Showing posts with label බට්ටිගේ මතක. Show all posts
Showing posts with label බට්ටිගේ මතක. Show all posts

July 11, 2012

ඉදිකටුවයි නූල් බෝලෙයි...


කොහොමද මගේ යාළුවනේ..බට්ටි නම් මේ දවස් වල ටිකක් අවුල් වෙලා ඉන්නේ. පෙරේදා පෝස්ට් එකක් දාන්න හිතන් දුක් ගීයක් ලියන්න පටන් ගත්තා. ඒත් අන්තිමේදී ඒක කතාවක් වුනා. භාගයක් ලියද්දි තව අඩන්න බැරි නිසා නතර කලා. ඉතුරු ටික හෙමින් ලියන්නයි හිටියේ ඒත් මගේ යාළුවා ෆාතිමාට ලියලා ඉවර කලටික යැව්වා කියවන්න. ඉතිං එයා කිව්වේ එපා බට්ටි ඕනෙ නෑ ඉතුරු ටික ලියන්න ඒකෙන් වෙන්නේ හිතේ තියෙන දුක වැඩි වෙන එක විතරයි කියලා. ඉතිං ලියපු ටික බට්ටි ඩිලීට් කරලා දැම්මා.හ්ම්....ඉතිං මේ ආදරණීය යාළුවා කියලා එහෙම කලාට පස්සෙ බට්ටිගේ හිත දිව්වා පුංචිම කාලෙට. ඒ බට්ටි එක්ක හෙවණැල්ලක් තරම්ම ලගින් හිටිය යාළුවා ලගට..

            මම බට්ටි එයා මිහිරි.ඒ කාලේ අපි දෙන්නට හැමෝම කිව්වේ ඉදිකටුවයි නූල් බෝලෙයි කියලා. බට්ටි කොතැනද මිහිරි එතැන. අපි දෙන්නා හැමදාම ඉස්කෝලෙ යන්නේ එකට. කලින් ලෑස්තිවෙන කෙනා අනිත් කෙනාගෙ ගෙදරට යනවා ගිහින් එයත් එක්ක තමයි නැලවි නැලවි පැද්දි පැද්දි රටේම තියෙන ගස්වලින් මල් කඩ කඩ ඉස්කො‍්ලෙට යන්නේ. ගෙදර ලග ඉදන් ඉස්කෝලෙට වැඩි දුරක් නැති නිසා ඕන තරම් නැලවෙන්න පැද්දෙන්න වෙලා තිබුණා. මේ දවස් වල අපි දෙන්නම ගෝනි බිල්ලන්ට හරිට බයිය. නිදා ගත්තත් පේන්නෙම ගෝනිබිල්ලො ඉන්න හීන. ගෝනි බිල්ලෝ ඇවිත් බඩේ තෙල් ගාලා අපිව ගිලී කියලා නැත්නම් ගෝනියක දාලා අරන් යයි කියලා අපි දෙන්නම හිටියේ මාරම බයකින්. ඉස්කෝලෙ ඇරිලා එද්දි කෙච්චර පැද්දි පැද්දි ආවත් නිකන් පාරෙ යන වාහනයක් වේගෙ බාල කලත් දෙන්නා පණ කඩාගෙන දුවනවා. අම්මෝ.. දැන් නම් මතක් වෙද්දිත් හිනා.

            දවල්ටත් ඉතිං ඉස්කෝලේ ඇරිලා ඇවිත් එක්කෝ මම බත් එකත් බෙදාගෙන මිහිරිලගෙ ගෙදර යනවා. නැත්නම් මිහිරි අපේ ගෙදර එනවා. වැඩි පුරම යන්නෙ මම තමයි. මොකද මිහිරිලගෙ ගෙදර නාන්න ෂෝක් ළිදක් තියෙනවා. වතුර අයිස්කැට වගේ. ළිදට ඉස්සරහින් තියෙන්නෙ කුඹුරක්. දෙන්නම ඉතිං කුඹුරේ තියෙන ලස්සන ලස්සන පුංචි ගස් ජාති ගලව ගලව ඇවිදලා, නාගෙන තමයි කන්න පටන් ගන්නේ. දෙන්නම යන නිසා ළිදට යන්න අවසර ලැබිලා තිබුණා. 


            ඔන්න ඉතිං එක දවසක් බට්ටිට ඉස්කෝලෙ ඉවර වෙලා පොරොන්දු වුන විදියට මිහිරිලාගෙ ගෙදරට යන්න බැරුව ගියා. යද්දි ටිකක් පමාවුනා. යද්දි මිහිරි මූණ දෙක කර ගෙන අඩ අඩ ඉන්නවා. ඇගත් සේරම තෙමිලා. ඇයි කියලා අහන්න හැදුවා විතරයි මෙන්න පරමාණු බෝම්බයක් වගේ මගේ ඇගට කඩන් පැන්නා. ඔයා නිසා තමයි මේ සේරම වුනේ කියලා මිහිරි මට බනිනවා. ඇයි වදේ මොන වරදක් කලාටද මෙයා මේ මට බනින්නේ. මමත් ඉතිං සද්ද නැතුව හිටියේ නෑ එයාටත් බැන ගෙන බැන ගෙන ගියා. එහෙම බනින අතරේ මම හොරෙන් එයා දිහා බැලුවා. බලද්දි එයාගේ මුළු ඇගම හීරිලා. දැන්නම් ඉතිං මට කේන්ති නෑ හෙමින් ඇහුවා මොකද වුනේ කියලා. එපාර එයත් කූල් ඩවුන් වෙලා සිද්ධිය කිව්වා. මම එන්න පමාවුන නිසා සීයත් කුඹුරෙ හිටිය නිසා එයා ළිදට ගිහින්. ඒ ළිදේ වතුර පිටාර යනවා අපි හැමදාම කරන්නේ එතන රෙදි තියලා පොකුණක් වගේ වතුර එකතු කරන එක. මෙයා එහෙම කර කර ඉදලා. මම ඒත් නැති නිසා මෙයා නාන්න පටන් ගෙන. වතුර එකක් ගන්න පහත් වෙද්දිම මිහිරි ළිදට වැටිලා. ළිද එච්චර ගැඹුරු නැති වුනාට අපි එතකොට හුගක් පුංචි නිසා අපිට වඩා අඩි දෙක තුනක් වතුර තිබුණා. මිහිරිගෙ වෙලාවට එක අතකින් ළිදේ ගැට්ට අල්ල ගන්න පුළුවන් වෙලා. අමාරුවෙන් එල්ලිලා හිටියත් කෑගහ ගන්න බෑලු බය වැඩි නිසා. හොද වෙලාවට වතුර බොන ළිදට ඒ වෙලාවේ නැන්දා කෙනෙක් ඇවිත් වතුර ගෙනියන්න. එයා තමයි මිහිරිව අරන් තියන්නේ. මම අල්ලලා බලද්දි මිහිරිගේ අත හොදටම තුවාල වෙලා තිබුණා. ඊට පස්සෙ මම මිහිරිගෙන් සමාව ගත්තා පමාවුනාට. මොකද මම ආවනම් එහෙම වෙන්නෙ නැති නිසා.මේ සිද්ධිය නිසා අපි කවුරුත් නැතුව ළිදට යන්න බය වුනා වගේම ගෙවල්වලිනුත් තහනම් වුනා. 

