Loading...

August 12, 2011

තිළිණි දසුන් නුඹලා නිවනටද ගියේ..............!

මේ සිද්ධිය මං ‍ලියන්න හිතුවේ හුග දවසකින් මට මේ දෙන්නව හීනෙන් පෙනුනා. ගොඩක් දුකයි මතක් වෙද්දී.

මේ කියන්න යන නංගී මල්ලී දෙන්නම මගේ පුංචි කෙනෙක්ගේ.ලේ ඥාතියෝ නොවුනත් අපි ගොඩක් ලගින් හිටියේ.
නංගී තිළිණි,මල්ලී දසුන්. බෝල දුඹුරැපාට ඇස් කැරලි වැටුන දිග කොන්ඩේ උසේ ගානට මහත කෙල්ලෙක්ට තියෙන්න ඕන ලස්සන අඩුවක් නැතුව තිළිණි ලග තිබුණා. දසුන් සුදු ලස්සන අහිංසකම අහිංසක බෝපැලයක් තරම් නිවිච්ච පුංචි පොහොට්ටුවක්. එයාලා ගොඩක් ඈත ගමක දුක් විදින නිසා බාප්පාලා ඉඩමකුත් අරන් දීලා එයාලගේ ගෙවල් ලගට ගෙන්න ගත්තේ තමන්ගේ බිරිදගේ සහෝදරියන්ට තිබුණ ආදරේ වැඩිකමටමයි.
තිළිණි තමයි ගෙදර ලොක්කි. දසුන් දෙවැනියා. ඊට පස්සේ තව නංගියෙකුයි මල්ලියෙකුයි තමයි ගෙදර හිටියේ.
තිළිණිලා අපේ ගමට පදිංචියට ආවට පස්සේ එයා ගියේ අපේ ඉස්කෝලෙට . තිළිණි ලස්සනම ලස්සන රෝස මලක් නිසා මං හැමවෙලාවෙම එයා ගැන සෝදිසියෙන් හිටියේ. පුංචිත් බය නැතුව හිටියා මං එයාව බලා ගන්න නිසා. මොකද මං නොදන්න දෙයක් පාසලේ සිද්ධ වෙන්නෙ නැති තරම්.
තිළිණි ඉස්කෝලෙට ඇවිත් වැඩි දවස් යන්න කලින් එයා හැමෝම අතරේ කැපිලා පේන්න වුනා.එයාගේ නැටුම් වලට අභියෝග කරන්න අපේ ඉස්කෝලෙ ඒ වෙනකොට වෙන කෙනෙක් හිටියේ නෑ. ඉස්කෝලේ පූජා නැටුමෙ ඉදලා හැම දෙයකටම එකින් එක තිළිණි තේරැනා. 
ධසුන් ඉගෙන ගන්න දක්ෂයි. එයා ශිෂ්‍යත්වෙ පාස්වෙලා ලොකු ඉස්කොලෙකට ගියා. පොත් කියවන්න හරිම ආසයි.කියවන්නම දෙයක් නැතුව ‍ගියොත් එයා සිතියම් පොත හරි බලනවා. සමහර දවස් වලට ඉස්කෝලෙ  නැති දවසට මල්ලිව ගෙයියන් වේලාසන එයා තමයි එන්නේ.අපේ ගෙදර මිදුලේ අයියා හදපු මාළු ටැංකියක් තියෙනවා. ඒකට දසුන් හරිම ආසයි. ඉතින් මාළු කෑම පැකට් එකකුත් අරන් ඇවිත් උන්ට කවකව ඉන්නවා. අපේ අත්තම්මා සමහර වෙලාවට අපිටත් වඩා දසුන්ට ආදරෙයි.
හැමදාම උදේට මං ඉස්කෝලෙ යන්න ලේස්ති වෙද්දි තිළිණි අපේ ගෙදරට එනවා.මොනවද හලෝ තාම ලේස්තිවුනේ නැද්ද?මගේ කෝණ්ඩේ ගොතලා තිබුනේ නැත්නම් ඒකකටත් උදව් කරනවා. කෙටියෙම්ම කියනවනම් මට හිටිය පිස්සුම නංගියා.
අපේගෙදර අය අවුරැද්දට  බාප්පලයි ගෙදර ගිය ගමන් එහෙත් ගියා. අපි යද්දි ගෙදර අය සල්ලි වලට කාඩ් ගහනවා. තිළිණිලගෙ ගෙදර අය හරිම විනෝදකාමී. හරි සතුටින් ඉන්නේ. මගේ කකුලේ එදා පාසලඹක් දාලා තිබුණා. ඉතින් තිළිණිලගෙ තාත්තා මෙන්න බොලේ බට්ටි කෙල්ල දන්වැල කඩන් ඇවිල්ලා තියෙන්නෙ කිව්වා. කවදාවත් නැති විදියට එදා අපි නොසෑහෙන්න හිනාවුනා. ඒ තරම් හිනාවෙන්න දේවල් නොවුනත් හුගක් හිනාවුනා. අවුරැදු නිවාඩුවෙන් පස්සෙ අපි කොළඹ ඇවිත් හිටියේ. වෙසක් පෝයටවත් ගෙදර යන්න වුනේ නෑ. කාර්ය බහුලත්වයත් එක්ක අපිට මුණ අවුරැද්දෙන් පස්සෙ මුණ ගැහෙන්නම බැරිවුනා.
