Loading...

December 30, 2011

කිරි ඉතිරේවා! එන අවුරුද්දේ...


ජීවිතේ හුගක් විදපු චුට්ටක් විතර විදවපු තව එක අවුරුද්දක් ගෙවිල යන්න තව තියෙන්නේ හරිම පුංචි පැය ගානක් විතරයී. බට්ටි බ්ලොග් ලෝකෙට පය තියපු 2011 බට්ටිට නම් මහහුගක් වටිනවා. හැමදාම බට්ටි හිටියේ තියෙන ටික ඇති කියලා සතුටින්.
හිතේ තිබුණ හුගක් දේවල් ඉටුනොවුනත් නොහිතපු දේවල් බට්ටිගේ ඉටුවුනා. බට්ටි හිතන් හිටියෙම නෑ ගෙදර යන්න. ඒත් බට්ටි ගියා. ඒක මට ලොකු සතුටක්.
ජීවිතේ කියන්නේ සතුට. සතුට විතරමයී.
බට්ටි අඩියෙන් අඩිය නැගිටින්න වෙර ගනිද්දී මෙහේ මං ඉන්න ගෙදර අක්කා ඒකට ලොකු හයියක් වෙනවා කියලා මම ඔයාලට කියන්නම ඕන. ලගම නෑයෙක් නොවුනත් මට ටිකක් දුරින් නෑයෝ වෙනවා. අද කාලේ හැමෝම ඕනම දෙයක් කරන්නේ මොකක් හරි වාසියකට. ඒත් මම නැවතිලා ඉන්න ගෙදරට ඇත්තම කියනව නම් අද වෙන තුරු කිසිම මුදලක් දීලා නෑ. ඒ වගේම ඒ අය මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට හැම වෙලාවෙම කියන්නේ මගේ දෙයක් කර ගන්න. කවද හරි  එහේ ඉදලා රෝයල් වෙඩින් එකක් අරගෙන යන්න ඒක තමයී එයාලට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග කියලා.
අපේ සුද්දී ගැන කියන්න බැරි වුනානේ. මගේ මෙහේ ගෙදර ඉන්න හුරතලී. මගේ නංගා පැටියා. ඇත්තමයී මගේ ජීවිතේ හුගක් දුක තුනී කරන්න අපේ නංගා පැටියා හරිම දක්ෂයී. තාම P Grade ඉන්නේ.එයාගේ හුරතල් වැඩ ගැන ලියනවනම් මට ඒ වෙනුවෙන් වෙන බ්ලොග් එකක් හදන්න වෙනවා. ආ කියන්න බැරි වුනානේ එයා හොද ඉංග්‍රීසි මිස් කෙනෙක්. අම්මටයී මටයී අත්තම්මටයී ඉංග්‍රීසි උගන්නනවා. අම්මෝ ඒ වෙලාවට නම් හරිම වසයී. වැරදිලා හරි සිංහල කතා කලොත්  වයී යූ ටෙල් සිංහල ? යූ ගෝ ගමේ ස්කූල් කියනවා. ඒක නම් එයාට පොඩි වරදක් කලත් අම්මා කියන දෙයක්. හැබැයී ටීචර් කොයි තරම් හොදයිද කියනව නම් සිංහල කතා කරන්න බැරි නීතිය අත්තම්මට දාලා නෑ.
වැඩ පලේදී නතර වෙලා ඉන්න තැනදී දුක හිතෙන දේවල් වෙන්නෙම නැත්තේ නෑ. එහෙම වෙනවා. ඒත් කොහොමත් ඒක ලෝක ස්වභාවය අංග සම්පූර්ණ කිසිම දෙයක් නෑ. මට දුක හිතුන වෙලාවට මම එකම කෙනෙක්ට මැසේජ් එකක් යවලා කියනවා. හැබැයී ඉතිං රිප්ලයී නම් නෑ. ඒ එයාගේ හැටි. මට මොකෝ මටත් ඕන මේ හිරවෙලා තියෙන හිත නිදහස් කර ගන්න නේ. ඕව කියද්දී බනින කෙනෙක් නැතුව එහෙම සද්ද නැතුව ඉන්න කෙනෙක් ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද?
බ්ලොග් එකේ යාළුවෝ හැමෝටම හුගක් පිං මා එක්ක ඉන්නවට. නම් වශයෙන් කියන්නේ නෑ. එක නමක්වත් මග ඇරුනොත් කියලා මට බයයී.
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. මගේ හිතේ තියෙන පැතුම් වගේම ඔයාලා හැමෝගෙම හිතේ තියෙන හැම පැතුමක්ම 2012දී ඉටුවේවා කියලා බට්ටි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 

