January 1, 2013

2012 බට්ටි ගෙවුව හැටි

කාලය ගත වෙනවා.කැලැන්ඩරයේ කොළ දොළහම එකින් එක ගැලවිලා අලුත් කැලැන්ඩර් වලට මාරු වෙනවා. විශේෂයක් නෑ.2012 ට උනෙත් ඒ ටිකම තමයි. 

ජීවිතය අනේ මන්දා? හුගක් පෝස්ට් වලදි මං ලියපු දෙයක් තමයි ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.කාලය කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක් කියලා. අත්දැකීම් , බලාපොරොත්තු , හීන මේ හැම දේම අපේ ජීවිතේ වෙනවා. කාලෙන් කාලෙට මිනිස්සු වෙනස් වෙනවා.සිතුම් පැතුම් ඒ හැමදෙයක්ම මේ කාලය වෙනස් කරනවා. සමහරු කියයි එහෙම වෙන්නේ නෑ අපි ස්ථිර පුද්ගලයෝ කියලා.ඒත් මට සිද්ධවෙච්ච අත්දැකීම් එක්ක හිතෙන්නේ එහෙම. 

ඉතිං බට්ටිට හිතුනා ගෙවුන 2012 ගැන හැරිලා බලන්න. මොන මොන දේවල් ජීවිතයට සිද්ධ උනාද? 2011 ඉවර වෙද්ද හිටපු බට්ටිමද අද 2012 ඉවර වෙද්දිත් ඉන්නේ කියලා  හිතලා බලන්න. 

2012 රස්සාව වෙනසක් උනේ නෑ. පුරුදු විදියටම කමියුනිකේෂන් එකේ අවුරුදු 2 ½ ට කිට්ටුවෙන්න ඇවිල්ලත් තවම වැඩ. 2011 නතර වෙලා හිටිය ඥාති අක්කගේ සෙවණෙන් මිදිලා වෙන තැනක කූඩු වෙන්න උනා. ඒක මුලින් දුකක් උනත් කාලයත් එක්ක ඒ හැමදේම හරිගියා. 

2011 නොවැම්බර් පටන් ගනිපු ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එක මේ අවුරුද්දේ නොවැම්බර් වෙද්දි ඉවර උනා. සහතිකය තවම අතට ගත්තේ නැතත් කොළඹ එද්දි වර්ඩ් එකක යාන්තම් ටයිප් කර ගන්න විතරක් දැන ගෙන හිටියා විතරයි නිසා මහ ලොකුවට නැතත් බට්ටිට එදාට වඩා දැනුමක් තියෙනවා කියලා හිතෙනවා.ඒක මම ලබපු ලොකුම ලොකු දිනුමක්.

ආ 2012 බට්ටිට හුගක් වැදගත්. මොකද බට්ටිගේ හිතේ තිබුණු එක හීනයක් හැබෑ උන අවුරුද්දක් තමයි 2012. ඒ තමයි ලැප්ටොප් සිහිනය.මගේ අක්කා බට්ටිට ඒ හීනය හැබෑ කරලා දුන්නා.ඉතිං අක්කා දුක්මහන්සි වෙලා අරන් දුන්න ලැප්ටොප් එක බට්ටි කියන්න බැරි තරම් ආදරයෙන් ආරක්ෂා කරනවා. හීනේ හැබෑ කර ගන්න කලින් තිබුණටත් වඩා දැනුයි මං ඇත්තටම ඒ හීනෙට හුගක්ම ආදරේ.

