Showing posts with label බට්ටිට හිතෙන දේ. Show all posts
Showing posts with label බට්ටිට හිතෙන දේ. Show all posts

July 21, 2014

යළිත් එන්න

ලියන කවි පද
නුඹේ නමටයි
හෙමින් නුඹ මට කියනවා

ඒත් එහි ඇති
අරුත් හින්දම
හිතට සැකයක් දැනෙනවා

මෙමට නුපුරුදු
ඇයගෙ තතුදෝ
නුඹ ලියන්නේ හිතෙනවා

කමක් නැහැ කවි
කාට ලිව්වත්
මගේ ආලය පුදනවා

ෂොප් එකේ වැඩ කල කාර්ය බහුල කාලෙදි මාසයකට බ්ලොග් පෝස්ට් හතරක් වත් ලියපු මට නිදහසේ සැහැල්ලුවෙන් කරන රැකියාවක් ලැබුනට පස්සේ එක පෝස්ට් එකක් වත් ලියා ගන්න බැරි වුන එක ඇත්තටම හරිම පුදුමයි. බ්ලොග් කියවන්න ලියන්න හිතේ තිබුන ආසාව ලෝබකම උනන්දුව මටත් නොදැනිම මුහුණු පොත අයිති කර ගත්තා. ඒත් තුදු තිස්සෙම බ්ලොග් ලියන්නෙ නෑ කියලා බනිද්දි ඇත්තටම බ්ලොග් එක අත ඇරලා දාල තියෙන එක අපරාදෙ කියලා ගොඩක් හිතුනා. අපි ඒ කාලෙ කොයිතරම් පිස්සු නැටුවද. සයුරි අක්කා දෙන තෑග්ග ගන්න එයා පෝස්ට් එකක් දානකල් ඒක දිහාම බලන් හිටිය කාලය ඇත්තටම හරිම සුන්දරයි. බ්ලොග් නොලිය ඉන්න කාලෙදි මගේ බ්ලොග් සැරින් සැරේට කියවලා හොඳට හිනා වෙන කෙනෙක් තමයි ෆාති. එයා කැමති ඒෆෝ පිටුවක් පිරෙන නොපිරෙන ගානට මම ලියන පෝස්ට් එක හුස්මට කියව ගෙන යන්න. ඉතිං ලියන්න ආසයි ආයෙම. කොහොම හරි මාසෙට එකක්වත්. කියවන්න එන හින්දා මගේ පුරුදු යාළුවෝ හැමදාමත්.

April 14, 2013

සියලු පැතුම ඉටුවේවා !

 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම.ඔන්න අලුත් අවුරුදු පෝස්ට් එක බට්ටිගේ 100 වන පෝස්ට් එක උනා අහම්බෙන්ම..ඉතිං අවුරුද්දට බට්ටිගෙන් හැමෝටම කේක්..බට්ටි එක් හැමදාම එකට හිටිය මගේ බ්ලොග් මිතුරෝ හැමෝටම හුගක් ස්තූතියි...මේ සහෝදරත්වය ලොකු ශක්තියක් බට්ටිට..


April 7, 2013

අම්මා වෙත

 
අවුරුද්දට ගමට ඇවිත්
ඔංචිලි වාරම් පදින්න
අම්මේ තව දවස් තුනයි
නැහැ විසුමක් එය ගෙවන්න

හැමදාමත් නෑදෑයෝ
සරදම් කලේ කෙට්ටු කියලා
මේ ගමනෙදී මහත් වෙලයි
ඔන්න අම්මේ මං එන්නේ

තාත්තගෙ බීමත්කමට
නෑයෝ සාද නොදුන්නට
නාඩ ඉදින් මයේ අම්මේ
මං ඉන්නවා නේද නුඹට

අයියා අක්කා නැති අඩුවක්
නොදැනෙන්නට නුඹේ හිතට
පිස්සු නට නටා ඉන්නම්
අම්මේ මම නුඹේ ලගින්

අපි තුන් දෙනා ආදරයෙන්
එන අවුරුදු සමරමුකෝ
මත්වතුරට තිත තින්න
තාත්තාට කියන්නකෝ

ආදරයත් ගෝනි ගනන්
සංතෝසෙත් ගෝනි ගොඩක්
පුරවාගෙන මං එනවා
රස්සාවට තිත තියලා

March 15, 2013

ඔයාලා ඉතිරි කරනවද?

ගන්න පඩියට වෙන්නේ මොකද කියලා චුට්ටක් හිතුවද?හ්ම්ම්ම්ම්...මොනා වෙන්නද අනේ මේ ගන්නවා ටික දවසක් සුද්දා වගේ ඉන්නවා ආයෙම මාසේ අන්තිමේදි යාන්තම් ඇදගෙන යනවා.බැරිම උනොත් මොකක් හරි ණයක් අරගෙන මාසේ රෝල ගහ ගන්නවා කියලා තමයි ඉතිං දැන් හුග දෙනෙක්ට හිතනවා ඇත්තේ.හැමදාම වෙන්නේ ඕකම නම් ඔහොම වෙලා හරි යනවද ?හිතුවේ නැද්ද ඒ ගැන පොඩ්ඩක්..

ඔය කිව්ව විදිය තරම්ම නොවුනත් දැනට මාස කිහිපයක් තිස්සේ මට හිතෙන්නෙත් මටත් දැන් වෙන්නේ මේකම නේද කියලා.පුංචි කාලේ ඉදලම හිතුමනාපෙට වියදම් කරන්න පුරුදු වෙලා හිටියේ නෑ කොහොමත් මම.වියදම් කරන හැම රුපියලක්ම පුංචි ඩයිරියක ලියන්න පුරුදු උනා.ඒක හුගක් දෙනෙක් දැක්කේ ලෝබකමක් විදියට. හුගක් අය කිව්වෙත් මම ලෝබකම් කරනවා කියලා.ඒත් මම ඒක ගනනකටවත් ගත්තේ නෑ.මම කොහොමත් කවුරු නිසාවත් මගේ ජීවිතේ තියෙන රටාව වෙනස් කරන ගන්න අකමැති කෙනෙක්.ඒ කියන්නේ බට්ටි ටිකක් නෙවෙයි හුගක් හිතුවක්කාර තනි මතයට වැඩ කරන කෙනෙක්. සමහර තැන් වලදී මේක වැරදී කියලා මටම දැනිලා තියෙනවා.ඒත් බොහෝ තැන් වලදි  බට්ටි සාර්ථකයි. 

