October 21, 2011

සතුටු දිනය ඔබලාට පුදමි ........................................

ඔන්න මුලින්ම කිව්වා  හෙට නම් මට හැමෝගෙම්ම තෑගි ඕන. ඔයාලා දන්නේ නෑනේ හෙට හරිම විශේෂ දවසක්. දැන් ඉතින් කට්ටිය දාහතේ කල්පනා කරනවා ඇති මොකද්ද බොලේ හෙට තියෙන විශේෂය කියලා.හා හා කල්පනා කරන්න ගිහින් නිකං අමාරැවෙ වැටෙන්න එපා. ටිකක් ඉන්නකෝ මම මේ ඒක හෙමිහිට කියන්න තමයි හදන්නේ.
ආයෙ ඉතින් මහා ලොකුවට කිව්වට ඒ හැටි විශේෂයකුත් නෑ. හෙට මේ පිස්සු බට්ටිගේ උපන්දිනේ නේ. (අපෝ බට්ටිගේ බ්ලොග් එක උපන්දින වරැසාවක් කියල නම් කියන්න එපා. මේ මාස දෙකේ විතරයි ආයේ ලියන්නෑ)
තවත් අවුරැද්දක් ගෙවිලා හෙට අවුරැද්දක් ලබනවා. ජීවිතේ පුදුමාකාරයි. මගේ ජීවිතේ මේ අවුරැදු ගානේදී කොයිතරම් නම් සිදුවිම් වල‍ට මුහුනු දීලා තියෙනවද? මගේ ගැන හුගක් දේවල් මම ඔයාලට කිව්වා කොටින්ම තව අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්.ජීවිතේ දිනන්න මං නොකල දෙයක් නැති තරම්. ජිවිතේ සැලකිය යුතු අවුරැදු ගානක් ගෙවල දාලා ඉන්න මං අද ඉන්න තත්වෙ ගැන පසු තැවෙන්නේ නෑ. ඒත් තව අවුරැදු 3කින් ලබන උපන්දිනේදී මං මගේ ඉලක්කෙට කොහොම හරි යන්න ඕන. 
උසස් පෙළ කලාට පස්සේ මං කවදාවත් ගෙදරින් ලෙඩක් දුකක් හැදිලා බැරිම වුනොත් මිසක් අම්මගෙන්වත් කීයක්වත් ඉල්ලගෙන නෑ. මට ඕන වුනේ ස්වාධීන කෙනෙක් වෙන්න. 
මගේ වයසේ ඉන්න කෙල්ලෝ නොකරන දේවල් මං කලා. ගේ ඉස්සරහා තිබුන බට පදුරෙන් බට කපලා මං කූඩු හැදුවා. කූඩු හදලා කොල අලවලා රැලි තියලා මං වෙසක් කාලෙට විකිණුවා. බිම වාඩිවෙලා ඉදන් සතියක් දෙකක් එක දිගට මං කූඩු හදනවා.. කිව්වට විශ්වාස කරන්න මගේ අත්දෙකෙන් එක අවුරැද්දක් කූඩු 96 හදලා විකුනලා තියෙනවා. එක දිගට අවුරැදු 3ක් මං වෙසක් කාලෙට කූඩු හැදුවා. ගමේ හුගක් දෙනෙක් මගේන් කූඩුගන්න පුරැදු වෙලා හිටියා. වෙසක් දවසේ රෑට ගමේ ගෙවල්වල තියෙන කූඩු බලන්න යද්දී මං හදපු කූඩු හුගක් ගෙවල්වල ලස්සනට එල්ලලා තියෙනවා දකිද්දී අත්වල ආපු කර ගැටවල වේදනාවක් මට දැනෙන්නේ නෑ. 
ඊට පස්සේ මං උපන්දින කාඩ් හැදුවා. පේපර් කුලියන් ඕන මලක් මට හදන්න පුළුවන්. බුදු හාමුදුරැවන්ගේ පිහිටෙන් නිර්මාණශීලී අත්දෙකක් මට ලැබිලා තියෙනවා.ඕන දෙයක් බලාගෙන හදන්න පුළුවන් ඇහැක් මට තියෙන්නේ. කාඩ් හදලා A4 මල් හදලා මං විකුණුවා. හැම දෙයක්ම විකුණන්න කලින් මම සිය වතාවකට වැඩිය අතපත ගාලා ඒක රස විදිනවා. පුදුමාකාර සතුටක් මං ඒ දේවල් වලින් ලැබුවේ.
