවා. ලෞකික සතුටකට වඩා ආධ්‍යාත්මික සතුට උසස් බවයි මම හිතන්නේ.

    ReplyDelete
  6. අම්මට සලකන්න තියෙන හොඳම ක්‍රමය තමා ඔයා ඔයාට මුද්දක් දා ගන්න...

    හැබැයි ඉතිං මුද්ද දාගත්තට පස්සේ අම්මව අමතක නොකර මුද්ද දාගත්ත හේතුවත් මතක තියා ගන්න...නැත්තං මුද්ද අයිතිකාරයා හින්දා මුද්ද දාන්න හේතුව අමතක උනොත් ගෝරි ගොඩයි...

    කිව්ව දේ තේරුනාද මංදා..?

    ReplyDelete
  7. බත් උයල පරිප්පු හදලා බෝංචි හදලා තව පපඩමුත් බැදල (මස් ඕනේ නෑ) අම්මට කන්න දෙන්න .... දෙන්නත් එක්ක පන්සලටත් ගිහිල්ල එන්න ..

    ReplyDelete
  8. මම නම් හිතන්නෙ මුදු වලට වඩා එයාව බලන්න ගිහින් එයත් එක්ක දවසක් ගතකරන එක සෑහෙන්න වටින දෙයක් වෙයි...

    ඒ වගේම තමන්ගෙ දරුවෙක් සතුටින් ඒ අය හිටියට වඩා හොඳින් ඉන්නව දකින්න එයා කැමති වෙයි....

    ReplyDelete
  9. කොහොම හරි උත්සාහ කරල ඔයයි අම්මයි එකට ඉන්න ජීවිතයක් පටන් ගන්න බලන්න. ඒක ඔයාට කරන්න බැරි වෙන්නෙ නෑ. අධිෂ්ඨානය මල් ඵල ගැන්වෙනව. ඒ නිදහස තරම් අම්මට දෙන්න වෙන තෑග්ගක් ඔයාට කවදාවත් මේ ලෝකෙන් හොයා ගන්න බැරිවෙයි.

    ReplyDelete
  10. අම්මට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව...
    ඔයාලගේ අම්මා වාසනාවන්තයි ඔයා වගේ හිත හයිය දුවෙක් ලැබුන නිසා..

    ReplyDelete
  11. මටත් හිතෙන්නෙ හොදම දේ තමයි එදාට අම්මා කොහේ හරි එක්ක යන එක.

    …බට්ටි, මම මේ බ්ලොග් එක කියවගෙන යනකොට හිතුනා මේ විදියෙම පවුලක් ගැන මමත් දන්නවා නේද කියලා. වෙලාවකදි හිතුනා ඒ ඔයාලමද කියලත්. හැම දෙයක්ම පුදුම විදියට සමානයි (බට්ටි කියන නමත් ඇතුලුව). එකම වෙනස එයාල ගාල්ලෙ නෙමේ, ඉතින් මම හිතුවා මේ එයාලා වෙන්න බෑ කියලා..

    ReplyDelete
  12. @ මධුරංග
    ඒ දවස පුළුවන් තරම් ඉක්මනට මාත් ඇගිලි ගනිනවා.

    ReplyDelete
  13. @ නිසුපා අක්කා
    අක්කගේ අදහසට ගොඩක් පිං

    ReplyDelete
  14. @ Luckey
    ඔව් මාත් වැඩි පුරම හිතුවේ ඒ ගැන ලගදි අම්මගේ අක්කගේ දූ‍ගේ මගුල් ගෙදර තියෙනවා.ඉතින් හැමෝම ලස්සනට ඉදිද්දී අම්මට දුකක් හිතුනොත් කියලා. බාප්පලගේ ගෙදර මගුල් ගෙදරක් තිබුනා. එදා මං අම්ම‍ට රෝලගේඩ් මාලයයි, කරාබුයි, වළලු 4යි, හවඩියකුයි ගෙනිහින් දුන්න. ඒවා බොරැ රත්තරන් වුනත් එදා අම්මා ගොඩක් සතුටින් ඒවා දැම්මේ.

    ReplyDelete
  15. @ bingo
    කාඩ් එකක් නම් අන්වාර්යයෙන්ම හදනවා. මොකද මම අතින් හදපු උපන්දින කාඩ් විකුණනවත් එක්ක. ඉතිං එදාට මං ලෝකේ තියෙන ලස්සනම කාඩ් එක හදලා අම්ම‍ට දෙනවා.