මේ හැම දෙයක්ම අතරේ ජීවිතේට සිද්ද වෙන්න ඕනි කියලා බට්ටි හිත හොදම දෙයකුත් මේ අවුරුද්දේ උනා. ඒ තමයි අපේ ජීවිතයට නොගැලපෙන පුද්ගලයින් අපේ ජීවිතයෙන් යන එක සහ අපේ ජීවිත වලට ගැල පෙන පුද්ගලයින් අපේ ජීවිතයට එන එක. ඒක මත අපේ ජීවිත තීරණය වෙනවා. 2012 බට්ටි හුගාක් අන්තර් ජාලයත් එක්ක හිටිය අවුරුද්දක්.අවුරුද්දේ අන්තිමේ බ්ලොග් වලින් ටිකක් ඈත් වෙලා හිටියත් මුහුණ පොතේ හුගක් හිටිය අවුරුද්දක්. අන්තර් ජාලයෙන්ම 2011 අදුන ගනිපු බට්ටිට නොගැලපෙන ඒ කියන්නේ බට්ටි දුක්විදලා අමාරුවෙන් අඩියෙන් අඩිය ගොඩ නගාගෙන යන ජීවිතය වෙනස් කරන්න හදපු දෙතුන් දෙනෙකුගෙන් බට්ටි ඈත් උනා. ඒ අයගේ ආදරයෙන් ඇස් අන්දවෙලා හිටපු බට්ටිගේ ඇස් 2012 පෑදුනා. ඇත්තටම ඒ ගැන හුගක් සතුටුයි. හුගක්ම. කිසිම දෙයක් නැතුව විශ්වාස කරලා ජීවිතේට මිනිස්සු ඇතුල් කර ගන්න මෝඩ සම්ප්‍රධායෙන් 2012 අවුරුද්දේ අයින් වෙන්න ලැබුණ එක බට්ටි ලබපු ලොකු ජයක්. 

ඒ අය එහෙම යද්දි හෝ කල දුටුකල වලඉහගෙන අයින් කරද්දි කියන්න බැරි තරම් ආදරණීය හදවත් අදුන ගන්න ලැබුනා ගෙවුන 2012 අවුරුද්දේ.යාළුවෝ කියන්නේ කවුද කියලා බට්ටි දැන ගත්තේ ඇත්තම කියනව නම් 2012 අවුරුද්දේ. ලැබුණ යාළුවන්ගෙන් වැඩිපුරම බට්ටි වටේ ඉන්නේ අක්කලා. එයාලගේ ආදරය බට්ටිට කියා ගන්න බැරි තරම් සතුටක් වගේම ශක්තියක්. මගේ යාළුවෝ සේරමටම මම මහ හුගක් ණයගැතියි. අත්දැකිම් ලැබෙද්දි අපි හැම දේකින්ම පණ්ඩිත වෙනවනේ.ජීවිතේට සුදුසු පුද්ගලයන් එකතු කර ගන්න ඒ පණ්ඩිතකම මං බට්ටිට හුගක් උදව් උනා. 

2012 අවුරුද්ද තව දෙයක් නිසා මට කවමදාවත් අමතක වෙන එකක් නෑ.අත්තම්මයි අක්කයි එකතු වෙලා හදල දෙන කිරිබත් එක කාලා ඉස්කෝලේ යාළුවන් මාරි පැකට් දෙකක් අරන් දීලා සමරපු උපන් දිනයක් විතරක් තිබුණ බට්ටිට ගෙවුන වසර 24 ටම හරියන්න 25 වෙනි (ඔන්න ඉතිං වයසත් කිව්වා. :P) උපන් දිනේ උදා උනා. වෝල් එක පිරෙන්න සුභ පැතුම් ලැබෙද්දි, අක්කලා ටික එකතුවෙලා බට්ටිට හිතා ගන්නවත් බැරි විදියේ ඔන්ලයින් පාටි එකක් දුන්නා. අම්මා ඉන්න ගෙදර දුව එක්කයි දෙපාරක් විතරක් එම්සී එකට ගිහින් තිබුණ මට යාළුවෝ එකතුවෙලා හැමදේම ලෑස්ති කරලා එම්සී එකේ උපන් දින පාටි එකක් දුන්නා. ජීවිතේ සමරපු එකම උපන් දිනය තිබුණ 2012 අවුරුද්ද ඉතිං බට්ටිට කවමදාවත් අමතක වෙන එකක් නෑ. මම දුප්පත් වෙලා ඉපදුනත් මම හුගාක් සතුටින් ඉන්නේ.මොකද මොන සැප ලබන්න මට ගිය ආත්මේ පිං කරන්න බැරි උනත් මේ තරම් යාළුවන්ගෙන් ආදරයක් ලබන්න හුගක් පිං කරලා තියෙනවා කියලා දැනෙන නිසා. 