ඔහොම ඉන්න කොට මට ඕන වුනා මගේම කියලා ව්‍යාපාරයක් කරන්න. අතේ ඉතුරැ වේච්ච සල්ලි තිබුන නිසා මං වැඩේ පටන් ගත්තා. උදේ 2.45 ට ගෙදර ලගින් බස් එකේ නැගලා තනියම මහර ගමට ඇවිත් ඇදුම් ගෙනියනවා. උදේ 7 වෙද්දි මං මහරගමට යනවා. ඊට පස්සේ ඇදුම් ටිකක් අරගෙන උදේට කනවා. කොහොම හරි විසි තිස් දාහක රෙදි මේ අත්දෙකෙන් උස්ස ගෙන අමාරැවෙන් දෙහිවලට ඇවිත් බස් එකක් එනකන් ඉන්නවා. එතන තියෙන කඩේකින් කිරි පැකට් 2ක් අරන් එකක් මං ඒ වෙලාවෙම බොනවා. අනිත් එක මගදී බොන්න තියා ගන්නවා. මොකද තේ බොන්න බස් එක නැවැත්තුවට මං බහින්නේ නෑ. දුක් මහන්සියෙන් උස්ස ගෙන එන රෙදි බෑග් එකක් අරන් කව්රැ හරි බැස්සොත් කියලා මං හරි බයයි. කොච්චර මහන්සි වුනත් බස් එකේදි පොඩ්ඩක්වත් නිදියන්නෑ. ‍ගෙදර එන කොට 3.15 වෙනවා. ඔය විදියට මං දුක් විදින්න පුරැදු වුනා. මට කොහොම හරි නැගිටින්න ඕන වුනා. අතේ අපු කර ගැට කැලැල් අදටත් තියෙනවා. මට ඕන ලොකු තැනකට යන්න.
මේ උපන්දිනේ වෙද්දී මං සැලකිය යුතු පඩියක් ලබන කෙනෙක් වෙලා. මට දැන් ජොබ් එකක් තියෙනවා. කම්පියුටර් ගැන පුංචි දැනුමක් තියෙනවා. තවත් ඒ ගැන ඉගෙන ගන්නත් මං යනවා. මේ හැමදේම මං කරන්නේ මගේ ඉලක්ක වෙනුවෙන්. 
හෙට ලබන උපන්දිනේ ගැන කියන්න ගිහින් මේ දේවල් ලිව්වේ මගේ ජීවිතේ දුක් විදලා අද ඉන්න තැන ගැන පුංචි ආඩම්බරයක් තියෙන නිසා.
හෙට ලබන උපන්දිනේ කාට මතක තියේවිද කියන්න මං දන්නේ නෑ. කව්රැ සුභ පැතුවත් නැතත් මං මේ උපන් දිනේදී ඉන්නේ හුගක් සතුටින්. මූණු පොතේ පිහිටෙන් මට ලැබුණු අතිජාත සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් අදටත් මා එක්ක කතා කරනවා. මං විශ්වාස කරනවා මගේ ලොකු අයියටත් කොච්චර වැඩ තිබුනත් ම‍ට කෝල් එකක් දෙන්න අමතක වෙන එකක් නෑ කියලා.කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්නේ නැති මං මල්ලියගෙන් නම් පුංචි තෑග්ගක් ඉල්ලුවා. ඒ කකුල් දිග බෝනික්කෙක්. මං ආසයි එයාලට. 
ඉතින් හෙට තියෙන උපන් දිනේ තියෙද්දී අද පෝස්ට් එක දැම්මේ මං හෙට නිවාඩු නිසා.ජීවිතේ හැම දුකක්ම බෙදා ගන්න ඔයාල‍ට කේක් කෑල්ලක් නොදී කොහොමද. ඉතින් යාළුවනේ අන්තිමට මං ඔයාලගෙන් ඉල්ලන එකම තෑග්ග මාත් එක්ක හැමදාම ඉන්න. ලබන හැම උපන්දිනයක්ම විවිදාකාර වෙනස්කම් එක්ක සමරන්න. 

