Loading...

November 2, 2011

මෙන්න නියම ට්‍රිප් ..........................2


ත්‍රී විල් එකේ 6 දෙනයි. කොහේද හැබෑටම මේ යන්නේ ................................?
යන්නේ කොහේද කියලා අහස පොළොව ගැට ගහ  ගහ ඉන්න බැරිම තැන මං තාත්තගෙන් ඇහුවා ඇත්තටම තාත්තේ අපි කොහේද දැන් මේ යන්නේ කියලා. මලමගුලයි එතකොට තමයි දන්නේ තාත්තවත් ඒක දන්නෙ නෑ කියලා.පුදුම වැඩේනේ නඩේගුරාවත් යන්නේ කොහේද කියලා නොදැන ට්‍රිප් යන රටක් අහලා තියෙනවද?
තාත්තා ත්‍රී විල් එකේ අයියට කිව්වා ඩොනල් මල්ලී මට දෙන්න පුළුවන් ගාන කිව්වනේ. ඔන්න ඒකෙන් යන්න පුළුවන් දුරක් යන් කියලා. ත්‍රීවිල් අයියත් ඇහුවා යන්න ඕන කොහේද කියලා. මෙන්න එකපාරටම මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය අම්මා කියපි සිරීපාදෙ යන්න ඇත්නම් ශෝක් කියලා.
තාත්ත නම් 13 පාරක් ගිහින් තියෙනවා කිව්වා. ඒත්  අපි ගිහින් නැති නිසා සිරීපාදෙ යන්න තීරණය කලා.
ත්‍රීවිල් එකේ ගැස්සි ගැස්සි කකුල් දෙකත් වහළට තියන් මාත් ඔහේ වැනි වැනි යනවා. අයියෝ කිසිම ගතියක් නෑ. මෙහෙම නම් ට්‍රිප් ගියාට කෝ ෆන් එකක්. වැඩේ හරි යන්නේ නැති නිසා මං දැම්මා බට්ටි FM  එක.එක දිගට පැය 24 වුනත් ඇඩ්නැති සිංදු විතරක්ම තියෙන එකම චැනල් එක. අයියා කියන්නේ ඔය චැනල් එක දැම්මොත් ඉතිං නතර කරන්න බැට්රි පන්නන්න ඕන කියලා.
එක සිංදුවෙන්ම කට්ටියම එකතු වුනා වැඩේට. ට්‍රිප් යන කොට නොකියන සිංදු ආයෙ කවදා කියන්න කියලා අරන් තියන්නද නේද? එදා කියපු සිංදු වලින් මං ආසයි තාත්තයි මායි කිව්ව “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ” සිංදුව. ගායකයගේ කොටස තාත්තා කිව්වා. ගායිකාවගේ ටික මම කිව්වා. මට හොදට මතකයි ඒ සිංදුව කියද්දි ත්‍රීවිල් එකේ අයියත් හෙමිහිට ගියේ.
සිංදු කියකියා අර පිටිපස්සේ තියෙන වීදුරුකෑල්ලෙන් පාරෙ යන අයට පොඩි වෙට්ටුවකුත් දා දා යද්දී කෑම වෙලාවත් ආවා. අම්මා කෙසෙල් කොලේ ඔතපු බත් පාර්සල් ගෙදරදී හදන් ඇවිත් තිබුණා. අපේ අම්මගේ කෑම නම් ඉතිං මතක් කලත් බඩ පිරෙනවා. ඒ තරම් රසයි. මං අම්මට කියන්නේ “ මේ ලෝකෙ ඉන්න හොදම අම්මා බට්ටිගේ අම්මා, මේ ලෝකෙ රසට උයන්නේ බට්ටිගේ අම්මා, බට්ටිට දෙයියෝ දීපු එකම මැණික අම්මියා තමයි”.
හවස් වෙද්දිවත් සිරීපාදේ නගින්න පටන් ගන්න ඕන කියලා අපි ඉක්මනින් ගියා. මස්කෙලිය චෙක්පොයින්ට් එකේදී අපිව නතර කලා. ඒත් කිසිම දෙයක් චෙක්කලේ නෑ. එන්නේ ගාල්ලේ ඉදන් කිව්වහම මෙච්චර සෙනගක් ත්‍රීවිල් එකකින් මේතරම් දුරක් ආපු පළවෙනි පාර කියලා අපිට යන්න කිව්වා.