ඔන්න ඔය විදියට තමයි බට්ටිගේ 2012 අවුරුද්ද ගෙවිලා ගියේ.2013 නව වසර උදාවෙලා.ඉතිං මහ හුගක් හීන නැතත් හීන දෙක තුනක් තියෙනවා මේ අවුරුද්දේ කොහොම හරි හැබෑ කර ගන්න ඕන. හැම අවුරුද්දෙම ටීවි එක ඉස්සරහට වෙලා චිත්‍රපටියක් බලබල අලුත් අවුරුද්ද වැලද ගනිපු එකයි කලේ.ඒත් මේ අවුරුද්ද එහෙමත් නැත්නම් 2013 සුභ නව වසර පන්සලේදි අපේ බුදුහාමුදුරුවන්ගේ සෙවනෙ ඉදගෙන වැලද ගන්න පුළුවන් උනා.ඉන්න ගෙදර අය එක්ක පන්සලේ ආශිර්වාද පූජාවට ගියා.ගෙදර ඇන්ටිම මටත් මල් පහන් අරන් ගිහින් තිබුණා.ඉතිං පහන අත්දෙකෙන් අල්ල ගෙන මේ අලුත් අවුරුද්ද ලබන වෙලාවේ ගාල්ලේ කුමාර කාශ්ෂප හාමුදුරුවන් ආශිර්වාද කරද්දි බුදුහාමුදුරුවෝ හිතින් මවාගෙන අලුත් වසරට පාතබන්න පුළුවන් උනා.ඒක හිතට ලොකු සතුටක්. මේ අවුරුද්ද ඉතිං බට්ටිට ඒ ආශිර්වාදයෙන් සාර්ථකම වෙයි කියලා විශ්වාසයි. එහෙනම් ඉතිං මේ 2013 ගෙවිලා ඉවර උනහමි කියන්නම්කෝ ඒ හීන හැබෑ කර ගත්තද නැද්ද කියලා?

දැන් නම් හුගක් ලිව්වා.කියවන අය මට බනිනවත් ඇති.කෙටියෙන්ම ලියන්න ගත්ත පෝස්ටුව දන්නෙම නැතුව ටිකක් දිග උනා.හැමදාම මගෙත් එකක් හිටිය හැම යාළුවෙක්ටම ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගී වසරක් වෙවා කියලා බට්ටි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 

ප.ලි.  මේ තියෙන්නේ මගේ මූණුපොතේ යාළුවන් වෙනුවෙන් බට්ටි හදපු කැලැන්ඩර් එක.අනේ බ්ලොග් එකේ විතරක්ම ඉන්න අය නම් මේකෙ නෑ..ඔයාලගේ පොටෝ නෑ කියලා තරහා වෙන්න නම් එපා.අලුත් අවුරුද්දේ තරහා වෙන්න තහනම් හරි.මම ගියෝ.......

December 20, 2012

එහෙම සදක් මක්කටද ?


සිත්තරුන් සිත්තම් කරයි මේ රෑ අහස....
කළුවරට හුරු කළ තද නිල්පාට....
ඒ පින්සල් තුඩින් ලා නිල් පාට...
බින්දු තියයි ඒ තරු කැට වල පාට...


අහස පුරා විසිරුණු තරු කැට අතර...
බලා හිදිනා විට හිත නිවෙනා විටෙක...
නිවෙනා හිත යටින් ඇති ගැඹුරක අරුත...
ලියවෙලා නොවෙද අපේ ජීවිත තරු කැට අතර...


