Loading...

July 30, 2012

ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ?



හැමෝම දන්නවනේ බට්ටිට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියෙකුයි කියලා. අක්කා ඉන්නේ දුර රටක. ආ දැන් ඉතිං බට්ටි ලියන පොස්ට් එයත් කියවන්න පටන් අරන්නේ. සුට්ටටක් විතර ලැජ්ජත් එක්ක. :D එයා ආසයි මම ලියන ඒවට.  ඇයි එයා එක්ක ඉන්න අනිත් ඔ‍ක්කොම අක්කිලත් දැන් ‍බට්ටි කියවන්න පටන් අරන්. ඒක ඉතිං බට්ටිට ලොකු සතුටක්. 

මතකනේ පහුගිය පොස්ට් එකකින් ලිව්වා මිහිරි ළිදේ වැටුන හැටි. අක්කා මේ පොස්ට් කියවලා බට්ටිට කියනවා ඇයි මිහිරි විතරද වැටුනේ අනිත් අය වැටුන ඒවත් ලියන්න කියලා. ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ? හේ හේ තව අයත් වැටිලනේ. ‍ ඔන්න ඉතිං ලැජ්ජාව පැත්තකින් තියලා අක්කා කිව්ව නිසා බට්ටිත් ලියනවා අර ළිදේ වැටුන අනිත් අය ගැන.....:P 

ඔන්න ලස්සනම ලස්සන ගමක් තිබුණලූ, කදුවැටි , ඇලක් වගේම සීතලම සීතල වතුර පිරුණු ළිං ඕන තරම් තියෙන. ඉතිං මේ ගමේ හිටියලූ කටකාර දගකාර පුංචි කෙල්ලක්. කෙල්ලක් වුනාට මෙයා හරියට ඉස්සෙක් වගේලූ. එක තැනක ඉන්න තේරෙන්නෙම නෑලූ. මේ ඉන්න තැන අර පැත්ත බලලා මේ පැත්ත බලද්දි නෑලූ. ඉතිං මේ පුංචි කෙල්ලට ‘බිං ඇටේ, බටු ඇටේ” වගේ නම් නෑයන්ගෙන් තෑගි ලැබුනලූ. ඔය අතරින් වැඩිපුරම කියන්නේ බිං ඇටේ කියලා තමයිලූ. එහෙම කියන්නේ ඉතිං මෙයා දොඩන් ගෙඩි දෙක්කවත් උස නැති නිසාලූ.  

කන්දේ මාමා කියන්නේ මෙයාගෙ නෑයෙක්ලූ. ඉතිං අයියා අක්කා එක්ක මේ කියන පුංචි කෙල්ල නිතර එහේ යනවලූ. මොකද ලොකුම ලොකු ඔංචිල්ලාවක් තියෙනවාලූ එහේ ඒක පදින්න. හැබැයි ඉතිං පැන ගෙන ගියාට මෙයා හරි බයයිලූ ඔංචිල්ලාව පදින්න. මොකද ඉස්සරහට යනකොට මෙන්න මෙයාගෙ හුස්ම හරිවෙන්න එනවා කියලා ලණුවත් කිටි කිටියෙ තදින් අල්ලගෙන ඇස් දෙකත් තද වෙන්න පියා ගන්නවලූ.පවු නේද මේ පුංචි කෙල්ල.හිකිස්.... 

