Showing posts with label බට්ටිට වෙන වැඩ. Show all posts
Showing posts with label බට්ටිට වෙන වැඩ. Show all posts

October 31, 2012

ප්‍රශ්නයක් නැත්නම් වැඩක් නෑ........


              ඉස්කෝලේ යන කාලේ නාපු නෑම්, කාපු කටු ගැන නම් ඉතිං හැමෝටම ලියලා ඉවර කරන්න බැරි තරම්නේ.මේකත් ඉතිං බට්ටි දහය වසරේ ඉන්න කාලේ වෙච්චි දෙයක් තමයි.ඒකාලේ අපේ පන්තියට ගුරුවරු කොයි තරම් ආදරේද කියනව නම් අපේ  පන්තියට කිව්වේ නාහේට අහන්නැති පන්තිය කියලා.මේ කාලේ ඉතිං එක්කෙනෙක් මොනවා හරි විකාරයක් හොයා ගෙන ආවොත් අත් සේරමත් ඒක හරි හෝ වැරදි වේවා ඒකම කරන්නේ හරියට වෛරස් උනක් බෝවෙනවටත් වඩා ඉක්මනට.


        ඔන්න දවසක් පන්තියේ හිටිය ගෑණු ළමයෙක් උදේ ඉස්කෝලේ එද්දී එයාගේ නළලේ හරියටම ප්‍රශ්නාර්ථ ලකුණක් දිලිසි දිලිසි තියෙනවා. හරියට නිකන් අනිත් අයගෙන් අනේ මම ප්‍රශ්නයක්ද කියලා අහන්න වගේ. පන්තියේම ළමයි ඉතිං එයාගේ ලගට ලං වෙලාම බැලු‍වා. මොකද්ද බොලේ මේ නළලේ තියෙන ප්‍රශ්නේ කියලා. හැබැයි ඉතිං ප්‍රශ්නේ මොක වුනත් ඒක නළලේ තියෙන විදිය නම් මරු. ඒපාර ඉතිං ළමයින්ට හරි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්නේ නළලට ආවේ කියලා.

       ඒ ළමයා කල්පනා කර කර ඉදලා තියෙනවා නළල දබර ඇගිල්ලෙන් අතගගා.හුගක් වෙලා මෙහෙම ඉදලා.පස්සෙ තමයි දැකලා තියෙන්නේ නළල තුවාල වෙලා.ඒක තමයි මේ වේලුනාට පස්සේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ඉතිං අහක යන ප්‍රශ්න ඇගේ දාගන්න අයනේ.කෝම අලි දැන් එක එක්කෙනා ප්‍රශ්න හදා ගන්නවා.දැන් ඉතිං කට්ටිය හිතන්න එපා අපි ගහමරාගෙන ප්‍රශ්න හදා ගන්නවා කියලා. මේ නළලේ ප්‍රශ්න ලකුණ හදා ගන්නවා.

   මාත් ඉතිං සේරම කරන එකේ වැඩෙත් ලස්සන එකේ කෝම හරි ප්‍රශ්නයක් හදා ගන්න ඕනි කියලා කරලා බැලුවා. සියපාරකට වඩා නළල ඇගිල්ලෙන් අතුල්ලන්න ඕනිලු ඔය ප්‍රශ්නේ හදා ගන්න. අපුයි දෙයියනේ මොන සිය පාරක්ද. ටිකක් වෙලා කරද්දිම නළල දන්න ගන්නවා. ඊට පස්සේ මට නම් නළලට ඇගිල්ලවත් තියන්න බෑ .දැන් ඉතිං අපේ කට්ටියගෙන් හුගක් දෙනෙක් ප්‍රශ්නේ හදා ගෙන.අනේ ඇයි අප්පා මට ප්‍රශ්නයක් දා ගන්න මෙච්චර අමාරු.ඉහි ඉහි දැන් නම් මට ඇඩෙන්නත් වගේ.

    එදා ඉස්කෝලේ දී නිවාඩුවක් ලැබුන ගමන් කලේ ඉතිං ප්‍රශ්නේ හදා ගන්න දගලපු එක තමයි.ඒත් බැරි වුනා.ගෙදර ඇවිල්ලත් ඊට පස්සෙන්දත් පණ යනකල් මහන්සිවෙලත් මේ ප්‍රශ්නේ බට්ටිගේ නළලේ කොටා ගන්න බැරි වුනානේ.මම ඉතිං ළමයින්ටත් බනින්වා.ඇයි දෙයියනේ මගේ නළලට ප්‍රශ්න එන්නේ නැත්තේ කියලා.කොහොම හරි මේ නළලේ ගහන්න ගනිපු ප්‍රශ්න පච්චේ දුර ගිහින් කකුල් වල අත්වල ළමයි පච්ච ගැහුවා. ලව් පටලැවිලි තිබුණ අය අල්පෙනිති වලින් අනිත් අයගේ නමේ මුල අකුර අතේ කොටා ගෙන.

     හදිස්සියේම ආරංචියක් ආවා ප්‍රින්සිපල්ටත් මේ පච්ච ගහන එක ආරංචි වෙලා කියලා.දැන් ඉතිං ළමයි ගැහෙනවා හරියට කරන්ට් එක වැදිලා වගේ.දෙවෙනි කාලපරිච්ඡේදයත් ගෙවිලා ගියා. මෙන්න එක පාරටම පන්තියට ප්‍රින්සිපල් එනවා. අම්බෝ අර කසාය කෝට්ත් අරගෙන. එක එක්කෙනාව ඉස්සරහට අරගෙන ‍එයා චෙක්කරනවා. මගේ වාරෙත් ආවා. ප්‍රශ්නේ නළලේ නැතුවත් මාව ගැහෙනවා. ඇයි අනේ මමනේ දන්නේ ඕක ගහ ගන්න බැරුව  වින්ද දුක. ප්‍රින්සිපල් මගේ දිහා බලලා අහපි. ‘‘ මොකද තමුන්ට නැද්ද පච්ච ?’’මේ කටටත් ඉතිං බේරේක් නෑනේ. බොරුවක් ගොතන්න ගියත් බළලා පනිනවා මල්ලෙන් එළියට. ‘‘ මමත් බැලුවා බැලුවා සර් ප්‍රශ්නයක් හදා ගන්න. ඒත් ප්‍රශ්නයක් හදා ගන්නම බෑ සර්.” ඉවරයි ඉතිං මෙච්චර දවස් හදා ගන්න බැරුව හිටිය ප්‍රශ්නේ ඔන්න එක විනාඩියෙන් හදා ගන්න වැඩේ වුනා. කට හින්දමයි දාගන්න ප්‍රශ්න සේරම දාගන්නේ.දැන් ඉතිං පච්ච නොගහත් ගුටිකෑමක් තමයි තියෙන්නේ.කරන්නම දෙයක් නෑ.ඒත් ඉතිං අර කසාය කෝට්ටෙන් එකක් කන්න පණත් නෑ. බැරිම තැන මම හයියෙන්ම ඇඩුවා. ‘‘ මගේ ප්‍රශ්නයක් නෑ සර්.අනේ මට ගහන්න එපෝ’’කියලා මම පන්තිය දෙදරන්නම ඇඩුවා.මම අඩද්දි ඉතිං තාත්තා ඇරෙන්න වෙන කවුරුත් නම් මට ගහන්න තියා හිතන්නෙවත් නෑ. :D කෝම හරි බට්ටි බේරුනා. පච්ච ගහපු අයට එක එක දඩුවම් ලැබුනා.සමහරුන්ට බරපතල වැඩ සහිතව නෑ නෑ වැඩක් පලක් නැතුව සැපෙන් ගෙදරට වෙලා ඉන්න දවස් 14ක නිවාඩු හම්බ වුනා.