වෙසක් පෝය දවසේ තිළිණිලගේ ගෙදර හැමෝම සිල් ගන්න ගිහින් තිබුණා. වෙසක් පොය දවසට පස්සෙන්දා.අනේ ඒ දවස ඒ ජීවිත වලට උදා නොවුන නම්. ඒ වැහිබර අහස එදා පැහැබර අහසක් වුනා නම්. මල්ලියි එක්ක තිළිණියි දසුනුයි රෙදි වැල දිගට බකට් පත්තුකරා. පොඩි නංගීයි බාප්පයි දෙන්නා කොළඹ ගිහින්. මගුල් ගෙදරක මල්කුමාරිට නංගිව ඉන්නවා ඒකට. ඒත් බකට් ටික පත්තු කරලා ගේ ඇතුල යන්න කලින්ම හොදටම ගැට ගහලා තිඹුණු වැල කඩාගෙන වැටුනේ වෙන්න යන දෙයකට පෙරනිමිති දෙන්න වගෙයි. වෙච්චි දේ පොඩි අයට නොතේරැනත් පුංචියි තිළිණියි දෙන්නම බයවෙලා තිබුණා. නිදා ගන්න යන්න කලින් අම්මගෙන් ඇයි අම්මේ එහෙම වුනේ කියලා තිළිණි කීප පාරක්ම අහුවලූ. පැය කිහිපයකට පස්සේ අකුණු පුපුර පුපුර මුළු ලංකාවම පිටාර යන්න වැස්සක් වැස්සා. පුංචියි පොඩි මල්ලීයි දෙන්නා ඇදේ නිදිය ගනිද්‍දී තිළිණි දසුන් දෙන්නා පාදුරෙ ගුලි වෙන්න ඇත්තේ මේ තමන් නිදියන අවසාන නින්ද කියලා තුන් හිතකින්වත් හිතන්න නැතුව ඇති. කපරාදු කරලා නොතිබුණු ගේ පිටිපස්සේ කන්ඩියක් තිබුණා. ඒ මොරසූරන වැස්ස නිසා ගේ පිටිපස්සේ තිබුණ කන්ඩිය හැමෝම නිදාගෙන හිටිය කාබරේටම කඩන් ආවා. පුංචි නිදා ගත්තේ ඇදේ නිසා ඒයා විසිවෙලා ගිහින්. ඒත් කාමරෙන් එළියට එන්න බැරි වෙන්න දොර වැහිලා. කන්ඩිය පැත්තෙන් එළියට බැහැපු පුංචි මහ වැස්සේ ඇදගෙන හිටිය නයිටි එක පිටින්ම ළමයි බේරලා දෙන්න කියලා ඒ පැත්තේ තිබුණ හැම ගෙදරකටම ගිහින් දොරට ගහලා ඇහැරවලා. 
කට්ටිය ඇවිත් දොරත් කඩලා ඇතුලට ගිහින් තියෙන්නේ. පොඩි කට හඩක් ඇහිලා ඒ ගැන බලන කොට පොඩි මල්ලී ගඩොල් කැට අතරේ ඉදලා එළියට අරගෙන තිබුණා. එයාට පොඩි සීරීමක්වත් වෙලා තිබුණේ නෑ. හුගක් මහන්සි වෙලා පස් අයින් කරද්දි පැය 2ක් විතර ගිහින්. ඒ වෙද්දි අනේ ඒ මල් කැකුළු දෙක මේ ලෝකෙ අත ඇරලා ගිහින්. සහොදරයෝ දෙන්නා අත්දෙක එකට අල්ල ගෙනම ඒ ගමන ගිහින්. තමන්ට වුනේ මොකද්ද කියලවත් හිතා ගන්න ඉඩනොතියා මාරයා ඔවුන් ඔහු ලගට අරගෙන. ඒත් හැංගිලා හරි පුංචි හුස්ම පොදක් ඇති කියන සැකේට කොච්චර ගංවතුර ගලලා තිබුණත් ගමේ හැමෝම එකතු වෙලා ඉස්පිරිතාලෙට එක්කන් ගිහින්. ඒ වෙද්දි කිසිදෙයක් ඉතුරැ වෙලා නෑ. 
මට ආරංචිය හම්බවුනේ පහුවෙනිදා.කොහොම උහුලන්නද? එකට ඉස්කෝලෙ ගිය නංගී.අහිංසක දසුන් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්නෑකියලා. අපි පුළුවන් ඉක්මනට ගමට ආවා. අනේ රෝස මලකටත් වඩා ලස්සන ඒ මූණ හොදටම තැලිලා කළු වෙලා ගිහින්. දසුන් ඇදක නිදියනවා වගේම හිටියා. මේ ව‍ගේ විපතක් කවදාවත් කාටවත් තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න ලැබෙන්න නම් එපා.ඒක ඒ තරම්ම උහුලන්න බැරි දුකක්. 
එකම වළක පෙට්ටි දෙකක් තිළිණියි දසුනුයි අපිව දාලා යන්න ගියා. අවසන් කටයුතු කරන්න ආපු ගමේ පන්සලේ හාමුදුරැවෝ ඇවිත් හිටිය ළමයින්ට කිව්වේ තිළිණි කෙනෙක් වෙන්න දසුන් කෙනෙක් වෙන්න මහන්සි ගන්න කියලා.තිළිණිගේ දසුන්ගේ පෙට්ටි වලට හැමෝම පස් අහුරක් දැම්මා. ඒත් මට ඒ මූණුදෙක මතක්වෙද්දි ඒ දේ කර ගන්න ශක්තියක් තිබුණේ නෑ. 
තිළිණි දසුන් නුඹලා නිවනටද ගියේ..............!

