November 18, 2011

කොහොමද අනේ මෙහෙම යන්නේ.........?


මේක නම් හරි යන්නේ නෑ. කවද වෙනකල් කියලා ඉවසන්නද? අද වෙයි හෙට වෙයි කියලා මං කොච්චර මග බල බලද ඉන්නේ.ඒත් ඒක නම් හරියන පාටක් නෑ. 

බෙල්ට් එකක් ගත්තා අප්‍රේල්වල. අනේ ඉතිං ඒකේ තිබුණු එක සිදුරක්වත් ඇගේ තරමට හරි යන්නේ නෑ. ඇණයක් අරගෙන පුංචියට විදගත්තා ඇගේ සයිස් එකට හරියන මිම්මට සිදුරක්. දැන්නම් හරි. කලිසම වැටෙන් නැතුව රදව ගන්න ඉතිං ඕක තමයි පිහිට. ඇදුම් ගන්න ගිහින් මගේ ඉනේ සයිස් කිව්වහම පොඩි ළමයින්ගේ ඇදුම් තියෙන තැන පෙන්නනවා එතනයි තියෙන්නේ කියලා. ඒක නිසා කාගෙන්වත් සයිස් ගැන අහන්නේ නැතුව මම ලොකුවට අරගෙන ඇවිත් ඔය බෙල්ට් එකේ පිහිටෙන් තමයි අදින්නේ. 

මාසයක් විතර ඔය විදියට යද්දී බෙල්ට් එක හොදටම හිරයි. කොච්චර සතුටක්ද ඉතිං. බට්ටි මහත්වෙලා. හුරේ හුරේ කියලා මං බෙල්ට් එකේ අගල් දෙකක් විතර වැඩි කරලා විදගත්තා තව සිදුරක්. හැබැයි ඉතිං අර බෙල්ට්වල විදලා තියෙන සයිස් එකට නම් ලගපාතකවත් නෑ. ඒත් මොකද හිටිය සයිස් එකට අගල් දෙකක් මහතයි කියන්නේ ලොකු ප්‍රගතියක්නේ.
ගිය අවුරුද්දේ වෙසක් සද බැහැගෙන යද්දී ගමෙන් ආපු මං ලබමාසේ ගමේ යන්න හීන බලබල තමයි මේ දවස්වල ඉන්නේ. එච්චර කාලෙකින් ගමේ ගියහම බට්ටි සුදුවෙලා, මහත්වෙලා, හැඩවෙලා කියලා අහන්න බට්ටි හරි ආසයි. ඔහොම අහන්න ඉතිං  කවුද අකමැති නේද? 

ඒත් ඉතිං ඔක්කොම හීන වතුරේ . ගමේ යන්න තව මාසයක්වත් නෑ. දැන් ආයේ අර බෙල්ට් එකේ මුලින්ම විදපු සිදුරටත් අගලක් අඩුවෙන් සිදුරක් විදගෙන බෙල්ට් එක දාන්න වෙලා. ඒ මදිවට පෙරේදා බර කිරුවා 34ක් තිබුණ බර 31ක් වෙලා. මම නම් අක්කට කිව්වෙම ඔය බර මනිනන එක වැරදී කියලමයි. මොන එයා ඒක පිළිගන්නේ නෑ. වරදින්න විදියක් නෑලු එයාගේ බර හරියට හරිලූ. 

අපරාදේ බට්ටි ඉපදෙන්න තිබුණේ රාහුල හාමුදුරුවෝ කවි ලිව්ව කාලේ. එහෙම වුණා නම් මෙහෙම ප්‍රශ්න නෑ නේ. මොකද ඒ දවස්වල හිටියේ ඉණ මිටින් ගන්න පුළුවන් සයිස් එකේ අයනේ. ඒකයී. 

දැන් ඉන්න සයිස් එකෙන් ගමේ යනවට වැඩිය හොදයි නොගිහින් ඉන්න එක. මොකද හම්බවෙන හම්බවෙන කෙනා අනිවාර්යයෙන්ම “මොකද බට්ටි මේ ඇදිලා ගිහින් , අයියෝ බට්ටි දුවේ දැන් හිටියැයින් භාගවක්වත් නෑනේ” ඔය විදිය නානාප්‍රකාර ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න වෙනවමයි.

මේක නම් බලන් ඉදලා හරි යන්නෑ. බට්ටි කෙට්ටු එක බට්ටිට ප්‍රශ්නයක් නෙවෙයි වුණාට ගමේ අයට ඕක ලොකු ප්‍රශ්නයක්නේ. 