ගෙදර ඉන්න කාලේ ගෙදර හිටිය මහ බැංකුව තමයි මම.ගෙදර අයට හදිස්සියට සල්ලි නැති වුනහම ජොබ් එක්කවත් නොකර ගෙදර ඉන්න මගෙන් තමයි අතමාරුවක් ඉල්ලන්නේ.ඒ  වෙලාවට ඉතිං පොඩ්ඩක් අගේ කරන්න ඕනි නිසා මම නම් කියන්නේ ගන්න විදියක් නෑ ඩිපොසිට් කරලා තියෙන්නේ කියලා.ජොබ් එක්කවත් නොකර එහෙම කීයක් හරි ගෙදරට ඕනි වෙලා දෙන්න ලැබුනාම හිතට දැනෙන පිට් එක ගැන නම් ලියන්න වචන නෑ මං ලග.

ඉතිං ඔය විදියට සකසුරුවම්කම ගෙදර කාටවත් නැති විදියට මට උරුම උනා.ඒත් දැන් හිතද්දි හිතෙනවා මේ මම කරන ක්‍රම සාර්ථක නෑ නේද කියලා.ගන්න පඩියෙන් භාගයක් තියා එක 1000ක් ඉතුරු කරන්න බැරි මාස එන්න පටන් ගන්නව නම් ඒ ක්‍රම කොහොමත් අසාර්ථකයි නේද ? 
දහ අතේ කල්පනා කරලා බැලුවා විකල්ප ක්‍රම.සාතන් අයියත් මගෙන් මේ ගැන ඇහුවාම මම කිව්වෙත් මෙන්න මේමයි මම කරන්නෙ කියලා.එයා කරන්නෙත් ඒ විදියටමයි.එයා කියන විදියටත් ඒක සාර්ථක නෑ.ඉතිං අසාර්ථක  ක්‍රමයක් තියෙද්දි කොහොමද ඉදිරිය ලස්සන කරන්නේ. 

සමහරු කියනවා සීට්ටු දාන එක හොදයි ඒකෙන් ඉතුරු කරන්න පුළුවන් කියලා.පෞද්ගලිකව මම නම් සීට්ටු වලට කැමතිම නෑ.ඇයි දන්නෙ නෑ ජීවිතේට තවම එකම එක සීට්ටුවකටවත් ගිහින් නෑ.සමහර විට ගමෙන් පිට රැකියා කරන නිසා වෙන්න ඇති.කොළඹ හිටියා කියලත් නෑ.ඕන තරම් කට්ටිය සීට්ටු වලට කතා කරනවා.ඒත් ඒවගේ තියෙන අවදානම වැඩි කියලයි මට හිතෙන්නේ. එකෙන් මේකෙන් වක්කඩේ හකුරු හැංගුවා වගෙත් වෙන්න පුළුවන් නේද?

එක එක තරාතිරමේ එක එක අදහස් දරන හුගක් යාළුවෝ ඉන්නවනේ. ඉතිං මම කැමතියි ඒ අයගෙන් උපදෙස් ගන්න.මං හිතනවා මේක මට වගේම අනිත් අයටත් ප්‍රයෝජනයත් වෙයි කියලා. 

August 26, 2012

බට්ටිට නඩුවක්

නඩු අංක 33 උසාවියට කැදවන්න....


පැමිණිලිකරු -    සත්තලන්
විත්තිකරු -        බට්ටි


විනිසුරුතුමා -
මොනාද මැය තමාගෙන් සොරෙන් ගත්තේ..


සත්තලන් -
මගේ හදවත ස්වාමීනි. මාගේ ඇස්පනා පිටම මැය එය සොරකම් කරගෙන ගියා ස්වාමීනි..


බට්ටි -
උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...


විනිසුරුතුමා -

ඕඩර් ඕඩර්....අවස්තාව පැමිණෙන තුරු විත්තිකාරිය නිශ්ශබ්ද වෙනු..ඇරත් හුරතල් වදන් උසාවියේදී කිව්වොත් බර පතල වැඩ සහිතව මාස 6කට බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා...

බට්ටි -
අම්බෝ..අලි අලි යේනම් මං කීන්නෑ මුකුත්ම....

සත්තලන් -
අර අර ආයෙම කිව්වා ස්වාමීනි.මම අහුවුනෙත් ඕවට තමයි ස්වාමීනි.මැයට මායං 128ක් තියෙනවා ස්වාමිනි..මට අනුකම්පා කරලා මාව බේරලා දෙන්න ස්වාමීනි....

බට්ටි -
මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....

සත්තලන් -
මට කවදාවත් මෙහෙම වෙලා නෑ ස්වාමීනි.වැඩක්පලක් කර ගන්නත් නෑ.මතක්වෙන්නෙම මෙයාව.මට මගේ හිත ආයෙම අරන් දෙන්න ස්වාමීනි.
 
විනිසුරුතුමා -
පැමිණිලිකරුගේ හිත සොරකම් කල එක විතරද විත්තිකරු කලේ...?
 
සත්තලන්  -
නෑ නෑ ස්වාමීනි. මට ඔෆීසියේ වැඩක් පලක් කර ගන්න නෑ ස්වාමීනි මෙයා නිසා.නිතරම මැසේජ් කරනවා.ඔන්ලයින් එන්න විදියක් නෑ ස්වාමීනි එකපිට එකපිට මැසේජ් 1000ක් විතර එවනවා ස්වාමීනි.මට මෙයා එක්කම ඉන්න බෑ ස්වාමීනි.ඒක මහ වදයක් කියලයි මට මුලින් දැනුනේ.ඒත් දැන් 24 පැයේම මට මේයාව ඕනි ස්වාමීනි.මම මගේ පාඩුවේ හිටියා ස්වාමීනි. මෙයා මට මොනවද කරලා.මට හිත ආපහු අරන් දෙන්න ස්වාමීනි. ඔබතුමාට පිං අයිති වෙයි.

විනිසුරුතුමා -
විත්තිකාරියට නිදහසට කාරනා තියෙනවද? 
 
බට්ටි  -
ඔව් ස්වාමීනි.මේ සත්තලන් කීන සේලම බොලු..එයා තමයි ස්වාමීනි මට පොන් නම්බර් එක බලෙන්ම එව්වේ.
 
සත්තලන්  -
මම දුන්නා තමයි ඒත් මොකටද ස්වාමීනි මෙයා කෝල් කලේ...
 
විනිසුරුතුමා -
ඒකත් ඇත්ත. ඇයි තමුන් ‍ නම්බර් එක දුන්න පලියට කොල් කරන්න ගියේ..
 