December 26, 2011

පෑන් රදවනයක් හදමු ....


ඔන්න අලුත් අවුරැද්ද එන්න කලින් ඔයාලගේ මේසේ පුරා විසිරිලා තියෙන පෑන් ටික දාලා මේසේ ලස්සන කරන්න පුළුවන් දෙයක් තමයී මම අද කියලා දෙන්න හදන්නේ.ලැප් එකයී තියෙන පොත් ටිකයී අනිත් කළමනා ටිකත් තියලා මේසේ උඩ තව මල්වාස් එකකුත් තියන්න ඉඩ ඉදිවෙන්න පුළුවන්නේ. ඉතිං මං කියල දෙන එක හදා ගත්තහම පොඩි පොඩි දේවල් ඒකට දාගෙන මල්වාස් එකක් විදියටත් මේස උඩ ලස්සනට තියා ගන්න පුළුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය 
කිරිපිටි පෙට්ටියක්. (කිලෝ එකේ කිරි පිටි පැකට් එකට එන පෙට්ටියක්) 
ටූත් පික්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්
 කතුරක්
A4  

සාදන අයුරැ 
පහත රෑපයේ දක්වා ඇති ආකාරයට කිරි පිටි පෙට්ටි කපා ගන්න.


ඉන්පසු එය වටා ටූත් පික් අලවා ගත යුතුයී. ටූත් පික් තට්ටු දෙකකට අලවා ගන්න. (පහත රෑපයේ පෙන්වා ඇති සේ) 


ඉදිරිපස සහ දෙපැත්තේ ටූත්පික් අලවා ගැනීමෙන් පසුව ‍හොදින් වේලීමට තබන්න. 
ඉන්පසු එය වටා මල් අලවා ගත යුතුය. 
මල් වර්ග හා කොල වර්ග කිහිපයක් මේ සදහා උපයෝගී කර ගෙන තිබේ. එම මල් වර්ග සියල්ලම ඡායා රෑප සමග කියා දීමට අවශ්‍ය බැවින් මෙම පෝස්ටුවේ එය ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන අතර දුරකතනය යතා තත්ත්වයට පත් කර ගත් විගස එම පාඩම ඉදිරිපත් කරන්නට පොරොන්දු වෙමි. 
පෑන් රදවනය සාදා නිමකර ගත් පසු රෑප පහත දැක්වේ. ( ඔයාලට පෙන්නන්න ඕන නිසා වැඩ කරන තැනට මේක අරන් ඇවිත් ඒකේ තියෙන කැම් එකකින් තමයී මේ ෆොටෝ ටික ගත්තේ) 

( ප.ලි. මම මේක හැදුවේ මගේ හිතවතියකගේ උපන්දිනේට තෑගි කරන්න. භාගෙට උගන්වපු එක ගැන නම් බනින්න එපා. බට්ටිට සමාව දෙන්න.)

