July 18, 2013

~~~ ආත්තම්මා ~~~

ඇති හැකි තැනක ඇය ඉපදී තිබුනේ
අඟහිගකමක් නම් නැත කිසි විටකදි දැනුනේ
හැඩ වැඩ ඇති ලඳක් ලෙස කල වයසත් ආවේ
කවුදෝ කෙනෙක් ඇගෙ අත රහසෙම ගත්තේ 


ඔහු හා සන්තොසින් කල්යල් ගෙවුනා
දරු පස්දෙනෙක් ඒ නිවසෙහි පිපුණා
දුක්කම් කටොලු නොහිතම හිසමත වැටුනා
නිවසේ සතුට පිටපාරෙන් දුර ඇදුනා  


ඈත දුරක සැමියා රැකියාවකට ගියා
දරුවන් සමඟ ඇය ගමෙහිම රැදුණා
ඇගෙ හද දෙකට පුපුරන පුවතක් ලැබුනා
සැමියා වෙනත් දීගෙක ගොස් තිබුනා


ගමටම ඇසෙන්නට නැත කදුළැලි සැලුවේ
හැම කඳුලක්ම ඇය සිරකර ගෙන සිටියේ
දරුවන් හට හැම සැප දෙන්නට සිතුවේ
කුලී වැඩ නිසා ගෙයි මුට්ටියෙ බත ඉඳුනේ


හිතේ හයිය දින දින වැඩුනා
ගතේ වෙහෙස දරුවන්ගෙන් මඟ ඇරුනා
ඇගෙ නෑයනුත් ඇයහට පිහිටට උන්නා
දරුපස්දෙනාගෙත් කර දඬු උස් වුවා


ලොකු දරුවන්ගෙ ජීවිතෙ සැපටම හැරුනා
පොඩි පුතු ඔහුට ඕනෑ ලෙස වැඩ කෙරුවා
මහ ගෙයි නතර වී පුතු පෙළවහ ගත්තා
අම්මා නමින් ඇය එහි රැදෙමින් උන්නා..


බීමත්කමින් මයි පුතු කල් යල් ගෙවුවේ
ලේලීගෙ බරින් ඇය හරි අඩ අරගත්තේ
දරුවන් ලොකු වෙලත් සැප තව නැත්තේ
මුණු බුරු බරත් ඇයහට නොමිලෙම ලැබුනේ


සැප විදගන්න යන්නට තිබුනා අන් දරුවෙකු ලඟට
එනමුත් යන්න සිතුවේ නැහැ කිසිවිටක
අපේ දෙවෙනි අම්මා ලෙස ලගින් ඉද
අපටම කලා ඇගෙ වග ඇය නොබලාම


අම්මා ගේන පඩිපත නැති උනත් ලොකු
සකසුරුවමින් ඇය හැම වියදම් කෙරුවේ
අපහට බඩ පිරෙන්නට බත් බෙදමින් දීලා
බොරුවට වළඳ අතගා ඇය බඩ වතුරින් පිරවූවා


කොතරම් ගෙතුව මුතු මා පද වැල් අමුනා
ඇගෙ නම් අගය බැහැ කියලා පහදන්නා
අද යම් තැනක අප මේ ලෙස ඉන්නා
ඒ හැම කිරුළ අම්මට මෙන්ම ඇයටත් දෙන්නා


අවුරුදු 87කුත් ගෙවිලා ඇයට
තුන් සරණේ පිහිටෙන් හැක වැඩ කර ගන්න
ඇය වැනි දෙවෙනි අම්මෙක් ලබන්නට
පිං කර ඇතිය අපි තුන් දෙනාම...


දරුවන් ගේන තෑගි බෝග එකතු කරන්
තවමත් මග බලන්නේ ඇය අපි එනකල්
බත් ටික අනා කවමින් අපි ලඟට කරන්
තවමත් සිතන්නේ අපි පොඩි දරුවො කියා


ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....




ප.ලි. විශේෂ ස්තූතිය අඩුපාඩු පෙන්නලා ඒවා නිවැරදි කරගන්න කියා දුන් සඳලි සංකේත්මා අක්කාට 

April 14, 2013

සියලු පැතුම ඉටුවේවා !

 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම.ඔන්න අලුත් අවුරුදු පෝස්ට් එක බට්ටිගේ 100 වන පෝස්ට් එක උනා අහම්බෙන්ම..ඉතිං අවුරුද්දට බට්ටිගෙන් හැමෝටම කේක්..බට්ටි එක් හැමදාම එකට හිටිය මගේ බ්ලොග් මිතුරෝ හැමෝටම හුගක් ස්තූතියි...මේ සහෝදරත්වය ලොකු ශක්තියක් බට්ටිට..