ඉතිං මෙහෙම ඔංචිලි පැදලා අක්කා අයියා එක්ක ගෙදර එන්න ඇවිත්. ලොකු කන්දකනේ කන්දේ මාමගේ ගෙදර තියෙන්නේ ඉතිං මෙයාගෙ ගේ තියෙන්නේ පාර අයිනේලූ. ඉතිං කන්ද බැහැලා එන්න ඕනලූ ටික දුරක්.අක්කයි අයියයි හෙමින් කන්ද බහිද්දි මේ බටු ඇටේ තේ පදුරු අස්සෙන් එයාලව දාලා පහලට දුවලා. කන්ද පහල තියෙනවා නෑ නෑ තියෙනවා නෙවෙයි තියෙනවලූ හරිද ලස්සන ළිදක්. වතුර පිරිච්ච. මේ අර මිහිරි වැටුන ළිද නම් නෙවෙයි හොදද? මේ ළිද තියෙන්නේ ලොකුම ලොකු අඹ ගහක් යටලූ. ඒ ගහේ අඹ මී පැණි තරම්ම රසම රසයිලූ. ඉතිං මේ පුංචි කෙල්ල ළිද ලගට එද්දි  කහම කහපාට අඹ ගෙඩියක් ළිදේ පාවි පාවි තියෙනවලූ. ගන්න කෝටු දැම්මලූ ඒත් බෑලූ. කොටුව වදිද්දිම අඹ ගෙඩිය යට යනවලූ. දැන් ඉතිං කොහොම හරි ඉක්මනින් මේ අඹ ගෙඩිය ගන්නත් ඕනලූ. මොකද අක්කයි අයියයි ආවොත් එයාලා එක්කත් මේක බෙදා ගන්න වෙනවනේ.ඒ මදිවට ලග ලගම ළිදට නාන්න කෙනෙකුත් එනවලූ.කොටුව දාලා දාලා කකුලත් දාලා අඹ ගෙඩිය ලගට ගන්න බැලුවට හරි ගිහිල්ලම නෑ. ඉතිං පමාදවෙලා පසුතැවෙන්න වෙයි කියලා හිතපු මෙයා පැන්නලූ නේ අඹ ගෙඩිය ගන්න ළිදට.දැන් ඉතිං මොනවා කරන්නද? ඒ ළිදේ වතුර පිරිලා. උස එක්කෙනෙක් නම් කමක් නෑ බටු ඇටයක්නේ. මේ පිස්සු කෙල්ලගේ වාසනාවට අර දෙපැත්තෙන්ම එමින් සිටි තුන් දෙනා මෙයාව බේර ගෙන.  ඇදුම් සේරම තෙමාගෙන. ළිදෙන් ගොඩට ගත්තට පස්සේ මෙන්න මෙයා අඩනවලූ කෑගහලා. කට්ටියම හිතලා තියෙන්නේ ළිදේ වැටුන එකට බයේ තමයි මේ අඩන්නේ කියලා. ඉතිං නලව ගන්න එක එක දේවල් කියලා. කෝ ඒත් නෑලු අඩන එක නතර කරන්නේ.මෙන්න ඒ ගමන මෙයා කිව්වලූ ‘අනේ මට අර කහ අඹ ගෙඩිය ඕන.හැබැයි ඔන්න කාටවත්ම කෑල්ලක්වත් දෙන්නෙ නෑ නෑ නෑමයි” කියලා.අපොයි පෙරේතයි කියලා මෙහෙමත් පෙරේත වෙනවද මං අහන්නේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ල බේරිලත් හිතන්නේ අඹ ගෙඩිය ගැන.මතකනේ මේ පෙරේත කෙල්ල එක පාරක් ඩොන්කා කන්න ගිහින් ඔළුව පලා ගනිපු හැටි. ආ ඒ විරද තව තියෙනවලූ ඔහොම කෑම කන්න ගිහින් ඔළු පලා ගනිපු සිද්ධිත්. එව්වා ඉතිං පස්සේ කියන්නම්. බට්ටි දැන් යනවා. හැබැයි ඔන්න මේ පුංචි කෙල්ලට කියන්න එහෙම එපා මම මේවා ඔයාලා එක්ක කිව්වා කියලා අලිද........?:D :D :D