December 21, 2011

ගමනේ විත්ති....02


ඔන්න ඉතිං ටිකක් කළුවර වැටීගෙන එද්දී මගුල් ගෙදරට ආවා. අම්මගේ පැත්තේ නෑදෑයෝ හැමෝම එතන. මෙන්න ඉතිං අවුරුදු 1 ½ කින් දැක්ක බට්ටිගේ හැඩවැඩ අඩුපාඩු හැමෝම එකතුවෙලා කියවන්න ගත්තා. හුගදෙනෙක් කිව්වේ කළුවට හිටිය කෙල්ල මෙන්න බොලේ කොළඹ ගිහින් සුදුවෙලා කියලා. කෙට්ටුවෙලා කියලා දාහක් කිව්වත් මොකද සුදුවෙලා කිව්වහම ඇතිනේ. කට්ටිය එක්ක කතා කරලා ඉවර වෙලා මං සෙට්වුනේ ජනෙල් වලට කර්ටන් දාන්න. ඉස්සර ඒව වගේ නෙවෙයිනේ දැන් ඒවා ලේස් එකක් දාලා තව එකක් දාලා ඊටත් උඩින් තව එකක් දානවනේ. කොහොම හරි ඔව්ව ඔක්කෙම හිටගෙන කරන්න පුළුවන්ද? මං ඉතිං පෝරුව උඩින්ම වාඩිවෙලා කර්ටන් ටිකකේ කොකු හයිකරා. ඒකටත් පින නෑ. අපේ නැන්දා කෙනෙක් ඇවිත් කිව්වා හා හා බහින්න බහින්න ඕක උඩ නගිනන් හොද නෑ කියලා. බැහැලා ආවට වාඩි වෙන්න තිබුණේ සෙටි බෑග් එක හදපු පුටුව විතරයි. ඉතිං ඉදගත්තා ඒකෙන්. එපාර වෙන එක්කෙනෙක් ඇවිත් කියනවා අනේ අනේ දන්නැද්ද ඕකේ තනියම වාඩි වෙන්න හොද නෑ කියලා. ෂික් මේ මොන කරදරයක්ද මං ඔක්කොම රෙදි ටික අරගෙන නිවී සැනසිල්ලේ බිම ඉදගෙන වැඩේ ඉවර කලා.
ඔන්න ඉතිං මගබල බල හිටිය දවස උදාවුනා. ඇත්තම කියනව නම් මගුල් ගෙදරට සති 3කට විතර කලින් තමයී මම එදාට අදින්න ගවුමක් ගත්තේ.ඔය ගවුම 18 ගමනක් විතර ඇදලා කණ්නාඩිය ඉස්සරහ හැඩ බලබල තමයී හිටියේ ගනිපු දවසේ ඉදන්ම. ඕක මට තියෙන පුංචි පහේ ‍රෝගයක් කියලා තමයී අපේ අයිය නම් කියන්නේ. අලුතින් ඇදුමක් ගත්තහම ඔය වගේ තමයී. ඒත් නැන්දා මගුල් දවසේ ඇහුවා කී පාරක් ගවුම ඇදලා හැඩ බැලුවද කියලා. අනේ ඉතිං එහෙම කලින් හැඩ බලන්නේ මගුල් දවසට මට මගේ හැඩ බලන්න වෙන්නේ නෑනේ අනිත් අයගේ හැඩනේ බලන්න වෙන්නේ ඒකයී. කොළඹින් ගොඩක් දෙනෙක් මගුල් ගෙදරට ගිහින් හිටියා. ඔන්න ඉතිං බට්ටි කෙල්ල හා හා පුරා කියලා පොඩි අක්කගේ වෙඩින් එකට එයාලට කියලා මේකප් එකක් දාගත්තා.(හරි හරි මං දන්නවා මේකප් කරාට උපන් කැත යවන්න බෑ කියලා නේ දැන් ඔයාලා හිතන්නේ. මං මේ බැලුවේ ඒක වෙනස් කරන්න පුළුවන්ද කියලා විතරයී.)