බට්ටි  -
නෑ ස්වාමීනි නම්බර්  එක වැඩ කරනවද බලන්න ගත්තේ ස්වාමීනි.මෙයා තමයි එදාම වැඩේ කෑවේ.මම එදා කෝල් කරද්දි මෙයා ඇදුම් මදිනවා. විනාඩියක්වත් කතා නොකර මම ඉක්මනින් තිබ්බා.ඇවිත් මැසේජ් එකක් තිබ්බා කතා කරන්න ගිහින් ඇදුම් පුච්ච ගත්තෙ නෑනේද කියලා.එතකොට මෙයා දුන්න උත්තරේ දන්නවද ස්වාමීනි.
 
විනිසුරුතුමා -
තමුන්ට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරුනාද ?ඉතිං ඊට පස්සෙ මොකද වුනේ...?
 
බට්ටි -
මෙයා කිව්වා ස්වාමීනි ඇදුමනම් පිච්චුනේ නෑ ඒත් පොන් එක කට් කරද්දි මගේ හිතනම් පුච්චුනා කියලා.මෙයා ඒක කිව්වෙ ප්ලෑන් කරලමයි ස්වාමිනී..ඉතිං ස්වාමීනි මම ඔය ගත්තා කියන හිත ගත්තේ සනීප කරන්න. කුකුල්තෙල් ගාලා ගාලා පිච්චුන හිත සනීප කරන්න වින්ද මහන්සිය දන්නේ මම විතරයි ස්වාමීනි. එහෙම සනීපකරපු හිත මෙයා ඉල්ලන එක වැරදී ස්වාමීනි.ඒ හිත මගේ ඒක අයිති මට....
 
 සත්තලන් -
හිත පිච්චුනේ මෙයා නිසා ස්වාමීනි. මම කරන හැමදේම ඉවසලා ඉවසලා අන්තිමේදි ඇස් පනා පිට මගේ හිත හොරකම් කලා ස්වාමීනි...

බට්ටි -
මම මුකුත් කලේ නෑ ස්වාමීනි සත්තමයි. මෙයාතමයි මගේ පස්සෙන් ආවේ මුලින්ම. බොලුනම් මයෙ මිස්ටිගෙන් අහන්න ස්වාමීනි..එයා සේලම දන්නවා...

මිස්ටිව උසාවියට කැදවයි.මිස්ටී ඇසින් දුටු සියලු කරුණු විස්තර කරයි.සියලු කරුණු ජූරිට සලකා බලයි........


විනිසුරුතුමා -

සියලුකරුනු විමසා බැලීමෙන් පසුව විත්තිකාරිය නොහොත් බට්ටිව නිදොස් කොට නිදහස් කරන බවත්...බොරුනඩු දමා උසාවිය නොමග යැවීමට වෙහෙසුනු සත්තලන්ට දඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා බට්ටි සමගම සිටීමට නියෝග කරමි...

බට්ටි -
හුලේ හුලේ........

විනිසුරුතුමා -
උසාවිය නිශ්ශබ්දවනු..
 
ප.ලි.සිතුවිල්ලක් පමණි.හුදෙක් විනෝදය සදහා පමණක්මයි..
උදේ මුණුපොතේ නිකමට ලිව්ව මේය යාළුවන්ගේ ඉල්ලීම නිසා ටිකක් වෙනස් කරලා පෝස්ටුවක් කලා...

June 1, 2012

අපි හැමෝම වැඩ්ඩෝ තමයි..


මිනිස්සු කියන්නෙ හරිම පුදුම ජාතියක්. ඒ මිනිස්සුන්ගෙ හිත් කියන්නේ හිතන්නවත් අමාරු තරමටම මහම මහ පුදුම දෙයක්. ‍ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු එකි නෙකට කොයි තරම් වෙනස්ද? රූපෙන් , තරාතිරමෙන්,සිතුවිලි වලින් ඒ හැමෝම එකිනෙකට වෙනස්. කෙනෙක් එක දෙයකට හුගක්ම ආසයි අනිත් කෙනා ඒ දේට පොඩ්ඩක්වත් ආස නෑ. හරියට මේ වගේ.අපේ තාත්තා බණ්ඩක්කා කන්න ආසම ආසයි. හැබැයි ඒව හැදුවොත් මම එදාට කන්නෙ නෑ. එකම විදියට ලේ මස් නහර වලින් හැදුනත් කොයිතරම් මේ මිනිස්සු අතර වෙනස්කම් තියෙනවද..? 

අනිත් දේ තමයි මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිය. එහෙමත් නැත්නම් ලද දෙයින් සතුටු නොවීම. තමන්ට නැති දේ ගැනයි හිතන්නේ. අනේ එයාට ලස්සන කාර් එකක් තියෙනවා මට නෑ නේ. ඉතිං ඉන්නෙම හිතෙන් විදව විදවා දුකින්. එයා ලග තියෙන බයික් එකේ අගය යටපත් වෙලා නැති දේ ඇති අගේ ඉස්මතු වෙනවා. හැබැයි මම කියන්නෙ නෑ තමන්ට නැති දෙයක් ලබා ගන්න හීන මවන එකේ වරදක් තියෙනවා කියලා. ඉන්න තැනට වඩා තැනකට යන්න, තියෙන දේවල් වලට වඩා සැපපහසු දේවල් ලබා ගන්න අවශ්‍යතාවක් ඇති කර ගෙන වැඩ කලොත් කවදාවත් එක බැරි වෙන්නෙත් නෑ. මොකද ලෝකය දිනලා තියෙන්නේ අඩියෙම හිටපු මිනිස්සු. ඒත් තියෙන දේ අගයක් නැතුව නැති දේ ගැන හූල්ල හූල්ල ඉන්න එක නම් මහම මහ මෝඩකමක්. සමහර මිනිස්සුන්ට කොයි තරම් තිබුණත් කටේ තියෙන්නෙම නෑ. ඇහුවොත් නෑ. අරකට අච්චර යනවා මේකට මෙච්චර යනවා. අනේ අරක නෑ මේක නෑ කියලා තමයි කියන්නේ. මම නම් තියෙද්දිත් නෑතිවාදන් කියන මිනිස්සුන්ට නම් කැමතිම නෑ. බට්ටිට මහ හුගක් නැති වුනාට තියෙන ටික ඉහටත් උඩින් ඇති. බට්ටි කවදාවත් අනේ මගේ අතේ සතේ නෑ කියලා අද තාවන‍තුරු කියලා නෑ. ඒ ආශිර්වාදෙන්ද කොහේද අද තාවනතුරු නැති වෙලත් නෑ. ඔන්න ඔය හේතුව නිසා තමයි බට්ටිගෙ ගෙදර අය බට්ටිට මහ බැංකුව කියන්නේ. මොකද ඒකෙ නැතිවුනත් මයෙ ලග නැතිවෙන්නෙ නෑ කියනවා ගෙදර අය කියනවා. 