දැන් ඉතිං ඔයාලා කියන්න එපා බට්ටියි බට්ටිගේ යාළුවො ටිකයි යක්ෂ  පැටව් කියලා. අනේ නෑ අපි හරීම අහිංසක ඇල්වතුරත් කූල් කරලා බොන අය අනේ.... 

August 11, 2012

දිව්ව හොදම දිවිල්ල....

හුග දවසකට පස්සෙ හිතුනා පොස්ට් එකක් ලියන්න.හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත් වැඩ වැඩිකම නිසාම ටයිප් කර ගන්න බැරිවුනා.ෂොප් එකේ මැෂින් එකට යකෙක් ගහලද මන්දා අනේ බ්ලොග් යන්න, මේල් බලන්න, බුකියට ලොග් වෙන්න මුකුත් බෑ.යන්න පුළුවන් මැෂිමට කොච්චර සිංහල දාන්න හැදුවත් දාන්න බෑ.වැඩ කරලා මහන්සිවෙලා ඇවිත් පොස්ට් එකක් ටයිප් කරන එක ලේසි නෑ. භාගයක් ටයිප් කරද්දි බෙල්ල සාක්කුවේ. ඒත් ඉතිං එහෙම කියලා බෑනේ. ඉතිං මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවා.
ඔන්න අදත් බට්ටිට හිතුනා ඉස්කෝලෙ යද්දි බට්ටිට වෙච්චි දෙයක් කියන්න. මතක් කර කර හිනා වෙන්න පුළුවන් ලස්සනම කාලේ ඒකනේ.ජනවාරි මාසේ කියන්නේ ඉතිං ඉස්කෝලෙ යද්දි බට්ටි ආසම මාසයක්. ඒ ඉතිං නිවාසාන්තර ක්‍රීඩා තියෙන්නේ ජනවාරියේ නිසා තමයි. මේ වගේ ක්‍රීඩා තියෙන කාලෙක නොද්ද වැඩ කරන්න ගිහින් බට්ටි ඇගිල්ලක් කඩා ගනිපු හැටි හැමෝටම මතක ඇතිනේ....?මේ සිද්ධිය වෙද්දි බට්ටි 8 වසරේ. තරගවලට තෝරද්දි කැමති ළමයින්ට ගමහරහා දිවීමේ තරගයටත් නම් දෙන්න කිව්වා.  ආ එහෙම නම දෙන අයට ගෙදරින් අවසර අරන් එන්න කිව්වා. තාත්තාගෙන් ලියුමක් අරන් ඇවිත් බට්ටිත් ලිස්ට් එකට නම දාගත්තා. නිවාසාන්තර තරග වලින් මුලින්ම තියෙන්නේ මේ ගමහරහා දිවීමේ තරගය තමයි.
ඔන්න ඉතිං තරගය පවත්වන දවස උදාවුනා. ක්‍රීඩා කරද්දි අදින පුංචි සුදුපාට සායයි , නිවාසේ පාටින් ටී එකකුයි ඇදලා බට්ටි වගේම අකීකරු කොණ්ඩේ මූණට නොවැටෙන්න ටී එකේ පාටින් හෙයාර් බෑන්ඩ් එකකුත් දාලා හැඩ වෙලා තරගය පටන් ගන්න තැනට බට්ටිත් ගියා.ආ ග්ලූකෝස් එහෙම කාලා ශක්තිය අරගෙන තමයි ඉතිං බට්ටි ගියේ.එක නිවාසෙකින් 25ඒගානේ ළමයි 75ක් ගමහරහා දුවන්න ලෑස්තිවෙලායි හිටියේ.
අවුරුදු තුන හතරක් එක දිගට මේ තරගෙන් කප් එක ඉස්සුවේ එකම අක්කා කෙනෙක්. බට්ටිගේ වාසනාවට ඒ අක්කා බට්ටිට හුගාක් ආද‍රේයි.ඉතිං මේ අක්කා කලින්ම පොරොන්දු වුනා එයා එක්කම බට්ටිට දිනුම් කණුව ලගට එක්කර ගෙන එනවා කියලා.ඉතිං තරගේ පටන් ගන්න කලින් ඉදන් මම ඒ අක්කා ලගින් හෙලවුනේවත් නෑ. ඉස්කෝලෙ ඉදන් අල්ලපු ගමේ හන්දියට දුවලා ආයෙම ඉස්කොලෙට එන්නයි තිබුනේ.මේ පාරෙම තමයි බට්ටිගෙ ගෙදර තියෙන්නෙත්. ඒ අක්කා කිව්වේ මුලින්ම හෙමිල් ගිහින් පස්සෙ ලීඩ් කරමු කියලා.ඉතිං අක්කා යන විදියට බට්ටිත් අක්කා එක්කම ගියා.
ඔයා යන පාරේ තියෙනවා වෙලක් එක්ක ටිකක් විතර පාළු හරියක්. ඒ හරියෙ තියෙනවා පරණතාලෙ ගෙයක්. ඒ ගෙදරට ගමේ අය රහසින් කිව්වේ කොටි ගෙදර කියලා.ඉතිං ඔය ගෙදර ලගින් යද්දි පැන්නෙ නැතැයි එළියට මේ මේ කොටියෙක් නෙවෙයි අලිද? තඩි බල්ලෙ.බල්ලට බයවෙච්ච අක්කා පොරොන්දු අමතක කරලා පණ කඩන් දුවන්න පටන් ගත්තා. අයියෝ බට්ටිගේ දිනුම් කණුවේ හීනේ.දැන් ඉතිං භාගයක් දුර ඇවිත් නතර වෙන්න පුළුවනැයි.තනියෙම දිව්වා අක්කව අල්ල ගන්න.අක්කා පේනතෙක් මානෙකවත් නෑ.මම හන්දිය කිට්ටු කරන්න යද්දි මෙන්න බොලේ අක්කා ගිහිල්ලා ආයෙමත් එනවා.
වෙන ඕන දෙයක් කියලා බට්ටිත් දැන් තියෙන උපරිම වේගෙන දුවනවා.ආයෙම එද්දි වතුර තිබහයි ඉන්න බැරිවෙන්නම.ඉල්ල ගන්න ඒ විදියේ ෆිට් තැනකුත් නෑ.තිබහ උහුල ගන්නම බැරි තැනට ඇවිත්. දුවා ගන්න පණත් නෑ.ගෙදරින්ම වතුර බොනවා කියලා හිතන් එද්දි ගෙදරත් කවුරුත් නෑ.ගර්ර්ර්ර්ර්.....ගෙදර අයත් දුවන් ඇවිල්ලා පිට්ටනියේ මාව වැටුනොත් කියලා අල්ල ගන්න ඉස්කෝලෙට ගිහින්. පිට්ටනියේ වැටෙන්න යන්න ඉතිං මෙතන නොවැටි ඉන්න එපැයි.මේ තරගයක් හින්දා යසට තියෙන දිව ගිලෙනකල් බලන් ඉන්න පුළුවන්ද?දිනුවත් එකයි පැරදුනත් එකයි කියලා හිතලා  අපේ ගෙදරටම තිබුණ එකම ෆ්‍රිජ් එකෙන් වතුර අරන් බඩ පැලෙන්න බිව්වා. ආ කියන්න බැරි වුනානේ මේ ෆ්‍රිජ් එක ගැන ඒකෙ වතුර හරිම කූල්.ගමේ හැමේම ආසයි ඒකෙ වතුර බෙන්න. මැටි පොලොවෙ තියපු මැටි කලේක වතුර ඉතිං කොහොමත් කූල්නේ නේද?
එහෙම බඩපැලෙන්න වතුර බීලා ඇවිත් ඉස්කෝලෙ කිට්ටු වෙද්දි මෙන්න ළමයි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හරියට ජීවිතේට බට්ටි දැකලා නැති අයවගේ.මේ විදියට නම් මෙයාලා කෑගහන්නේ ෂුවර් එකට මම අන්තිමයා වෙන්න ඇති කියලමයි හිතුවේ. ඒත් පස්ස හැරිලා බලද්දි එක්කෙනෙක් එනවා පිටිපස්සෙන්.දැන්නම් ඉතිං හිතට සතුටුයි ඇයි ඉතිං අන්තිමයට කලින් කෙනා වුනත් ඇතිනේ.පුංචි ගැප් එකකින් පිටිපස්සෙන් ආපු කෙනාට කලින් බට්ටි තරගේ ඉවර කලා.හැමෝම ඇවිත් මාව වට කර ගත්තා.අන්තිමයට කලින් ඇවිත් මේ තරම් පිලි ගැනීමක්.නෑ නෑ බට්ටි තරගෙන් තුන් වෙනියා වෙලා.විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා කොහොම විශ්වාස කරන්නද සහතිකේ දෙනකල් මටවත් හරියට විශ්වාසයක් තිබුණේ නෑ.පස්සේ දුක හිතුනා වතුර බෙන්න ගිය එකට. මොකද එහෙම නොවුන නම් බට්ටි එදා තුන නෙවෙයි දෙකනේ.හැබැයි ඉතිං තාරපාරේ දුවලා කකුල්වල ගල්තැලැම්ඹු ආපු නිසා බට්ටි ආයෙම කිසිම දවසක ගමහරහා දිව්වේ නෑ.....