10 comments:

  1. නංගියි මල්ලියි දෙන්න හොඳ තැනක ඉපදිලා ඇති කියල හිතමු අපි...

    ReplyDelete
  2. පුංචි ඈයෝ පවු කරන්නේ නෑ නංගි. ඒ නිසා ඒ අය හොද තැනක ඉපදිලා ඇති. අපි මොනා කරන්නද එයාලා ගෙනාපු ආයුෂ ඉවර වෙන්නැති.

    නංගිටයි මල්ලිටයි නිවන් සුව පතන්නෙමු !!!!!

    ReplyDelete
  3. සංවේදී සටහනක්.
    නංගිටයි මල්ලිටයි නිවන් සුව..!!

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්.........

    ReplyDelete
  5. බට්ටිව බලන්න ආවොත් හිත පාරගෙනමනෙ යන්න වෙන්නේ :(

    ReplyDelete
  6. @ සාතන්
    මම එහෙම හිතනවා

    ReplyDelete
  7. @ මධුරංග
    එයාල වෙනුවෙන් පිං කරන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  8. @ චතුර
    ඔව් හුගක්

    ReplyDelete
  9. @ දිල්
    ඇයි අක්කියෝ

    ReplyDelete
  10. @ නාකියා
    සමාවෙන්න. මගේ ජීවිතේ පුරාවටම රැදිලා තියෙන්නේ හිත පාරන ඒවා විතරයි. සතුටුවෙන්න පුළුවන් සිද්ධි ලියන්න ආස වුනත් හොයාගන්න අමාරැයි.

    ReplyDelete