මිනිස්සුන්ගෙ තවත් දෙයක් තමයි තමන් පහත් කොට සිතීම. ඒ කියන්නේ එයා තමයි වැඩ්ඩා එයා තමයි පොර කියලා හිතලා අනේ මම එහෙම නෑ කියලා හිතින් තැවෙනවා. මේකට ලස්සන උදාහරණයක් නිතර කඩේට එන ටියුෂන් සර් කෙනෙක් මට කිව්‍වා. 

‘‘එක්තරා රටක හිටියලූ ගල් වඩුවෙක්. ඉතිං මේ මනුස්ස‍යා මේ විදියට ඉන්නකොට මෙයාට ඕන වුනාලු පොරක් වෙන්න. එහෙමත් නැත්නම් වැඩ්ඩෙක් වෙන්න. ‍එයාට පෙනුනලු සල්ලි තියෙන මිනිස්සු තමයි පොරවල් කියලා.ඉතිං මේ මනුස්සයා මහන්සි වෙලා මහන්සිවෙලා සල්ලි එකතු කරාලූ. එහෙම එකතු කරලා ලොකුම ලොකු සල්ලිකාරයෙක් වුනාලු. ඉතිං ඔය විදියට සල්ලිකාරයෙක් වගේ ඉන්න කොට ඒ රටේ රාජ්‍ය සේවකයො යද්දි මෙයාට කොයිතරම් සල්ලි තිබුණත් ඒ අයට ඔළුව නමලා ආචාර කරන්න වුනාලු. ඉතිං මෙයා හිතුවලූ සල්ලිකාරයෙක් වෙලා වැඩක් නෑ රජතුමාගේ සේවකයෙක් වෙන්න ඕන එයාල තමයි පොරවල් කියලා. ඒගමන සේවකයෙක් වෙලා දක්ෂතා පෙන්වලා තනතුරුවලින් ඉහලටම ගියාලු. මෙයා දැන් ගමන් බිමන් යන්නෙත් දෝලාවෙන්ලූ. ඔහොම දවසක් යද්දි දොලාවෙ ආවරණයෙන් ඇතුලට ඉර එළිය ඇවිත් මූණට වැටෙනවලූ. ඉතිං මෙයා පහත් වෙවී එහෙ මෙහෙ වෙවී ඉර එළියට මුවා වුනාලූ. ඒ ගමන මේ මනුස්සයට හිතුනලූ ඉර තමයි වැඩ්ඩා කියලා. එහෙම හිතලා ඉර වුනාලු.(දැන් ඉතිං අහනවා නෙවෙයි කොහොමද මිනිහා ඉර වුනේ කියලා. මේක කතාවක් අලී. මොකද ඔය පුරස්නෙ මාත් අහලා එයා කිව්වෙත් ඕක. :D) දැන් ඉතිං මෙහෙම ඉර වෙලා ඉන්න කොට එක දවසක් කළු වළාකුලක් ඇවිත් මෙයාව වැහුනලූ. ඒ ගමන හිතුවලූ අනේ ඉර නෙවෙයි වැඩ්ඩා කළු වළාකුල තමයි කියලා. එහෙම හිතලා වුනාලූ කළු වළාකුලක්. එහෙම වෙලා ඉන්න‍කොට මෙයාට නිකන් දැනෙනවලු තමන්ව කවුරු හරි තල්ලු කරනවා වගේ. ඒ ගමන් බැලුවලු කවුද ඒ කියලා. බැලින්නම් සුළගලූ. ඉතිං හිතුවලූ කළු වළාකුල නෙවෙයි වැඩ්ඩා සුළග තමයි කියලා සුළග වුනාලු. සුළග වෙලා ඉන්න‍‍කොට එයාව මහ ‍ලොකු දෙයක හැප්පිලා විසිවෙනවා වගේ දැනුලාලූ. ඒ ගමන හොයල බැලුවලු ඇයි කියලා. බලද්දි ඒක ‍ලොකුම ලොකු කළු ගලක්ලූ. හරි කළු ගල තමයි වැඩ්ඩා කියලා මෙයා කළු ගලක් වුනාලු. ඔය විදියට කළු ගල වෙලා ඉන්නකොට එයාට දැනුනලූ  තමන්ව ටික ටික අඩු වෙනවා පුංචි වෙනවා කියලා. හොයලා බැලුවලූ මොකද වෙන්නේ කියලා. එහෙම වෙන්නෙ ගල් වඩුවෙක් ගල ටිකටික කඩන නිසා කියලා මෙයා දැන ගත්තලූ. ඒක දැන ගෙන ගල් වඩුව තමයි වැඩ්ඩා කියලා ගල් වඩුවෙක් වුනාලූ. ඉතිං මෙයා වටේ කැරකිලා ආයෙම ආවෙ හිටිය තැනටමයි. එත‍කොට තමයිලු තේරුනේ බලන් යද්දි එයාත් වැඩ්ඩෙක් තමයි කියලා”
ඉතිං බලන් යද්දි අපිත් ඒ ඒ පැතිවලින් පොරවල් නෙවෙයිද? 


ප.ලි. පොස්ටුවක් ලියන්න හිතන් හිටියට ඒක කරගන්න බැරි තරමට පන්තියේ වැඩ තිබ්බා. ඒකයි පමාවුනේ. ඔන්න 20  වෙනිදා බට්ටි කිව්ව හීනෙ හැබෑ වුනා. ඒ තමයි බට්ටිට ලැප් ටොප් එකක් ලැබුනා. බට්ටිට ඉන්නෙ එක අක්කෙකුයි එක අයියෙකුයි. අක්කා ඉන්නෙ මැලේසියාවෙ. ඉතිං බට්ටිගෙ අක්කා තමයි හීනෙ හැබෑකලේ. තාත්තා අක්කා අත ඇරලා කොළඹට ඇවිත් ජපානෙ ඩිස්නිලන්තෙ පහල වුනත් ගෙදර අයෙම යන්නෑ කිව්ව මගේ හිත වෙනස් කරලා ගෙදර අය එක්ක එකතු කරන්න ඉන්න ගෙදර අක්කා හුගක් මහන්සි ගත්තා. නිතරම කිව්වෙ ගෙදර අයගෙ මොනව වරද තිබුණත් ඒ අය නැතුව අපිට ජීවිතයක් නෑ බට්ටො කියලා. ඒ මග පෙන්වීමෙන් බට්ටිගෙ සිතුවිලි වෙනස් කරගත්තා. තාත්තා අක්කා ගෙදර හැමෝම එක්ක එකතුවුනා. ඉතිං මට ලැබුණ ලැප් ටොප් එක ලැබුණෙත් ඉන්න ගෙදර අක්කා මාව නිවැරදි ට්‍රැක් එකට දාපු නිසා. ඉතිං අවුරුද්දකට විතර කලින් දැකපු හීනෙ එළිය කල මගේම අක්කට ස්තූති කියන්න මගේ ලග වචන නෑ.මට වගේම අම්මටත්. මේලෝකෙ මගේ හීන එළිවෙද්දි මට වඩා සතුටු වෙන්නෙ අම්මා.  ඉතිං අක්කා ලැප් ටොප් හීනෙ එළි කරද්දී මගේ ජීවිතේට මහ හුගක්  සමීපකෙනෙක් ඩොන්ගල් එකක් අරන් දුන්නා.ඒ ව‍ගේම ලැප් එක් අඩුපාඩු හදලා පන්තියෙ වැඩයි අනිත් වැඩයි කර ගන්න පුළුවන් විදියට සෝෆ්ට් වෙයා දාලා ලැප් එක පාටිෂන් කරල දුන්නෙත් හෘදයාංගම හිතවතෙක්. ඉතිං එයාලට හැමෝටම මහ හුගක් පිං.දැන් ඉතිං බට්ටි හරිම සතුටින්. 

