January 30, 2012

කඩ්ඩ නැතුව බැරි වෙයිද?

කඩු නම් කඩු සටපටනම් සටපට කියන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? කොහේද බට්ටිට කඩු බෑ සටපට නම් ඕන තරම් දෙන්න පුළුවන්. බට්ටි නම් බයේ ඉන්නේ ඉස්සරහට කඩු නැති වුනොත් අඩු ගානේ පාරක් අතුගාන ජොබ් කට්ටක් වත් හොයා ගන්නවත් බැරි වෙයි කියලා. දැන් ඉතිං හැමෝම බලනවා ඇති මොකද මේ බට්ටි හිටි ගමන් කඩුවක් අල්ල ගත්තේ කියලා. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ඒ ගැන කියන්න තමයී හදන්නේ. 

ඔන්න බට්ටි ගිය සිකුරාදා වැඩ ඇරිලා ගියා මතක බණ ගෙදරක. බස්එකේ හිටගෙන පැය ගානක් කට්ට කාලා තමයී යන්තන් බණ පටන් ගන්න කලින් ගියේ.
ගිහින් ටික වෙලාවක් යද්දී ස්වාමීන් වහන්සේ වැඩම කරා. බට්ටි බණ අහන්න පිරිත් අහන්න හුගක් ලැදී. එදත් ඉතිං බට්ටි හරිබරි ගැහිලා හිත එක්තැන් කර ගෙන බණ අහන්න තමයී වාඩි වුනේ. මුලින් කිව්ව පාලි ගාථාව නම් තේරුනා. එතනින් එහාට ටිකක් තේරුනා අනිත්වා තේරුනා සේ හිටියා. බට්ටිට බණ මී පැණි වුනත් කඩු නම් ඉතිං අරහං. හැබැයී එක තැනක හුගක් පැහැදිලිව තලවකැලේ තිලකගෙන් පටන් ගෙන ඇමරිකාවේ ඉස්ටීවන් කියලා කෙනෙක් පුනරුප්පත්තිය ගැන ලියපු පොතකට වෙනකල් පුනරුප්පත්තිය ගැන හරිම පැහැදිලි විස්තරයක් කරා. ඒ ටික නම් බට්ටිට තේරෙන සිංහලෙන් කිව්ව නිසා හුගක් ආසාවෙන් අහන් හිටියේ. 

ඔය විදියට පැයක් තිස්සේ අහන් හිටිය බණ ඉවර වුනා කියමුකෝ ඊට පස්සේ තමයී එපාම වුනු හරිය. ඇවිල්ලා හිටිය අයගෙන් මමයී, අම්මයී, තාත්තායී, තව නැන්දලා දෙන්නෙකුයී ඇරුනහම අනිත් සේරම වනනවා එක ලෙසකට කඩු. මට ඔය වෙලාවෙනම් මතක් වුනේ අම්මපා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා.බට්ටි දන්න විදියට YES, NO කියලා බේරෙන්න පුළුවන් කට්ටියක් නෙවෙයී එතන හිටියේ. කොහේ ගියත් අර ලකිය කිව්ව වගේ ලව්ස්පීකරේ බැදන් ඉන්න බට්ටි කට පියාගෙන කෑම මේසේ අඩුපාඩු බලලා ඒවටත් උදව් කරලා ඊට පහුවදා ආයේ ගෙදර ආවා.  

මේ විදියට ගියොත් නම් බට්ටිට ලොකු ප්‍රශ්නයක්. අද බණ තේරුන් නෑ හෙට මෙනවා වෙයිද? දැන්නම් බට්ටිට බෙල්ල ගහලා ගියත් කඩු වනන්න නම් ඕනමයී. කඩු වනන්න පුළුවන් වුනොත් එදාට බට්ටිත් මේ පහල පින්තූරේ තියෙන අකුරු ටික අනිවාර් කියනවා. 


January 27, 2012

හෙට සුභ වීමට අද

එක්තරා නගරයක රාත්‍රීයේ දල්වන ලද සියළුම ගිණි සිළු නින්දට යාමට ප්‍රථම නිවා දමන්නට නීතියක් පැවතුනා. නමුත් දිනක් එක් නිවසක ගෙහිමියන් නින්දට යනවිට ඔවුන්ගේ නිවසේ දැල්වෙන ගිණි සිළුව නිවා දමන්නට අමතක කලා. ඒ රාත්‍රියේ නගරයේ දැල්වුනු එකම ගිණි සිළුව මෙයයී. නමුත් ඒ එක ගිණි සිළුව උදෑසන වන විට මුළු නගරයම අවුළුවා තිබුණා. 