ගමේ යන්න කලින් මහත් වෙන්න ක්‍රමයක් දන්නේ නම් පිං ඇත්තෙක්  එය මට පවසනු මැනවි.(සැ.යු. ඌරු පෙති හැර වෙන ඕනෑම දෙයක්. මොකද ඒව බීලා ඌරෙකු වගේ මහත් වීමට නම් බට්ටී කැමති නැත.) 

කාටවත්ම වැඩේ ගොඩදාලා දෙන්න බැරි වුනොත් නම් සත්තකින්ම මම පුළුන් කෑලි දෙකක්වත් ගමේ යද්දී කන් දෙකේ ගහගෙන යනවා. මොකද මට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා.  

38 comments:

  1. අය්යෝ නංගී මහත් වෙන්නද ක්‍රම නැත්තේ.
    බත් කන්න තුන් වේලම.වැඩිය ඇග මහන්සි කරල වැඩක් කරන්නෙ නැතුව ඉන්න.තුන් වේලට අමතරව කන්න.ටික් ගාල මහත් වෙනව බත් කාලා නිදාගත්තම:)


    අපි මේ බර අඩු කරගන්න ට්‍රයි කරනව.මගෙත් 1කිග්‍රැ අඩුවෙලා.ඉතින් සතුටෙන් තමා ඉන්නෙ.

    ReplyDelete
  2. ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා බට්ටි අක්කේ... අවුරුදු 12දී තිබුණු ඉනේ සයිස් එකයි , බරයි තාම එහෙමමයි.. මෙලෝ ආත්මෙකදී ආසාවට ලේ ටිකක් දන් දෙන්න විදියක් නෑ.. මට ලේ ටිකක් දීල එවයි... :P :P :P

    මේ තියෙන්නේ මහත් වෙන්න මං අහල තියෙන ක්‍රමයක්.
    හැමදාම රෑට නිදා ගන්න කලින් , රට ඉඳි කාලා නෙස්ටමෝල්ට් වීදුරුවක් බිව්වම මහත් වෙනවලු. (ඒත් මං නම් අත්හදා බලලා නැත. මොකද මං පැණිරස කෑම වලට ආස නැති නිසා මට රට ඉඳි අරහංය.)
    පුළුවන් නම් කරලා බලලා මටත් කියන්නකෝ ප්‍රතිපල කොහොමද කියල... :) :)

    ReplyDelete
  3. අප්පෝ...බට්ටි මේ මහත් වෙන්න දඟන්නෙ මොකද...මම මේ තව කිලෝ එකක් විතර අඩු කර ගන්න දඟලනවා...බට්ටි දන්නවද ඇඟේ බර ගාන බලන්නෙ තමන්ගේ උසත් එක්ක...ඉස්සර වෙලාම බට්ටි උස මනින්න...කොච්චරද කියලා...ඒ එක්කලම නෙට් එකෙ ඉන්න ගමන් සර්ච් කරලා බලන්න ඒ උසට තියෙන්න ඕනෙ බර කොච්චරද කියලා...ඔයාට බැරිනම් මට මැසේජ් එකක් එවන්න මම බලන්නම...එහෙම නැතුව වැඩක් නෑ...

    මම ඉතින් කොහොමත් ටිකක් උස කෙනෙක්නෙ...මගේ උසේ හැටියට මට තියෙන්න ඕන බර හරි...ඔයාගෙත් අපි එහෙම බලමු....

    ReplyDelete
  4. අනේ අනේ බට්ටියේ...ඕවා ගනන් නොගෙන ඉන්න.මාත් ඉස්සර ඔහොම තමා අනේ මහත නෑ කිය කිය හිටියා.දැන් කෙට්ටුවෙන්න ක්‍රම හොයනවා මුකුත් කලේනම් නෑ.ඉබේම මහත් වුනා.කලට මහත් වේවි.බය වෙන්න එපා.උසේ හැටියට බර තියෙනවානම්,නිරෝගීනම් එච්චරයි.

    ReplyDelete
  5. මම බැලුවේ නම් මේ අඩවිය හරහා...
    http://www.halls.md/ideal-weight/body.htm

    බට්ටිගේ වයසත්...උසත්...දැන් තියෙන බරත් බලපුවම බට්ටි ඒ උස ට බර මදි...බට්ටිගේ බර කිලෝ 39 ක් තියෙන්න ඕන...දැන් ඉතින් මදි නොකියන්න හොඳ කන්න...ටිකක් පිටි සහිත කෑම..නූල්ඩ්ල්ස් වලින් එහෙම බර වැඩිවෙනවා...