ප.ලි. ඊයේ පටන් ගත්තට නින්ද ගියා. උදේ තමයි ඉවර කලේ.ඔන්න මධු මාමේ පොරොන්දු කඩකලා කියලා බනිනවා එහෙම නෙවෙයි..



July 30, 2012

ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ?



හැමෝම දන්නවනේ බට්ටිට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියෙකුයි කියලා. අක්කා ඉන්නේ දුර රටක. ආ දැන් ඉතිං බට්ටි ලියන පොස්ට් එයත් කියවන්න පටන් අරන්නේ. සුට්ටටක් විතර ලැජ්ජත් එක්ක. :D එයා ආසයි මම ලියන ඒවට.  ඇයි එයා එක්ක ඉන්න අනිත් ඔ‍ක්කොම අක්කිලත් දැන් ‍බට්ටි කියවන්න පටන් අරන්. ඒක ඉතිං බට්ටිට ලොකු සතුටක්. 

මතකනේ පහුගිය පොස්ට් එකකින් ලිව්වා මිහිරි ළිදේ වැටුන හැටි. අක්කා මේ පොස්ට් කියවලා බට්ටිට කියනවා ඇයි මිහිරි විතරද වැටුනේ අනිත් අය වැටුන ඒවත් ලියන්න කියලා. ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ? හේ හේ තව අයත් වැටිලනේ. ‍ ඔන්න ඉතිං ලැජ්ජාව පැත්තකින් තියලා අක්කා කිව්ව නිසා බට්ටිත් ලියනවා අර ළිදේ වැටුන අනිත් අය ගැන.....:P 

ඔන්න ලස්සනම ලස්සන ගමක් තිබුණලූ, කදුවැටි , ඇලක් වගේම සීතලම සීතල වතුර පිරුණු ළිං ඕන තරම් තියෙන. ඉතිං මේ ගමේ හිටියලූ කටකාර දගකාර පුංචි කෙල්ලක්. කෙල්ලක් වුනාට මෙයා හරියට ඉස්සෙක් වගේලූ. එක තැනක ඉන්න තේරෙන්නෙම නෑලූ. මේ ඉන්න තැන අර පැත්ත බලලා මේ පැත්ත බලද්දි නෑලූ. ඉතිං මේ පුංචි කෙල්ලට ‘බිං ඇටේ, බටු ඇටේ” වගේ නම් නෑයන්ගෙන් තෑගි ලැබුනලූ. ඔය අතරින් වැඩිපුරම කියන්නේ බිං ඇටේ කියලා තමයිලූ. එහෙම කියන්නේ ඉතිං මෙයා දොඩන් ගෙඩි දෙක්කවත් උස නැති නිසාලූ.  

කන්දේ මාමා කියන්නේ මෙයාගෙ නෑයෙක්ලූ. ඉතිං අයියා අක්කා එක්ක මේ කියන පුංචි කෙල්ල නිතර එහේ යනවලූ. මොකද ලොකුම ලොකු ඔංචිල්ලාවක් තියෙනවාලූ එහේ ඒක පදින්න. හැබැයි ඉතිං පැන ගෙන ගියාට මෙයා හරි බයයිලූ ඔංචිල්ලාව පදින්න. මොකද ඉස්සරහට යනකොට මෙන්න මෙයාගෙ හුස්ම හරිවෙන්න එනවා කියලා ලණුවත් කිටි කිටියෙ තදින් අල්ලගෙන ඇස් දෙකත් තද වෙන්න පියා ගන්නවලූ.පවු නේද මේ පුංචි කෙල්ල.හිකිස්.... 