පෙම් කවි සහ තව ලස්සන වර්ණනාවන් මෙලෙස...
එක්කර ඇතත් නොදැනෙන ලෙස තරු කැට වලට...
ඒ සියළුම දේවල් නම් දැන් මට මතක නැත...
තරු නැති අහසේ පායන සද මක්කටද...


.ලි. ඔන්න එක වෙන කෙනාට අනිවාර්යයෙන්ම තෑගිත් අරන් බට්ටි එනවා හෙට..කවුරුත් සතුටින් ොයිය ගන්න.සුභ රාත්‍රියක් ේවා...

November 11, 2012

තරුපිරි අහස

බට්ටි බ්ලොග් එක ලියන්න පටන් ගත්ත දා ඉදලම ලිව්වේ කදුළු කතා.කියවන්න ආපු අයට හැමදාම වගේ යන්න වුනේ හිත රිදවගෙන.සමහරු ඒ දවස්වලම කිවුවා.අදත් හිතරිදෙන පෝස්ටුවක් කියලා. දුක අහිමිවීම විතරමයි බට්ටි ලිවුවේ. එතනින් එහාට ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ. ජීවිතේ පුරාම රැදිල තිබුණ දුක ඇස්වල කදුළු පුරවගෙන බ්ලොග් පෝස්ට් කලා. 

ඒත් එක දවසක දිල් අක්කා,මගේ බ්ලොග් ලෝකේ ඉන්න සදාකාලික රැජිණ කිව්වා බට්ටියේ වෙනස් දේවල් ලියන්න කියලා.කදුළු කතා විතරක්ම ලියන්න එපා කෙල්ලේ වෙනස් දේවල් ලියන්න උත්සාහ කරන්න කියලා.ඉතිං බට්ටි හිතුවා හුගක්.අක්කා කිව්ව විදියට පුංචි කාලේ පීරලා සතුටු හිතෙන තැන් බැලුවා.ඉතිං එහෙම අවස්ථාවක් හොයන් ඇවිත් අකුරු කරන්න බට්ටි දක්ෂ නා.ඒ අත්දැකීම අකුරු කලේ සැදෑ අහස සුන්දරද කෙතරම් කියලා.අක්කගෙන් ලකුණු 100%ක් ලැබෙද්දි බට්ටිගේ බ්ලොග් ලෝකේ ඉන්න පතාක යෝයෙක් වන මාර අයියා කිව්වේ ‘‘දිල් කිව්වා වගේ මේ ලියමනනං උපරිමයට ඇවිත් තියෙනවා.. නිදහසේ මහප්‍රාණ නැතිව ඔහේ ලියන ස්ටයිල් එක..මං කවදත් ආසම රටාව..‘‘ කියලා.දෙන්නගේ සහ ඒ කාලේ මං ටා හිටිය අනිත් යාළුවන්ගේ දිරිමත් කිරීම් වලින් හිතට ලොකු ශක්තියක් ලැබුණා.ඉතිං එදා ඉදලා කදූළු පිටුවට ටිකෙන් ටික විරාම වැටුනා. ලගදී අක්ක කෙනෙක් මගේ බ්ලොග් එක කියවලා කියනවා 'බට්ටි ඔයාගේ බ්ලොග් එක කියෙව්වොත් මම තවත් මහත්වෙයි හිනාවෙලාම' කියලා.ඉතිං බට්ටිට හුගක් සතුටුයි.වෙනස් දෙයක් කරන්න පුළුවන් වුන එක ගැන.

ඉතිං හදිසියේම මේක මතක් වුනේ මේ නිසා.එදා මම රාත්‍රි අහසත් ලියන්න තීරණය කලා.ඒත් අද වෙනකල් ඒක ලියා ගන්න බැරි වුනා.ඉතිං හිතුවා අද ඒකට හොදම දවස කියලා. හැබැයි වෙනස් විදියකට.අකුරු වෙනුවට පින්තූරයෙන් බට්ටි දැකපු තරුපිරි අහසේ සුන්දරත්වය කියවන්න මගේ යාළුවනේ.......