    ReplyDelete
  6. @ නදී
    ඒක හරි යන්නෑ. බත් නම් මට අරහන්. උදේටනම් පාන් ඇරෙන්න වෙන සෙතක් නෑ. දවල්ටයි රෑටයි බත් කනවා නොකා බැරි නිසා.

    ReplyDelete
  7. @ Ice (අයේෂා කුලතුංග)
    රට ඉදිනම් සීයක් වුනත් කන්න පුළුවන්.ඒත් මම නෙස්ටමෝල්ට් බොන්නේ නෑ. ඊට වඩා හොදයි මට නම් හාල්පාන්ඩු වතුර ටිකකට සීනි ටිකක් දාගෙන බොන එක.

    ReplyDelete
  8. @ අක්කා (දිල් )
    ඔයා මං වැටෙන හැම වෙලාවෙම මාව නැගිට්ටවනවා අක්කේ. ඔයාට ගොඩක් පිං.

    ReplyDelete
  9. @ නිසුපා
    ඒකනම් ඇත්ත අක්කේ අනිත් අය හැරෙද්දී මට ඒක දහපාරක් කරන්න පුළුවන්. දැන ඇග තියෙන සයිස් එක වැඩ කරන තැනට නම් හොදට ගැලපෙනවා. සමහරැ විහිළු කරනවා. තැනට ගැලපෙන සයිස් එකේම කෙනෙක් ඉන්නවා කියලා. :D

    ReplyDelete
  10. @ අක්කා (දිල්)
    මලා. තව කිලෝ 8ක් . ඒක නම් ඉතිං හීනයක් තමයි.
    මොකද මං එළවළු තෝරනවා. හැම ජාතියක්ම කන්නේ නෑ. හැල්මැස්සෝ , කරවල කවදාවත් කාලා නෑ. මාළුත් හිතුනොත් කනවා නැත්නම් නෑ.
    හැබැයි ඉතිං කොත්තුමී නූල්ඩ්ලස් නම් දෙයියෙක්.

    ReplyDelete
  11. ඔහොම කියලා බෑ. ඔයා නදී අක්කා කියන විදියට හරියටම කරා නම් අනිවා ඔයා මහත් වෙන එක නවත්තන්න මොකාටවත් බෑ. මම දන්නවනෙ අපෙ නදී අක්කා ගැන.

    මමනම් මාස ටිකකට උඩදි කලිසං සෙට් එක්කම අයින් කරන්න වුනා මහත් වෙලා. අපරාදෙ කලිසං ටික. :(

    ReplyDelete
  12. හනේ හපොයි, බට්ටිටත් තියෙන ප්‍රශ්න

    01. මුලින්ම දොස්තර මහත්තයෙක් හම්බ වෙලා, ඔයා කනබොන දේවල් ඇඟට උරා නොගන්න මොකක් හරි හේතුවක් තියෙනවද කියලා හොයල බලන්න.
    02. පණු බෙහෙත් එහෙම කලට වෙලාවට බොන්න.
    03. උදේට බත් කන්න අකමැතිනම් ඇට වර්ග කන්න (කඩල, මුන් ඇට, කව්පි වගේ දේවල්)
    04. කොල්ලෙකුටනම් බර වැඩි කරගන්න බියර් කියන්නෙ කියාපු බෙහෙත, ඒත් බට්ටිට.... ?
    (මෙහෙනම් Non-Alcohol Beer කියල ජාතියක් තියේ, ඒත් ලංකාවේ තියෙනවද දන්නේ නැහැනේ- අපේ කරුමෙට මෙහේ තියෙන්නේ ඒවා විතරමයි)
    05. නෙස්ටොමෝල්ට් වලත් මෝල්ට් තියෙන නිසා අර ICE කිව්වා වගේ ඒකත් කරලා බලන්න, එතකොට බියර් බොන්න ඕනේ වෙන එකක් නැහැ.
    (ඒත් ඒකෙන් බියර් වලින් වගේ බර වැඩි කරනවද කියල මම දන්නේ නැහැ බට්ටියෝ)

    කවුරුත් මට බනින්න එහෙම එපා මම පොඩි උන් නරක් කරනවා කියලා
    දන්නා කියන වටිනා බෙහෙතක් කියල දුන්නේ ;-)

    ReplyDelete
  13. @ සීතල අයියා
    හැමෝම මහතයි කියලා කෙට්ටු වෙන්න හදනවා. මට ඔය හැමෝගෙම්ම කිලෝ එක එක ගන්න පුළුවන් වුනා නම් නියමයි.