July 21, 2012

කාලය අපි ගෙනියන හැටි

කාලය මිනිස්සුන්ගේ හැමදේම වෙනස් කරනවා.කවමදාවත් මිනිස්සු එක තැනක එක විදියට නතර වෙලා ඉන්නෙ නෑ. ඉන්න ඕන වුනත් ඉන්න වෙන්නෙත් නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපි අකමැති වුනත් අපිට ඒ දේවල් වලට හැඩ ගැහෙන්න වෙනවා. 
අද ඉන්න මිනිස්සු අපි ලග හෙට නෑ. හෙට ඉන්න අය තව ටික කාලයකින් නෑ. ඔය විදියට හොදට නරකට දෙකටම හේතු වෙන මිනිස්සු අපේ ජීවිත වලට ඇවිත් යනවා. සමහරු ගියත් දැනෙන්නෙ නෑ. ඒත් සමහරු යද්දි යන්නේ සදකඩ පහණක නෙලනවා වගේ අමතක නොවෙන රටා අපේ හදවතේ තියලා.
ඉස්කොලෙ යද්දි ගුරුවරු යාළුවෝ තමයි හැමදේම වෙන්නේ.හැම වෙලාවෙම හිතේ තියෙන්නේ ඒ දේවල්. ඒත් ලොකු වෙද්දි සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඉස්කෝලෙ යන කාලේ හිටිය අය නෙවෙයි ඊට පස්සෙ වෙනස් පිරිසක් ජීවිතේට එකතුවෙනවා. ඒපාර රැකියා. ජීවිතේ තවත් පාරකට ඇදල දාලනවා. 
 
සමහරු බලාපොරොත්තු වෙන රැකියාවම ලැබෙනවා. තවත් සමරු තමන්ට ඕන රැකියාව කොහොම හරි ලබා ගන්න හොයා ගෙන යනවා. තවත් සමහරු ලැබෙන රැකියාව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි භාරගෙන කරගෙන යනවා. ඒක තමයි ජීවිතේ හැටි.
කියන්න හිතාගෙන ආවේ වෙන දෙයක් අප්පා. ලියන්න අරන් තියෙන්නේ වෙන දෙයක්. හලි හලි දැන් බට්ටි කියන්න ආපු දේ කියන්නම්කෝ..
බට්ටිගෙ ජීවිතේ හුගක් උදව්වුන හුගාරියක් තනියට ලගින් හිටිය අයව අත ඇරලා බට්ටිට එන්න වුනා. බොහෝ පොස්ට් වල ලියවුනු ඉන්න ගෙදර අක්කලව දාලා බට්ටි ඇවිත් අදට සති දෙකක්. ආදරය රැකවරණය දුක සතුට හැමදේම ඒ වහල යටදි බට්ටිට ලැබුනා. හුගක් වෙලාවට බට්ටිගෙ හැමදේම අහන් ඉන්න තරම් හිටිය ගෙදර අක්කා කාරුණික වුනා. දුක කියා ගන්න බෙදා ගන්න බට්ටිට කෙනෙක් හිටියා. මාස ගානකට උඩදි සයිබරය නිසාම හිත තුවාල කර ගෙන කෑගහල අඩපු මගේ හිත එයා හැමවෙලේම හැදුවා.  විසදුම් දෙන්න බැරි වුනත් උපදෙස් දුන්නා, ඒ වගේම කියන දේ අහන් හිටියා. ඒකාලේ අක්කා බට්ටිට එක මහ ලොකු අස්වැසිල්ලක් වුනා. අද ඒ විදියට අහන් ඉන්න එයා ලග නෑ. අද වෙන අය ජීවිතේට එකතුවෙලා. ඒ හිස්තැනට වෙන අය ඇවිත්. හ්ම් පුදුමයි ජීවිතේ නම්.
බට්ටි හීන මැව්වෙ කොළඹ ඉන්න කල් අක්කලා එක්ක එකට ඉන්න. ඒත් දෛවය ඒක වෙනස් කලා. අපිට ඕන වුනත් අපිට ඕන තැන්වල නතර වෙන්න බෑ. ඉතිං අක්කලා ගෙවල් මාරු කලා. එහේ ඉදන් බට්ටිට වැඩ කරන තැනට හුගාක් දුරයි ඉතිං බට්ටිට ඒ ගෙදරට ආයුබෝවන් කියන්න වුනා. කොළඹට එද්දි යාන්තම් ඇදුම් කෑලි දෙක්ක බෑග් එකට දාන් ආපු බට්ටි, අක්කලා ඒ ගෙදර ඉදන් වෙන එකකට යද්දි කාඩ් බොඩ් පෙට්ටියක් පිරෙන්න බඩු දාන් ගිය බට්ටි, වෑන් එකක් අරන් ගිහින් අල්මාරියක් පුරවලා බඩු අරන් අලුත් තැනක කූඩු වුනා. දෝනා, අත්තම්මා ඒ හැමෝම දාලා බට්ටි ඈතට ආවා. හැමදාම රෑට කකුල් දෙක අල්ලලා වදින අත්තම්මගෙයි අක්කගෙයි කකුල් දෙක අල්ලලා ඒ අය අඩද්දි වැදලා බට්ටි හැමදේමත් අරන් එන්න ආවා. එයාල නැති පාලුව තනිකම මෙච්චරයි කියන්න බෑ.කාගෙන් හරි ඈත් වුනහම මයෙ පපුවට කවම දාවත් මේ තරම් දුකක් දැනිලා නෑ. සති දෙකක් ගියත් ඒ දුක තවම අඩු වෙලත්නෑ. බ්ලොග් කියවන්න කමෙන්ට් කරන්න තරම්වත් හිත එකලාස නෑ. ඒ තරම්ම ඒ දුරස් වීම තවම හිතට දැනෙනවා. 
අලුත් තැන මහ හුගක් හොදයි. ආරක්ෂාවයි. කාලයත් එක්ක එතනට හුරුවෙයි. අක්කලගෙ මතකය හැමදාම හිතේ පැලපදියන් වෙලා තියෙයී. සිංදු කියකියා පිස්සු නටන බට්ටි ඉන්න නිසා අක්කලා කිව්වේ එයාලා රේඩියෝ ගේන්නෙ නෑ, බට්ටි ඉන්න නිසා කියලා. ඒත් අද බට්ටගෙ සිංදු පෙට්ටිය වැහිලා. අලුත් ජීවිතේ නිදහස් නිස්කලංකයි. ඒත් පිස්සු නටපු කටකාරකම් කරපු ඒ ජීවිතේ ලග බට්ටිගෙ හිත තවමත් නතර වෙලා...