            ඔය විදියට ඉදිකටුවයි නූල් බොලෙයි වගේ හිටිය අපි දෙන්නට හතර වසරේ අන්තිම වාරෙදී වෙන් වෙන්න වුනා. මිහිරි ඉස්කෝලෙන් අයින් වුනා.එයාලා කොළඹ පදිංචියට ආවා. අපේ යාළුකම චුට්ටක් නෙවෙයි මහ හුගක් ඈත් වුනා. මිහිරිලා මාස ගානකට පාරක් ගමේ ආවහම ඉන්න දවස් දෙක තුන විතරයි අපිට සෙල්ලන් කරන්න වුනේ. එයාලා ගමේ එන කාලේ ලොකු ‍වෙද්දි අමතර පන්ති නිසා එන්න එන්නම අඩු වුනා.බට්ටිගේ අඹ යාළුවා ඈත් වුනා හෙමින් හෙමින්. එයා ගියාට පස්සෙ බට්ටි කවමදාවත් යාළුවෙක් ජීවිතේට ලං කර ගත්තේ නෑ. යාළුවෝ හිටියෙ නැතුව නෙවෙයි. ඒත් එයා තරම්ම සමීප වුන යාළුවෙක් හොයා ගන්න බට්ටිට ඕන වුනෙත් නෑ. සමහර විට ඒ අඩුව වෙන කෙනෙක්ගෙන් පුරවන්න බෑ කියලා හිතුනද මන්දා. ගමේ ආවොත් අපි මුණ ගැහෙනවා. ඒත් ඉස්සර තරම්ම අපේ යාළුකම දැන් නෑ කියාල දැනෙනවා. එයාටත් වෙන යාළුවෝ ඉන්නවා. ගිය අවුරුද්දෙ මිහිරි බැදලා දුර රටක පදිංචියට ගියා. ඔන්න එයා අන්තිමට මුණ ගැහුන දවසේ කියලා ගියේ දැන් බට්ටිගේ ෆයිල් එකත් උඩ ඇවිත් තියෙන්නේ දැන්ම ඉතිං මොනවා හරි කර ගන්න කියලා. පුංචි කාලේ අඹ යාළුවා බැදන්දා කියලා එහෙම වැඩ මෙහෙම කලබලේට කරන්න පුළුවන්ද නේද? බට්ටිට හීන ගොඩයි. එව්වා එළිකර ගෙන තමයි ඉතිං අනිත් වැඩ ගැන හිතන්නේ. එහෙම හොදයි නේද මගේ යාළුවනේ...:D

May 14, 2012

ලොවම හඩයි ...ඔබ නිසලයි....


ඉපදුනොත් කවුරුත් මැරෙනවා. ඒක කාටත් පොදු දෙයක්. එත් ගහක් ගලක් වගේ හිටිය කෙනෙක් මෙහෙම එක පාරට අපිව දාල ගියහම අපි ඒදේ කොහොම උහුලන්නද? ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ලෝකෙ මවලා තියෙන්නේ හරිම අසාධාරණ විදියට. එච්චර හොද හදවතක් තිබුණ ඔබා මාමා අපෙන් සදහටම ඈත් කරන්න ලෝකෙ කුරිරු වෙලා. කොහොමද ඔබා මාමේ මෙච්චර ඉක්මනට ඔයාට නිවන් සුව පතලා බට්ටි පොස්ට් එකක් ලියන්නේ.
ඔබා මාමා මගේ බ්ලොග් ලෝකෙ ඉන්න පතාක යොදයන් තුන් දෙනාගෙන් කෙනක්. මාමා මගේ බ්ලොග් එකට ආපු දවසේ මට කොච්චර සතුටක් දැනුනද..මගේ බ්ලොග් එකේ, වෙන අයගෙ බ්ලොග් වල මාම දාන කමෙන්ට් වලට මම හුගක් වෙලාවට මොනව හරි විහිළුවක් කරලා කමෙන්ට් කරලා එනවා. ඒ මාමා කවමදාවත් කේන්ති ගන්නේ නැති කරන විහිළුවට මාමත් විහිළුවක් කරන බව හොදටම දන්න නිසා.
ඇස් දෙකෙන් එකම එක පාරක්වත් මාමව ‍නොදැක්කට නුඹේ ලෙංගතුකම හැමදාම හිතේ පැල පදියන් වෙලා තියෙයි මාමේ.
ඔබා මාමේ උපදින හැම ආත්මයකම ඔබ අප අතරම ඉපදේවා. නුඹ වැනි තාත්තෙකුගේ දුවෙක් වන්නට මතු උපදින අත්මෙකදිවත් බට්ටි හැකි වේවා! 

February 8, 2012

කෙල්ලෙක් ඕනෙමද?


මේක නම් ඉතිං අර නාහෙට අහන්නැති කාලයක් එන්නේ අන්න ඒ කාලේ  යාළුවොත් එක්ක එකතුවෙලා දීපූ ලණුවක්. හැබැයී ඔන්න කියවලා ඉවර වුනහම කියන්න එපා අපෝ බට්ටි නම් හරි නරක කෙල්ල කියලා. අනේ මේක කලේ ඉතිං අපි සෙට් එකම නිසා මුළු ගානම මගේ එකවුන්ට් එකට නම් දානන් එපා මෙන්න වැන්දා.....
අපේ පන්තියේ හිටියා චන්දන කියලා ළමයෙක්. 10 වසරට විතර එද්දී චන්දනට කෙල්ලෙක් දාගන්න පුදුම පිස්සුවක් තිබුනේ. ජෙල් ගාලා , කොණ්ඩේ උඩට පීරලා, කලිසමත් ඔන්න හැලෙන්න මෙන්න හැලෙන්න ඇදගෙන, මූණ බලන්න පුළුවන් තරම් සපත්තු සුද්ද කරගෙන පුල් සුද්දා වගේ තමයි ඉස්කෝලෙ එන්නේ. ප්‍රින්සිපල් කොච්චර බැන්නත් ළමයෙක් විදියට එන්න කියලා. එයාට ඉතිං එව්වා ඇහෙන්නෑ.
දවසක් අපි යාළුවෝ කට්ටිට ඉන්නකොට එක පිරිමි ළමයෙක් කිව්වා චන්දන කෙල්ලෙක් නැතුව මාර අප්සට් එකේ ඉන්නේ තව ටික දවසක් ගියොත් නම් මූට පිස්සු හැදෙයී අපි එකතුවෙලා මොනවා හරි කරමුද කියලා. ඔහොම ඉතිං කට්ටිය කතා වෙලා පුංචි ප්ලෑන් එකක් හැදුවා.
අපි එකතුවෙලා චන්දනට ලියුමක් ලිව්වා. ලස්සනටම ලියන්න පුළුවන් ගෑනු  ළමයෙක් තමයී මේක ලිව්වේ. චන්දනගේ යාළුවෝ දන්නවා එයා කොහේ හරි ගියහම කෙල්ලන්ට දෙන ඇඩ්රස් එක. දුර ඉදන් ඉස්කෝලෙට එන ගෑනු ළමයෙකුගේ ගෙදර දානයක් තිබුණා. පන්තියේ ළමයි එහේ ගියා. ඉතිං දැන් ලියුම එවන්නෙත් ඒ දානේ ගෙදරදී චන්දන ඇඩ්රස් එක දීපූ ගෑනු ළමයෙක් කියලා තමයී ලියුමේ ලිව්වේ. ඉතිං කට්ටිට එකතුවෙලා ලිව්ව ලියුම අප ඒ ඇඩ්රස් එකටම තැපැල් කරා.
ලියුම යවලා හරියටම දවස් දෙකෙන් වැඩේ ගොඩ. චන්දන එදා ඉස්කෝලේ ආවේ අම්මෝ බදින්න ලෑස්තිවෙන මනමාලයෙක් වගේ. විස්තර කියන ගමන් අපි ටික දෙනා එකතුවෙලා ලිව්ව ලියුම මෙයා ආයෙම අපිට පෙන්නවා. අනේ ඉතිං චන්දන කොයි තරම් ඇන්දිලද කියනව නම් බලන්න මෙච්චර කල් කෙල්ලෙක් නැතුව හිටිය මට ඉදලා ඉදලා හම්බ වුනේ තේඅක්කර 12ක් තියෙන කෙල්ලෙක්නේ කියලා පුල් වර්ණනාව.
අපි ටික දෙනා එකතුවෙලා ආයම ලියුමක් ලිව්වා ඒකේ ලිව්වා , හැබැයි අයියේ ඔයා ඔය ජෙල් ගානවට, කලිසම හැලෙන්න අදනවට, උරහිස ලගින් ෂර්ට් එක නවනවට නම් මම ආස නෑ.පුළුවන් නම් ඒ අඩුපාඩු හදා ගන්න කියලා.
ඒ ලියුම යවලා දවස් ගානක් ගියා. ඒත් ගිය පාර වගේ කොල්ලා ලියුම අපිට පෙන්නනවා තියා එහෙම එකක් ආපු බවක ඉගියක් වත් දුන්නේ නෑ. ඒත් එයා අර ලියුමේ තිබුණු විදියටම වෙනස් වුනා.
චන්දන ලියන ලියුම් ඒ ගෑනු ළමයට දෙන්න කියලා අර අපි දානේ ගෙදර ගිය ළමයට ලියුම් කවරෙක දාලා අලවලා දෙනවා.විහිළුවට පටන් ගත්ත දේ එන්න එන්නම සීරියස් වුනා. එයාට කෙල්ලව දකින්නම ඕන වුනා. ඔය අතරේ ඒ අවුරුද්දේ වැලන්ටයින් දිනෙත් ලංවුනා.  එදාටවත් හම්බ වෙන්න එන්න කියලා චන්දන ලියුම් වල ලියලා තිබුණා. ඒත් කොහොමද ඒක කරන්නේ.
වැලන්ටයින් එකට එයාට යවන්න ලොකු ප්‍රෙමිසස් චොකලට් එකක් චන්දන අරන් ආවා. ඒක් අර ළමයගේ අත‍ටත් දුන්නා ගිහින් දෙන්න කියලා. ඒත් මේ විහිළුව තව වැඩි දුර ගියොත් අපේ ඇස් රතුවෙන බව අපිට ඒ වෙද්දී හොදටම තේරුම් ගිහින් තිබුණේ. ඉතිං අපි එකතු වෙලා එයාට ඇත්ත කිව්වා. ඒ වෙද්දී චන්දන හුගක් හැදිලා හිටියේ. අපි ලියුම් වලින් එයාට හුගක් වෙනස් කරා. පාඩම් වැඩවලට උනන්දු පිළිවෙලට ඉස්කෝලෙට එන ළමයෙක් කලා. ඒත් මේක දැන ගත්තට පස්සේ එයා එයා හුගක් දුක් වුනා. අපි එක්ක කතා කලේ නෑ එදා ඉස්කෝලේ ඉවර වෙනකල්ම. ඊට පස්සේ සතියක් විතර එයා ඉස්කෝලේ ආවේ නෑ. 
පිරිමි ළමයි පුළුවන් විදියට එයාගේ ගෙදර ගිහින් එයාගේ හිත හදලා ඉස්කෝලෙට එක්කර ගෙන ආවා. චන්දර මේ සිද්ධය නිසා අපෙන් ඈත් වුනා. හැබැයී හදා ගනිපු ගතිගුණ ඒ විදියටම තිබුණා. අපි බයේ හිටියේ එයා හිටියටත් වඩා අන්ත වෙයි කියලා. එයා සාමාන්‍ය ‍පෙළත් පාස් වුනා. දැන්නම් ඉතිං එයා බැදලා. ටික කාලයක් ගිහින් එයාට ගැලපෙනම කෙනා හම්බවුනා. අපෙනුත් ඈත් වෙලා හිටියේ ටික කාලයයී. මේ තමයී ඉතිං අපි කෙනෙක්ට දීපූ ලොකුම ලණුව.