    ReplyDelete
  14. @ ලොකු පුතා
    1 දොස්තරලා ගෙන් ඇහුවත් කියන්නේ කවෙලාව ආවහම මහත් වෙයිලූ. කිසිම ලෙඩක් නෑලූ.
    2. ඔව් ඒක නම් අකුරටම කරනවා.
    3.කඩල වලට නම් ආසයි. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙත් හැබැයි මට කඩල ඇටයක්ට දෙකක්ට වඩා කන්න වෙන්නේ නෑ . මොකද මම ඒකේ තියෙන පොත්ත කන්නේ නෑ.
    4. අපේ ජීවිතේ පුරාම දුක තැවරැනේ ඔය මධ්‍යසාර නිසා. ඒක නිසා මම කිසිම දවසක මොනයම් හෝ හේතුවක් උඩවත් ඔය දේනම් පාවිච්චි කරන්නේ නෑ.
    කොහොම වුනත් ලොකූ අදහස් ටිකට ස්තූතියී. බට්ටිගේ අම්මා කියන්නේ බට්ටි කෙට්ටු වෙන්නේ කෑම තෝරන නිසාලූ. ඒත් ඉතිං මට ඔය පුරැද්ද නැති කර ගන්න බැරැවයි ඉන්නේ.

    ReplyDelete
  15. මහත කෙල්ලෝ කෙට්ටු වෙන්න දඟලන එක නම් සාධාරණයි කියමුකෝ එත් මේ කෙට්ටු කස්ටිය ඇයි මහත් වෙන්න දඟලන්නේ??? ජාතික අපරාදයක්නේ....:D

    ReplyDelete
  16. නෑ නෑ මහත් වෙනවා කියන්නේ අර කෙහෙන් කැපුවත් කිලෝ එකයි සයිස් වෙන්න ඕන කියන එක නෙවෙයි. .....:P

    ReplyDelete
  17. හ්ම්ම්ම්..................
    බට්ටිව කියෙව්වා................!

    බට්ටිට ජය ....................!

    අයියෝ කෙට්ටු වීම ගැන වොරි වෙන්න එපා අප්පා.....


    අර අම්ම කියල තියෙන දේ ඇත්ත වගේ...
    ඒත් කොහොමද අප්පා අකමැති ජාති කන්නෙ...

    ReplyDelete
  18. කෑවට පස්සේ ඇග මහන්සි වෙන වැඩ නොකර ඉන්න.. පුළුවන්නම් හොදට නිදා ගන්න.. එතකොට ඉක්මනට මහත් වේවි අක්කේ....

    ReplyDelete
  19. හයියූ..අපි මේ කෙට්ටු වෙන්න දගලනවා.. මෙයා මහත් වෙන්න ගදලනවා.. සංසාරේ... :D
    අපි පිගන් දෙක මාරු කරගම්මුද ? :D

    ReplyDelete
  20. අම්මෝ එතකොට මම් බට්ටි වගේ දෙගුණයකටත් වඩා වැඩියි නේ!!!
    බට්ටි බෙල්ට් එකේ සිදුරු තියෙන හරියට මෙහායින් හිල් විදලා බෙල්ට් එක දානවා. මම් කරන්නේ බෙල්ට් එකේ හිල් තියෙන තැන් ගොඩක් ඈතින් විදිනවා. බර අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ??? :)

    ඔයා තුන් වේල බත් කන්න. කිරි ආහාර චීස් බිත්තර කන්න. තව පොඩි දෙයක් තමා ඔයා දශමූලාරිෂ්ටය ගෙනත් බොන්න. ඒකෙන් කෑම රුචිය වැඩි වෙනවා.

    ReplyDelete
  21. හප්පේ උස කීයද මං හිතුවෙ මගේ ගෑනු ලමයට විතරයි ඔය පුරස්නෙ කියලා හෆොයි........... ඔය උසේ හැටියට තමා බොහොවිට බර හැදෙන්නෙ හැබැහි සමහර වෙලාවට සරීර කූඩුවෙ හැටියට වෙනස් වෙනවා........ ඒ කීවෙ ඇගේ හැඩේ එහෙමෙ , කෝකටත් හොද දොස්තර කෙනෙකුට පෙන්නන්ඩ කො නැත්තන් අපේ නලිනි නෝනට හරි මහ වෙදනට හරි කියලා බලන්ඩ ..............

    ReplyDelete
  22. මෙව්වට ඉතිං හිනා වෙනවා ඇර වෙන මොනව කරන්නද..?දන්න හින්දා කියන්නේ මහත් වීම කොහොම වෙතත් අර කඩදාසි හුලගෙ යනවට බරට තියන එව්වයින් දෙකක් සාක්කුවල දාං මිස පාර තොටේ එහෙම යනවා නෙවෙයි ඕං..පස්සේ අපි නැහැ...