ඉතිං මෙහෙම ඔංචිලි පැදලා අක්කා අයියා එක්ක ගෙදර එන්න ඇවිත්. ලොකු කන්දකනේ කන්දේ මාමගේ ගෙදර තියෙන්නේ ඉතිං මෙයාගෙ ගේ තියෙන්නේ පාර අයිනේලූ. ඉතිං කන්ද බැහැලා එන්න ඕනලූ ටික දුරක්.අක්කයි අයියයි හෙමින් කන්ද බහිද්දි මේ බටු ඇටේ තේ පදුරු අස්සෙන් එයාලව දාලා පහලට දුවලා. කන්ද පහල තියෙනවා නෑ නෑ තියෙනවා නෙවෙයි තියෙනවලූ හරිද ලස්සන ළිදක්. වතුර පිරිච්ච. මේ අර මිහිරි වැටුන ළිද නම් නෙවෙයි හොදද? මේ ළිද තියෙන්නේ ලොකුම ලොකු අඹ ගහක් යටලූ. ඒ ගහේ අඹ මී පැණි තරම්ම රසම රසයිලූ. ඉතිං මේ පුංචි කෙල්ල ළිද ලගට එද්දි  කහම කහපාට අඹ ගෙඩියක් ළිදේ පාවි පාවි තියෙනවලූ. ගන්න කෝටු දැම්මලූ ඒත් බෑලූ. කොටුව වදිද්දිම අඹ ගෙඩිය යට යනවලූ. දැන් ඉතිං කොහොම හරි ඉක්මනින් මේ අඹ ගෙඩිය ගන්නත් ඕනලූ. මොකද අක්කයි අයියයි ආවොත් එයාලා එක්කත් මේක බෙදා ගන්න වෙනවනේ.ඒ මදිවට ලග ලගම ළිදට නාන්න කෙනෙකුත් එනවලූ.කොටුව දාලා දාලා කකුලත් දාලා අඹ ගෙඩිය ලගට ගන්න බැලුවට හරි ගිහිල්ලම නෑ. ඉතිං පමාදවෙලා පසුතැවෙන්න වෙයි කියලා හිතපු මෙයා පැන්නලූ නේ අඹ ගෙඩිය ගන්න ළිදට.දැන් ඉතිං මොනවා කරන්නද? ඒ ළිදේ වතුර පිරිලා. උස එක්කෙනෙක් නම් කමක් නෑ බටු ඇටයක්නේ. මේ පිස්සු කෙල්ලගේ වාසනාවට අර දෙපැත්තෙන්ම එමින් සිටි තුන් දෙනා මෙයාව බේර ගෙන.  ඇදුම් සේරම තෙමාගෙන. ළිදෙන් ගොඩට ගත්තට පස්සේ මෙන්න මෙයා අඩනවලූ කෑගහලා. කට්ටියම හිතලා තියෙන්නේ ළිදේ වැටුන එකට බයේ තමයි මේ අඩන්නේ කියලා. ඉතිං නලව ගන්න එක එක දේවල් කියලා. කෝ ඒත් නෑලු අඩන එක නතර කරන්නේ.මෙන්න ඒ ගමන මෙයා කිව්වලූ ‘අනේ මට අර කහ අඹ ගෙඩිය ඕන.හැබැයි ඔන්න කාටවත්ම කෑල්ලක්වත් දෙන්නෙ නෑ නෑ නෑමයි” කියලා.අපොයි පෙරේතයි කියලා මෙහෙමත් පෙරේත වෙනවද මං අහන්නේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ල බේරිලත් හිතන්නේ අඹ ගෙඩිය ගැන.මතකනේ මේ පෙරේත කෙල්ල එක පාරක් ඩොන්කා කන්න ගිහින් ඔළුව පලා ගනිපු හැටි. ආ ඒ විරද තව තියෙනවලූ ඔහොම කෑම කන්න ගිහින් ඔළු පලා ගනිපු සිද්ධිත්. එව්වා ඉතිං පස්සේ කියන්නම්. බට්ටි දැන් යනවා. හැබැයි ඔන්න මේ පුංචි කෙල්ලට කියන්න එහෙම එපා මම මේවා ඔයාලා එක්ක කිව්වා කියලා අලිද........?:D :D :D

June 25, 2012

හා ...........මූද?