November 16, 2011

ලොකු වරදකි එදා කලේ ...............


මේක මගේ ජීවිතේ අදටත් මං හුගක් පසුතැවෙන මගේ හිතේ තදින්ම කාවැදිලා තියෙන සිද්ධියක්. මේක වුනේ මම දහය වසරේ ඉගෙන ගනිද්දී. 
 ඉස්කෝලේ හැම පන්තියකම තිබුණේ කළුලෑලි. ඉතිං මේවායේ ටික දවසක් ලියද්දී සුදු පාට වෙලා ආයෙම කළු ගාන්න වෙනවනේ. කළු ලෑල්ල පාට කරන්නේ අර බැට්රි කෑලි වල ඇතුලෙ තියෙන කුඩු දොඩම් ඉස්මයි එක්ක කවලම් කරලා. ඔහොම පාට කරාට පස්සේ ටික දවසක් යනකම් මිස්ලා සර්ලගේ අතේ කළුපාට ගෑවෙනවා. 

ඔය විදියට කළු ලෑල්ල පා‍ට කරපු දවසක එක පිරිමි ළමයෙක් මොන මොනවදෝ පල්හෑලි වගයක් ලියලා තිබුණා බෝඩ් එකේ. විද්‍යාව මිස් තමයි මුලින්ම එදා පන්තියට ආවේ. එදීදිම බෝඩ් එකේ තිබුණ දේවල් දැකලා කවුද ලිව්වේ කියලත් අත් අකුරු වලින්ම අදුන ගෙන එයාට කිව්වා ඇවිත් මකන්න කියලා. දැන් ඉතිං ඒ ළමයා නැගිටින්නෙම නෑ. 

මිස් මගේ නම කියලා කතා කරලා කිව්වා පුතේ ගිහින් කෝටුවක් කඩාගෙන එන්න කියලා. මමත් කියන සුනංගුවෙන්ම කඩාගෙන ආවා හොදට හයිය පේර කෝට්ටක්. මොකද ඉතිං ගහන එකත් වෙලා හයිය එකකින්ම ගහන්න ඕනනේ. ඒක නිසායි එහෙම එකක් කඩාගෙන ආවේ. 

අන්තිමේදී මිස් කොට්ට අතට ගන්නවත් එක්කම එයා ඇවිත් ලියපු එක මකලා දැම්මා. ඊට පස්සේ අත්දෙකේ හොදටම කළු ගෑවිලා. 

මම කොහොමත් ඒ දවස් වල ඉස්කෝලේ ටැප් එකෙන් වතුර බොන්නේ නෑ. ගෙදරින් පොඩි ප්ලාස්ටික් බෝතලයකට වතුර අරගෙනයී යන්නේ. මම හැමදාම ඉන්නේ පන්තියේ පළවෙනි පේලියේ අයිනෙම. ඉකමනට ගුරුමේසේ ලගට යන්න තියෙන ලේසිම තැන. මම ගේන වතුර බෝතලේ එතනම බිත්තිය උඩින් තියලා තියනවා. 

ඉතිං මේ පිරිමි ළමයා මගේ වතුර බෝතලේ අරන් අත හොදන්න යන්න හදද්දිම මම අනේ අනේ එපා කිව්වා. ඒත් ඉතිං කිව්වට අහන එකක්ය එයා ඒකෙන් අත හොදන්න එළියට යන්න හැදුවේ. මිස්ට මේ වැඩේට කේන්ති ගියා. මිස් කිව්වා ටැප් එක තියෙන්නේ වැඩි ඈතක නෙවෙයිනේ ගිහින් අත හෝදන් එනවා.ඒ ළමයා ගෙදරින් ගෙනාපු වතුර එක නාස්ති නොකර කියලා. 

මිස්ට හුගක් කේන්ති යනවා. අනිවාර්යයෙන්ම මිස් කියන දෙයක් ඇහුවෙ නැති වුනොත් නම් ගහනවම තමයි. පන්තියේ අනිත් ළමයි ටික මට බෝතලේ ගත්තට කමක් නෑ කියනවා කියලා කියන්න ගත්තා. මම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ‍එයාට ගැහුවොත් නම් අනිත් ළමයි ටික මව බයිට් එකට ගනී කියලා මම හෙමිහිට කමක් නෑ කිව්වා. මිස්ටත් ඕක ඇහුනේ නෑ. 