මූණුපොතේ තිබුන මේ පොටෝව නිසා තමයි කම්මැලි වෙලා හිටිය බට්ටිට පොස්ටුවක් ලියන්න හිතුනේ. හිටිය ගෙදර අත්තම්මගෙ බත් කටක් කාල එන්න හෙට බට්ටි යනවා.අවුරුදු දෙකක් දුන්න රැකවරණයට ආදරයට මම ඒ අයට මහ හුගක් ණයගැතියි. ජීවිතේ තියෙන තුරාවටම....

July 11, 2012

ඉදිකටුවයි නූල් බෝලෙයි...


කොහොමද මගේ යාළුවනේ..බට්ටි නම් මේ දවස් වල ටිකක් අවුල් වෙලා ඉන්නේ. පෙරේදා පෝස්ට් එකක් දාන්න හිතන් දුක් ගීයක් ලියන්න පටන් ගත්තා. ඒත් අන්තිමේදී ඒක කතාවක් වුනා. භාගයක් ලියද්දි තව අඩන්න බැරි නිසා නතර කලා. ඉතුරු ටික හෙමින් ලියන්නයි හිටියේ ඒත් මගේ යාළුවා ෆාතිමාට ලියලා ඉවර කලටික යැව්වා කියවන්න. ඉතිං එයා කිව්වේ එපා බට්ටි ඕනෙ නෑ ඉතුරු ටික ලියන්න ඒකෙන් වෙන්නේ හිතේ තියෙන දුක වැඩි වෙන එක විතරයි කියලා. ඉතිං ලියපු ටික බට්ටි ඩිලීට් කරලා දැම්මා.හ්ම්....ඉතිං මේ ආදරණීය යාළුවා කියලා එහෙම කලාට පස්සෙ බට්ටිගේ හිත දිව්වා පුංචිම කාලෙට. ඒ බට්ටි එක්ක හෙවණැල්ලක් තරම්ම ලගින් හිටිය යාළුවා ලගට..