මේ පුංචි කොලෙට කරපු ජොබ් ගොඩ. අම්මෝ මතක් වෙද්දිත් දුකේ බෑ. එක එක ජොබ් එක එක හේතු නිසා අත අරින්න වුනා. දැන් නම් ඒ නරක පුරුද්ද නෑ. දෙයියනේ කියලා දැන් මේ රස්සාවට අවුරුදු 2ක් වෙනවා. අද කියන්න හදන්නේ බට්ටිට මෙහෙම ගිය ජොබ් එකකින් වෙච්ච දෙයක් තමයි. :'(
ඔන්න මේ කියන කාලේ බට්ටි හිටියේ ජොබ් එකක් හොය හොය. ඉතිං යෞවන සමාජෙන් පණිවුඩයක් එනවා අහවල් දවසේ අහවල් තැන ඉන්ටව් එකක් තියෙනවා යන්න කියලා. කියපු තනතුරත් නරකම නැති නිසා වටිනා කියන ගමන් වලට යන්න අරන් තියා ගනිපු රෝසපාට සායයි , හැට්ටෙයි ඇදගෙන තියෙන සහතික ටිකත් අරගෙන බට්ටිත් ගියා මේ සම්මුඛ පරීක්ෂණයට.හරියටම මතක විදියට ඇවිත් හිටියා 18 දෙනෙක්. බට්ටිගෙ වෙලාව එනකල් වාඩි වෙලා හිටියා. ටිකක් මෙහෙම ඉන්න කොට ඔන්න බට්ටිගෙ වෙලාව ආවා. ගිහින් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. හිටපු කෙනා සහතික එහෙමත් අතට අරන් බලලා මෙන්න එක පාරටම කියනවා
“ඔයාට කවද ඉදලද වැඩට එන්න පුළුවන්“
“හෙට ඉදන් වුනත් පුළුවන් සර්“ බට්ටි ඉතිං එහෙම කිව්වා. පඩි ගැන නම් ඇහුවෙම නෑ. මොකද බට්ටි කවදාවත් කිසිම තැනකින් පුරුද්දක් වශයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. ඒකට හේතුව විදියට මම හිතන්නේ තවම අත්දැකීම් ගන්නියක් නිසා ඒ ප්‍රශ්නේ තමන්ට අදාල නෑ කියලයි.
ඉතිං ඊට පහුවදා ඉදලම බට්ටිට වැඩට එන්න කිව්වා. ඒ වගේ ජොබ් එකකට යන පළවෙනි දවස නිසා හුගක් ආසවෙන් තමයි ගියේ. ඒක තේ කර්මාන්ත ශාලාවක්. කරන්න තිබුනේ පොත්වල ගණන් හදන එක, එන කෝල් වලට පිළිතුරු දෙනඑක, දළු සල්ලි ඇ‍ඩ්වාන්ස් දෙන්න, තේ කොල දෙන්න ඔය වගේ වැඩ ටිකක්. පළවෙනි දවසෙම වැඩ ටික අල්ල ගන්න අමාරුවක් වුනේ නෑ. ඔෆිස් එකේ හිටියේ මමයි තව අක්කා කෙනෙකුයි අයිතිකාරකෙනයි විතරයි. තේ හදලා අපිට ගෙනැත් දෙන්න වෙනම කෙනෙක් හිටියා.ඇතුලෙ වැඩ කර අයත් ඉතිං සැරින් සැරේට එක එක ඒවට එනවා ඔෆිස් එකට. වැඩ කරන අනිත් අය මට කිව්වේ චූටි මිස් කියලා.
ඔය විදියට හරිම ආසාවෙන් තමයි ජොබ් එකට ගියේ. මෙන්න තුන්වෙනි දවසෙ යද්දි ඉන්නවා කොණ්ඩේ කොටට කපපු, කලිසමක් ඇදපු මැඩම් කෙනෙක් වගේ කෙනෙක්.මමත් ඉතිං හිනාවෙලා ගියා මම වැඩ කරන කාමරේට. කලින් දවසේ දළුපොත් ටික චෙක් කර කර ඉන්න කොට සර් එක්ක එනවා අර මැඩම් වගේ හිටිය කෙනා. 
‘‘*** ළමයෝ මම නෙවෙයි මේ ෆැක්ටරි එක බලා ගන්නේ මේ මගේ නේනා තමයි.මම වැඩිපුර ඉන්නෙ කොළඹ ඔෆිස් එකේ“
මම කියලා මොනවා කියන්නද මමත් ඉතිං හිනාවෙලා හිටියා. හිනාවුනාට අර මැඩම් නෙවෙයි හිනාවුනේ. ෂිට් ඇයි වදේ මිනිහෙක්ට නිකන් දෙන්න පුළුවන් ඔය හිනාව දෙන්න මොකට දෙපාරක් හිතනවද මන්දා? 
එදා දවසේ පුරුදු විදියට වැඩ කර ගෙන ගියා. සමහර වෙලාවට මට මැඩම්ගෙ රූම් එකට යන්න වුනා එක එක වැඩ වලට. ඉතිං මැඩම් කියා ගෙන තමයි කරන්න යන වැඩේ කියන්නේ. හවස ඕෆ් වෙන්න ලං වෙලා ඔන්න ගියා ඒ රූම් එකට 
“*** අපි මැඩම්ලා නෙවෙයි. අපි හාමුලා. මට හාමු කියන්න. මගේ මහත්තයට හාමු මහත්තයා කියන්න.“
මල මගුලයි. කවදා කාපු ටකරන්ද? :D
‘‘හා හරි මැඩම්“ කෑවනේ වැඩේ පුදන කොටම. ඒ ගමන නම් ඉතිං අහක බලා ගත්තා මිසක් මුකුත් කිව්වේ නෑ. ඇතුලෙ වැඩ කරන අය කියන්නේ ඔහොම කියලා දැන ගෙන හිටියා. ඒත් කවුද හිතුවෙ අපිටත් කියන්න වෙයි කියලා.
ඊට පහුවදත් ඉතිං වැඩට ගියා කියමුකෝ. දැන් ඉතිං උවමනාවක් වුනත් එයා ලගට යන්න හිතෙන්නෙ නෑ. ඒත් ඉතිං නොගිහිනුත් බෑ. පැය දෙක තුනක් මුකුත් නමක් නොකියම යාන්තම් ගෙවා ගත්තා. ඊට පස්සෙ නම් ඉතිං ගිහින් ‘‘මෑ මෑ හාමු මේක අත්සන් කරලා දෙනවද?මෑ...හාමු අහවලා කොල් කරනවා“ඔය විදියට කියලා ෂේප් වුනා. ඇයි අනේ ඔය වචනේ කියලා කවදාවත් කටවත් කතා කරලා තියෙන එකක්යෑ. 
හවස්වරුවෙ තමයි වැඩේ දෙල් වුනේ. මොකද්ද වැඩකට ගිහින් “මැඩම්..“ ඉවරයි මෙන්න මූණ කුණ්ඩ හට්ටියක් වගේ වුනා. 
“** කිව්ව නේද මට මැඩම් කියන්න එපා කියලා. “ පටන් ගෙන වලව් පරම්පරාවම කියවන්න ගත්තා.අනේ බට්ටිත් ඔළුව නවාගෙන අහන් ඉදලා සද්ද නැතුව මේසෙ ලගට ඇවිත් හිටියා. ඒ වෙද්දි නම් කියපු දේවල් වලට හිත මහ හුගක් රිදිලා හිටියේ. 
එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ආයෙ නම් මම එන්නෙ නෑ කියලා තීරණය කරලා. ගෙදර ගිහින් කිව්වා. තාත්තත් මුකුත් කිව්වෙ නෑ නවතිනවා කිව්වහම ‘‘පුදුම මනුස්සයෙක්නේ“ කිව්වා විතරයි. 
ඊට පහුවදා  අපේ ගෙදරට ආවා උඩහ ගෙදර අයියා. 
‘‘මොකෝ බට්ටෝ වැඩට යන්නෙ නැද්ද?“
“මම අයෙ යන්නෑ චූටි අයියේ. මට බෑ හාමු හාමු ගාන්න.කියන්න පුළුවන් වුනත් කාටද ඕක  මතක් වෙන්නේ“
‘‘මොකද බං වුනේ“ 
වෙච්ච සිද්දිය මුල ඉදන් කිව්වා.
‘‘බට්ටො ඔෆිස් එකේ නම්බර් එක තියෙනවද?“
“ඔව්“
“කවුද පොන් එක උස්සන්නේ“
“දැන් නම් ඉතිං මැඩම් වෙන්න ඇති.ඇයි ඒ?“
“ මම ගන්නම් ඕකට කොල් එකක්  අරන් කියන්නම් මෙහෙම ‘‘හා.............මූද මේ පඩි ටොක් දාන කෙනා“
මට ඉතිං එයා ඇදලා පැදලා කිව්ව තාලෙට හිනා. ඒත් ඉති මොන පිස්සුවකට කොල් කරනවද? කියලා හිනාවෙලා, එහෙමම ජොබ් එකට නොගිහින් නිකන් හිටියා.
අනේ මන්දා මට අදටත් තේරෙන්නෙ නෑ මෙච්චට දියුණු වෙච්ච ලෝකෙක එහෙම අදහස් තියෙන අය ඉන්නවද කියලා. හැම වලව්වකම ඉන්න අය මෙහෙමද මන්දා?

June 17, 2012

වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....