මගුල් ගෙදර දුවලා පැනලා මාත් වැඩ කලා. ආ වෙඩින් කේක් බෙදන්නයී Thank you card බෙදන්නයී දුන්නෙත් මට. ඔන්න මං ගැන වැරදියට හිතන්න එපා හොදද මං මුලින්ම කලේ මෙහේ ඉන්න යාළුවෝ 4 දෙනාට වෙඩින් කේක් පෙට්ටි 4යී මට Thank you card එකයී අරන් තියා ගන්න එක.
කට්ටිය කාලා බීලා ඉවර වුනහම තමයී හොදම හරිය. කොළඹින් ආපු අයයී මනමාලයගේ පැත්තේ ආපු සමහර අයයී අපේ ටික දෙනෙකුයී නටන්න පටන් ගත්තා. හොදම සිංදුවක් යද්දී තමයී නටන්න ගත්තේ. එකම එක සිංදුවයී ගියේ මෙන්න බොලේ ඊලගට වයසක අංකල් කෙනෙක් කියන්න පටන්ගත්තේ නැතැයී සැදෑසමයයී ජීවිතේ කියලා. එව්වට ඉතිං නටන්න තියා වැනෙන්නවත් පුළුවන්ද? එක සිංදුවක් ඔහොම වුනාට මොකද ඊලගට බෑන්ඩ් එක කියයී කියලා හිතුවේ. මොන වෙන එක්කෙනෙක් නැග්ගා ඒක ඊට එහා.ඊට පස්සේ ටිකක් සප්පයම් වෙච්ච මනමාලයගේ පැත්තෙන් ආපු එක්කෙනෙක් නැගලා සිංදු පෝලිමක් කිව්වා. මනමාලිටත් හොදටම කේන්ති ගිහින්. සල්ලි දීලා මං බෑන්ඩ් එකක් ගෙනාවේ එයාලගේ ගායනා හැකියාව ප්‍රදර්ශනය කරන්න නෙවෙයී කියලා එයා බනිනවා. එව්ව ඉතිං අපිට විතරයී ඇහුනේ. බැරිම තැන කොළඹින් ගිය කටකාර කෙල්ලෙක් ලගටම ගිහින් කිව්වා අයියෝ ඔයා ඕකෙන් පස්සෙවත් බහින්න කියලා. ඊට පස්සේ තමයී මෑන් බැස්සේ. ආයෙ ඉතිං නටන්න සිංදු 2ක 3ක් වගේ තමයී දාන්න වුනේ මොකද මංගල සභාව තියන්න ලෑස්තිකලා.
මංගල සභාවේදී ඔන්න ඉතිං බට්ටි සුපුරුදු පරිදී නා ගත්තා. ඒ කිව්වේ කේක් කෙසෙල් ගෙඩි අල්ලලා කේපි ඇල්ලුවේ මං. අන්තිමට ගෙනියපු වීදුරු ටිකේ හැප්පුනානේ අවු.35ක විතර පොඩි එකෙ‍ක් ඇවිත්. මොනවා කරන්නද? හොද වෙලාවට වැඩිය රස්නේ තිබුනේ නෑ. නැත්නම් ඉතිං ඉවරයී. ඇදුම තෙමිලා බේරුනා.එක වීදුරුවක්වත් වැටෙන්න නම් දුන්නේ නෑ. 