            මම බට්ටි එයා මිහිරි.ඒ කාලේ අපි දෙන්නට හැමෝම කිව්වේ ඉදිකටුවයි නූල් බෝලෙයි කියලා. බට්ටි කොතැනද මිහිරි එතැන. අපි දෙන්නා හැමදාම ඉස්කෝලෙ යන්නේ එකට. කලින් ලෑස්තිවෙන කෙනා අනිත් කෙනාගෙ ගෙදරට යනවා ගිහින් එයත් එක්ක තමයි නැලවි නැලවි පැද්දි පැද්දි රටේම තියෙන ගස්වලින් මල් කඩ කඩ ඉස්කො‍්ලෙට යන්නේ. ගෙදර ලග ඉදන් ඉස්කෝලෙට වැඩි දුරක් නැති නිසා ඕන තරම් නැලවෙන්න පැද්දෙන්න වෙලා තිබුණා. මේ දවස් වල අපි දෙන්නම ගෝනි බිල්ලන්ට හරිට බයිය. නිදා ගත්තත් පේන්නෙම ගෝනිබිල්ලො ඉන්න හීන. ගෝනි බිල්ලෝ ඇවිත් බඩේ තෙල් ගාලා අපිව ගිලී කියලා නැත්නම් ගෝනියක දාලා අරන් යයි කියලා අපි දෙන්නම හිටියේ මාරම බයකින්. ඉස්කෝලෙ ඇරිලා එද්දි කෙච්චර පැද්දි පැද්දි ආවත් නිකන් පාරෙ යන වාහනයක් වේගෙ බාල කලත් දෙන්නා පණ කඩාගෙන දුවනවා. අම්මෝ.. දැන් නම් මතක් වෙද්දිත් හිනා.

            දවල්ටත් ඉතිං ඉස්කෝලේ ඇරිලා ඇවිත් එක්කෝ මම බත් එකත් බෙදාගෙන මිහිරිලගෙ ගෙදර යනවා. නැත්නම් මිහිරි අපේ ගෙදර එනවා. වැඩි පුරම යන්නෙ මම තමයි. මොකද මිහිරිලගෙ ගෙදර නාන්න ෂෝක් ළිදක් තියෙනවා. වතුර අයිස්කැට වගේ. ළිදට ඉස්සරහින් තියෙන්නෙ කුඹුරක්. දෙන්නම ඉතිං කුඹුරේ තියෙන ලස්සන ලස්සන පුංචි ගස් ජාති ගලව ගලව ඇවිදලා, නාගෙන තමයි කන්න පටන් ගන්නේ. දෙන්නම යන නිසා ළිදට යන්න අවසර ලැබිලා තිබුණා. 


            ඔන්න ඉතිං එක දවසක් බට්ටිට ඉස්කෝලෙ ඉවර වෙලා පොරොන්දු වුන විදියට මිහිරිලාගෙ ගෙදරට යන්න බැරුව ගියා. යද්දි ටිකක් පමාවුනා. යද්දි මිහිරි මූණ දෙක කර ගෙන අඩ අඩ ඉන්නවා. ඇගත් සේරම තෙමිලා. ඇයි කියලා අහන්න හැදුවා විතරයි මෙන්න පරමාණු බෝම්බයක් වගේ මගේ ඇගට කඩන් පැන්නා. ඔයා නිසා තමයි මේ සේරම වුනේ කියලා මිහිරි මට බනිනවා. ඇයි වදේ මොන වරදක් කලාටද මෙයා මේ මට බනින්නේ. මමත් ඉතිං සද්ද නැතුව හිටියේ නෑ එයාටත් බැන ගෙන බැන ගෙන ගියා. එහෙම බනින අතරේ මම හොරෙන් එයා දිහා බැලුවා. බලද්දි එයාගේ මුළු ඇගම හීරිලා. දැන්නම් ඉතිං මට කේන්ති නෑ හෙමින් ඇහුවා මොකද වුනේ කියලා. එපාර එයත් කූල් ඩවුන් වෙලා සිද්ධිය කිව්වා. මම එන්න පමාවුන නිසා සීයත් කුඹුරෙ හිටිය නිසා එයා ළිදට ගිහින්. ඒ ළිදේ වතුර පිටාර යනවා අපි හැමදාම කරන්නේ එතන රෙදි තියලා පොකුණක් වගේ වතුර එකතු කරන එක. මෙයා එහෙම කර කර ඉදලා. මම ඒත් නැති නිසා මෙයා නාන්න පටන් ගෙන. වතුර එකක් ගන්න පහත් වෙද්දිම මිහිරි ළිදට වැටිලා. ළිද එච්චර ගැඹුරු නැති වුනාට අපි එතකොට හුගක් පුංචි නිසා අපිට වඩා අඩි දෙක තුනක් වතුර තිබුණා. මිහිරිගෙ වෙලාවට එක අතකින් ළිදේ ගැට්ට අල්ල ගන්න පුළුවන් වෙලා. අමාරුවෙන් එල්ලිලා හිටියත් කෑගහ ගන්න බෑලු බය වැඩි නිසා. හොද වෙලාවට වතුර බොන ළිදට ඒ වෙලාවේ නැන්දා කෙනෙක් ඇවිත් වතුර ගෙනියන්න. එයා තමයි මිහිරිව අරන් තියන්නේ. මම අල්ලලා බලද්දි මිහිරිගේ අත හොදටම තුවාල වෙලා තිබුණා. ඊට පස්සෙ මම මිහිරිගෙන් සමාව ගත්තා පමාවුනාට. මොකද මම ආවනම් එහෙම වෙන්නෙ නැති නිසා.මේ සිද්ධිය නිසා අපි කවුරුත් නැතුව ළිදට යන්න බය වුනා වගේම ගෙවල්වලිනුත් තහනම් වුනා. 