October 31, 2012

ප්‍රශ්නයක් නැත්නම් වැඩක් නෑ........


              ඉස්කෝලේ යන කාලේ නාපු නෑම්, කාපු කටු ගැන නම් ඉතිං හැමෝටම ලියලා ඉවර කරන්න බැරි තරම්නේ.මේකත් ඉතිං බට්ටි දහය වසරේ ඉන්න කාලේ වෙච්චි දෙයක් තමයි.ඒකාලේ අපේ පන්තියට ගුරුවරු කොයි තරම් ආදරේද කියනව නම් අපේ  පන්තියට කිව්වේ නාහේට අහන්නැති පන්තිය කියලා.මේ කාලේ ඉතිං එක්කෙනෙක් මොනවා හරි විකාරයක් හොයා ගෙන ආවොත් අත් සේරමත් ඒක හරි හෝ වැරදි වේවා ඒකම කරන්නේ හරියට වෛරස් උනක් බෝවෙනවටත් වඩා ඉක්මනට.


        ඔන්න දවසක් පන්තියේ හිටිය ගෑණු ළමයෙක් උදේ ඉස්කෝලේ එද්දී එයාගේ නළලේ හරියටම ප්‍රශ්නාර්ථ ලකුණක් දිලිසි දිලිසි තියෙනවා. හරියට නිකන් අනිත් අයගෙන් අනේ මම ප්‍රශ්නයක්ද කියලා අහන්න වගේ. පන්තියේම ළමයි ඉතිං එයාගේ ලගට ලං වෙලාම බැලු‍වා. මොකද්ද බොලේ මේ නළලේ තියෙන ප්‍රශ්නේ කියලා. හැබැයි ඉතිං ප්‍රශ්නේ මොක වුනත් ඒක නළලේ තියෙන විදිය නම් මරු. ඒපාර ඉතිං ළමයින්ට හරි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්නේ නළලට ආවේ කියලා.

       ඒ ළමයා කල්පනා කර කර ඉදලා තියෙනවා නළල දබර ඇගිල්ලෙන් අතගගා.හුගක් වෙලා මෙහෙම ඉදලා.පස්සෙ තමයි දැකලා තියෙන්නේ නළල තුවාල වෙලා.ඒක තමයි මේ වේලුනාට පස්සේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ඉතිං අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න අයනේ.කෝම අලි දැන් එක එක්කෙනා ප්‍රශ්න හදා ගන්නවා.දැන් ඉතිං කට්ටිය හිතන්න එපා අපි ගහමරාගෙන ප්‍රශ්න හදා ගන්නවා කියලා. මේ නළලේ ප්‍රශ්න ලකුණ හදා ගන්නවා.

   මාත් ඉතිං සේරම කරන එකේ වැඩෙත් ලස්සන එකේ කෝම හරි ප්‍රශ්නයක් හදා ගන්න ඕනි කියලා කරලා බැලුවා. සියපාරකට වඩා නළල ඇගිල්ලෙන් අතුල්ලන්න ඕනිලු ඔය ප්‍රශ්නේ හදා ගන්න. අපුයි දෙයියනේ මොන සිය පාරක්ද. ටිකක් වෙලා කරද්දිම නළල දන්න ගන්නවා. ඊට පස්සේ මට නම් නළලට ඇගිල්ලවත් තියන්න බෑ .දැන් ඉතිං අපේ කට්ටියගෙන් හුගක් දෙනෙක් ප්‍රශ්නේ හදා ගෙන.අනේ ඇයි අප්පා මට ප්‍රශ්නයක් දා ගන්න මෙච්චර අමාරු.ඉහි ඉහි දැන් නම් මට ඇඩෙන්නත් වගේ.