ඔන්න ඉතිං එකෝමත්තෙක ගමක හිටියලු දහයකට වුනත් ගහන්න පුළුවන් ගෑනු ළමයෙක්. හැබැයි ඉතිං කටින් තමයිලු.ඉතිං මේ ගෑනු ළමයට පුංචි කාලෙ ඉදලම මාරම පිස්සුවක් තිබුනලූ නර්ස් කෙනෙක් වෙන්න. කවුරු හරි ඇහුවොත් ඔයා කවුරු වෙන්නද ආස කියලා ගත් කටටම කියන්නේ නර්ස් කෙනෙක් වෙන්න ආසයි කියලලු. හේතුව ඇහුවහම කියන්නේ ලොකුම ලොකු අඩි උස සපත්තු දාගෙන ටකස් ටකස් ගාලා යන්න පුළුවන්නේ ඒක නිසා කියලලු. විකට ඇදුම් තරග වලට යද්දිත් ගෙදර බිම පෙරලී පෙරලී අඩන්නේ මට ‍නර්ස් කෙනෙක් වෙන්න ඕන කිය කියාලු. ඒත් ඉතිං නර්ස්ගෙ ඇදුමට හුගක් වියදම් වෙන නිසා මෙයාට හැමදාම විකට ඇදුම් තරගෙ වෙන්න වුනේ කපුමහත්තයෙක්මලූ. ගෙදර තියෙන දුඹුරුපාට කොට් එකයි කළු ලොකු කුඩයයි අරන් ගිහින් හැමදාම මෙයා කියන්නේ
‘‘ඇති දේවල් නැති කර කර
නැති දේවල් ඇති කර කර
අතන මෙතන ගිහින් කියන
මගුල් කපුවා මං”
හැබැයි ඉතිං විකට ඇදුම් තරගෙට ඔහොම රගපෑවට මෙයා අද තාවනතුරු හොදම යාළුවට ඇරෙන්න එකම කපුකමක්වත් කරලා නැතිලූ.:D විකට ඇදුම් තරග වලට වෙන්න බැරි වුන නර්ස් ලොකු වෙලා හරි වෙනවා කියලා හිතාගෙනලු මෙයා හිටියේ. 

ඉතිං නර්ස් පිස්සුව තියෙන මේ වෙන්ඩ නර්ස් නෝනා යනවලු දවසක් තව මිස් කෙනෙක් එක්ක අසනීප වෙලා දැඩිසත්කාර ඒකකයේ ඉන්න මිස් කෙනෙක්ව බලන්න. ඇතුලට යන්න බැරි නිසා විදුරුවෙන් බලන් ඉන්න මෙයා මෙන්න බොලේ හෙමිහිට වීදුරුවට හේත්තු වෙලා බිමින් වාඩිවෙනවලු. ඒක නිසා යාන්තම් නොවැටි බේරුනාලු. ඉතිං එදා මෙයාව එක්කර ගිය මිස් බනිස්, ක්‍රීම් සෝඩා කන්න අරන් දීලා ගෙදරටම ඇරලවලලු ගියේ.
ඉතිං එදා කාපු පරිප්පුව නිසා මෙයා හිතා ගන්නවලු ආයෙම ඉස්පිරිතාලෙකට  යන්න තියා හිතන්නෙවත් නෑ,වෙන්ඩ හිටිය නර්ස්කමත් ඕනෙම නෑ කියලා.‍ඉතිං මේ පුංචි ගෑනු ළමයා ‍ඔන් ජොබ් කරන වයසටත් එනවලූ.
ඉතිං මෙයාට එහෙම ඇවිල්ලා වැඩ කරද්දි හොදම යාළුවෙක්ගේ තාත්තෙක් කළුබෝවිල නතර වෙලා ඉන්නවා කියලා ආරංචියක් එනවලු. ඉතිං මෙයා අම්මා යද්දි අම්මා එක්ක දැන් ලෙඩා බලන්න යන්නලු හදන්නේ. ‘නෑ නෑ ඔයා එන්න ඕනෙ නෑ ඔයා ඉන්න’ කියලා කිව්වත් මේයා කියනවලූ ‘නෑ නෑ අම්මේ දැන් මට හොදට ගඩ්ස් තියෙනවා බය වෙන්න කිසිම දෙයක් නෑ’ කියලා. එහෙම කියලා අම්මා එක්ක ලෙඩා බලන්න යනවලූ.
ඉතිං කාලෙකින් දැක්ක යාළුවගෙ අම්මයි තාත්තයි තව අනිත් ලෙඩා බලන්න ආපු කට්ටියයි එක්ක හිනා වෙවී ඇද ලග හිටගෙන මෙයා කතා කර කර ඉන්නවලු. එහෙම ඉන්න කොට මෙන්න මෙයාගෙ ඇස් දෙක නිලංකාර වෙලා ඉස්පිරිතාලෙ උඩ යනවා පේනවලු. වෙන්නෑ කියලා ආව නිසා දැන් අම්මට කියා ගන්නත් බෑලූ. ඉතිං ඉස්පිරිතාලෙ පෑන් එක නිකන් උඩ යනවා වගේ පෙනවත් එක්කම එයාට මොකද්දෝ වුනාලූ. මූණට වැටිච්ච වතුර නිසා මෙයා ඇස් ඇරිලා බලද්දි නර්ස්ලා , වාට්ටුවේ හිටිය ලෙඩ්ඩු, බලන්න ආපු අය හැමෝම මෙයාව වටකරගෙනලූ. එයා අර බලන්න ආපු ලෙඩාගෙ ඇදේලූ. දැන් ඉතිං මේ ලැජ්ජාවට ඇස් ආයම පියා ගන්න හිතුනත් මෙයා යාන්තම් ඉතුරු කරන් හිටිය ගඩ්ස් ටික අරන් බස්සලූ ඇදෙන් බිමට. එහෙම බැහැලා ඉක්මනින්ම ශේප් එකේ අම්මා එක්ක එනවලු ගෙදර යන්න. එහෙම එද්දී අම්මා කියනවලූ ‘‘කිව්වනේ එන්න එපා කියලා. ‍තව පොඩ්ඩෙන් අර නර්ස් සේලයිනුත් දෙනවා.” මේන්න මෙයා ඒ ගමන කියනවනේ “අපරාදෙ අම්මේ.එහෙනම් අපි හෙටත් ගිහින් ඒ සේලයින් ටික අරන් එමු’’ කියලා.
 
ඔන්න ඉතිං මධු මාමා ඇතුළු පිරිස හූ කියන්න හිනා වෙන්න බෑලු අලී. මේ පුංචි කෙල්ල එහෙම වැටුනට මොකද අනේ සයුරි අක්කගේ ලොකුම ලොකු අයියලත් මෙහෙම වැටෙද්දී.

සැ.යු. ආ දැන් මෙයාට මෙහෙම වෙන්නේ නැතිලූ. මොකද ඩෙංගු මදුරුවෙක්ගෙ පිහිටෙන් මෙයා ඉස්පිරිතාලෙ ගෙදරවගේ කරගෙනලූ..හිකිස්....