            ඔය විදියට ඉදිකටුවයි නූල් බොලෙයි වගේ හිටිය අපි දෙන්නට හතර වසරේ අන්තිම වාරෙදී වෙන් වෙන්න වුනා. මිහිරි ඉස්කෝලෙන් අයින් වුනා.එයාලා කොළඹ පදිංචියට ආවා. අපේ යාළුකම චුට්ටක් නෙවෙයි මහ හුගක් ඈත් වුනා. මිහිරිලා මාස ගානකට පාරක් ගමේ ආවහම ඉන්න දවස් දෙක තුන විතරයි අපිට සෙල්ලන් කරන්න වුනේ. එයාලා ගමේ එන කාලේ ලොකු ‍වෙද්දි අමතර පන්ති නිසා එන්න එන්නම අඩු වුනා.බට්ටිගේ අඹ යාළුවා ඈත් වුනා හෙමින් හෙමින්. එයා ගියාට පස්සෙ බට්ටි කවමදාවත් යාළුවෙක් ජීවිතේට ලං කර ගත්තේ නෑ. යාළුවෝ හිටියෙ නැතුව නෙවෙයි. ඒත් එයා තරම්ම සමීප වුන යාළුවෙක් හොයා ගන්න බට්ටිට ඕන වුනෙත් නෑ. සමහර විට ඒ අඩුව වෙන කෙනෙක්ගෙන් පුරවන්න බෑ කියලා හිතුනද මන්දා. ගමේ ආවොත් අපි මුණ ගැහෙනවා. ඒත් ඉස්සර තරම්ම අපේ යාළුකම දැන් නෑ කියාල දැනෙනවා. එයාටත් වෙන යාළුවෝ ඉන්නවා. ගිය අවුරුද්දෙ මිහිරි බැදලා දුර රටක පදිංචියට ගියා. ඔන්න එයා අන්තිමට මුණ ගැහුන දවසේ කියලා ගියේ දැන් බට්ටිගේ ෆයිල් එකත් උඩ ඇවිත් තියෙන්නේ දැන්ම ඉතිං මොනවා හරි කර ගන්න කියලා. පුංචි කාලේ අඹ යාළුවා බැදන්දා කියලා එහෙම වැඩ මෙහෙම කලබලේට කරන්න පුළුවන්ද නේද? බට්ටිට හීන ගොඩයි. එව්වා එළිකර ගෙන තමයි ඉතිං අනිත් වැඩ ගැන හිතන්නේ. එහෙම හොදයි නේද මගේ යාළුවනේ...:D

July 6, 2012

බස් (වල) රේඩියෝ

 ඔන්න අද මේ බට්ටි කියන්න හදන්නෙ ගිම්හානි අක්කයි ,ප්‍රියන්ත අයියයි නිශාන්තය කරන බස් රේඩියෝ ගැන නම් නෙවෙයි. මම දන්නවනේ ඉතිං කස්ටිය සුට්ටක් විතර රැවටිලා තමයි ආවේ කියලා. මම ඉතිං එහෙම කියන එකේ වරදක් නෑනේ.මොකද 'හා..මූ ද?'ගැන ලිව්වහමි මූද බලන්නත් කට්ටිය ආවනේ..:D ඒකත් ඉතිං සුට්ටක් විතර මරු.