මේ සතුට සමරන්නම ඕනනේ. දුකේදි සැපේදි ලගින් ඉන්න මගේ යාළුවො ටික එක්ක ඇරෙන්න වෙන කා එක්ක සතුට සමරන්නද?  මෙන්න බට්ටිගෙන් හැමෝටම අද කේක්. මමත් පොඩි කෑල්ලක් කපා ගත්තා. කට්ටිය තා නෑනේ...
 චොකලට් හැමතැනම ගාගනිපු අය අත් පිහිදාගෙනම යන්න.:D :D


May 15, 2012

බ්ලොග් එක නැතිවෙයි කියලා බට්ටි හුගක් බයෙන්


අද පෝස්ටුවක් ලියන්න හිතන් නොහිටියත් වැඩ ගොඩක් තිබුණත් ඒ හැම දෙයක්ම අතපසු කරලා මට මේ පොස්ටුව ලියන්නම වෙලා. මොකද සමහර විට බට්ටි මේ බ්ලොග් එකේ ලියන අන්තිම පොස්ටුව මේක වෙන්න පුළුවන් නිසා.ඒක එහෙම වුනොත් මගේ රත්තරන් යාළුවෝ බට්ටි එක්ක තරහ වෙයි. බට්ටි නොකියම යන්න ගිහින් කියලා.
බට්ටි ජීවිතේ කවම දාවත් එක දිගට මෙච්චර ආදරෙන් මොනම වැඩක්වත් කරලා නෑ. බට්ටි කිව්වට දැන් බට්ටිට අවුරුදු 24ක්. පුංචි නෑ.මේ වයසට බට්ටි ජොබ් 9ක් කරලා තියෙනවා.ඒලෙවෙල් වෙනකන් ඉගෙන ගත්තත් බාහිර උපාධිය පළවෙනි අවුරුද්ද විතරක් කරලා බට්ටි නතර කලා. ඒලෙවෙල් ඉවර වෙලා බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ගන්න බැරි වුන බට්ටි කොළඹ ආවා. කෑම කඩේක වැඩට.ඉගෙන ගත්තට එක පාරට කැෂියර් එකට ගත්තේ නෑ.මොප්කරන්න, භාජන හොදන්න තමයි වුනේ. එහෙමයි බට්ටිගේ රැකියා ජීවිතේ ආරම්භ වුනේ. එක එක හේතු නිසා හුගක් කල් කලේ නෑ. උඩ ගෙදර අක්කා කිව්වේ අපලයි කියලා. ඒත් මොන අපලේ තිබුණත් එක ජොබ් එකක් ඉවර වෙද්දී ජොබ් කොහොම හරි හොයා ගනිපු නිසා බට්ටි ගෙදරට බරක් නොවී ජීවත් ‍වුනා.
ඒත් කල හොද වෙලාද මොනව වෙලාද කියන්න දන්නෑ පහුගිය අවුරුදු දෙකේ බට්ටි එක තැනක නතර වුනා. ඒ අදටත් වැඩකරන මේ රස්සාවේ.බට්ටි වැඩ කරන්නේ කොමියුනිකේෂන් එකක. කම්පියුටර් ගැන මෙලෝ දෙයක් නොදැන ආපු බට්ටි දැන් ඇස් පියාගෙන ටයිප් සෙටින් කරන්න තරම් හැම දෙයක්ම ඉගෙන ගත්තා. අම්මා ගෙදර නතර කරන්න ඕන නිසා හොද පඩියක් ගන්න ජොබ් එකකට යන්න ගන්න 12 000 පඩියෙන් මාසෙ 8000ක් දීලා ග්‍රැපික් කෝස් එකක් කරන්න ගියා. තවමත් යනවා. තව මාස 6කින් සහතිකය ගත්තට පස්සේ හොද ජොබ් එකකට යන්න.
ඉතිං මේච්චර කාලයක් බට්ටිව එක තැන රැදෙන්න රස්සාවට වඩා ඉන්න ගෙදර හේතුවක් වුනා. මගේ දුක සතුට හැමදේම එහේ වුනා. ඉක්මනින්න කේන්තියන බට්ටි සමහර වෙලාවට සේරම දාල යන්න හිතුවත් කෑගහල ඇඩුවත් ටික වෙලාවකින් ඒ හැම දේටම ආයෙම ආදරේ කරන්න පටන් ගත්තා. අම්මා ඇරුනට පස්සේ ජීවිතේට එතරම් හෙවණැල්ලක් ලැබුනේ මම දැන් ඉන්න ගෙදර අක්කගෙන් විතරයි.
බ්ලොග් එක පටන් ගෙන අවුරුද්දක් වෙන පෝස්ට් එක ලියන්න බට්ටි ඇගිලි ගැන ගැනයි මේ ටිකේම හිටියේ. බට්ටිගේ ජීවිතේ තිබුණ ලොකුම හීන වලින් එකක් මේ 20 වෙනිදට එළිවෙද්දී අවුරුද්දේ පොස්ටුව ඒ සතුට එක්කම ලියනවා කියලයි හිතන් හිටියේ. ඒත් මොනවා කරන්නද ඒ දේ කරන්න බැරි වෙයිද කියලා බයෙන් ඉන්නවෙලා. කඩේට කට්ටිය එන නිසා මට අඩන්නත් බෑ. ඒත් නොඅඩ මේක ලියන්නත් බෑ. අනේ ම‍ට තේරෙන්නෑ මොනවා කියලා කරන්නද කියලා.
පහුගිය 13 වෙනිදා හරියටම 1 පහුවෙලා විනාඩි 2ක් වෙද්දී බට්ටිට ආපු කොල් එකකින් ආරංචි වුනා බට්ටිගේ බ්ලොග් එක නෑ කියලා. ඒ වෙලාවේ මට දැනුනේ හුස්ම නැවතුනාවගේ. ඉතිං මම ගූගල් එකේ ගහලා බැලුවා. එතකොට පෙන්නුවේත් බ්ලොග් එක ඩිලීට් කියලා. බ්ලොග් එකට ලොග් වෙන්න බැලුවා. ඒත් බැරුව ගියා. අන්තිමේදී පෝන් නම්බර් එක දීලා එකට ආපු කෝඩ් එක ගහලයි ලොග් වුනා. ඉතිං ඒ දේ එහෙම වුනා. ආයෙම මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. මේ දවස් වල මගේ මැෂින් එකේ හුගක් වයිරස් ඒක නිසා එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගත්තා. ඒත් ඊයේ හදිස්සියෙම මූණු පොතට ‍කෙනෙක් ලොග් වුනා කියලා පොන් එකට මැසේජ් එකක් ආවා. ඒ එක්කම මමත් ලොග් වෙන්න බැලුවා. රහස් අංකය රීසෙට් කරලා පොන් එකට කෝඩ් එක ගෙන්න ගෙන මම හවස ලොග් වුනා. අංකේ වෙනස් කරනවා ඇරෙන්න වෙන ආරක්ෂිත දෙයක් කරන්න බට්ටි දන්නේ නෑ. ඉතිං හිතුවා  දැන් හරි කියලා. ඒත් අද උදේ බලද්දී හැම දේම නැතිවෙලා. ඊයේ රෑ රහස්ය අංකේ මාරු කලා කියනවා. මූණු පොතට ලොග් වුන මේල් එකටත් යන්න බෑ.
මට හිතා ගන්න බෑ. බට්ටිට තරහ කාරයෝ හිටියේ නෑ. මේ තරම් දරුණු දෙයක් කරන්න බට්ටි කාටවත් ඒ තරම් වරදක් කලේ නෑ. ඒත් අනේ කවුරු හරි බට්ටිට එහෙම කරලා. හෙට වෙද්දී බට්ටි ආදරෙන් රැක ගන්න මේ බ්ලොග් එකටත් එන්න බැරුව යයි කියලා බට්ටි හුගක් බයෙන් ඉන්නේ. මූණු පොත නැති වුනාට දුක නෑ. ඒත් බ්ලොග් එක නැති වුනොත් හුගක් දුක හිතෙයි. ඒත් බට්ටි නොලිය ඉන්නෙ නෑ. මම ම‍ගේ යාළුවන්ට පොරොන්දු වුනා මොනදේ වුනත් බ්ලොග් එක ලියනවා කියලා. එහෙම වුනොත් අලුතින් එකක් හදන් බට්ටි ලියනවා. අනේ මගේ යාළුවනේ බ්ලොග් එකේ ආරක්ෂාව වැඩි කරන විදිය ඔයාල දන්නව නම් මට කියල දෙන්න. මම මේකට හුගක් ආදරේයි.
මගේ යාළුවනේ මට මේකට එන්න බැරුව ගියොත් මාව අමතක කරන්න එපා. කොළඹට වෙලා ඉන්න මම හැම අතින්ම හිත නිදහස් කර ගත්තේ මේ බ්ලොග් එක නිසා. දුක සතුට කේන්තිය හැමදේම මේ කීබොඩ් එකෙන් අකුරු කරලා හිත සැහැල්ලු කර ගත්තා. හැමෝම පරිස්සමින් ඉන්න.