ඝාතනයන්ගෙන් දරුණුතම ඝතනය වන්නේ චරිත ඝාතනයයී. ඔබගේ දිවෙන් පුද්ගලයෙකුගේ චරිතය ගොඩ නැගීමටත් එම චරිතය ඝාතනය කිරීමටත් හැකි. එය අර නිවසේ නිවා නොදැමූ ගිණි සිළුව වැනිය. මුළු නගරයම ගිණි ගත්තේ එක් ගිණි සිළුවක් නිසාය. එබැවින් එහෙට සුභ වීමට අද මේ ගැන මොහොතක් සිතන්න.

ප.ලි. ඉහත සටහන මීට සතියකට පෙර ‘හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න’ ගුවන් විදුලි වැඩසටහන බට්ටිට මතක විදියට අකුරු කිරීමකී.  

January 23, 2012

මොහොතක් සිතන්න


මේ පහන නිවෙන්න  පුළුවන් ක්‍රම කීයක් තියෙනවද?
ඒ මොනවාද?

(ප.ලි. විකාරයක් වගේ පෙනුනට ලොකු දෙයක් මේ පහනින් අපිට කියල දෙනවා. කියන්න බලන්න මම අහපු ප්‍රශ්න වලට උත්තර.මම හිතන විදිය ඔයාලට හෙට කියනවා)

January 18, 2012

වෙන්න කලින් හිතනවා

මොනවද කල්පනා කරන්නේ?
මොකුත් නෑ අනේ මොකුත් නෑ.
එහෙනම් ඔය තරම් උඩ බලන් ඉන්නේ?
මේක පුදුම වැඩක්නේ මට උඩ බලන් ඉන්න හොද  නැද්ද?
නෑ මම ඇහුවේ මොනවද ඔය තරම් හිතනනේ කියලා.
මම මේ වෙන්න කලින් හිතනවා.
වෙන්න කලින් හිතනවා?..ඔයා හරි පුදුම කෙනෙක්නේ...
හ්ම්..........
හදටවත් යන්නද හිතන්නේ.
ඇයි අහන්නේ?
මට‍ත් එන්න.
විකාර
ඇයි බැරිද ?
ඒ මම ගියොත්නේ? ඇයි හදට යන්න මට වෙන යන්න තැනක් නෑ කියලා හිතුවද?
මොනවද ඔයාට වෙලා තියෙන්නේ?
වෙලා නෑ වෙන්න කලින් හිතනවා..
අනේ මන්දා....
එක අතරකට වෙන්න කලින් හිතන එක මාර වදයක් නේ...?
 ඔයාම හිතලා ඔයාම වදයක් කියනවා...
ඒක නෙවෙයී ඔයා මොකටද දැන් ආවේ...?
ඔයාව බලන්න ...
ඇයි ඔයා කිව්ව නේද මාව බලන්න ආයේ එන්නෑ කියලා ....
කිව්ව තමයී ඒත් එන්න හිතුනා..
වැඩක් නෑ...
ඇයි ?
ගිය අය මොකට ආයේ එනවද..?
මම ගියේ නෑ ..ඔයයී මට යන්න කිව්වේ..
මම යන්න කිව්ව තමයී..ඒත් ඔයා නෙවෙයිද එන්නෑ කිව්වේ...
මට දැන් ඔය යන්නද කියන්නේ...
කවුද එහෙම කිව්වේ....?
ඇත්තටම මොනවද ඔයාට මේ වෙලා තියෙන්නේ...?
මම කිව්වනේ වෙලා නෑ..වෙන්න කලින් හිතනවා කියලා...
මම යනවා අන්න ඔයාගේ ලෝකේ මම අරන් ආවා...
මගේ ලෝකේ....?
ඔව් ...
මොකද්ද?
අඹ ගහ යට ඇති ගිහින් බලනවා....
මොකද්ද?
ගිහින් බලනවා නේද?
හා
කියන්න ගිහින් බලනවා නේද?
හා
ඇත්තම කියන්න ගිහින් බලනවා නේද?
මේ මොනවදයක්ද? හා අනේ හා අනේ හා...