අපි ඔන්න දෙයියනේ කියලා සිරීපාදෙටත් ආවා. අයියයි , ත්‍රී විල් අයියයි ඉක්මනින්ම නැග්ගා. අපි ඉතිං හෙමින් තමයි නැග්ගේ.මට ඉතිං දුව දුව යන්න ඕන වුනත් අම්මයි තාත්තායි ඉතිං ටිකක් ඇග මහත නිසා හෙමින් ආවේ. ඒක නිසා එයාල එක්කම නගින්න වුනා. අක්කා මගදී කකුල් රිදෙනවා කිව්වා. තාත්තා බැන්නා කට වරද්ද ගන්න එපා කියලා. මම ඒ බනින සීන් එක නම් මං උඩගෙදර අක්කගෙන් ඉල්ලන් ගිය කැමරාවේ සටහන් කර ගත්තා. පස්සේ කාලෙක ප්‍රයෝජනවත් වෙනවනේ ඔය වගේ දේවල්. තාමත් තියෙනවා. තාත්තා බනිද්දී අක්කා මූණ බෙරි කරන් ඉන්න හැටි. මතක් වෙද්දිත් හිනා.
මහගිරිදඹ දගිද්දී පුංචියට පොද වැටුනා. ඔය අතරේ ඉතිං යන අය එක එක කවි කියනවනේ. (සයුරිගේ සිරීපාදෙ පෝස්ට් එකේ ඔය කවි හුගක් ලියලා තියෙනවා) ඉතිං ඔහොම කවි කියද්දී වැදලා බහින නැන්දා කෙනෙක් අපේ තාත්තට කවියක් කිව්වා. කවිය නම් මට හරියටම මතක නෑ. කොහොම හරි කිව්වේ නම් වදින්න යන මේ අයියට උඩමළුවෙදි නංගි කෙනෙක් ලැබෙන්න කියලා. ආයෙ ඉතිං අම්මාත් ලග ඉදිද්දී එහෙම කවි කියන්න දෙන්න පුළුවන්ද? එයාලා සද්ද නොකර හිටියට මං ඉදී එහෙම. මාත් ඉතිං හැරෙන තැපෑලෙන් දුන්නා කවියට උත්තර. අන්තිමේදී ඒ නැන්දා සමාවෙන්න කවියකුත් කියලමයි පහලට බැස්සේ.
සිරීපාදෙ යන්න පුදුමාකාර පිනක් කරන්න ඕන කියලයි මං උඩට නැග්ගහම හිතුනේ. ඉරසේවේ බලන්න පැය ගානක් ඉන්න ඕන කියපු නිසා හෙට උදේ වෙද්දී දැම්ම ගියොත් ගෙදර යන්න පුළුවන් කියලා ඉක්මනින් බැස්සේ. ඔය එන අතරේ මම නම් ආවේ හොද කරනමකුත් ගහලාත හැබැයි ඉතිං සුමන දෙවි පිහිටෙන් කිසිම හීරීමක්වත් වුනේ නෑ. ඉක්මනින් පහලට ඇවිත් රෑටත් තෝසෙ කාලා අපි යන්න පිටත් වුනා.
හිතුවෙවත් නැති විදියට එක දවසින් ගෙදර යනවා කිව්වනේ ‍දැන් ඉතිං මොනවා කරන්නද? ගිනිගත් හේනට එද්දී රෑ2 විතර වෙලා. ත්‍රීවිල් එක අතර මග නතර වුනා. පෙට්ට්‍රල් ඉවර වෙලා. මරැ වැඩේ තමයි. දැන් ඉතිං මොනවා කරන්නද උදේ 6  වෙනකල් කිසිම තැනක් නෑලු පෙට්ට්‍රල් ගන්න. මම නම් ඉතිං මගේ සුවපහසු අසුනට වෙලා හොදට නිදිය ගත්තා. උදේ පට්ට්‍රල් ගෙනැත් ඇහැරනකන්ම නින්ද ගියා.   ලග තිබුන ගෙදරකට ගිහින් අපි හැමෝම මූණ හොද ගත්තා. කොහොමින් කොහොම හරි හැමෝම වෙන ඇදුමකුත් ඇද ගත්තා.
දැන් ඉතිං ගෙදර යයිද? 
තාත්තා කිව්වා මොකද කියන්නේ බට්ටි නුවර මාළිගාවත් වැදලම යන්ද කියලා. ආයෙ ඉතිං මොනවා හිතන්නද මං හා කිව්වා. ඔන්න ඩොනල් මල්ලී එහෙත් ගිහින් එමු.  අපි මාලිගාවෙත් ගිහින් මල්වත්තටත් ගිහින් එදා රෑ වෙද්දී දෙයියනේ කියලා ගෙදර ආවා. ඔන්න ඔය විදියට දවස් දෙකක් ට්‍රිප් එකක් බට්ටි ත්‍රීවිල් එකේ පිටිපස්ස කෑල්ලෙ හාන්සිවෙලා ගිහින් ආවා.
මේ ලිපිය මේ තරම් දිග වෙයි කියල නම් හිතුවෙම නෑ. කොහොම කෙටියෙන් කියන්නද? මගේ ජීවිතේ ගිය ලස්සනම ට්‍රිප් එක. මේක තමයි අපි හැමෝම ජීවිතේටම ගිය එකම ට්‍රිප් එක. ආයෙ කවදාවත් යන්න වෙන එකක් නැති වෙයි. දැන් පස්දෙනා පස්පලක. මොනවා කරන්නද?