බ්ලොග් කියවන හැමෝම ඉතිං බස් වල යන අය හරි කවද හරි ගිහින් තියන අයනේ. සමහරු නම් ඇති කවමදාවත් බස් එකක ගිහින් නැති. අම්මා ...ඒක නම් මාරම පිනක් තමයි. සමහරු බස්වල යන්නෙ නෑ දාඩිය ගදයි කියලා. බස්වල යද්දි හුස්ම ගන්න බෑලු දාඩිය ගද නිසා. අනේ ඉතිං අපිනම් දාඩිය මහන්සියෙන් වැඩ කරන අයනේ . බස් නැත්නම් ඉතිං ගමනක් යන්නෙ දෙපයින් තමයි. 

අද වැඩි හරියක්ම පාරෙ තියෙන්නේ පෞද්ගලික බස්. මිනිස්සු යන්නත් කැමති එව්වගෙම තමයි. මොකද සමහර සී.ටී.බී බස් එකක සුදු ඇදුමක් ඇදන් ගියොත් බහිද්දි ඒක කළු එකක් වෙනවනේ. දැන් නම් ඉස්සරට වඩා මේ තත්ත්වෙ හුගක්ම අඩුයි. 


ඉතිං මේ අපි යන බස් වල හැම එකකම වගේ තියෙනව රේඩියෝ එකක්. මොනවද මේවගෙ දාන සිංදු , කවුරු කැමති ඒවද මේවගෙ දාන්නෙ.. ?
සමහර බස් වල උදේට දානවා රේඩියෝ චැනල්. ඒහෙම චැනල් එකක් දාද්දි නම් හුගක් දුරට ලංකාවේ තියෙන බොහෝ ගුවන් විදුලි සේවා වල උදේට ගැලපෙන වැඩ සටහන් ඒවගෙ යන නිසා ගැටළුවක් නෑ. 

එත් බස් වල වැඩිපුරම යන්නේ එයාල ලග තියෙන පීස් වල සිංදු .සමහර බස් වල දානවා අහගෙන යන්න ආස හිතෙන සිංදු..එත් සමහර ඒවගේ..අ‍පොයි දෙයියනේ කන් දෙකේ ඇගිලි ගහ ගන්න හිතෙන ඒව තමයි දාන්නේ....

පහුවෙච්ච දවසක වැඩ ඇරිලා මාත් සුපුරුදු විදියට ගෙදර යන්න නැග්ග බස් එකට. ඉස්සරහ දොරෙන් නැග්ගෙ. සෙනග හිටියා හොදටම. යාන්තම් ඉතිං ඇතුලට රිංග ගත්තා. ඒ බස් එකේ දාලා තිබුණා සිංදු දාන්න පුළුවන් උපරිම සද්දෙ දාලා. මොනවද දන්නවද දාලා තිබුනේ.මේ ලොකෙ මනුස්සයෙක් අහන්න අකමැති විකාර නන්ස්ටොප් එකක්. අනේ ඉතිං අනුන්ගෙ බස් වල යද්දි අපි ඉතිං අහන් ඉන්න බැරි වුනත් ඔහේ පාඩුවෙ යනවා. වෙන මොනවා කරන්නද?