එක පාරටම අර පිරිමි ළමයා මිස්ගෙන ඇහුවා එයත් කමක්නෑ කියනව නම් මිස්ට තියෙන අමාරුව මොකද්ද කියලා.  එයා එහෙම දෙයක් කියයි කියලා මං හීනෙන්වත් හිතුවේ නෑ. ඒ එක්කම මිස් මගෙන් ඇහුවා ඇත්තද පුතේ මේ කියන්නේ කියලා. මොනවා කියන්නද? මම කලේ බිම බලා ගනිපු එක විතරයි. හරිම අකාරුණික විදියට පන්තියේ හැම ළමයෙක්ම මගේ මිස්ට හූ කිව්වා. 

විශ්වාස කරන්න එකදිගට මමම කඩාගෙන ආපු වේවැල කැඩෙන කල් මිස් මට ගැහුවා. ඒත් මම බිම බලාගෙන කදුළු සුදු ගවුමට වැටෙනකල් ඇඩුව මිසක් මට මිස්ගෙ මූණ බැලුවෙවත් නෑ.මොකද මට එහෙම කරන්න හයියක් තිබුණේ නෑ. 

පාසල් ජිවිතයටම ගුරුවරයෙකුගෙන් ගුටි කාපු එකම දවස. .ගණිතය මිස් අස්වෙලා ගියාට පස්සේ උහුල ගන්න බැරි දුකකින් හිටිය මට හෙවණැල්ලක් වුණ එකම ගුරුවරිය. ගෙදර අම්මා නැති නිසා මගේ දේවල් කියන්න මට මේ ලෝකේ ‍බුදු හාමුදුරුවෝ එවපු එකම කෙනා. අනේ මගේ මිස්ට මං ජීවිතේ කාලෙම ගෙවලා ඉවර කරන්න බැරි වරදක් කලා. 

එදා දවසෙ මම මගේ ඩෙස් එක පෙගෙනකල් ඇඩුවා. කාලපරිච්ඡේද දෙකක් උගන්නන්න ආපු මිස් එවෙලෙම පන්තියෙන් ගියා. ඊට පස්සේ පන්තියට ආපු ගණිතය සර් කිව්වා මොකද මේ අම්මා විවේකාගාරෙ ඔළුව තියන් දුව මෙතන ඔළුව ගහ ගෙන ඉන්නවා කියලා. සර් එහෙම කියද්දී මගේ දුක තවත් වැඩි වුන එකයි වුනේ. මම අන්තිම පීරියඩ් එකේ ලැබ් එකට ගියා මිස්ගෙන් සමාව ඉල්ලන්න. සමාව ඉල්ලන්න පුළුවන් වරදක් නෙවෙයි මම කලේ ඒත් මට එහෙම කරන්න ඕන වුනා. 

මම යද්දී මිස් පොත් වගයක් බලබල හිටියේ. මිස් ලගට ගියාට මට කතා කර ගන්න බැරුව හොදටම ඇඩුනා. මිස් මගේ අතකින් අල්ලලා ලගට අරගෙන කිව්වේ ඇයි පුතේ ඔයාගේ අම්මට එහෙම කාලේ කියලා. ඒ වචන අදටත් මගේ කන්දෙකේ දෝංකාර දෙනවා. 

යාළුවො තරහ වෙයි කියලා මං එදා එහෙම කලාට අද මං ලග කිසිම යාළුවෙක් නෑ. මිස් විතරයි තට්ට තනියම ඉන්න මං එක්ක අදටත් ඉන්නේ. ජීවිතේ අපි නොදැන කරන දේවල් පස්සෙ කාලෙක මතක් වෙද්දී පුදුමාකාර දුකක් එන්නේ.  


November 14, 2011

සෙල්ලමට කරපු වැඩ....


අපේ ඉස්කෝලේ හැම තැනම පළතුරු. මැංගුස්, අඹ, ජම්ඹු , වෙරළු , කෙසෙල් , කජු , වරකා ඔය කියන හැම ජාතියකම පළතුරු ඉස්කෝලේ කදු ගැටය පුරාම තිබුණා. අලුතින් සුදු ගවුමක් ඇදගෙන යද්දිම හිතනවා මේ සුදු ගවුමේ නම් වෙරළු කහට ගා ගන්නේ නෑ නෑ නෑමයි කියලා. මොන ඕක මතක තියෙන්නේ එක්කෝ දවස් දෙකයි නැත්නම් තුනයි. ආයේ ඉතිං පරණ ගවුම් වලට වුණ සෙතේම තමයි ඒකටත්. 

අපිට ඉතිං ගෙවල් වල මොන පළතුර තිබුණත් ඉස්කෝලෙ ගස්වල තියෙන පළතුරු තරම් ඔය එකක්වත් රස නෑ. ඇයි මිස්ලා සර්ලට හොරෙන් පොර කකා කද්දී ඒවගේ පුදුම රසක් නේ තියෙන්නේ.
කෘෂි කර්මය කරන ළමයි තමයි කෙසෙල් ගස් හිටවලා ඒවට සාත්තු කරන්නේ. කෙසෙල් කැන් පැහීගෙන එද්දී අපේ පන්තියේ ඒවටම කියලා සෙට් එකක් ඉන්නවා එයාලා කොහොම හරි කෙහෙල් කැන කපලා කැකිල්ල කැලේ හංගනවා. ඉදෙන ඉදෙන ඇවරිය අතින්ම කඩාගෙන ඉන්ටවල් එකේදී පන්තියට ගෙනවා. ඒ වෙලාවට ඉතිං අපි යාළුවෝ 5 දෙනාටත් අනිවාර්යයෙන්ම දෙනවා. මොකද නැත්නම් ඉතිං ආයේ හදිස්සියෙවත් පිහියක් එහෙම ඕන වුනොත් ඉල්ල ගන්න විධියක් නැති වෙනවනේ ඒකයි. ගෘහ විද්‍යාව මිස්ගෙන් පිහියක් ඉල්ලුවහම මට විතරයි දෙන්නේ. ඒකයි මේ විශේෂ සැලකිලි. ඔය විදියට හොරාට ‍කෙසෙල් කෑවට කවදාවත් අහුවෙලා නම් නෑ.
අපේ පන්තියේ හිටියා කුමා කියලා පිරිමි ළමයෙක්.එයා තමයි පන්තියේ පොර. දවසක් කුමා අරගෙන ආවා ගුඩ් නිවුස් එකක්. කාර්යාලේ ඉස්සරහ තියෙන අඹ ගහ පීදිලාලු. ලොකුම ලොකු අඹ පොකුරක් තියෙනවලු ගහ මුදුනේ. හැබැයි ඉතිං මුදුනේ කිව්වට ඒ ගහ ඒතරම් උස නම් නෑ. දැන් ඉතිං අපිට ඕන වුනා ඔය අඹ ටිකේ රස බලන්න. අමුවෙන් වුනත් මොකද..?
වැඩේනම් ඉතිං හිතන තරම් ලේසි වෙන්නේ නෑ. ඒ දවස්වල හිටිය විදුහල්පතිතුමා හරිම සැරයි. ළමයි විහිලුවට එයාට කිව්වේ බෝරෝන් කියලා. අනේ හැබැයි මම නම් අදටත් ඔය කිව්ව නමේ ‍තේරුම නම් දන්නේ ‍නෑ. විදුහල්පතිතුමා සැරයි කියලා බෑනේ.අපිටත් කොහොම හරි ඕන වුනේ මේ අඹ ටික කන්නම. ඇයි ඉතිං කාර්යාලේ ඉස්සරහ තියෙන අඹ ගහෙන් ඉස්සෙල්ලම අඹ කෑවේ අපි කිව්වහම කොච්චර අඩම්බරයක්ද ඒක. 