May 8, 2012

අජ්ජාපචාවක් ගියෙමි


පුංචි කාලේ සිද්ධි කාලෙකින් මතක් වුනා. ආ මතක් වුනා නෙවෙයි තාත්තා මේ ලගදී ඔන්න කොල් කරලා මේක මතක් කරලා මට විහිළු කලා.අනේ ඉතිං මේක නම් වුනේ බට්ටි බටුම කාලේ. නැත්නම් ඉතිං මේ වගේ මැටි  කතාවක් කියාවිද? මම එහෙම හිතන් හිටියට හැබැයි ඉතිං අදටත් අපේ අසේල පොඩ්ඩි නම් කියන්‍නේ මට BM.ඔන්න ඉතිං තේරුම එහෙම අහනවා එහෙම නෙවෙයි හොදේ.
ඔන්න ඉතිං මේ සිද්ධිය වෙනකොට මම ඊට කලින් කවදාවත් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින් තිබුණේ නෑ. ඉතිං පන්ති භාර මිස් ඇවිත් හැමෝටම කිව්වා අධ්‍යාපන චාරිකාවක් යනවා කියලා.යනවා කිව්වේ ග්‍රහලෝකාගාරේ බලන්න. ඉතිං මිස් කිව්වා යන්න කැමති කට්ටිය ගෙදරින් ලියුමක් අරන් එන්න සල්ලි එක්ක කියලා. මම නම් ඒ වෙද්දී ඔය ග්‍රහලෝකාගාරේ කියන්නේ මොකද්ද කියලා හරියටම දැන ගෙන හිටියේ නෑ. කොහොම හරි ලොකු අක්කා කෙනෙක් ගෙන් ඇහුවහම එයා කිව්වේ අහසක් තියෙනවා.හෙන කළුවරයි. අපිට තියෙන්නේ උඩ බලාගෙන ඉන්න විතරයි කියලා.

එදා ඉතිං ඉස්කෝලේ ඉවර වෙලා මම පිම්මේ දිව්වා ගෙදර. හරියටම ඉස්කෝලේ ලග ඉදලා ගෙදරට තියෙන්නේ මීටර් 400යි. ආ දුර හරියටම දන්නේ ක්‍රීඩා උත්සව කාලෙට මීටර් 400 පටන් ගන්නේ අපේ ගේ ඉස්සරහයින් නිසා. ඉතිං ඔය තරම් පුංචිම පුංචි දුරක් තිබුණට ඉස්කොලෙදි මිස් කිව්ව අර නොතේරෙන වචන ටික ගෙදරට එද්දී බට්ටිට අමතකයි. දැන් ඉතිං මොනවා කරන්නද? 
මතක විදියට මම තාත්තට කිව්වා “අනේ තාත්තේ මටත් අජ්ජාපචාවට යන්න ඕන’’ කියලා.මේක ඇහුව ගමන් තාත්තා පුදුම වෙලා මම දිහා බලලා කියපි
“ඒ කොහේද බට්ටෝ ඒ. කොයි දීපංකරේ තියෙන තැනක්ද ඒ”.
“නෑ අනේ ..මිස් කිව්වා අජ්ජාපචාව කැමති ළමයි සල්ලියි ගෙදරින් ලියුමකුයි ගේන්න කියලා”
ඒක කියපු ගමන් ගෙදර කට්ටිය බඩ අල්ලාන් හිනා. සල්ලි තියා ලිව්වවත් දෙන්නම් නොකියා තාත්තත් හිනා වෙද්දී මට ඉතිං හොදටම කේන්ති ගියා. ඇයි අනේ මොන වරදක් කලාට ද මෙයාලා මේ තරම් මට හිනා වෙන්නේ.
“ ඔව් ඉතිං මම විතරනේ කොහේවත් යවන් නැත්තේ. අනිත් දෙන්නා කිව්වොත් ඕන තැනක යවනවා.”
මෙන්න බොලේ ඒ ගමන අක්කා කියපි
“ හා කියනවා බලන්න කවදද මම ඔය කියන එකේ ගියේ කියලා”
“යනවා යන්න බොරු නොකිය. ඇයි ඉස්කෝලෙන් දහම් පා‍සලෙන් කිය කිය කී පාරක් ගියාද?”
“අයියෝ මෝඩයෝ ඒ අධ්‍යාපන චාරිකානේ”
චිකේ මෙහෙමත් චා  වීමක්. දැන් ඉතිං මොනවා කරන්නද? චා වෙලා හරි කමක් නෑ ගමන යන්න තියෙනව නම්.
“හරි දැන් මොකක් බලන්නද යන්නේ” ඒ ගමන තාත්තා ඇහුවා. කාලා වරෙන්කෝ. මට දැන් යනවා කිව්ව තැනේ නමත් මතක නෑ.  
“මේකයි නිලූ අක්කගෙන් මම විස්තරත් අහන් ආවේ. කළුවරම කළුවරයිලු. අහස තමයිලූ පෙන්නන්නේ. අනේ බෙල්ල ටිකක් බලන් ඉද්දී රිදෙනවා කිව්වා.ඒත් මම ආසයිනේ තරු දිහා බලන් ඉන්න.”
ඒ ගමන නම් කට්ටියටම යන තැන මීටර් වුනා. කොහොම හරිනොදන්න භාෂාවෙන් කියලා වැඩේ යාන්තම් ගොඩ දාගත්තා. එක දවසේ ට්‍රිප් එකකට අපි කොළඹ ආවා. ඒත් මගේ හොදම යාළුවට මගදී කාපු කෑමක් නිසා වමනයක් හැදුනා. වෙන ළමයෙකුගේ අම්මෙක් හිටියත් එයා එක්ක ඉන්න බෑම කිව්ව නිසා මම බස් එකේ නතර වුනා. ග්‍රහලෝකාගාරේ බලන්න ගියේ නැති වුනාට එද්දී ගෝල් ‍ෆේස් නම් ගියා. හැබැයි ඉතිං බට්ටි අදටත් ග්‍රහලෝකාගාරේ නම් බලලා නෑ.
ඔන්න ඉතිං ඕක තමයි බට්ටි ගියපු පළවෙනි අජ්ජාපචාවට වුනේ.:D

March 5, 2012

දත කඩා ගත්තෙමි ...