කොයිතරම් සතුටින් හිටියත් පොඩි අක්කා අපෙන් සමුගෙන යන්න යන මොහොතේ ඇස් දෙකට ආපු කදුළු නතර කර ගන්නම බැරිවුනා. මං එයා බදා ගෙන හොදටම ඇඩුවා. අපේ අක්කටත් වඩා ම‍ට එයා ගොඩක් සමීපයී. මෙහේදී හැම වෙලාවෙම මාව බලා ගත්තේ එයා. එයා ආයේ කොළඹ එන්නේ නෑ. එයා මාව බදාගෙන කිව්වේ බට්ටියේ ඔයත් මං වගේම හොදට ඉන්න කියලා. උහුල ගන්න බැරි දුකක් වුනත් එයාගේ අනාගතේ වෙනුවෙන් කවදා වුනත් ඒ ගමන යන්න වෙන නිසා හිත හදා ගෙන මං මෙහාට වුනා.   

December 19, 2011

ගමනේ විත්ති...

14 වෙනිදා 11.30 වෙනකල් වැඩ කරලා තමයි යන්න පිටත් වුනේ. ගෙදරට යද්දී හරියටම 5.30 .ගමනේ දුර එහෙනම් ඔයාලා හිතා ගන්නකෝ. ආ කලින් පෝස්ට් එකේ ලියන්න බැරි වුනානේ මං ඇයි මේ කලබලේ ගමේ ගියේ කියලා. අපේ ලොකු අම්මගේ දුව ඒ කියන්නේ මං මේ දැන් කරන ජොබ් එක මට හොයාදුන්න අක්කා එයාගේ වෙඩින් එක තිබුනා.  ඒකේ විස්තර තමයි වැඩි පුරම කියන්න තියෙන්නේ.
අලුත් අවුරැද්දට ගෙදර ගියේ නෑනේ. පුංචි ගැස්මක් හිතේ තිබුණා. කෝක වුනත් කමක් නෑ කියලා ගිය ත්‍රීවිල් එකෙන් මං බැස්සා ගෙදර ඉස්සරහම. අම්මා මගුල් ගෙදර ගිහින්. තාත්තා විතරයී ගෙදර හිටියේ. වෙනසක් නෑ. තාත්තත් එක්ක මං කතා කලා. හිතේ කිසිදෙයක් නැතුවම. මගුල් ගෙදර ඇදන් යන්න තාත්තට මොකද්ද තියෙන්නේ කියලා ඇහුවහම සුදු ෂර්ට් එකකුයී, කලිසමකුයී පෙන්නුවා. ඒ දෙක ටිකක් පරන නිසා මං බලෙන්ම ත්‍රීවිල් එකක් අරන් ගිහින් අලුතින් ෂුට් එකක් අරන් දුන්නා. සපත්තු දෙකක් අම්මා ගෙනැත් තිබුණා. බෙල්ට් එකකුත් තියෙනවා කිව්වා. ‍තව ඕන  කිව්වේ මේස් දෙකක් විතරයී. මං ඒවා අරන් දුන්නා. 

කියන්න විස්තර නම් ගොඩයී මගේ යාළුවනේ. ඒත් දවස් ගානක් මං නැතුව මෙහේ වැඩ ගොඩ වෙලා. ඒක නිසා මං අනිත් විස්තර ටික කියන්නම් ඉක්මනින්ම වෙන පෝස්ට් එකකින්. කලින් පොස්ට් එකේ කමෙන්ට් කරපු හැමෝටම හුගක් පිං. ඔයාලගේ වචන මට ගොඩක් වටිනවා. ආ අර කිව්ව දේවල් සේරම අරන් තඩි බෑග් එකක් උස්ස ගෙන ආවේ. ඒත් ඔයාලට දෙන්න විදියක් නෑනේ. ‍අඩුගානේ ෆොටෝ එකක්වත් දාන්න බෑ. මාමලයී මල්ලිලා ඔබලා ෆෝන් එක මොකද්ද වෙලා .ෆොටෝ ගන්න බෑ. එහෙනම් මං නවතිනවා. බනින්න එපා. මෙහෙම මේ පෝස්ට් එක කෙටිකරාට. වැඩ ගොඩයී. ඒකයී.

December 13, 2011

මම එහෙනම් මෙහෙම යනවා ....!

මෙච්චර දවසක් මග බලාගෙන හිටියේ ගමේ යන්නනේ. ඔන්න ඒ දවස ආවා. 