හදිස්සියේම දවසක විදුහල්පතිතුමයි , උප විදුහල්පතිතුමයි ආවේ නෑ ඉස්කෝලෙ. එදා තමයි මෙච්චර දවස් හිතපු හීනේ එළි කරගන්න ඉඩක් ලැබුණේ. කුමයි තව පිරිමි ළමයි දෙන්නෙකුයි ගියා ගිහින් විනාඩි පහට ආපහු ආවා. ඒ ආවේ කාර්යාලේ ඉස්සරහ තිබුණු අඹ ගහේ ගෙඩි ටික කඩාගෙන. අපිත් ඉතිං පන්තියේම බිම පොළොවෙ ගහලා කඩන් කෑවා.
ඊට පස්සෙන්දා දෙවන කාලපරිච්ඡේදයේදී පණිවිඩයක් ආවා අපේ පන්තියේ ළමයි ටිකට කාර්යාලේ ඉස්සරහට එන්න කියලා. කේස් එක මොකක් වුනත් කට්ටියම ගිහින් හිට ගත්තා කාර්යාලේ ඉස්සරහින්. වේවැලත් අතේ අරගෙන විදුහල්පති තුමා එළියට ආවා. 

‘එනවා කුමා ඉස්සරහට’  ‘ෂුවර් එකටම මට පදක්කමක් තමයි’ කියලා කුමා හෙමිහිට ඉස්සරහට ගියා.
‘ මේ ගහේ අඹ තිබුණා නේද ?’ මල කෙලියයි. වැඩේ පත්තු වෙලා වගේ. දැන් තමයි අපේ ඇගටත් බයක් ආවේ.
‘දැක්කේ නෑ සර්’
‘මොකටද ඔය බොරු කියන්නේ මම දවස් ගානක් දැක්කා මේ ගහ දිහා බලාගෙන මෙතනින් එහාට මෙහාට යනවා. ගෙඩි කීයක් තිබුණද? කියනවා බලන්න.’
‘තිබ්බා සර් හැබැයි කලබලේට ගනින්න බැරි වුණා.’
පැන්නේ නැතැයි බළලා මල්ලෙන් එළියට.
‘ඒ කියන්නේ කලබලේට කඩාගෙන කාපු නිසා කීයක් තිබුණා ද කියලා දන්නේ නෑ.’
‘නෑ ... නෑ... සර්. සර්ට බයේ මෙතනින් ඉක්මනට යන නිසා ගනින්න බැරිවුනා..’
දැන් නම් විදුහල්පති තුමාට හොදටම තදවෙලා. කුමාත් ඇගට පතට නොදැනි උත්තර දෙනවා.
‘ඇත්ත කියනවා. මේකේ තිබුණු අඹ  කෑවේ තනියමද?’
‘ඔව් සර්’
අයියෝ හිතුවෙවත් නැති විදියට මූ වරද පිළිගත්තනේ.
‘අල්ලනවා එහෙනම් අත’ සර් එහෙම කියද්දිම අපි හත්දෙනත් ගියා ඉස්සරහට අපිත් කෑව කියලා. එකපාරටම ඉස්සරහට ගියාට මොකද ගිය වෙලේ ඉදන් කට්ටිය වෙව්ලනවා. මං දිහා බලලා සර් කිව්වා ‘ආ තමුනුත් ඉන්නවා නේ.’ කියලා. මං ඉතිං හෙමින් බිම බලාගෙන සපත්තුවෙන් පොළොව හීරුවා.කාපුවා වමාරන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි.

දැන් නැතුවට දැන්වදී කියලා හිත හිත ඉදිද්දී සර් ‘ හෙට එද්දී එක්කෙනෙක් අඹ ගෙඩි 10 ගානේ අර ගෙන එනවා”. කියලා.
සර්ට ඕක කියලා කට ගන්න හම්බ වුණේ නෑ ‘ඇයි සර් අඹ වේලන්නද ...? අපේ ගෙදර ඕන තරම් වේලපු අඹ තියෙනවා මං ඕනෙ නම් ගෙනැත් දෙන්නම්’ කියලා කුමා කිව්වා.
ඌටත් කට පියන් ඉන්න බැරි හැටි. දැන් ඉතිං දහය විස්ස කරහම උඹම ගෙනෙන් කියලා මං හිතින් බැන බැන ඉදිද්දී සර් හිනාවෙලා කිව්වා
‘කට්ටියම යනවා පන්තියට. ආයෙ එහෙම ගහකට අත තියලා අහුවෙන්න එහෙම එපා කියලා.’

අපි එක පිම්මට පන්තියට ආවා. කුමාට හොදටම හිනා මිනිහා වැඩ්ඩා වුණා නිසා. ඌ මට ටොක්කක් ඇනලා කිව්වා ‘ඔන්න ඉගෙන ගනින් අලි මෙල්ල කරන හැටි.’