2011-10-22 
ප.ලි. හෙටින් ලබන මගේ උපන් දිනෙත් එක්ක මගේ බ්ලොග් එක ලස්සන වෙයි. කවදාවත් නැති විදියට. හිතේ සතුට එක්ක ලියමි හිත නිවෙන තුරැ. 

33 comments:

  1. මෙච්චර මේකිට කතා කරලත් නිකමට කිව්වෙ නැනේ...අනේ බොල....යන එන ගමන් ඔතැනට ගොඩ උනාම...පොළියත් එක්ක මේවට ගෙවන්න වේවි...හොඳ බට්ටියෙ....

    උපන් දිනේ හෙටනෙ....අද ඉඳන්ම සුබ පතන එක හරි නෑ වගේ....හික්ස්

    අර අලුතින් පටන් ගන්න ජීවිතයට සුබ පැතුම් ඔන්න.....

    ReplyDelete
  2. ඔන්න ‍එහෙනම් වේලපහම සුභ උපන් දිනයක් කිව්ව...

    (මූණු පොතේ ඉන්නව නම් අපිට මැසේජ් කෑල්ලක් ගැහුවොත් නරකයි නේද?... කලින් දැම්ම වගේ කේන්ති පෝස්ට් නැතුව මේකෙ වගේ උඹේ කතාව ලිව්ව නම් මොකෝ... ඒක ලිව්ව වෙලාවෙත් මේ වගේ එකක් ලිව්වනම් වටිනව බන්.. )

    ReplyDelete
  3. දිල් අක්කා කිව්වත් වගේ උපන්දිනේ හෙට නිසා අද සුබ පතන එක හරි නෑ නෙව.

    ඔයා වගේ තමා අපිත්. අපි ලියුම් කවර අලවලා තියෙනවා. හදුන් කූරු හදලා තියෙනවා. පහන්තිර අඹරලා තියෙනවා. ආහ්... තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ දවස්වල කරන්නේ ඇඳුම් මහන එක.

    ReplyDelete
  4. @ දිල් අක්කා
    උපන් දිනේට මට ලැබෙන්න ඕන ලොකුම තෑග්ග ඔයා මට අද දුන්නා අක්කියෝ.පිං. හුගක් සිතුටින් මං.
    ඇයි මං කිව්වේ හෙටට මෙච්චර අවුරැදු ගානක් කියලා.මං හිතුවා ඇහුනෙ නෑ තමයි කියලා.

    ReplyDelete
  5. @ සාතන් අයියා
    ස්තූතියි අයියේ.
    මේ දැන් ලැබුනු උණුසුම් ප්‍රවෘතියක් අද සිට ක්‍රියාත්මක වන පරිදි බට්ටිගේ පඩි ඉහල දමන ලදි. (කාටවත් කියන්න එපා මේ දැන් අයියා කෝල් කරලා කිව්වේ. නැත්නම් අද පඩි අරන් යද්දි මාව උස්සයි)

    ReplyDelete
  6. @ මධුරංග
    ඒකනේ මට හෙට ලොග් වෙන්න වෙන්නේ නෑ. ඒකයි දැම්ම ලිව්වේ.

    ReplyDelete
  7. සුභ උපන් දිනයක් බට්ටි.....
    අපි හැමෝම මල් පාවඩ වල ඇවිදින අය නෙවෙයි....දුක සතුට අපි හැමෝටම උරුම දෙයක්නෙ.....ඒ නිසා මේ හිතේ තියන ශක්තිය හැමදාමත් රඳවගෙන ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන්න.....සුභ පැතුම්.

    ReplyDelete
  8. ඔන්න අක්කේ මගෙනුත් සුභම සුභ උපන්දිනයකට ආසිරි...
    පාටියක් දාන්න හේතු දෙකයි.. මෙයාගේ පඩිත් වැඩි වෙලා.. දිල් අක්කගෙන් පාර අහන් එනවා කේක් කෑල්ලක් ඉල්ල ගන්න මම ලංකාවේ හිටියනම්.. අක්කගේ මුහුණුපොතෙන් මට රික්වෙස්ට් එකක් දාන්නකෝ..

    ReplyDelete
  9. දුක් විඳල තැනකට ආවම තමයි ඒකෙ වටිනාකමක් තියෙන්නෙ. ඔයාට වරදින්නෙ නෑ.
    සුබ උපන්දිනයක්!

    ReplyDelete
  10. මටත් හෙට දවස ගැන නම් ලොග් විම ගැන ලොකු ශුවර් එකක් නැති නිසා ඔන්න අදම සුභ පතනවා... තව අවුරුදු 3කින් නෙමේ ඊලග අවුරුද්දේ උපන්දිනේටම ඔයාගේ අරමුනට යන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා....

    සුභ උපන්දිනක් බට්ටියේ....

