Loading...

September 22, 2012

“මගේ හද‍වතේ දෙවියන් නුඹ වෙයි මතු ගමනේ...”


දස මස මා කුස හොවාන...දුක් ඉසිලූ අම්මා...
සිරුරේ දිව් රතු රුධිරය...කිරි කර පෙව් අම්මා...
ඒ සෙනෙහස නොව කිසිවෙක්...ලොවෙ නම් මට අම්මා...
සංසාරෙම පුරුදු පරිදි... නුඹමයි මගේ අම්මා...

ආදරයේ කිසි අඩුවක් කිසි දින නැත පෙන්නා...

පුංචි කදුළකටත් මගෙ කදුළු සලන අම්මා...
මේ සෙනෙහස නුඹ කොතැනින් නම් ගෙන එම්මා...
ඉතින් සදා සෙවන නුඹයි මගෙ ආදර අම්මා...

මෙත් කරුණා මුදිතා ගුණ නුඹෙනුයි මම උගනේ...
දොහොත් නගා වදිමි නුඹට “ගෙදර බුදුන්‍ ලෙසිනේ”....

මගේ සුදු අම්මාට... සුභ උපන්දිනයක් වේවා...


අද මගේ අම්මා පනගේ උපන් දිනේ..ගිය අවුරුද්දේ අම්මගේ උපන් දිනේ වෙනුවෙන් පෝස්ටු දෙකක්ම ලිව්වා. (එකක් මේක ,අනික මේක ) මේ පොස්ටු දෙකම ලියද්දි හිතුවෙ අම්මගේ 51 වෙනි උපන් දින පොස්ටුවෙන් එයා දැන් සතුටින් ඉන්න කෙනෙක් කියලා ඔයාලා හැමෝටම කියන්න පුළුවන් වෙයි කියලා.ඒත් බට්ටිට ඒ වාසනාව නෑ.ඒ හීනේ එන්න එන්නම දවසින් දවස ඈතට යනවා.අල්ල ගන්නත් බැරි තරම්ම දුරට.කවදා කොහොම ඒ හීනෙ එළිවෙයිද කියලා හිතා ගන්න බැරි තරමටම බට්ටිගේ හිත අසරණවෙලා.
අද අවුරුදු 51ක් එකක්. හ්ම්...ඒත් ජීවිතේට අවුරුද්ද අවුරුද්ද එකතු වෙද්දි ඒ හිතේ සතුට එකින් එක ‍වැඩි ‍නොවෙන තරමට මේ ලෝකේ කුරුරි වෙලා. ඒත් ඒ යකඩ හිත කවම දාවත් ලෝකෙට කිසිම දෙයක් පෙන්නන්නේ නෑ. ඒ තරම්ම ඒ හිත ශක්තිමත්. කියා ගන්න බැරි තරමටම ඒ හිත සවිමත්. වෙලාවකට මට මේ ලෝකෙටම කෑ ගහල බනින්න හිතෙනවා. වෙලාවකට මට මේ ලෝකෙටම ඇහෙන්න කෑගහලා අඩන්න හිතෙනවා. ඇයි දෙයියනේ දුක තියෙන මිනිස්සුන්ගේ හිත් වලට විතරක් හැමදාම දුකම එකතු කරන්නේ කියලා. 

ඉතිං තවත් මේ පොස්ටුව ලියන්න බෑ මගේ යාළුවනේ.තව ලිව්වොත් හිතේ හිරවෙච්ච සේරම මේකෙ අත ඇරෙනවා.ඒම ලියලා මේක කදුළු පොස්ටුවක් කරන්න බෑ.

ලෝකෙ ඉන්න සුන්දරම , ශක්තිමත්ම යකඩ හිතක් තියෙන ඇගේ හිතට සතුට ලං කරන්න පුළුවන් වුන දවසක බට්ටි දෝර ගලන සතුටින් ලියන්නම්. මේ පොස්ටුවේ මීට වඩා දෙයක් අමුණ ගන්න බැරි වුන එකට මට සමා වෙන්න මගේ යාළුවනේ....