November 2, 2011

මෙන්න නියම ට්‍රිප් ..........................2


ත්‍රී විල් එකේ 6 දෙනයි. කොහේද හැබෑටම මේ යන්නේ ................................?
යන්නේ කොහේද කියලා අහස පොළොව ගැට ගහ  ගහ ඉන්න බැරිම තැන මං තාත්තගෙන් ඇහුවා ඇත්තටම තාත්තේ අපි කොහේද දැන් මේ යන්නේ කියලා. මලමගුලයි එතකොට තමයි දන්නේ තාත්තවත් ඒක දන්නෙ නෑ කියලා.පුදුම වැඩේනේ නඩේගුරාවත් යන්නේ කොහේද කියලා නොදැන ට්‍රිප් යන රටක් අහලා තියෙනවද?
තාත්තා ත්‍රී විල් එකේ අයියට කිව්වා ඩොනල් මල්ලී මට දෙන්න පුළුවන් ගාන කිව්වනේ. ඔන්න ඒකෙන් යන්න පුළුවන් දුරක් යන් කියලා. ත්‍රීවිල් අයියත් ඇහුවා යන්න ඕන කොහේද කියලා. මෙන්න එකපාරටම මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය අම්මා කියපි සිරීපාදෙ යන්න ඇත්නම් ශෝක් කියලා.
තාත්ත නම් 13 පාරක් ගිහින් තියෙනවා කිව්වා. ඒත්  අපි ගිහින් නැති නිසා සිරීපාදෙ යන්න තීරණය කලා.
ත්‍රීවිල් එකේ ගැස්සි ගැස්සි කකුල් දෙකත් වහළට තියන් මාත් ඔහේ වැනි වැනි යනවා. අයියෝ කිසිම ගතියක් නෑ. මෙහෙම නම් ට්‍රිප් ගියාට කෝ ෆන් එකක්. වැඩේ හරි යන්නේ නැති නිසා මං දැම්මා බට්ටි FM  එක.එක දිගට පැය 24 වුනත් ඇඩ්නැති සිංදු විතරක්ම තියෙන එකම චැනල් එක. අයියා කියන්නේ ඔය චැනල් එක දැම්මොත් ඉතිං නතර කරන්න බැට්රි පන්නන්න ඕන කියලා.
එක සිංදුවෙන්ම කට්ටියම එකතු වුනා වැඩේට. ට්‍රිප් යන කොට නොකියන සිංදු ආයෙ කවදා කියන්න කියලා අරන් තියන්නද නේද? එදා කියපු සිංදු වලින් මං ආසයි තාත්තයි මායි කිව්ව “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ” සිංදුව. ගායකයගේ කොටස තාත්තා කිව්වා. ගායිකාවගේ ටික මම කිව්වා. මට හොදට මතකයි ඒ සිංදුව කියද්දි ත්‍රීවිල් එකේ අයියත් හෙමිහිට ගියේ.
සිංදු කියකියා අර පිටිපස්සේ තියෙන වීදුරුකෑල්ලෙන් පාරෙ යන අයට පොඩි වෙට්ටුවකුත් දා දා යද්දී කෑම වෙලාවත් ආවා. අම්මා කෙසෙල් කොලේ ඔතපු බත් පාර්සල් ගෙදරදී හදන් ඇවිත් තිබුණා. අපේ අම්මගේ කෑම නම් ඉතිං මතක් කලත් බඩ පිරෙනවා. ඒ තරම් රසයි. මං අම්මට කියන්නේ “ මේ ලෝකෙ ඉන්න හොදම අම්මා බට්ටිගේ අම්මා, මේ ලෝකෙ රසට උයන්නේ බට්ටිගේ අම්මා, බට්ටිට දෙයියෝ දීපු එකම මැණික අම්මියා තමයි”.
හවස් වෙද්දිවත් සිරීපාදේ නගින්න පටන් ගන්න ඕන කියලා අපි ඉක්මනින් ගියා. මස්කෙලිය චෙක්පොයින්ට් එකේදී අපිව නතර කලා. ඒත් කිසිම දෙයක් චෙක්කලේ නෑ. එන්නේ ගාල්ලේ ඉදන් කිව්වහම මෙච්චර සෙනගක් ත්‍රීවිල් එකකින් මේතරම් දුරක් ආපු පළවෙනි පාර කියලා අපිට යන්න කිව්වා.
අපි ඔන්න දෙයියනේ කියලා සිරීපාදෙටත් ආවා. අයියයි , ත්‍රී විල් අයියයි ඉක්මනින්ම නැග්ගා. අපි ඉතිං හෙමින් තමයි නැග්ගේ.මට ඉතිං දුව දුව යන්න ඕන වුනත් අම්මයි තාත්තායි ඉතිං ටිකක් ඇග මහත නිසා හෙමින් ආවේ. ඒක නිසා එයාල එක්කම නගින්න වුනා. අක්කා මගදී කකුල් රිදෙනවා කිව්වා. තාත්තා බැන්නා කට වරද්ද ගන්න එපා කියලා. මම ඒ බනින සීන් එක නම් මං උඩගෙදර අක්කගෙන් ඉල්ලන් ගිය කැමරාවේ සටහන් කර ගත්තා. පස්සේ කාලෙක ප්‍රයෝජනවත් වෙනවනේ ඔය වගේ දේවල්. තාමත් තියෙනවා. තාත්තා බනිද්දී අක්කා මූණ බෙරි කරන් ඉන්න හැටි. මතක් වෙද්දිත් හිනා.
මහගිරිදඹ දගිද්දී පුංචියට පොද වැටුනා. ඔය අතරේ ඉතිං යන අය එක එක කවි කියනවනේ. (සයුරිගේ සිරීපාදෙ පෝස්ට් එකේ ඔය කවි හුගක් ලියලා තියෙනවා) ඉතිං ඔහොම කවි කියද්දී වැදලා බහින නැන්දා කෙනෙක් අපේ තාත්තට කවියක් කිව්වා. කවිය නම් මට හරියටම මතක නෑ. කොහොම හරි කිව්වේ නම් වදින්න යන මේ අයියට උඩමළුවෙදි නංගි කෙනෙක් ලැබෙන්න කියලා. ආයෙ ඉතිං අම්මාත් ලග ඉදිද්දී එහෙම කවි කියන්න දෙන්න පුළුවන්ද? එයාලා සද්ද නොකර හිටියට මං ඉදී එහෙම. මාත් ඉතිං හැරෙන තැපෑලෙන් දුන්නා කවියට උත්තර. අන්තිමේදී ඒ නැන්දා සමාවෙන්න කවියකුත් කියලමයි පහලට බැස්සේ.
සිරීපාදෙ යන්න පුදුමාකාර පිනක් කරන්න ඕන කියලයි මං උඩට නැග්ගහම හිතුනේ. ඉරසේවේ බලන්න පැය ගානක් ඉන්න ඕන කියපු නිසා හෙට උදේ වෙද්දී දැම්ම ගියොත් ගෙදර යන්න පුළුවන් කියලා ඉක්මනින් බැස්සේ. ඔය එන අතරේ මම නම් ආවේ හොද කරනමකුත් ගහලාත හැබැයි ඉතිං සුමන දෙවි පිහිටෙන් කිසිම හීරීමක්වත් වුනේ නෑ. ඉක්මනින් පහලට ඇවිත් රෑටත් තෝසෙ කාලා අපි යන්න පිටත් වුනා.
හිතුවෙවත් නැති විදියට එක දවසින් ගෙදර යනවා කිව්වනේ ‍දැන් ඉතිං මොනවා කරන්නද? ගිනිගත් හේනට එද්දී රෑ2 විතර වෙලා. ත්‍රීවිල් එක අතර මග නතර වුනා. පෙට්ට්‍රල් ඉවර වෙලා. මරැ වැඩේ තමයි. දැන් ඉතිං මොනවා කරන්නද උදේ 6  වෙනකල් කිසිම තැනක් නෑලු පෙට්ට්‍රල් ගන්න. මම නම් ඉතිං මගේ සුවපහසු අසුනට වෙලා හොදට නිදිය ගත්තා. උදේ පට්ට්‍රල් ගෙනැත් ඇහැරනකන්ම නින්ද ගියා.   ලග තිබුන ගෙදරකට ගිහින් අපි හැමෝම මූණ හොද ගත්තා. කොහොමින් කොහොම හරි හැමෝම වෙන ඇදුමකුත් ඇද ගත්තා.
දැන් ඉතිං ගෙදර යයිද? 
තාත්තා කිව්වා මොකද කියන්නේ බට්ටි නුවර මාළිගාවත් වැදලම යන්ද කියලා. ආයෙ ඉතිං මොනවා හිතන්නද මං හා කිව්වා. ඔන්න ඩොනල් මල්ලී එහෙත් ගිහින් එමු.  අපි මාලිගාවෙත් ගිහින් මල්වත්තටත් ගිහින් එදා රෑ වෙද්දී දෙයියනේ කියලා ගෙදර ආවා. ඔන්න ඔය විදියට දවස් දෙකක් ට්‍රිප් එකක් බට්ටි ත්‍රීවිල් එකේ පිටිපස්ස කෑල්ලෙ හාන්සිවෙලා ගිහින් ආවා.
මේ ලිපිය මේ තරම් දිග වෙයි කියල නම් හිතුවෙම නෑ. කොහොම කෙටියෙන් කියන්නද? මගේ ජීවිතේ ගිය ලස්සනම ට්‍රිප් එක. මේක තමයි අපි හැමෝම ජීවිතේටම ගිය එකම ට්‍රිප් එක. ආයෙ කවදාවත් යන්න වෙන එකක් නැති වෙයි. දැන් පස්දෙනා පස්පලක. මොනවා කරන්නද?

October 31, 2011

මෙන්න නියම ට්‍රිප් .......