April 7, 2013

අම්මා වෙත

 
අවුරුද්දට ගමට ඇවිත්
ඔංචිලි වාරම් පදින්න
අම්මේ තව දවස් තුනයි
නැහැ විසුමක් එය ගෙවන්න

හැමදාමත් නෑදෑයෝ
සරදම් කලේ කෙට්ටු කියලා
මේ ගමනෙදී මහත් වෙලයි
ඔන්න අම්මේ මං එන්නේ

තාත්තගෙ බීමත්කමට
නෑයෝ සාද නොදුන්නට
නාඩ ඉදින් මයේ අම්මේ
මං ඉන්නවා නේද නුඹට

අයියා අක්කා නැති අඩුවක්
නොදැනෙන්නට නුඹේ හිතට
පිස්සු නට නටා ඉන්නම්
අම්මේ මම නුඹේ ලගින්

අපි තුන් දෙනා ආදරයෙන්
එන අවුරුදු සමරමුකෝ
මත්වතුරට තිත තින්න
තාත්තාට කියන්නකෝ

ආදරයත් ගෝනි ගනන්
සංතෝසෙත් ගෝනි ගොඩක්
පුරවාගෙන මං එනවා
රස්සාවට තිත තියලා

March 15, 2013

ඔයාලා ඉතිරි කරනවද?

ගන්න පඩියට වෙන්නේ මොකද කියලා චුට්ටක් හිතුවද?හ්ම්ම්ම්ම්...මොනා වෙන්නද අනේ මේ ගන්නවා ටික දවසක් සුද්දා වගේ ඉන්නවා ආයෙම මාසේ අන්තිමේදි යාන්තම් ඇදගෙන යනවා.බැරිම උනොත් මොකක් හරි ණයක් අරගෙන මාසේ රෝල ගහ ගන්නවා කියලා තමයි ඉතිං දැන් හුග දෙනෙක්ට හිතනවා ඇත්තේ.හැමදාම වෙන්නේ ඕකම නම් ඔහොම වෙලා හරි යනවද ?හිතුවේ නැද්ද ඒ ගැන පොඩ්ඩක්..

ඔය කිව්ව විදිය තරම්ම නොවුනත් දැනට මාස කිහිපයක් තිස්සේ මට හිතෙන්නෙත් මටත් දැන් වෙන්නේ මේකම නේද කියලා.පුංචි කාලේ ඉදලම හිතුමනාපෙට වියදම් කරන්න පුරුදු වෙලා හිටියේ නෑ කොහොමත් මම.වියදම් කරන හැම රුපියලක්ම පුංචි ඩයිරියක ලියන්න පුරුදු උනා.ඒක හුගක් දෙනෙක් දැක්කේ ලෝබකමක් විදියට. හුගක් අය කිව්වෙත් මම ලෝබකම් කරනවා කියලා.ඒත් මම ඒක ගනනකටවත් ගත්තේ නෑ.මම කොහොමත් කවුරු නිසාවත් මගේ ජීවිතේ තියෙන රටාව වෙනස් කරන ගන්න අකමැති කෙනෙක්.ඒ කියන්නේ බට්ටි ටිකක් නෙවෙයි හුගක් හිතුවක්කාර තනි මතයට වැඩ කරන කෙනෙක්. සමහර තැන් වලදී මේක වැරදී කියලා මටම දැනිලා තියෙනවා.ඒත් බොහෝ තැන් වලදි  බට්ටි සාර්ථකයි. 

ගෙදර ඉන්න කාලේ ගෙදර හිටිය මහ බැංකුව තමයි මම.ගෙදර අයට හදිස්සියට සල්ලි නැති වුනහම ජොබ් එක්කවත් නොකර ගෙදර ඉන්න මගෙන් තමයි අතමාරුවක් ඉල්ලන්නේ.ඒ  වෙලාවට ඉතිං පොඩ්ඩක් අගේ කරන්න ඕනි නිසා මම නම් කියන්නේ ගන්න විදියක් නෑ ඩිපොසිට් කරලා තියෙන්නේ කියලා.ජොබ් එක්කවත් නොකර එහෙම කීයක් හරි ගෙදරට ඕනි වෙලා දෙන්න ලැබුනාම හිතට දැනෙන පිට් එක ගැන නම් ලියන්න වචන නෑ මං ලග.

ඉතිං ඔය විදියට සකසුරුවම්කම ගෙදර කාටවත් නැති විදියට මට උරුම උනා.ඒත් දැන් හිතද්දි හිතෙනවා මේ මම කරන ක්‍රම සාර්ථක නෑ නේද කියලා.ගන්න පඩියෙන් භාගයක් තියා එක 1000ක් ඉතුරු කරන්න බැරි මාස එන්න පටන් ගන්නව නම් ඒ ක්‍රම කොහොමත් අසාර්ථකයි නේද ? 