(බට්ටෝ අද වැඩට යන්නැද්ද?මොකද මේ පස්ස පැත්තට ඉර පායනකන් නිදි.බෙල් එක තිබ්බේ නැද්ද?
ෂික් අක්කා මගේ හීනේ කෑවා. දැන් ඉතිං වෙච්ච පොරොන්දුව අයියෝ දැන් මොනවා කරන්නද?වෙන්න කලින් හිතලත් ඇයි මෙහෙම වුනේ..)

January 8, 2012

ආයේ කරන්නෑ.....


බට මා  -  වටිනා නිසා
නොවෙන්නම් -  වදයක් මෙමා

ප.ලි. කාට ලියපු එකක්ද කියල නම් මගෙන් අහන්න එපා. අනේ plz.

January 4, 2012

ඇයි මටම මෙහෙම වෙන්නේ...?



අද මම වැඩට ආවේ කදුළු ටිකක් හලලා හිතිනුත් හොදටම අඩ අඩ. ඇයි මේ වගේ දේවල් මටම වෙන්නේ. බට්ටි අවුරුද්දට ඇදුමක් ගන්නම නෙවෙයී හිටියේ. ඒත් පළවෙනිදා අලුතින් එකක් ඇන්දහම  හුගක් හොද වෙනව කියලා යාළුවෝ කිව්ව නිසා ටී එකක් විතරක්වත් ගන්න හිතාගෙන මම සෙනසුරාදා පන්ති ඉවර වෙලා ගියා සාප්පු සවාරි. සවාරි කිව්වට ගියේ කඩවල් දෙකකට විතරයී. ඒක මගේ පුරුද්දක් ගිය කඩෙන් කොහොම හරි හොයා ගෙන එනවා. හැබැයී ටී එකක් ගන්න විතරක් හිතන් හිටියට අවුරුදු නිසා ඩෙනිම් වල මිල හුගක් අඩුකරලා තිබුණා. කොච්චර අඩුයීද කියනව නම් බට්ටිත් එයින් 2ක් ම ගත්තා. දවස් දෙකක් වැඩට ඇදලා ගෙරදට ඇන්දත් පාඩු නෑ. කිසිම ඩැමේජ් එකක් නැති වෙන සයිස් නැති නිසා අඩු කරපූ කලිසම් වගයක්.
ගනිපු ඇදුමනම් සිරාවටම ගතියට තිබුණා. මම නෙවෙයී අනේ එහෙම කියන්නේ දැකපූ අය තමයී කිව්වේ. බට්ටි ඉතිං සෙරෙප්පු ගන්න යන්න නම් හරිම කම්මැලියී. අම්මා තමයී අරන් දෙන්නේ. වැඩිය ඉතිං බට්ටි හැඩ බලන කෙනෙක් නෙවෙයී නිසා එව්වා බට්ටිට නම් හොදයී. යාළුවොන්ට නම් එව්වා එච්චර හැඩ නෑ. බට්ටි ඉතිං දවසට කිලෝමීටර් දෙකක් විතර පයින් යනවනේ. අම්මා කියන්නේ සෙරෙප්පු කැඩෙන එක අහන්න දෙයක්ද කියලා. කොහොම හරි බට්ටිට අම්මා අරන් දුන්න සෙරෙප්පු ‍කූට්ටමත් දාලා දාලා චාර්ටර් වෙලා තිබුණේ. ඒත් ඉතිං අවුරුදු ආවා කියලා හැම දෙයක්ම අලුතින් ගන්න පුළුවන් තරම් සුපිරි ජොබ් එකක් නෙවෙයිනේ බට්ටි කරන්නේ. 

අලුත් අවුරුද්දේ බට්ටිගේ යාළුවෙක්ට තෑග්ගක් හම්බවෙලා තිබුණා සෙරෙප්පු දෙකක්. එයාට ඒක මදිලූ. එයා ඉතිං තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඒක මට විකුණුවා. සල්ලිත් මේ මාසේ පඩි ගත්තහම දුන්නහම ඇති කියලා තමයී කිව්වේ. මම ඉතිං දෙවෙනිදා මේ සෙරෙප්පු දෙක ගත්තා.