අපිට ඉතිං ට්‍රිප් එකක් යන්න ලැබෙන්නේ ඉදලා ඉදලා යාන්තම් හාවා හඳ දකිනවා වගේ තමයි. මේ ගමන නම් යාන්තන් යෝජනා සම්මත වෙලා ජූරිය විසින් තීරණය කළා ගෙදර හැමෝමයි ගමේ තව පවුල් තුනකුත් එක්ක ට්‍රිප් එකක් යන්න. යන දවස ලං වෙද්දී අනිත් අයගෙන් කිසිම හාවක් හූවක් නෑ.  බැරිම තැන තාත්තා අම්මට කිව්වා ගිහින් අහලා බලන්න යනවද නැද්ද කියලා. ගෙවල් දෙකකින් මොන මොනවද ප්‍රශ්න කියලා යන්න වෙන්නේ නෑ කිව්වලු. අන්තිමේදී අපේ ගෙදර අයයි තාත්ත‍ගේ යාළුවෙක්ගෙ ගෙදර අයයි එයාලගේ වෑන් එකෙන් යන්න ලෑස්ති වුනා.
අම්මා ඊට කලින් දවසෙ වම්බටුමෝජු , සීනි සම්බෝල හදලා බෝතල් වලට දාලා තිබ්බා. ආ කියන්න අමතක වුනානේ  මං මේ ලෝකෙ ආසම පැණි රස කෑම සුදු අලුවා ටිකකුත් මමම  හැදුවා.  යාන්තම් ඉතිං මට ඔය ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ පුළුවන් ඔය කැවිලි හදන එක විතරයි. අනිත් කෑම ඉතිං අඩු ගානේ මටවත් කන්න බෑ.  අපරාදෙ කියන්න බෑ ඒ තරම් රසයි. (මාර සරණිය ප්‍රින්ට් කරන් නම් ගියා තාම වැඩේ කරන්න බැරි වුනා.බලමුකෝ මාරයියාගේ පිහිටෙන්වත් ඒ ප්‍රශ්නෙන් ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා.)
කොහොමින් කොහොම හරි ගමනට ඕන කරන හැම දෙයක්ම කලින් දවසෙ ලෑස්ති කරලා තිබ්බා. උදේ 4 වෙද්දී වෑන් එකෙන් ඒ මාමලා එනව කිව්ව නිසා අපි ඉතිං වෙලාවටත් කලින් ලෑස්තිවෙලා හිටියා. 4 වැදුනා, 4.30 වැදුනා, 5 ත් වැදුනා වෑන් එක නම් එන පාටක් නෑ. දැන් ඉතිං මොනවා කරන්නද? ඒ දවස් වල ඔය ෆෝන් එහෙම තිබුනෙ නෑනේ. එහෙම වුනා නම් ඉතිං පැය ගානක් බලන් ඉන්න ඕනෙ නෑනේ. බලන් ඉදලා බැරිම තැන 5.30 ට විතර තාත්තා උඩහ ගෙදරින් පුට්සයිකල් එකක් ඉල්ලගෙන ඒ ගෙදරට ගිහින් එන්න ගියා.
ඔන්න බොලේ පැය භාගයක් විතර යද්දී තාත්තා එනවා. ඈතදිම මූණේ ලක්ෂණ අධ්‍යනය කරලා මම නම් දැන ගත්තා දැන්නම් එන්නේ අසූහාරදාහට නැගලා තමයි කියලා. එහේ වෑන් එක කැඩිලලූ. ස්ටාර්ට් වෙන්නෙ නෑලු. ඒක නිසා ඇවිත් නැත්තේ. දැන් ඉතිං මොනවා කරන්නද ඇදුම් මාරු කර ගන්න හිතන් අපි ගෙට ගියා.
මිදුලට වෙලා හිටිය තාත්තා ඔහොමම තව ටිකක් ඉන්න කියලා බයික් එකෙන්ම කොහේද ගියා. තාත්තා කිව්වොත් ඉතිං අපි නෝ හෙල්ලුන් තමයි. (ඒක නිසා හිටිය මිසක් නැත්නම් ඉතිං 3.30 ඉදන් ඇදගෙන තව මොනවා ඉන්නද)
ඔහොම ඉදිද්දී ඩොනල් අයියගේ ත්‍රීවිල් එක ඇවිත් මිදුලේ නතර කලා. ඒ එක්කම තාත්තත් ආවා. දැන් හරි අපි මේකෙන් යමු කියලා තාත්තා කිව්වහම කවුරුත් කිසිම ඇඩ් එකක් නොදා ඒකෙන් යන්න ලෑස්තිවුනා. වැඩිය බඩු දාගන්න ඕන නෑ කියපු නිසා අපි දාගෙන හිටිය ඇදුම් ටිකක් අඩු කරා.
අපේ ගෙදර පස්දෙනයි ත්‍රීවිල් එකේ අයියයි ඔක්කොම හය දෙනෙක්. අම්මයි තාත්තයි වාඩි වුනහම යාන්තම් තව එක්කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ ඉතුරු වෙනවා. මොනවා කරන්නද කොහොම හරි යන්නත් ඕනනේ. ‍මම ඉතිං නැග්ගේ මගේ අතිජාත පිලෝ යාළුවත් තුරුල් කර ගෙනමයි.
ඒ ගමන තාත්තා කියපි එයාලා වාඩිවෙන ෂීට් එකට පිටිපස්සෙන් අර ත්‍රීවිල් වල බෆල් එහෙම හයි කරන කෑල්ල තියෙන්නේ අන්න ඒකේ කොට්ටෙ දාගෙන මට හාන්සි වෙලා යන්න කියලා. (දැන් ඉතිං කට්ටියටම හිතා ගන්න පුළුවන් නොවැ මගේ සයිස් එක.හැබැයි ඉතිං මෙහෙම ගියේ මීට අවුරුදු 10කට කලින් ‍)
මාත් සනීපෙට හාන්සි වෙලා පිටිපස්සෙ වීදුරු කෑල්ලෙන් නියමෙට වටපිට බල බල ගියා. අම්මෝ කියන්න බැරි වුනානේ මේ විදියට ගියාට මොකද අපි ඉතිං තාම දන්නේ නෑ මේ කොහේද යන්නේ කියලා. අපි කියන්නේ මායි, අක්කයි, අයියයි තුන්දෙනා. අනිත් අය නම් දන්නවා ඇතිමයෙ හිතේ.....

සමාවෙන්න මං මේක කොල කෑල්ලක ලිව්වේ ගෙදර කවුරුත් නැතුව කරුවලේ එළියට වෙලා පඩි පෙළේ වාඩි වෙලා ඉදිද්දී. ඔන් දැන් ගෙදර අය ආවා. ඉතුරු ටික ඉක්මනින්ම ලියන්නම්......

August 12, 2011

තිළිණි දසුන් නුඹලා නිවනටද ගියේ..............!

මේ සිද්ධිය මං ‍ලියන්න හිතුවේ හුග දවසකින් මට මේ දෙන්නව හීනෙන් පෙනුනා. ගොඩක් දුකයි මතක් වෙද්දී.

