මේ පුංචි කොලෙට කරපු ජොබ් ගොඩ. අම්මෝ මතක් වෙද්දිත් දුකේ බෑ. එක එක ජොබ් එක එක හේතු නිසා අත අරින්න වුනා. දැන් නම් ඒ නරක පුරුද්ද නෑ. දෙයියනේ කියලා දැන් මේ රස්සාවට අවුරුදු 2ක් වෙනවා. අද කියන්න හදන්නේ බට්ටිට මෙහෙම ගිය ජොබ් එකකින් වෙච්ච දෙයක් තමයි. :'(
ඔන්න මේ කියන කාලේ බට්ටි හිටියේ ජොබ් එකක් හොය හොය. ඉතිං යෞවන සමාජෙන් පණිවුඩයක් එනවා අහවල් දවසේ අහවල් තැන ඉන්ටව් එකක් තියෙනවා යන්න කියලා. කියපු තනතුරත් නරකම නැති නිසා වටිනා කියන ගමන් වලට යන්න අරන් තියා ගනිපු රෝසපාට සායයි , හැට්ටෙයි ඇදගෙන තියෙන සහතික ටිකත් අරගෙන බට්ටිත් ගියා මේ සම්මුඛ පරීක්ෂණයට.හරියටම මතක විදියට ඇවිත් හිටියා 18 දෙනෙක්. බට්ටිගෙ වෙලාව එනකල් වාඩි වෙලා හිටියා. ටිකක් මෙහෙම ඉන්න කොට ඔන්න බට්ටිගෙ වෙලාව ආවා. ගිහින් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. හිටපු කෙනා සහතික එහෙමත් අතට අරන් බලලා මෙන්න එක පාරටම කියනවා
“ඔයාට කවද ඉදලද වැඩට එන්න පුළුවන්“
“හෙට ඉදන් වුනත් පුළුවන් සර්“ බට්ටි ඉතිං එහෙම කිව්වා. පඩි ගැන නම් ඇහුවෙම නෑ. මොකද බට්ටි කවදාවත් කිසිම තැනකින් පුරුද්දක් වශයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. ඒකට හේතුව විදියට මම හිතන්නේ තවම අත්දැකීම් ගන්නියක් නිසා ඒ ප්‍රශ්නේ තමන්ට අදාල නෑ කියලයි.
ඉතිං ඊට පහුවදා ඉදලම බට්ටිට වැඩට එන්න කිව්වා. ඒ වගේ ජොබ් එකකට යන පළවෙනි දවස නිසා හුගක් ආසවෙන් තමයි ගියේ. ඒක තේ කර්මාන්ත ශාලාවක්. කරන්න තිබුනේ පොත්වල ගණන් හදන එක, එන කෝල් වලට පිළිතුරු දෙනඑක, දළු සල්ලි ඇඩ්වාන්ස් දෙන්න, තේ කොල දෙන්න ඔය වගේ වැඩ ටිකක්. පළවෙනි දවසෙම වැඩ ටික අල්ල ගන්න අමාරුවක් වුනේ නෑ. ඔෆිස් එකේ හිටියේ මමයි තව අක්කා කෙනෙකුයි අයිතිකාරකෙනයි විතරයි. තේ හදලා අපිට ගෙනැත් දෙන්න වෙනම කෙනෙක් හිටියා.ඇතුලෙ වැඩ කර අයත් ඉතිං සැරින් සැරේට එක එක ඒවට එනවා ඔෆිස් එකට. වැඩ කරන අනිත් අය මට කිව්වේ චූටි මිස් කියලා.
ඔය විදියට හරිම ආසාවෙන් තමයි ජොබ් එකට ගියේ. මෙන්න තුන්වෙනි දවසෙ යද්දි ඉන්නවා කොණ්ඩේ කොටට කපපු, කලිසමක් ඇදපු මැඩම් කෙනෙක් වගේ කෙනෙක්.මමත් ඉතිං හිනාවෙලා ගියා මම වැඩ කරන කාමරේට. කලින් දවසේ දළුපොත් ටික චෙක් කර කර ඉන්න කොට සර් එක්ක එනවා අර මැඩම් වගේ හිටිය කෙනා.
‘‘*** ළමයෝ මම නෙවෙයි මේ ෆැක්ටරි එක බලා ගන්නේ මේ මගේ නේනා තමයි.මම වැඩිපුර ඉන්නෙ කොළඹ ඔෆිස් එකේ“
මම කියලා මොනවා කියන්නද මමත් ඉතිං හිනාවෙලා හිටියා. හිනාවුනාට අර මැඩම් නෙවෙයි හිනාවුනේ. ෂිට් ඇයි වදේ මිනිහෙක්ට නිකන් දෙන්න පුළුවන් ඔය හිනාව දෙන්න මොකට දෙපාරක් හිතනවද මන්දා?