ඒත් ඉතිං එහෙම පාඩුවේ කට පියාගෙන යන්නෙ නැති ඇන්ටි කෙනෙකුත් හිටියා මේ බස් එකේ. ඇන්ටි බනිනවා බනිනවා ඉවරයක් නෑ. ''මගේ නම් ඔළුව පැලෙන්න වගේ.මේ මොන ජරාවක්ද දාලා තියෙන්නේ. මොකක් දැම්මත් මනුස්සයෙක්ගෙ කණට දරා ගන්න පුළුවන් ප්‍රමාණයකින් දාන්න මෙයාලට මොළයක් නැද්ද" ඔය විදියට කියව කියව ගියා. ඒත් ඕක අපිට ඇහුනට ට්‍රයිවර්ටයි, කොන්දොස්තර මහත්තයටයි නම් ඇහුන්නෑ. ඇහෙන්නෙ කොහොමද රේඩියෝ එකේ සද්දෙට එතන ලග කෙනෙක් කියන දෙයක් වත් ඇහෙන්නෙ නැති තරම්....

හැබැයි ඉතිං ඇහෙන්නෑ කියලා ඇන්ටි නෙවෙයි විරෝධ දැක්වීම නතර කලේ. කොන්දොස්තර එතනින් යනකල් ඉදලා කිව්වා මෙච්චර වෙලා කිය කිය හිටිය එක. ඒ ගමන කොන්දොස්තර මහත්ත‍යා කියපි '' මේ මිස් මිස්ට අහන් ඉන්න බැරිනම් මිස් බැහැලා ඊලග බස් එකේ එන්න. මේකෙ දාන්නෙ අපිට ඕන සිංදු අපිට ඕන විදියට". දැන් ඉතිං ඇන්ටි තව මොනවා කියන්නද ? ඇන්ටිගෙ සටනට කවුරුවත් හෙල්ප් එකක් දුන්නෙත් නැති නිසා ඇන්ටි වීදුරුව පැත්ත බලාගෙන පාඩුවේ වාඩිවෙලා ගියා......

ඇත්තටම බලද්දි ඇන්ටි වැරදිත් නෑ. මොකද ඉතිං ඔය වෙලාවට මිනිස්සු මහන්සිවෙලා වැඩකරලනේ ගෙදර යන්න බස් එකට නගින්නේ. සමහරුන්ට ඔය බස් ‍එකේ යන ටිකේ තමයි නිදහසේ යන්න පුළුවන්. ආයෙම ගෙදර ගිහිල්ලා යුද්ධෙ වගේ වැඩ කරන්න වෙනවා. නිදහසේ ඇස් දෙක පියාගෙන පාඩුවෙ යන්න තමයි මම වුනත් කැමති. 

මගේ පෞද්ගලික මතය වෙන්නේ බස් වල දාන රේඩියෝ එක යම් හරයක් තිබිය යුතුමයි කියලා. මොකද ගෙදරක දාන දෙයක් නෙවෙයි. පොදු මහජනතාවටම අහන්න දාන දෙයක්. මිනිස්සුන්ගෙ රුචිකත්වය එකිනෙකට වෙනස්. හැමෝටම රුචි සිංදු හොයන්න බෑ තමයි. සමහරෙක් කැමති එකකට තවත් කෙනෙක් කැමති නෑ. ඒත් හුගක් සිංදු තියෙනවා මනුස්සයන්ට අහන් ඉන්න ප්‍රිය කනට අමිහිරි නැති ඒවා. එහෙම තමයි ගැලපෙන්නේ...

ඒත් ඉතිං තමන් ගැන විතරක් හිතලා වැඩකරන මිනිස්සු ඉන්න‍ ලෝකෙක, අනිත් කෙනා පාගලා බිමට ඇදලා දාලා තමන්ගෙ අරමුණු ඉටුකර ගන්න මිනිස්සු ඉන්න ලෝකෙක හැම දෙනෙක්ටම රසවිදින්න පුළුවන් රේඩියෝ එක්ක බස් වල දාවිද.......................? 

ප.ලි. 
ටරාං ටරාං ...... 
ඔන්න බට්ටි අද ඉදන් තෑගි දෙනවා...
තෑගි ඇනවුම් කලේ හද අල්ලපු රටින්...එත් කෝ ඒක කර ගන්න බැරි වුනා. ඒත් ඉතිං බට්ටි නෙවෙයි සැලුනේ. බට්ටි තෑගි ‍ගෙන්නුවා කෙලින්ම සදෙන්ම....