මේ කියන්න යන නංගී මල්ලී දෙන්නම මගේ පුංචි කෙනෙක්ගේ.ලේ ඥාතියෝ නොවුනත් අපි ගොඩක් ලගින් හිටියේ.
නංගී තිළිණි,මල්ලී දසුන්. බෝල දුඹුරැපාට ඇස් කැරලි වැටුන දිග කොන්ඩේ උසේ ගානට මහත කෙල්ලෙක්ට තියෙන්න ඕන ලස්සන අඩුවක් නැතුව තිළිණි ලග තිබුණා. දසුන් සුදු ලස්සන අහිංසකම අහිංසක බෝපැලයක් තරම් නිවිච්ච පුංචි පොහොට්ටුවක්. එයාලා ගොඩක් ඈත ගමක දුක් විදින නිසා බාප්පාලා ඉඩමකුත් අරන් දීලා එයාලගේ ගෙවල් ලගට ගෙන්න ගත්තේ තමන්ගේ බිරිදගේ සහෝදරියන්ට තිබුණ ආදරේ වැඩිකමටමයි.
තිළිණි තමයි ගෙදර ලොක්කි. දසුන් දෙවැනියා. ඊට පස්සේ තව නංගියෙකුයි මල්ලියෙකුයි තමයි ගෙදර හිටියේ.
තිළිණිලා අපේ ගමට පදිංචියට ආවට පස්සේ එයා ගියේ අපේ ඉස්කෝලෙට . තිළිණි ලස්සනම ලස්සන රෝස මලක් නිසා මං හැමවෙලාවෙම එයා ගැන සෝදිසියෙන් හිටියේ. පුංචිත් බය නැතුව හිටියා මං එයාව බලා ගන්න නිසා. මොකද මං නොදන්න දෙයක් පාසලේ සිද්ධ වෙන්නෙ නැති තරම්.
තිළිණි ඉස්කෝලෙට ඇවිත් වැඩි දවස් යන්න කලින් එයා හැමෝම අතරේ කැපිලා පේන්න වුනා.එයාගේ නැටුම් වලට අභියෝග කරන්න අපේ ඉස්කෝලෙ ඒ වෙනකොට වෙන කෙනෙක් හිටියේ නෑ. ඉස්කෝලේ පූජා නැටුමෙ ඉදලා හැම දෙයකටම එකින් එක තිළිණි තේරැනා. 
ධසුන් ඉගෙන ගන්න දක්ෂයි. එයා ශිෂ්‍යත්වෙ පාස්වෙලා ලොකු ඉස්කොලෙකට ගියා. පොත් කියවන්න හරිම ආසයි.කියවන්නම දෙයක් නැතුව ‍ගියොත් එයා සිතියම් පොත හරි බලනවා. සමහර දවස් වලට ඉස්කෝලෙ  නැති දවසට මල්ලිව ගෙයියන් වේලාසන එයා තමයි එන්නේ.අපේ ගෙදර මිදුලේ අයියා හදපු මාළු ටැංකියක් තියෙනවා. ඒකට දසුන් හරිම ආසයි. ඉතින් මාළු කෑම පැකට් එකකුත් අරන් ඇවිත් උන්ට කවකව ඉන්නවා. අපේ අත්තම්මා සමහර වෙලාවට අපිටත් වඩා දසුන්ට ආදරෙයි.
හැමදාම උදේට මං ඉස්කෝලෙ යන්න ලේස්ති වෙද්දි තිළිණි අපේ ගෙදරට එනවා.මොනවද හලෝ තාම ලේස්තිවුනේ නැද්ද?මගේ කෝණ්ඩේ ගොතලා තිබුනේ නැත්නම් ඒකකටත් උදව් කරනවා. කෙටියෙම්ම කියනවනම් මට හිටිය පිස්සුම නංගියා.
අපේගෙදර අය අවුරැද්දට  බාප්පලයි ගෙදර ගිය ගමන් එහෙත් ගියා. අපි යද්දි ගෙදර අය සල්ලි වලට කාඩ් ගහනවා. තිළිණිලගෙ ගෙදර අය හරිම විනෝදකාමී. හරි සතුටින් ඉන්නේ. මගේ කකුලේ එදා පාසලඹක් දාලා තිබුණා. ඉතින් තිළිණිලගෙ තාත්තා මෙන්න බොලේ බට්ටි කෙල්ල දන්වැල කඩන් ඇවිල්ලා තියෙන්නෙ කිව්වා. කවදාවත් නැති විදියට එදා අපි නොසෑහෙන්න හිනාවුනා. ඒ තරම් හිනාවෙන්න දේවල් නොවුනත් හුගක් හිනාවුනා. අවුරැදු නිවාඩුවෙන් පස්සෙ අපි කොළඹ ඇවිත් හිටියේ. වෙසක් පෝයටවත් ගෙදර යන්න වුනේ නෑ. කාර්ය බහුලත්වයත් එක්ක අපිට මුණ අවුරැද්දෙන් පස්සෙ මුණ ගැහෙන්නම බැරිවුනා.
වෙසක් පෝය දවසේ තිළිණිලගේ ගෙදර හැමෝම සිල් ගන්න ගිහින් තිබුණා. වෙසක් පොය දවසට පස්සෙන්දා.අනේ ඒ දවස ඒ ජීවිත වලට උදා නොවුන නම්. ඒ වැහිබර අහස එදා පැහැබර අහසක් වුනා නම්. මල්ලියි එක්ක තිළිණියි දසුනුයි රෙදි වැල දිගට බකට් පත්තුකරා. පොඩි නංගීයි බාප්පයි දෙන්නා කොළඹ ගිහින්. මගුල් ගෙදරක මල්කුමාරිට නංගිව ඉන්නවා ඒකට. ඒත් බකට් ටික පත්තු කරලා ගේ ඇතුල යන්න කලින්ම හොදටම ගැට ගහලා තිඹුණු වැල කඩාගෙන වැටුනේ වෙන්න යන දෙයකට පෙරනිමිති දෙන්න වගෙයි. වෙච්චි දේ පොඩි අයට නොතේරැනත් පුංචියි තිළිණියි දෙන්නම බයවෙලා තිබුණා. නිදා ගන්න යන්න කලින් අම්මගෙන් ඇයි අම්මේ එහෙම වුනේ කියලා තිළිණි කීප පාරක්ම අහුවලූ. පැය කිහිපයකට පස්සේ අකුණු පුපුර පුපුර මුළු ලංකාවම පිටාර යන්න වැස්සක් වැස්සා. පුංචියි පොඩි මල්ලීයි දෙන්නා ඇදේ නිදිය ගනිද්‍දී තිළිණි දසුන් දෙන්නා පාදුරෙ ගුලි වෙන්න ඇත්තේ මේ තමන් නිදියන අවසාන නින්ද කියලා තුන් හිතකින්වත් හිතන්න නැතුව ඇති. කපරාදු කරලා නොතිබුණු ගේ පිටිපස්සේ කන්ඩියක් තිබුණා. ඒ මොරසූරන වැස්ස නිසා ගේ පිටිපස්සේ තිබුණ කන්ඩිය හැමෝම නිදාගෙන හිටිය කාබරේටම කඩන් ආවා. පුංචි නිදා ගත්තේ ඇදේ නිසා ඒයා විසිවෙලා ගිහින්. ඒත් කාමරෙන් එළියට එන්න බැරි වෙන්න දොර වැහිලා. කන්ඩිය පැත්තෙන් එළියට බැහැපු පුංචි මහ වැස්සේ ඇදගෙන හිටිය නයිටි එක පිටින්ම ළමයි බේරලා දෙන්න කියලා ඒ පැත්තේ තිබුණ හැම ගෙදරකටම ගිහින් දොරට ගහලා ඇහැරවලා. 
කට්ටිය ඇවිත් දොරත් කඩලා ඇතුලට ගිහින් තියෙන්නේ. පොඩි කට හඩක් ඇහිලා ඒ ගැන බලන කොට පොඩි මල්ලී ගඩොල් කැට අතරේ ඉදලා එළියට අරගෙන තිබුණා. එයාට පොඩි සීරීමක්වත් වෙලා තිබුණේ නෑ. හුගක් මහන්සි වෙලා පස් අයින් කරද්දි පැය 2ක් විතර ගිහින්. ඒ වෙද්දි අනේ ඒ මල් කැකුළු දෙක මේ ලෝකෙ අත ඇරලා ගිහින්. සහොදරයෝ දෙන්නා අත්දෙක එකට අල්ල ගෙනම ඒ ගමන ගිහින්. තමන්ට වුනේ මොකද්ද කියලවත් හිතා ගන්න ඉඩනොතියා මාරයා ඔවුන් ඔහු ලගට අරගෙන. ඒත් හැංගිලා හරි පුංචි හුස්ම පොදක් ඇති කියන සැකේට කොච්චර ගංවතුර ගලලා තිබුණත් ගමේ හැමෝම එකතු වෙලා ඉස්පිරිතාලෙට එක්කන් ගිහින්. ඒ වෙද්දි කිසිදෙයක් ඉතුරැ වෙලා නෑ. 
මට ආරංචිය හම්බවුනේ පහුවෙනිදා.කොහොම උහුලන්නද? එකට ඉස්කෝලෙ ගිය නංගී.අහිංසක දසුන් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්නෑකියලා. අපි පුළුවන් ඉක්මනට ගමට ආවා. අනේ රෝස මලකටත් වඩා ලස්සන ඒ මූණ හොදටම තැලිලා කළු වෙලා ගිහින්. දසුන් ඇදක නිදියනවා වගේම හිටියා. මේ ව‍ගේ විපතක් කවදාවත් කාටවත් තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න ලැබෙන්න නම් එපා.ඒක ඒ තරම්ම උහුලන්න බැරි දුකක්. 
එකම වළක පෙට්ටි දෙකක් තිළිණියි දසුනුයි අපිව දාලා යන්න ගියා. අවසන් කටයුතු කරන්න ආපු ගමේ පන්සලේ හාමුදුරැවෝ ඇවිත් හිටිය ළමයින්ට කිව්වේ තිළිණි කෙනෙක් වෙන්න දසුන් කෙනෙක් වෙන්න මහන්සි ගන්න කියලා.තිළිණිගේ දසුන්ගේ පෙට්ටි වලට හැමෝම පස් අහුරක් දැම්මා. ඒත් මට ඒ මූණුදෙක මතක්වෙද්දි ඒ දේ කර ගන්න ශක්තියක් තිබුණේ නෑ. 
තිළිණි දසුන් නුඹලා නිවනටද ගියේ..............!