පාසල් කාලය කියන්නේ කොයි තරම් සුන්දර කාලයක්ද? ඉතිං ඒ මතක අපි කොහොම අමතක කරන්නද? බට්ටි මේ කියන්න යන්නේ බට්ටි 5 වසරේ ඉන්න කාලේ බට්ටිට වෙච්ච දෙයක්. ඕං හිනාවෙනවා එහෙම නෙවෙයි හොදද?
අපේ ඉස්කෝලේ තිබුනේ ලස්සන කන්දක. ඉතිං හැම පන්තියකටම යන තැන්වල පඩිපෙල් තිබුණා. ඒ දවස්වල පොඩි විවේකයක් ලැබුණ ගමන් අපි කරන්නේ පඩිපෙල් පනින එක. පඩිපෙල් පනිනවා කියන එක හැමෝම දන්නවනේ? නොදන්න අයට දැන ගන්න එක්ක කියන්නම්කෝ. පඩිපෙල පහලම එක ළමයෙක් ඉදගෙන අංක කියනවා. අනිත් ළමයි ටික එයා කියන අංක පැනගෙන පැනගෙන ඇවිත් බිමපාගලා උඩට දුවන්න ඕන. පස්සෙම බිම පාගන කෙනාට තමයි ඊලගට අංක කියන්න වෙන්නේ.
අපි ඉතිං සුපුරුදු පරිදි බුදු මැදුරට යන පඩිපෙල පනින්න එදත් දුවල ගියා. එදා නම් පඩිපෙලේ පළලට වඩා ළමයි හිටියා. හැමෝම හිටියේ හිරවෙලා. කවුරුත් කැමති වුනේ නෑ අයින් වෙන්න. හැමෝටම ඕන වුනේ එකපාර සෙල්ලම් කරන්න. මගේ කරුමෙටද මන්දා මම හිටියේ පෙලියේ අයිනෙම.එකයි කිව්වා පැන්නා. එකපාරටම මෙන්න තුනයි කිව්වා. ඒකත් පැන්නා. පැන්නා ... පැන්නා තමයි කොහේටද දෙයියනේ පැන්නේ? මගේ එහා පැත්තේ හිටිය නදී ඇවිත් එක පාරටම ඇගේ හැප්පුනා. හිතා ගන්න පුළුවන්නේ හැමෝටම මහාමේරු පර්වතේ වගේ ඉන්න නදී ඇවිත් මේ බටු ඇටයක් තරම් බට්ටිගේ ඇගේ හැපුනහම කොහොම විසිවෙන්න ඇද්ද කියලා. (හැබැයි ඕං චිත්ත රූප මවා ගනිද්දී මාව පැරෂුට් එකක් ගානට පියාඹනවා එහෙම මවා ගන්නවා නෙවෙයි හොදද?) ඒ පර්වතේ ඇගේ වැදුනා විතරයි මම විසිවෙලා ගිහින් කන්දෙන් පහලට වැටුනා. අම්මෝ නැගිටින්න හිතන්නත් කලින් මෙන්න අර පර්වතේ වැටුනේ නැතියි ජබොග් ගාලා මගේ ඇග උඩට. දැන් ඉතිං බට්ටි ‍නැගිටින්න තියා හෙලවෙන්නවත් හිතන එක බොරු.
නදී එක පාරටම නැගිටලා ‘අයියෝ ලේ ලේ” කියලා දිව්වා. ‍වේදනාවක් ලොකුවට දැනුනේ නැතිවන නිසා එයා එහෙම ලේ ලේ ගාගෙන දුවද්දී මම හොදටම බයවෙලා නැගිටලා බැලුවා. එයා කෑ ගහගෙන ගිය තරම් ලේ තිබුනේ නෑ. මගේ තොල පොඩ්ඩක් කෙටිලා තිබුණා. ඉස්සරහ දත් දෙකෙන් එක දතක පොඩ්ඩක් කැඩිලා තිබුණා. ඒ සලකුණ නම් තාමත් තියෙනවා. මොකද ලේනා කිරි දත අරගෙන කැකුළු දත දීලා මාස කීයද වුනේ මේක වෙද්දී. වාසනාවකට වෙන මුකුත් වෙලා තිබුනේ නෑ. කට පුරාම වැලි නිසා ළමයි ටික එක්ක ගිහින් හෝද ගෙන මම පන්තියට ගියා.
මෙන්න යද්දී නදී හූ තිය තිය අඩනවා. එයාට හීරීමක්වත් නෑ. මම ලගට යද්දී තවත් හයියෙන් අඩන්න ගත්තා.
‘ මම ඔයාව තල්ලු කලේ නෑ. ඔයා තමයි මාවත් ඇදගෙන වැටුනේ. ** මාමට කියන්න එපා. අනේ මං එයාට හුගක් බයයි”
මාර වැඩේ මේ අපේ තාත්තගේ නම කිය කිය අඩන්නේ. මට තුවාල වුනාට ගෙදර ගිහින් කියයි කියලා බයේ.
‘‘ නෑ අනේ මම කියන්නෑ. ඔයා එක් හිතලා කලේ නෑනේ.” එහෙම කියලා මම එයාලග තියෙන මගේ පුටුවේ වාඩිවෙන්න හැදුවා. අහක බලන් වාඩිවෙන්න හද්දිම මෙයා පුටුව ඇදලා ගත්තා. අනේ බට්ටි පස්ස බිම ඇන ගෙන ආයෙම වැටුනා. දැන්නම් ඉතිං සාම ඉවරයි. ඇයි අනේ මේ මොන වරදක් කලාටද?
‘‘දෙනවා එදා මගෙන් කාපු පැණියි පානුයි”
මලා මෙව්වට තමයි කියනවා ඇත්තේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා. මමත් ඉතිං කට පියාගෙන හිටියේ නෑ ගත් කටටම මාත් කිව්වා
‘‘හරි එහෙනම් එදාම මගෙන් කෑව පරිප්පුයී පානුයී මටත් ආපහු ඕන”
‘‘ පරිප්පුයි පානුයි හැමෝම ගේනවනේ. පැණියි පානුයී ගේන්නේ මම විතරයි. ඇරත් ඔයා එදා මට දුන්නේ කලින් දවසේ රෑ හදපු පරිප්පු නේද?”
ඉදලා ඉවරයි මුන්දෑ පන්තිය මැද්දාවේ මගේ සායම යවනවා. දැන් ඉතිං මොක කරලා හරි මේ කට නම් වහන්න ඕන.මම ඉතිං දහ අතේ පොරෙන්නදු දුන්නා . මොන එයා නෙවෙයි අහන්නේ. එයාට ඒ කාපු ඒ පාන් කෑල්ල ඒ පැණි ටිකයි එක්කම ඉල්ලනවා. මේ ලෝකේ මනුස්සයෙක්ට තියා සක්කරයගේ පුතා වයිමටවත් කරන්න පුළුවන් වැඩක්ද අනේ ඒක?
හරි මෙහෙම වැදලා හරි යන්නෑ මම කිව්වා
‘‘හරි හරි  මම ඒකම මවල හරි ගේන්නම්කෝ. ඉන්න මම ගිහිපු ගමන් තාත්තට කියනවා ඔයා තමයි මගේ දත කැඩුවේ කියලා.”
ඒ ගමන නම් නදී බය වුනා.
“ ඕනේ නෑ ඔයා වාඩි වෙන්න. හැබැයි ආයෙ මම ඔයාට කවදාවත් පැණියි පානුයි දෙන්නෑ”
ඉතිං එදා ඒ සිද්ධිය එහෙම වුනා කියලා අපි තරහා වෙලා හිටියේ නෑ. පුරුදු විදියටම ඊට පස්සෙන්දම අපි යාළුවුනා. ඒත් ඉතිං සිද්ධියට අපිට තාමත් හිනා. එයාට අපි දැනටත් විහිළුවට පැණියි පානුයි කියනවා. ඉස්සර කාලේ කරපු මේ බොලද සිද්ධි මතක් වෙද්දී හොදටම හිනා. ඔන්න යාළුවෝ අනුන්ගේ කෑම කද්දී පරිස්සමින් හොදද?