එදා දවසේ පුරුදු විදියට වැඩ කර ගෙන ගියා. සමහර වෙලාවට මට මැඩම්ගෙ රූම් එකට යන්න වුනා එක එක වැඩ වලට. ඉතිං මැඩම් කියා ගෙන තමයි කරන්න යන වැඩේ කියන්නේ. හවස ඕෆ් වෙන්න ලං වෙලා ඔන්න ගියා ඒ රූම් එකට
“*** අපි මැඩම්ලා නෙවෙයි. අපි හාමුලා. මට හාමු කියන්න. මගේ මහත්තයට හාමු මහත්තයා කියන්න.“
මල මගුලයි. කවදා කාපු ටකරන්ද? :D
‘‘හා හරි මැඩම්“ කෑවනේ වැඩේ පුදන කොටම. ඒ ගමන නම් ඉතිං අහක බලා ගත්තා මිසක් මුකුත් කිව්වේ නෑ. ඇතුලෙ වැඩ කරන අය කියන්නේ ඔහොම කියලා දැන ගෙන හිටියා. ඒත් කවුද හිතුවෙ අපිටත් කියන්න වෙයි කියලා.
ඊට පහුවදත් ඉතිං වැඩට ගියා කියමුකෝ. දැන් ඉතිං උවමනාවක් වුනත් එයා ලගට යන්න හිතෙන්නෙ නෑ. ඒත් ඉතිං නොගිහිනුත් බෑ. පැය දෙක තුනක් මුකුත් නමක් නොකියම යාන්තම් ගෙවා ගත්තා. ඊට පස්සෙ නම් ඉතිං ගිහින් ‘‘මෑ මෑ හාමු මේක අත්සන් කරලා දෙනවද?මෑ...හාමු අහවලා කොල් කරනවා“ඔය විදියට කියලා ෂේප් වුනා. ඇයි අනේ ඔය වචනේ කියලා කවදාවත් කටවත් කතා කරලා තියෙන එකක්යෑ.
හවස්වරුවෙ තමයි වැඩේ දෙල් වුනේ. මොකද්ද වැඩකට ගිහින් “මැඩම්..“ ඉවරයි මෙන්න මූණ කුණ්ඩ හට්ටියක් වගේ වුනා.
“** කිව්ව නේද මට මැඩම් කියන්න එපා කියලා. “ පටන් ගෙන වලව් පරම්පරාවම කියවන්න ගත්තා.අනේ බට්ටිත් ඔළුව නවාගෙන අහන් ඉදලා සද්ද නැතුව මේසෙ ලගට ඇවිත් හිටියා. ඒ වෙද්දි නම් කියපු දේවල් වලට හිත මහ හුගක් රිදිලා හිටියේ.
එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ආයෙ නම් මම එන්නෙ නෑ කියලා තීරණය කරලා. ගෙදර ගිහින් කිව්වා. තාත්තත් මුකුත් කිව්වෙ නෑ නවතිනවා කිව්වහම ‘‘පුදුම මනුස්සයෙක්නේ“ කිව්වා විතරයි.
ඊට පහුවදා අපේ ගෙදරට ආවා උඩහ ගෙදර අයියා.
‘‘මොකෝ බට්ටෝ වැඩට යන්නෙ නැද්ද?“
“මම අයෙ යන්නෑ චූටි අයියේ. මට බෑ හාමු හාමු ගාන්න.කියන්න පුළුවන් වුනත් කාටද ඕක මතක් වෙන්නේ“
‘‘මොකද බං වුනේ“
වෙච්ච සිද්දිය මුල ඉදන් කිව්වා.
‘‘බට්ටො ඔෆිස් එකේ නම්බර් එක තියෙනවද?“
“ඔව්“
“කවුද පොන් එක උස්සන්නේ“
“දැන් නම් ඉතිං මැඩම් වෙන්න ඇති.ඇයි ඒ?“
“ මම ගන්නම් ඕකට කොල් එකක් අරන් කියන්නම් මෙහෙම ‘‘හා.............මූද මේ පඩි ටොක් දාන කෙනා“
මට ඉතිං එයා ඇදලා පැදලා කිව්ව තාලෙට හිනා. ඒත් ඉති මොන පිස්සුවකට කොල් කරනවද? කියලා හිනාවෙලා, එහෙමම ජොබ් එකට නොගිහින් නිකන් හිටියා.
අනේ මන්දා මට අදටත් තේරෙන්නෙ නෑ මෙච්චට දියුණු වෙච්ච ලෝකෙක එහෙම අදහස් තියෙන අය ඉන්නවද කියලා. හැම වලව්වකම ඉන්න අය මෙහෙමද මන්දා?