    එදා ඉස්කෝලේ දී නිවාඩුවක් ලැබුන ගමන් කලේ ඉතිං ප්‍රශ්නේ හදා ගන්න දගලපු එක තමයි.ඒත් බැරි වුනා.ගෙදර ඇවිල්ලත් ඊට පස්සෙන්දත් පණ යනකල් මහන්සිවෙලත් මේ ප්‍රශ්නේ බට්ටිගේ නළලේ කොටා ගන්න බැරි වුනානේ.මම ඉතිං ළමයින්ටත් බනින්වා.ඇයි දෙයියනේ මගේ නළලට ප්‍රශ්න එන්නේ නැත්තේ කියලා.කොහොම හරි මේ නළලේ ගහන්න ගනිපු ප්‍රශ්න පච්චේ දුර ගිහින් කකුල් වල අත්වල ළමයි පච්ච ගැහුවා. ලව් පටලැවිලි තිබුණ අය අල්පෙනිති වලින් අනිත් අයගේ නමේ මුල අකුර අතේ කොටා ගෙන.

     හදිස්සියේම ආරංචියක් ආවා ප්‍රින්සිපල්ටත් මේ පච්ච ගහන එක ආරංචි වෙලා කියලා.දැන් ඉතිං ළමයි ගැහෙනවා හරියට කරන්ට් එක වැදිලා වගේ.දෙවෙනි කාලපරිච්ඡේදයත් ගෙවිලා ගියා. මෙන්න එක පාරටම පන්තියට ප්‍රින්සිපල් එනවා. අම්බෝ අර කසාය කෝට්ත් අරගෙන. එක එක්කෙනාව ඉස්සරහට අරගෙන ‍එයා චෙක්කරනවා. මගේ වාරෙත් ආවා. ප්‍රශ්නේ නළලේ නැතුවත් මාව ගැහෙනවා. ඇයි අනේ මමනේ දන්නේ ඕක ගහ ගන්න බැරුව  වින්ද දුක. ප්‍රින්සිපල් මගේ දිහා බලලා අහපි. ‘‘ මොකද තමුන්ට නැද්ද පච්ච ?’’මේ කටටත් ඉතිං බේරේක් නෑනේ. බොරුවක් ගොතන්න ගියත් බළලා පනිනවා මල්ලෙන් එළියට. ‘‘ මමත් බැලුවා බැලුවා සර් ප්‍රශ්නයක් හදා ගන්න. ඒත් ප්‍රශ්නයක් හදා ගන්නම බෑ සර්.” ඉවරයි ඉතිං මෙච්චර දවස් හදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නේ ඔන්න එක විනාඩියෙන් හදා ගන්න වැඩේ වුනා. කට හින්දමයි දාගන්න ප්‍රශ්න සේරම දාගන්නේ.දැන් ඉතිං පච්ච නොගහත් ගුටිකෑමක් තමයි තියෙන්නේ.කරන්නම දෙයක් නෑ.ඒත් ඉතිං අර කසාය කෝට්ටෙන් එකක් කන්න පණත් නෑ. බැරිම තැන මම හයියෙන්ම ඇඩුවා. ‘‘ මගේ ප්‍රශ්නයක් නෑ සර්.අනේ මට ගහන්න එපෝ’’කියලා මම පන්තිය දෙදරන්නම ඇඩුවා.මම අඩද්දි ඉතිං තාත්තා ඇරෙන්න වෙන කවුරුත් නම් මට ගහන්න තියා හිතන්නෙවත් නෑ. :D කෝම හරි බට්ටි බේරුනා. පච්ච ගහපු අයට එක එක දඩුවම් ලැබුනා.සමහරුන්ට බරපතල වැඩ සහිතව නෑ නෑ වැඩක් පලක් නැතුව සැපෙන් ගෙදරට වෙලා ඉන්න දවස් 14ක නිවාඩු හම්බ වුනා.

දැන් ඉතිං ඔයාලා කියන්න එපා බට්ටියි බට්ටිගේ යාළුවො ටිකයි යක්ෂ  පැටව් කියලා. අනේ නෑ අපි හරීම අහිංසක ඇල්වතුරත් කූල් කරලා බොන අය අනේ....