May 2, 2012

අවුරුද්ද , බූරුව ගැහිල්ල සහ බෝතලය


ඔන්න කාලෙකින් පොස්ටුවක් කොටන්නයි හදන්නේ. ගිය මාසේ බට්ටි කොයිතරම් කම්මැලි වුනාද කියනව සෑහෙන්න දවස් ගානක් ගිහිල්ලත් පොස්ටුවක් දාලා නෑ. කම්මැලි වුනාද නැත්නම් ප්‍රියයන්ගේ අමනාපකම් වලට නිහඩවුනාද කියලවත් තාම හිතා ගන්න බෑ. කොහොම වුනත් දැන් හරි. සුපුරුදු විදියට ඈලි මෑලි කොටු කෑලි විසිකරලා ඔන්න බට්ටි ලියනවා.
ඒකෙන් මේකෙන් වුනේ බට්ටිගේ ගමේ විස්තර කියන්න බැරි වුන එක. ඔන්න අවුරුදු විස්තර ලියන්න හදන්නේ මැයි මාසෙත් ලැබුවට පස්සේ. අවුලක් නෑ මයේ හිතේ තවමත් අවුරුදු උත්සව එහෙම තියෙනවනේ. අවුරුද්දට නගරේ පාළුවෙලා සේරමල්ල ගමේ යනවනේ. අවුරුදු තියෙන්නේ ගමේ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වුනාට මට නම් මේ පාර ගමේ ගියහම හිතුනේ දැන් ගමෙත් අවුරුදු නෑ කියලයි. සයුරි අක්කා කියලා දුන්නු පංචි කෙලි දැන් නෑ. කැටගහන තැන් හොයා ගන්නත් නෑ. හැමදේම නැතිවෙලා ගිහින්.
ලොකුම ලොකු ඔංචිල්ලා වල පුළුවන් තරම් රුකුල් අරන් උඩ ගිහින් ආපස්සට එද්දී පපුවට දැනෙන පුංචි බයට ඇස් දෙක තදකරලා පියාගත්තත් කොයි තරම් ආසාවෙන්ද අපි ඔංචිලි පැද්දේ. ඒත් දැන් ඔංචිල්ලාවක් තිබුණත් තියෙන්නේ එහෙමත් ගෙදරක විතරයි. ඒකත් පෙර පාසල් යන දරුවාගෙන් බේරෙන්න බැරි නිසා හදල දෙන පුංචිම පුංචි එකක්. 