හරිම ලස්සනයී. සිල්වර් කලර්. ඊයේ ඉතිං මම ඒකටම ගැලපෙන්න ඇදුමක් ඇදගෙන ලස්සට ආවා. හැමෝම කිව්වා සෙරෙප්පු දෙක හරි හැඩයී කියලා. ආ අමතක වුනානේ දාපු කකුල් දෙක ලස්සන නිසා හොදද? කකුල් ටිකක් පිට් කලිසමකට තමයී ඒ සෙරෙප්පු දෙකේ ලස්සන හොදටම පේන්නේ.
ඒක නිසා මම අදත් ඒ විදියටම ඇදගෙන එන්න ප්ලෑන් කරගෙන තමයී හිටියේ. 6.30 වෙද්දී එන්න ලේස්තිවෙලා එළියට බැස්සා. අනේ මගේ ලස්සන සෙරෙප්පු දෙකෙන් එක කකුලයී එතන තිබුණේ. කොයීතරන් නම් බය වුනාද කියනව නම් ‘අනේ අක්කේ මගේ අනිත් සෙරෙප්පුව නැතෝ’ කියලා කෑ ගැහුවා. එතන සෙරෙප්පු කූට්ටම් 14ක් 15ක් විතර තිබුණා. ඒ හැම එකක්ම හරියට තිබුණා. මම මිදුලට බැස්සා අනිත් සෙරෙප්පුව හොයන්න. අනේ දෙයියනේ මගේ ලස්සන සෙරෙප්පු දෙක ආයේ කවදාවත්ම දාන්න බැරි වෙන්න ජරා බල්ලෙක් කාලා ගිහින්. ඇයි දෙයියනේ ඌ මටම මේ අපරාදේ කලේ. ඌට කන්න වෙන දෙයක් තිබුණෙම නැද්ද?බූරු බල්ලා අම්මපා ඌ ලබන ආත්මේ රබර් සෙරෙප්පුවක්ම වෙන්න ඕන. 

මම වැඩ කරන තැනට ඇවිත් කාර් එකෙන් බහිද්දී අක්කා බට්ටෝ මේකෙන් ආයෙත් යාළුවට කියලා සෙරෙප්පු දෙකක් ගෙන්න ගන්න කියලා සල්ලි දුන්නා. මගේ ඇස්දෙකේ තිබුණ කදුළු තවත් වැඩි වුනා අක්කා එහෙම කරහම. බල්ල කරපු වැඩේට අක්කා මොනවා කරන්නද? මම එපා කියලා ආවා.

තාමත් දුකයී. හුගක්ම. මේක ටයිප් කරද්දීත් මට ඇඩෙනවා. අනේ සමහරු හිතයී මේවත්  පෝස්ට් කරන්න දේවල්ද කියලා. ඒත් මට හුගක් දුකයී. මේක කාට කියන්නද. දුක තුනී කර ගන්න ලියනවා ඇරෙන්න.

January 3, 2012

මේ හොරාට නමක් දෙන්න?