එදා 2010 මැයි 28 වෙනිදා. හරියටම වෙසක් පෝයට පස්සෙන්දා. තිබ්බ ඇදුම් දෙකතුනක් බෑග් එකට දාගෙන අම්මා එක්ක එළියට බැහැලා ආවේ හරියටම එදා තමයී. දහදුක් විදලා නොකා නොබී මහන්සියෙන් ගොඩනගා ගනිමින් හිටිය මගේ ෂොප් එකේ ඇදුම් යූරිය බෑග්වලට දාලා ඒවගේ කට ගැට ගැහුවේ ‘සාම්ප්‍රධායෙන් ඔබ්බට’ කියන ආදර්ශ පාටයෙන් කරගෙන ආපු මගේ පළවෙනි බිස්නස් එක පුස්කාලා යද්දෙන් කියලා හිතෙන් හිතන ගමන්. එදා එහෙම එළියට බැහැලා ආවේ ඇයි කියලා මට දැන් කියන්න බෑ. මගේ ජීවිතේ එකින් එක ඔයාලා වෙනුවෙන් ලියද්දී ඒ හැමදෙයක්ම විස්තර ඇතුව දැන ගන්න ලැබෙයී.
ජපානේ ඩිස්නිලන්තේ ගමේ පහල වුනත් යන්නේ නෑ කිව්ව මං මේ ගමන ඇගිලි ගැන ගැන ඉදලා ගමේ යනවා. සමහර විට මං වචන වෙනස් කරන කෙනෙක් වෙන්න ඇති. මං දන්නේ නෑ හිත හයිය කර ගෙන හිටිය මං ඇයි ‍මේ යන්නේ කියලා. 

කොහොම වුනත් ඒ හයිය හිත දිය වෙලා ගිහින් සිංහල අලුත් අවුරැද්දටවත් ගමේ නොගිය මං ගමේ යනවා. මගේ හදවතේ ඉන්න හැමෝටම තෑගි අරගෙන පාට පාට කොළවල හරි ලස්සනට ඔතලා ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. බට්ටි මේ ගමන යන්නේ හුගක් සතුටින්. බට්ටි දැන් හොද ස්ථාවරත්වයක ඉන්නවා. බට්ටි වැටෙන්න ඕන අඩියටම වැටුනා. ඒත් මං නැගිටිනවා. අඩියෙන් අඩිය නැගිටිනවා. කවද හරි දවසක මගේම කියලා කාර් එකක් ගේ ඉස්සරහ නවත්තන්න පුළුවන් තත්වෙකට මං එනවාමයී.
කියන්න පටන් ගත්තේ වෙන දෙයක්. ඒත් ලියන්නේ වෙන දෙයක්. මං මේ කියන්‍න හිටියේ අර ගමේ යන්න මට තිබුණ කෙට්ටු ප්‍රශ්නේ හිත හදා ගන්න පුළුවන් තරමින් විසදුනා කියලා. වෙනදට වඩා හොදට කෑවා. ආ රටඉදි ගෙනැත් උදේ හවස දෙකේම කෑවා. දැන් අක්කා (දිල්) කියපු මගේ තියෙන්න ඕන බරට තව අඩු කිලෝ 4යී.ලබන පාරවෙද්දී ඒ ටිකත් කොහොම හරි හදා ගන්න මහන්සි වෙනවා.
 
නෙට් නම් එන්න වෙන්නේ නෑ. අඩු ගානේ මගේ ෆෝන් එකට සිග්නල් තියෙද කියලත් ෂුවර් නෑ. හරි හරි ඒවා එහෙම වුනත් මං ගිහින් එන්නම්කෝ. හැමෝම සතුටින් ඉන්න. ඇවිත් ලියන්නම් විස්තර. අවුරැදු 1 ½ පස්සේ දැක්ක මගේ ගම ගැන. 
බුදු සරණයී හැමෝටම !

December 8, 2011

නුඹේ සිත හිස් අහසක්

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවි අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

නුවර එළි සිසිලයි
නුඹේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුළ පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක් ...............

ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක් ........... 


මගේ ජීවිතේට මේ සිංදුව කිසිම සම්බන්ධයක් නැති වුනත් මම පුදුමාකාර ‍විදියට මේ සිංදුවට ආසයී. කෙනෙක් තව කෙනෙකුට ආදරේ කරන්න පටන් ගන්නේ කොයි තරම් නම් බලාපොරොත්තු තියා ගෙනද? ඒ ආදරේ  දී මේ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නේ? කවි දහසක් වු ඒ සිත අවසානයේ හිස් අහසෙ ගොදුරක් වුනොත්? අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ. ‍ඔය කොහොම වුනත් මම මේ සිංදුවට පුදුමාකාර විදියට ආසයි.