14 comments:

  1. මොනව උනත් ජාති ට්‍රිප...!! හය දෙනෙක් හිරවෙලා ගිය නිසා ත්‍රී වීල් එකේ යනකොට තියෙන අර කුල්ලෙ දාල පොලනව වගේ ගතිය දැනෙන්න නැතිව ඇති නේද බට්ටියේ...

    ReplyDelete
  2. මරු ට්‍රිප් එකනේ බට්ටී අක්කේ.. ත්‍රිවීල් එකේ සිරිපාදේ වැදලා නුවරත් ගිහින් 6 දෙනෙක්...

    ReplyDelete
  3. ඔයා එහෙනම් අන්තිමේදි අපේ රාජධානියටත් ඇවිල්ලා ඈ. මරු නේ. මේ ට්‍රිප් එකේ වාසනාවන්තම චරිතය තමා බට්ටි. පිටිපස්සේ සැපටම යන්න පුලුවන් නේ.

    ඒක නෙමෙයි ඔයා කියන සිංදු අහං ඉන්න පුලුවන් එවුවද

    ReplyDelete
  4. සිරිපාදේ කියන්නේ ඉතින් යන්න තියන හොඳම තැන් වලින් එකක් නේ...හැබැයි ඔයානම් වාර්තාවක් තියන්න ඇති ත්‍රීවීල් එකේ පිටි පස්සේ සිරීපාදේ ගිහින් :) ඉර සේවේ බලන්නත් එක්ක ආපහු පස් දෙනාම එකතු වෙලා ගියානම් හරි...මම ප්‍රාර්ථනා කරනවා ඔන්න එහෙම යන්න ලැබෙන්න කියලා...ලස්සනට ලියල තියනවා බට්ටි...

    ReplyDelete
  5. @ මියුරැ
    ඔව් ඔව් අම්මයි තාත්තයි වාඩි වෙලා අක්කත් වාඩි වුනහම ආයෙ ඉතිං හෙලවෙන්න ඉඩක් නෑ.

    ReplyDelete
  6. @ දිනේෂ්
    ඒකනේ ලංකාවේ එහා කොනේ ඉදලා මෙහාකොනට ගියානේ.

    ReplyDelete
  7. @ මධුරංග
    මේකයි මං කියන සිංදු අහන් ඉන්න පුළුවන් .හැබයි කකුල් දෙක ටිකක් උස්සන් ඉන්න වෙනවා.

    ReplyDelete
  8. @ සයුරි
    සිරීපාදෙ යන්න ලැබුනේ එදාම විතරයි. ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවෙනව නම් කොච්චර හොදද...ස්තූතියි සයුරියෝ.

    ReplyDelete
  9. නියම ට්‍රිප් එකක් නේ. ඉරසේවය බලන්නත් යන්න.

    ReplyDelete
  10. ෂා මරු ට්‍රිප් එක අක්කේ කොහොමත් අපි ප්ලෑන් කරලා කරන වැඩ වලට වඩා ඔහොම වැඩ සාර්ථක වෙනවා

    ReplyDelete
  11. මම නම් සිරිපාදේ ගියේ දෙපාරයි ඒ දෙපාරෙම ඉර සේවේ බලන්න තරම් වාසානාවන්ත උනා

    ReplyDelete
  12. ප්ලෑන් නොකර යන ට්‍රිප් මාර ගති....

    ReplyDelete
  13. ෂා.. නියම ට්‍රිප් එක... ඇත්තටම හරිම සුන්දර ගමනක්....

    ReplyDelete
  14. මරු ට්‍රිප් එකක්. 3වීල් එකේ පිටි පස්සෙ කැල්ලෙක වාඩිවෙලා එච්චර දුර ගිය එක නම් ගින්නස් වාර්තාවක්ම තමයි. ආයෙ බට්ටිගෙ පවුලේ කට්ටියම එකතු වෙලා ලංකාව වටේම ට්‍රිප් එකක් යන්න මුළු හිතින්ම උත්සාහ කරොත් බැරි වෙන එකක් නැ බට්ටි..:)

    ReplyDelete