    ජිවිතේ දුකයි ගලන්නේ කදුලු මල් තමයි....

    ReplyDelete
  11. අඩේ කිව්ව නේන්නම්...ඒත් ඉතින් අර තරම් දේවල් කතා බහ කරන අතරතුරේ කොහෙද ඕවට ඇහුම්කන් දුන්නේ....

    @සාතන්

    කියලා දෙන්න ඕනෙ දේවල් කියලා දුන්නා සාතන් මම...අහනවානම් බට්ටිය අහලා ජීවිතේ හදාගනීවි..හැබැයි ඉතින් මම අර කවුද වගේ හැමදාම කියන්න යන කෙනෙක්නම් නෙමේ....

    ReplyDelete
  12. සුභ පැතුම් බට්ටි නගේ...

    මෙච්චර දවසක් ලිව්ව හැම එකටම වඩා මේ පුංචි ලිපියට මං කැමතියි. මේකේ තියෙනවා පියරු බබෙක් නොවුන ළමයෙක්ගේ කතාවක්... හුගාක් අය දුක් වින්දයි කිව්වට ඒ එක්කෝ ආදරය වෙනුවෙන්..එහෙමත් නැත්තං පහු කාලීනව බලනකොට ඒ හැටි වැද ගැම්මකට නැති දේවල් වලට..ඒත් ඔයාගේ තියෙන්නේ හුස්ම ගන්න කරපු මහන්සියේ කතාව... ඒ ටික මෙහෙම ලිවීම ගැන සතුටුයි...

    අනාගත ජීවිතය වාසනාවන්ත එකක් වේවා..!

    ReplyDelete
  13. බට්ටියට සුභම සුභ උපන් දිනයක් වෙන්න ඕන.කමන්ට් දැම්මේ නැති උනාට බට්ටිගේ පොස්ට් ගොඩවෙලාවට කියවනවා.

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් වේවා බට්ටි !!!!

    ReplyDelete
  15. ඔයාගේ මල්ලි එනවා ළගදිම ඔයා ආස කරන කකුල් දිග බෝනික්කෙකුත් අරගෙන එනවා මගේ අක්කිව බලන්න...... ඔයාට සුභම සුබ උපන්දිනයක් හා වාසනාවන්ත අනාගතයක්. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.... ඔයාගේ දුකේදී වගේම සැපේදීත් ඔයගෙම මල්ලි ළග ඉන්නවා හැමදාමත්..............

    ReplyDelete
  16. අනේ ටිකක් පරක්කු වුනානෙ මේ පැත්තෙ එන්න.කොහොම වුනත් ඔයාට සුභ උපන්දිනයක් බට්ටි.

    ReplyDelete
  17. @ ලකී
    ස්තූතිය යාළුවේ

    ReplyDelete
  18. @Dinesh
    ස්තූතියි මල්ලියෝ. අක්කිගෙන් මගේ විස්තර අහගන්නකෝ.ලංකාවට අවහම බලන්නත් එන්න.එදාට පාටියක් දෙන්නම්. මගේ මූණු පොතේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක් ඉන්නේ. ඒ අතරට අනිවාරයයෙනම මං ඔයාවත් එකතු කර ගන්නම්.

    ReplyDelete
  19. @ ``` Outsider```
    ස්තූතියි යාළුවේ.

    ReplyDelete
  20. @ දේවා ගේ අඩවිය
    ස්තූතියි සුභ පැතුමක් සටහන් කරලා යන්න අමතක නොකලට.

    ReplyDelete
  21. @ දිල්
    ඊයේ මං කීපරක් ෆෝන් එක දිහා බල බල හිටියද.අක්කා දැන් ගනී දැන් ගනී කියලා. අම්මෝ මගේ හීනේ හැබෑ කරමින් ඔයා කෝල් කරද්දී මට පුදුමාකාර සතුටක් දැනුනා. ඔයාට ගොඩක් පිං මගේ අක්කියේ. ඔයා කියපු දේවල් දෙපාරක් කියන්න වෙන්නේ නෑ.සත්තයි.බට්ටි හැදෙනවා ඒ විදියටම. මග හොදට තිබෙන බව ඔබ පවසද්දිත් මං මොකට කටුපදුරැ වල යන්නද?
    අක්කා දන්නවනේ මං ඊයේ හුගක් සතුටින් හිටියේ. උදේ 5 වෙද්දී ගෙදර හැමෝම සුභ පතලා ඉවරයි. මව වටින කීදෙනෙක් ඉන්නවද.
    මගේ අක්කා එයාගේ අදරේ ජයඅරගෙන ඒ කිරැළ පලදින්න දෙසැම්බර් ලංකාවට එනවා. ඒ එද්දී මට උපන්දින තෑග්ගට ලැප් එකක් ගේනව කිව්වහම මට දැනුන සතුට. ඒ සතුට හැමෝටම කලින් කෙටි පනිවුඩයක සටහන් කරලා මං එව්වේ ඔයාට.
    මං නැගිටිනවා අක්කියෝ. සත්තයි.
    නොදැක්ක නොදන්න ඔයාට මගේ හිතේ තියෙන ගෞරවය නම් මේහෙම ලියලා ඉවර කරන්න බෑ.