2012 බට්ටි ලියන පළවෙනි පෝස්ටුව. අත්කමකින් වැඩේ පටන් ගන්න තමයී බට්ටා හිතාගෙන හිටියේ. ඒක කර ගන්න බැරුව ගියා වැඩ රාජකාරී අස්සේ. මම මේ කියන්න හදන්නේ මට ඊයේ අහන්න ලැබුණ දෙයක් ගැන.
මම දකින විදියට ‍ලොක්කේ තියෙන අමාරුම ජොබ් එක පව්ම ජොබ් එක තමයී කුණු එකතු කරන එක. ඇත්තමයී අපි කාපු බත් එකක ඉතුරු වෙච්ච කොලේ බල්ලෝ ඇදලා දාලා තියෙනවා දැක්කොත් කොයි තරන් නම් පිළිකුල් කරනවද? ඔන්න දැන් කට්ටිය කියන්න එපා අනේ අපිට නම් එහෙම නෑ කියලා. මට නම් වැඩ කරන තැනට එද්දී කලින් දවසේ කුණු එක ගෙනියන්නේ නැතුව තිබිලා බල්ලෝ ඇදලා තිබුනොත් සසර එපා  වෙනවා.
කුණු එකතු කරන අය කොච්චරට ලොකු කැප කිරීමක් ද කරන්නේ? එයාලා අපි අප්පිරිය කරන කුණු එකතු කර ගෙන යනවා. ඒ අය මේ ජොබ් එක කරන්නේ වෙන කරන්න ජොබ් එකක් නැති නිසාද? මගේ අක්ක නම් කියන්නේ එයාලා පතා ගෙන ආපු විදියලූ. ගිය ආත්මේ කරපු අකුසල් නිසාලූ ඒ වගේ ‍රස්සවක් කරන්න වෙන්නේ.
අපේ ගම් වල නම් මේ විදියට ගෙවල් වලට කුණු ගෙනියන අය එන්නේ නෑ. ගෙදරම ගිනිදීසිය කෝටු ගහලා වට කරපු එකක් ඇතුලට කුණු ටික දාලා කොම්පෝස්ට් කර ගන්නවා. තියෙන පොලිතින් වලක් කපලා වළදානවා. ඒත් ඉතිං කොළඹ කොහේද එව්වට ඉඩකඩ. මෙහේ සතියක් කුණු ගෙනියන්නේ නැතුව තිබුණොත් පාරක අඩියක් තියන්න බැරි වෙයී.
කුණු එකතු කරන්න එන අය හැම අවුරුද්දකම එනවා උදව්වක් ඉල්ල ගෙන. ඒ කියන්නේ ඉතිං සල්ලි කීයක් හරි තමයී ඒ අය බලාපොරොත්තු වෙන්නේ. ඉතිං මේ අවුරුද්දෙත් 30 වෙනිදා ආවා එහෙම කෙනෙක්. කුණු එකතු කර අයට උදව්වක් කිව්වා.මම ඉතිං දෙපාරක් හිතුවේ නෑ. දුන්නා සල්ලී. කොහොමත් ඉතිං අපි හැම පාරම දෙන දෙයක්නේ. ඕකට අමුතුවෙන් හිත හිත ඉන්න දෙයක් නෑ නේ. ඒ මිනිස්සු කරන කැප වීමට එහෙම උදව්වක් කරන එකත් ලොකු පිනක්නේ.
මෙන්න අලුත් අවුරුද්දේ 2 වෙනිදත් එනවා උදව්වක් ඉල්ල ගෙන. වෙන්න බැරි දෙයක්නේ අනේ. ඇයි මේ දෙපාරක් එකම අවුරුද්දට සල්ලි එකතු කරන්නේ. මම ඉතිං කිව්වා අපි දුන්නනේ කියලා. ඒ අපු මනුස්සයෙක් ඇහුවා කාටද කියලා. මම කිව්වා මං දන්නෑ කුණු එකතු කරන අයට උදව්වක් කරන්න කියලා එක්කෙනෙක් ඇවිත්  කිව්වා එයාට දුන්නා කියලා. අනේ ඊට පස්සේ අර මනුස්සයා හරි අසරණ විදියට කියනවා බලන්න නෝනා මේ පැත්තෙම සල්ලි කව්ද මනුස්සයෙක් කලින් ඇවිත් අරන් ගිහින්. අපි තමයී මේ පැත්තේ කුණු හැමදාම එකතු කරන් යන්නේ කියලා. ඒ මනුස්සයා හරි අසරණ විදියට දොර ඇරගෙන එළියට ගියා. අපි කලින් කෙනෙක්ට සල්ලි දුන්නත් මේ මනුසසයා ඒකට මොනා කරන්න ද කියලා මට දුක හිතුනා. මම  වැඩ කරන කෙනෙක් අතේ ඒ අයට සතුටින් මුදලක් යැව්වා.
එතකොට 30 වෙනිදා සල්ලි ගෙනියන්න ආවේ කව්ද? මේක ලොකු ප්‍රශ්නයක්. අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ වගේ පහත් අමන වැඩක් කරන්න තරම් පහත් වෙච්ච මිනිස්සුද අපේ රටේ ඉන්නේ. පාට පාට ලෝක වලට යන කෙනෙක්ද එදා ඇවිත් සල්ලී ගෙනිච්චේ. ඒ වගේ වැඩක් කරපූ කෙනෙක්ට ලබන්න තව ආත්මයක් ඉතුරු වෙයිද?