    ReplyDelete
  16. @ Chanaka Aruna Munasinghe
    ඒත් ඒ සතුට අම්ම‍ට ලබා දෙන්න තරම් මං තවම පිං කරලා මදී.

    ReplyDelete
  17. @ මාරයාගේ හෝරාව
    මම මුද්දක් දා ගන්න කලින් සිය දහස් වාරයක් හිතන්න ඕන අයියේ. මේ ලෝකේ ඒතරම්ම දරැනුයි. අම්මාගේ ජීවිතේ දිහා බලන් ඉදලම ඒ මුද්දක් දා ගන්න ආසාව මගේ හිතෙන් ගොඩක් දුර ගිහින් තියෙන්නේ.
    සමහර විට අයේ කාටවත් ආදරය කරන්න බැරි තරම්ම. මට අම්මව සතුටින් තියාගෙන ජීවිත කාලෙම වුනත් තනියෙන් ඉන්න පුළුවන්. ඒ තරම් මේ හිත හයියයි.

    ReplyDelete
  18. @ Tanikada
    අම්මෝ මං උයපුවා කෑවොත් ඉන්න හම්බෙන්නෑ. ඒව කන්න පුළුවන් ඉතින් මටම විතරයි.ඒකත් ඇස් පියා ගෙන.

    ReplyDelete
  19. @ සාතන්
    ඔව් ඔයා හරි

    ReplyDelete
  20. @ ``` Outsider```
    ස්තූතියි මගේ යාළුවේ

    ReplyDelete
  21. @ Dinesh
    අම්ම දකින පාට නොගෑවුනු එකම හීනේ මං. අනිවාර්යයෙන්ම මල්ලියෝ මං ඒ හීනේ සීරැවට පාට කරනවා. මට ඒක කරන්න පුළුවන්.

    ReplyDelete
  22. @ Sayuri
    මගේ බ්ලොග් එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. පුදුමයි ‍මන් හිතුවේ මේ තරම් දේවල් කාටවත්ම වෙලා නැතුව ඇති කියලා. මගේ ප්‍රාර්ථනාව වුනෙත් කාටවත් වෙන්න එපා කියලා.

    ReplyDelete
  23. ඔව් ඒක ඇත්ත...
    ඒත් හරි තීරනයක් ගත්තොත් මං හිතන්නේ ඒක තමා හරිම විදිය..එහෙම නැතිව මේ යන තාලෙට ඔයා හිතනවද අම්මටයි ඔයාටයි එකට ජීවත් වෙන්න තව කොච්චර කාලයක් යයිද කියලා.සමහර තැන් වලදී අවදානමක් ඇතිව උනත් සමහර තීරණ ගන්න වෙනවා...

    හරි ඒක පැත්තකට දාමුකෝ..දැන් අනිද්දට ඇත්තටම මොකක්ද ප්ලෑන් එක..?

    ReplyDelete
  24. @ මාරයියා
    ඒ වුනත් අයියේ මට තව ගොඩක් දේවල් තියෙනවා කරගන්න. චේන් එකේ ඉදන් හැම දෙයක්ම මං ගොඩනගා ගන්න ඕන. ඒ තීරණය ගන්න කොට මං අනිවාර්යයෙන්ම ස්ථාවර වෙන්නම ඕන. කවදාවත් කාටවත් වචනයක් නොකියන තැනක ඉන්න ඖන. එදාට මං ඒ අවදානම ගන්නවා. අම්මා වෙනුවෙන් නොගෙන බැරි වුනොත්.
    හේ හේ ඒක රහසක්

    ReplyDelete
  25. මමත් හිතනවා අධ්‍යාත්මිකව දෙයකින් අම්මව සතු‍ටු කරන එක හොදයි කියලා...
    පන්සල පැත්තේ එහෙම එක්ක යන්න...
    අම්මට වටින්නේ නිදහස ,මට හිතෙන්නේ එහෙමයි....
    ඔයාගේ අරමුණ සාර්ථක කරගන්න උපරිමයෙන් සුභ පතනවා....!!!

    ReplyDelete
  26. බට්ටි මම මේ පෝස්ට් එකට ඇඩුන නිසා මම මේ ටික ලියල යන්න ආවෙ.. මම අහම්බෙන් ඔයාගෙ මේ පෝස්ට් එකට අවෙ.... මට මුකුත් කියන්න නෑ බට්ටි... මගේ ජීවිතේ සහ පවුල් පරිසරයත් ඔය වගේම තමා....

    ජීවිතය සුන්දරයි...

    ReplyDelete