    ReplyDelete
  22. @ මාරයියා....
    ස්තූතියි මගේ මරයියේ.
    මට දිල් අක්කා කතා කරානේ.ඔයාට පුළුවන්නම් අයියේ අක්කගෙන් නම්බර් එක ඉල්ලන් මට කතා කරන්න. මං ආසයි අයියා එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න ලැබෙනව නම්.

    ReplyDelete
  23. @ බිගුසර
    සුභ පැතුමක් එකතු කලාට‍ ගොඩක් ස්තූතියි. ඔයාලගේ වචන මට ලොකු ශක්තියක්.

    ReplyDelete
  24. @ මධුරංග
    ස්තූතියි මධූ.

    ReplyDelete
  25. @ Udara
    මං දන්නවා.මල්ලීට වැඩ නොතිබුනානම් ඊයෙම එනවා කියලා. අපි එක කුසක ඉපදුනේ නැති වුනාට ඔයා මට මගේම සහෝදරයෙක් වගේ. මං ලියන දේවල් ඔයාට බල්න්න මං හැමදාම මේල් කරද්දී අනේ අක්කී මට කියවලා විතරක්මදී මම කම්න්ට් එකකුත් දාන්න හදා ගත්තා කියලා කිව්වහම මට පුදුම හිතුනා.මොකද ඔයාට අහස උසට වැඩ නිසා.

    ReplyDelete
  26. @ නිසුපා
    ස්තූතියි අක්කියෝ. පරක්කු වෙලා හරි ඔයා ආවනේ.

    ReplyDelete
  27. මම ඒ හැම දෙයක්ම කරේ මගේ අක්කිට තියන ආදරේට...
    කොහෙම වුනත් මම පුළුවන් තරම් ඉක්මනටම එනවා ඔයාව බලන්න..

    ReplyDelete
  28. @ උදාර මල්ලී
    ඔව් ඔව් මගේ දිල් අක්කියි, මාර අයියත් මාව බලන්න එනවා.ඉතිං ඔයා අනිවාරයයෙන්ම එන්න ඕනනේ.

    ReplyDelete
  29. ඔන්න මමත් බට්ටිව බලල යන්න ආව, අද තමයි මුලින්ම ගොඩ වැදුනේ
    පහුගිය දවස් ටිකේ වැඩිය ජාලගත වෙන්න ලැබුනේ නැහැ රැකියාව නිසා
    පරක්කු වෙලා හරි කමක් නැහැ, ඔබට සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා මමත්
    තවත් එක් දිරිය යුවතියක් හඳුනා ගන්න ලැබීම සතුටක්.....
    ඉඩක් ලැබෙන හැටියට ලිපි ටික ඔක්කොම කියවන්නම්

    ReplyDelete
  30. @ ලොකු පුතා.
    ලොකු පුතාව බට්ටි ලොවට සාදරයෙන් පිළිගන්නවා. වැඩ රාජකාරී අතරෙත් සුභ පැතුමක් එකතු කලාට බොහෝම ස්තූතියි.

    ReplyDelete
  31. ඔව් බට්ටි ඔයාගෙ දස්කම් ගැන මං හොඳටම දන්නවා. ඔයා හරිම ආත්ම විශ්වාසය තියෙන දක්ෂ කෙල්ලෙක්. එකේ ප්‍රතිපළුය ඉක්මනින්ම ඔයව ලොකු තනතුරට අරන් යයි අනිවාරෙන්ම. මම ඔයාට හදවතින්ම සුබ පතනවා. සදහටම ඔයාගෙ දුක සැප බෙදාගන්න මන් ඉන්නවා ඔයාගෙ සෙවනැල්ලක් වගෙ.

    ReplyDelete