ලෝ‍කෙ වෙනස් වෙලා. අවුරුද්ද වෙනස් වෙලා. අරක්කු බෝතලේට , බූරුව කූට්ටමට අවුරුද්ද යටවෙලා ගිහින්. බීගෙන බාල් නටන එක අලුත් විලාසිතාව වෙලා. අවුරුදු චාරිත්‍රයට ගනුදෙනු කරන්න පුරුදු වෙලා හිටිය මිනිස්සු අලුත් අවුරුද්ද ලබද්දිත් ගෙවල් වලවත් නොයිද බූරු පිටි වල ඉදගෙන එක පැරදි පහ පැරදි කියනවා. දැන් ඉතිං කියන්න එපා බට්ටිත් බූරුව ගහන තැනක බලන් ඉදලා බූරුව ගැහුවත් එකයි බලන් හිටියත් එකයි කියලා. මං මේ කියන්නේ හිටී ටිකට මුණ ගැහුන අයගෙන අහන්න ලැබුණ දේවල් හොදද? විනෝදෙට අවුරුද්දකට සැරයක් මෙහෙම කරන එක නම් කමක් නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැති එකයි. අවුරුද්දට ගමේ කෙනෙක් බූරුව ගහලා එක්ලක්ෂ අසූදාහක් පරාදයිලූ. ණය වෙලාලු එහෙම කරලා තියෙන්නේ. දැන් ඉතිං ඒ ණය ගෙවා ගන්න බැරි වුනොත් එයාට වෙන්නේ ජීවිතේන වන්දි ගෙවන්න. ඉතිං ඔන්න ඕකයි දැන් අවුරුද්දට වෙච්ච විනාසේ.
අවුරුදු විස්තර ගමේ ඔහොම වුනාට බට්ටියි ගෙදර අයයි එකතුවෙලා අවුරුදු හොදට සැමරුවා. බට්ටිගේ අම්මයි බට්ටියි එකතුවෙලා කැවිලි වර්ග හැදුවා. බට්ටි සුදු අලුවා කන්න හුගක් ආසයි. හැමපාරම බට්ටියි අම්මයි මේ පාරවත් හිච්චි අම්මා හදනවා වගේ රසම රසට කටේදිම දියවෙලා යන විදියට හදනවා කියලා තමයි පටන් ‍ගන්නේ. මොන මේ පාරත් වැඩේ චාටර් වුනා. ගල් බෝරයක් ගැහුවත් කඩන්න බැරි තරම් හයිවුනා. අර වර්ණා හදපු කිරි ටොපි වලටත් වඩා හයියද මන්දා ? :D  යන්තම් ආයෙම ලිපේ තියලා පන දාගෙන හැන්දෙන් පොඩි කරලා  චුට්ටක් විතර වැඩේ ශේප් කර ගත්තා. ආ අපේ දූ පැටියගේ උපන්දිනේ තිබුණනේ. ඉතිං ස්වාමීන් වහන්සේලාට දානයක් දීලා ගිහි පිරිතක් කිව්වා. වෙන පාටි නම් ගත්තේ නෑ. අවුරුද්දට  අම්මගෙන් බට්ටිට මහත් වෙන්න විටමිනුයි, තාත්තගෙන් ඇදුමක් ගන්න සල්ලියි හම්බවුනා. දැන් බට්ටි ජොබ් කරන නිසා නෑයොනම් ඉතිං මුකුත් දුන්නෑ. දුකේ බෑ අනේ. එක  අතකට ලොකු වෙන එකයි ජොබ් කරන එකයි හරිම අවාසියි. :D අම්මෝ අවුරුද්ද දවස්වල තිබුණ වැස්ස නිසා යන්න කියලා හිතන් ලියාගෙන ගිය තැන් වලින් භාගයක්වත් යන්න බැරි වුනා. අන්තිමේදී කොළඹත් ආවට පස්සේ කෝල් කරලා සමාව ගත්තා.
ඔන්න ඉතිං ඔය විදියට ගෙවපු අවුරුද්ද ඉවර වෙලා දැන් ඉතිං සුපුරුදු විදියට වැඩ. ආයෙම ඉතිං දිග නිවාඩුවක් ගන්න අප්‍රේල් මාසේ ඉක්මනින්ම එන්න කියලා පතමින් ඉන්නවා. අලේ හැබැයි ඒක ඉක්මනින් එනවා කියන්නේ ඉක්මනින් වයසටත් යනවා කියන එක තමයි. :P