දහ අතේ කල්පනා කරලා බැලුවා විකල්ප ක්‍රම.සාතන් අයියත් මගෙන් මේ ගැන ඇහුවාම මම කිව්වෙත් මෙන්න මේමයි මම කරන්නෙ කියලා.එයා කරන්නෙත් ඒ විදියටමයි.එයා කියන විදියටත් ඒක සාර්ථක නෑ.ඉතිං අසාර්ථක  ක්‍රමයක් තියෙද්දි කොහොමද ඉදිරිය ලස්සන කරන්නේ. 

සමහරු කියනවා සීට්ටු දාන එක හොදයි ඒකෙන් ඉතුරු කරන්න පුළුවන් කියලා.පෞද්ගලිකව මම නම් සීට්ටු වලට කැමතිම නෑ.ඇයි දන්නෙ නෑ ජීවිතේට තවම එකම එක සීට්ටුවකටවත් ගිහින් නෑ.සමහර විට ගමෙන් පිට රැකියා කරන නිසා වෙන්න ඇති.කොළඹ හිටියා කියලත් නෑ.ඕන තරම් කට්ටිය සීට්ටු වලට කතා කරනවා.ඒත් ඒවගේ තියෙන අවදානම වැඩි කියලයි මට හිතෙන්නේ. එකෙන් මේකෙන් වක්කඩේ හකුරු හැංගුවා වගෙත් වෙන්න පුළුවන් නේද?

එක එක තරාතිරමේ එක එක අදහස් දරන හුගක් යාළුවෝ ඉන්නවනේ. ඉතිං මම කැමතියි ඒ අයගෙන් උපදෙස් ගන්න.මං හිතනවා මේක මට වගේම අනිත් අයටත් ප්‍රයෝජනයත් වෙයි කියලා. 

March 3, 2013

තුන් සොහොයුරෝ

අක්කා තමයි ගෙදර සිටිය                         වැඩිමලයා
ඊට වසර දෙකකට පසු ආවේ                           අයියා
ඒ දෙන්නගේ තනි නොතනිය                  වලකන්නා
අම්මා ගෙනා බඩ පිස්සිය මා                              වූවා

පුංචි කාලේ අපේ ආදර                                  අම්මා
කොළඹ හිටියේ අපේ කුසතුන              පුරවන්නටා
අම්මා ලග නොමැති විට පාළුව                    දැනුනා
අක්කා එවිට අප දෙදෙනා                        නැලැව්වා

පුංචි කාලේ මම නම් හරි                        කම්මැලියා
පස්සට ඉරපායන තුරුත් දොයියන්නට          රුසියා
හැමදේ අක්කා අතටම කර දුන්                     හින්දා
බෙල් එක වදින විට පාසල වෙත                   දිව්වා

තම ඇදුමවත් නැත  මා සොදා                  ගන්නේ
අක්කා තමයි ඒවත් කරලා                        දුන්නේ
ආත්තම්ම නම් ඒවට                           ඔරවන්නේ
ඈ නම් නැතේ ඒවා කණකට                   ගන්නේ

අයියා තමයි මාහට ඕපන්                           වූයේ
දොඩං ගහ උඩයි අපි සාකච්ඡා                  තැබුවේ
කෙල්ලෝ ගැන තමයි ඔහු හැමදා             කිව්වේ
මං නංගයි අයියට උපදෙස්                       දුන්නේ 


ප.ලි. ඊයේ අපිට කරන්ට් එක තිබුණේ නෑ.ඉතිං වැඩ කරන තැන ලොකු වැඩක් නැති අතරේ නිකමට හිතට ආපු සිතුවිලි කොළයක ලිව්වා.කවි ලියන්න නම් බට්ටි දන්නේ නෑ.හිතට ආපු අදහස ඔහේ ලිව්වා මේ විදියට.ඒක ලියද්දි බොස් ආපු නිසා සේරම ලියලා ඉවර කර ගන්න බැරි උනා.ඉතිං අදත් අම්මා බලන්න ගිය නිසා ලියන්න උනේ නෑ.ඒත් යෙම හිතුනා ලියපු ටික දාලා යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ඉතුරු ටික ලියන්න.බට්ටි බට්ටි‍ගේ අයියා අක්කා එක්ක ගත කරපු ජීවිතේ තමයි මේ. ඔක්කොම ලියන්න ගිහින් කදුළු කතා තිබුනොත් සමාවෙන්න ඕනි. එහෙනම් මං ගියා.මේ ටික කියවලා අඩුපාඩු කියන්නකෝ.