April 8, 2012

උදාවෙලා වසන්තයක්


අවුරුදු එන්නත් කලින් හැමෝටම අවුරුද්දට සුභ පතන්නයි බට්ටි මේ හදන්නේ. මොකද ඉතිං බට්ටි හා හා පුරා කියලා ‍10 වෙනිදට ගෙදර යන්න නිසා.ලොකු නිවාඩුවක් අරගෙන තමයි මේ ගමන බට්ටි ගෙදර යන්නේ.
බට්ටිට නම් මෙදාපාර අවුරුදු සාරයි. ගෙදර ගිහින් අම්මා එකක් ටික දවසක් හරි ඉන්න ලැබෙනව නම් ඉතිං බට්ටිට මුකුත් ඕනේ නෑ. සමහරු නම් කියනවා අපරාදේ සල්ලි කන්න මේවගේ අවුරුද්දක් එනවා කියලා. මම නම් හරිම කැමතියි. මොකද නැත්නම් දුරස්වෙලා ඉන්න අම්මා මම ගෙදර අය කොහොම එකතු වෙන්නද?
හැම අවුරුද්දෙම මගේ අතින්ම මම කොණ්ඩ කැවුම් හදනවා. (ඔන්න දැන් කට්ටිය හිතයි අම්මෝ බුරිය නැති ඒව වෙන් ඇති කියලා.නෑ නෑ බට්ටිගේ අම්මගේ අම්මගේ අත්ගුණෙන් ඒ වැඩේ නම් ලස්සනට කරන්න පුළුවන්.) මේ පාර නම් හදන්නෑ. බට්ටිගේ අක්කා ඉන්නේ රටනේ. ඉතිං අක්කා නැතුව තෙල්වලදක් ලිපේ තියන්න හිත දෙන්නෑ. අක්කා රට ඉදන් ආපු දවසට මේ අවුරුද්දටත් එක්කම කැවුම් හදනවා.
අවුරුදු කියන්නේ අපේකම අලුත් වෙන එකට කියලයි මම නම් හිතන්නේ. දුරස්වෙලා තියෙන බැදීම් අමනාප වෙලා තියෙන හිත් එකතුවෙන්න අලුත් අවුරුද්ද අත්වැලක් වෙනවා. ඇයි තව විශේෂ දෙයක් වෙනවනේ. බට්ටිගේ තාත්තගෙන් කවමදාවත් ලේසියෙන් බත්කටක් නම් කවාගන්න බෑ. හැමදාම කිව්වොත් අතේ හොටු. ඒත් ඉතිං අලුත් අවුරුද්දේ ආහාර අනුභවය වෙලාවට නම් කිරිබත් කවනවමයි. ආ කියන්න බැරි වුනානේ බට්ටිගේ තාත්තා දැන් හුගාක් හොදයි. බට්ටිත් දැන් හුගක් වාසනාවන්ත වෙලා. තාත්තා නොබී එනමාසෙට අවුරුද්දක් වෙන්න යනවා. පෙරේදා බට්ටිට තාත්තා කොල් කරහමි කිව්වා බට්ටි ගෙදර එන්න කලින් සාලෙ බිමට කොන්ක්‍රීට් දානවා. නැත්නම් ආවහම ඉන්න අමාරුයිනේ දූවිලි නිසා කියලා. මේ දේවල් නිසා බට්ටිගේ අම්මා සතුටින්. අම්මා සතුටින් කියන්නේ බට්ටි හුගාක් සතුටින් කියලනේ.
ආ අවුරුද්දේ තව ආසම දෙයක් තමයි නොනගතේට පන්සල් යන එක. උඩගෙදර අක්කත් එක්ක හැම අවුරුද්දෙම බොකුටු මල් වට්ටි දෙකක් පිරෙන්න කඩාගෙන තමයි හැම පාරම යන්නේ. සුවද හමන බොකුටු මල් අරන් යද්දී හිත‍ට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඇයි බොකුටු මල් පිපෙද්දී හවසට ගෙදරට එන සුවද...ම්ම් මතක් වෙද්දිත් සතුටුයි.....
බට්ටිගේ ගමේ මේපාර අවුරුදු උත්සවේ නම් නෑලු.ඒ වෙනුවට තියෙන්නේ සංගීතයක් විතරයිලූ. සංගීත නම් වැඩක් නෑ. අවුරුදු උත්සවෙත් තිබුණ නම් බට්ටිගේ හිතට තවත් සතුටුයි. ආ මෙහෙම හිටියට බට්ටි හැම අවුරුද්දකම අවුරුදු උත්සයෙන් අනිවාර්යයෙන්ම තෑග්ගක් අරන් තමයි ගෙදර යන්නේ. අවුරුදු උත්සවේ තියෙනවා බස්පෝලිම කියලා තරගයක්. ඒකෙන් තමයි හැම පාරම දිනන්නේ. පිට්ට‍නියේ තුන්පලක කණු තුනක් හිටවලා තියෙනවා. ඒ කණුවල ගම් තුනක නම් ගහලා තියෙනවා. ඒ හැම නමක්ම පටන් ගන්නේ නා අකුරෙන්. ගම්වල නම් තුන නම් ලියන්නෑ. මොකද ඒ ගම් තුන දැන ගත්තොත් ඒ මැද තියෙන මගේ ගම නිකම්ම මාට්ටු වෙන නිසා. ඉතින් නිවේදනය කරන කෙනා නා........... කියලා ඇදලා එකපාරටම ගමක නමක් කියනවා. එතකොට හැමෝම ඒ නම තියෙන කණුව ලගට ගිහින් පෝලිම හැදෙන්න ඕන. පස්සෙම යන කෙනා අවුට්. හැබැයි ඉතිං ඉස්සෙල්ලම ගිහින් කණුව බදා ගන්න කෙනාටත් සොරි තමයි. මොකද අනිත් අය එන වේගෙට එයා චප්ප වෙනවා.:D ඔන්න ඕකටයි බස් පෝලිම කියන්නේ. අහන් ඉදලා හයියෙන් දුවලා බට්ටි හැම පාරම මේ තරගෙන් දිනනවා.
ආ මෙහෙම හිටියට දැන් බට්ටි අවුරුද්දක කෙලි පැටියෙකුගේ නැන්දා කෙනෙක්. අපේ එකම කෙලි පැටියගේ අවුරුද්දේ උපන්දිනෙත් එනවා මේ මාසේ 16 වෙනිදට. බට්ටි නැන්දා සෙනසුරාදා ගිහින් පුංචි පැට්ටට තෑගි හුගාක් ගත්තා. හැබැයි කියන්නත් ලැජ්ජයි අවුරුද්දක් වෙන කෙලි පැටියව තාම දැකලා තියෙන්නේ දවස් තුනයි. කෝ ඉතිං බට්ටි කොළඹටම වුනානේ. දුවගේ උපන්දිනේ සමරන්න අපි පිරිතක් කියලා දානයක් දෙනවා. කට්ටියට ආවොත් ඔන්න දානේ කාලා ඇයි කැලේ බලල යන්න පුළුවන්. :D
අලි අලි කෙටියෙන් ලියන්න කියලා පටන් ගත්ත පොස්ටුව හුගක් දිග වුනා.
බ්ලොග්  ලෝකේ හැමොටම එන අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉති‍රෙන්න කියලා  බට්ටි හදවතින්ම සුභ පතනවා. ඒවගේම සිහින උළෙල කරන අයටත් ඒවැඩ කටයුතු සාර්ථකව කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් බට්ටි ගිහින් එන්නම්. හැමෝම දගකරන්නේ නැතුව ඉන්න හොදද? නෙට් එන්න පුළුවන් තැනක් හම්බ වුනොත් අලුත් අවුරුද්දේ ඔයාලගේ බ්ලොග් වලට ඇවිත් බට්ටි සුභ පැතුමක් එකතු කරලා යන්නම්කෝ. බුදු සරණයි හැමෝටම.

ප.ලි.
ආදරණීය මිතුරේ ඔයාට සුභ උපන් දිනයක් වේවා. කලින්ම සුභ පතන්නේ මම එද්දී ඔයාගේ උපන්දිනේ පහුවෙලා ඒකයි. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා බට්ටි ප්‍රාර්ථනා කරනවා. හැමදාම හිනාවෙලා ඉන්න. පණ්ඩිත මම කියනවා වගේ නැව ගිලුනත් ‍බෑංචූං කියලා ඉන්න. ජීවිතේ අපිට ඕන දේවල් ඒ විදියටම ලැබෙන්නෑ. මතකනේ බට්ටිට පහුගිය කාලේ වෙච්චි දේවල් ලැබුන නම්බු නාම ගැන.කෝ බට්ටි සැලුනද නෑ. ලොවෙත් සැලෙන්නෙත් නෑ. තනියම නැගිටින්න.ආදරේ කරන අය ලග නැති එක හිතට හයියක් කර ගන්න. ඔයා මා එක්ක දැන් තරහ වෙලා හිටියත් මම දන්නවා මට අලුත් අවුරුද්දේ සුභ පතන්න කතා කරනවා කියලා. එහෙම නොවුනත් බට්ටි තරහ නෑ. 
 සැ.යු. මේක ගූගල් දෙයියගෙන් ගනිපු එකක් නෙවෙයි හොදද? මේ මම උපන් දිනේට මගේ යාළුවා වෙනුවෙන් හදපු කාඩ් එක.