    ReplyDelete
  23. ඔයාට කියන්න ඔය ප්‍රශ්නෙම මටත් තිබුනා...ඉස්සර මාව දකින අයට මාව මේසයක් උඩ තියලා පේපර් වේට්‌ එකක් තියන්න හිතෙනවලු හුළගේ යයි කියලා...ඒ දවස්වල හැබැයි දැන්නම් දෙයියනේ කියලා ෂේප් එකට ඉන්නවා...

    ReplyDelete
  24. ඔක්කොටම හේතුව හිතේ ප්‍රශ්න අක්කේ. හිතේ ප්‍රශ්න නිසා තමයි ගොඩාක් කෙට්ටු වෙන්නේ,, මම ත් කාලයක් උසට සරිලන මහතක හිටියා. දැන් මාත් ඇදිලා ගිහින් කියල හැමෝම කියනවා,.. කන එව්වා නම් වෙලාවට කරනවා. එත් මහත් වෙන්නේ නැහැ,, :((((

    ReplyDelete
  25. මම දන්න කෙල්ලො හුඟක් කෙට්ටු වෙන්න දගලනවා.. උන් නොකා නොබී දුව පැන පැන විදින දුක දැක්කම බට්ටි ඔය ගාන ශෝක් කියල හිතෙයි... වයස නම් දන්නෙ නෑ නෙව... ඒත් වයස ආවම මහත් වෙයි...

    මට වගේ මහත් නොවෙන ලෙඩක් ද දන්නෙ නෑ... මම නම් කොච්චර කෑවත් මහත් නොවෙ... ඒත් බඩ ඒමේ ප්‍රවනතාවක් තියෙනවද මන්ද

    ReplyDelete
  26. @ නිශ්
    ස්තූතියි යාළුවේ. ‍ඒකනේ කොහොම කන්නද? මම ඒ වෙලාවට බත් යටින් දාගෙන ඉදලා හෙමින් ගිහින් විසිකරනවා.

    ReplyDelete
  27. @ Dinesh
    ඔව්ව නම් කරන්න බෑ මලයෝ. මං කරන වැඩ රාජකාරී දැක්කොත් ඔයා කලන්තේ දාලා වැටෙයී.

    ReplyDelete
  28. @ Bunny
    නියම අදහස අනේ. කොහොමද ඖක කරන්නේ.මම එන්නද ලී මෝලට නැත්නම් ඔයා එනවද පිගානත් අරගෙන.:D

    ReplyDelete
  29. @ මධුරංග
    දශමූලාරිෂ්ට නියමයි. කෝ ඒත් කිසිම ප්‍රගතියක් නෑ. හැබෑටම මේ ඇහුවට තරහ වෙන්න එපා කොහෙමද ඔය තරම් මහත් වෙන්නේ.

    ReplyDelete
  30. @ sameera
    ඒකත් හිතුවා. කවුරැ හරි නොකිව්වොත් ඒ දෙන්නගෙනවත් අහල බලන්න ඕන කියලා. හැබැයි මම දැන් ඉදන්ම රටඉදි නම් කන්න පටන් ගත්තා.

    ReplyDelete
  31. @ අයියා (මාර)
    මදැයි අහගත්තා. ඔහොමද හැබෑටම නංගිලා අමාරැවේ වැටුන වෙලාවට පිහිට වෙන්නේ.

    ReplyDelete
  32. @ සයුරි
    මටත් මාර අයියා ඔය ටිකමනේ කිව්වේ. ඔයා කොහොමද ෂේප් වුනේ.

    ReplyDelete
  33. @ වර්ණා
    ඒත් නංගෝ මං ජීවිතේ සතුටින්ම ඉන්නේ දැන. එහෙම වෙලත් ඇයි මෙහෙම වෙන්නේ කියලයි ප්‍රශ්නේ.

    ReplyDelete
  34. @ පිස්සා පලාමල්ල
    අපේ අම්මත් ඉස්සර මං වගේලූ. දැන් ඔක්කෝටම හරියන්න මහතයි. මමත් එහෙම පස්සේ මහත් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  35. අනේ චුටි බට්ටි ඔය කාලේ කෙට්ටුවට ඉන්න, පහු වෙද්දි කොහොමත් මහත් වෙනවා. දැන් ඉඳලම මහත් උනොත් පහු කාලෙකදි ඔයාට ඉස්සරහින් බැකෝ එකක් යවන්න වෙය් පාර ක්ලියර් කරන්න. මමත් පොඩි කාලේ හොඳටම කෙට්ටුය්, හැබැය් පස්සෙ ඉබේම මහත් උනා. වැඩිය හිතන්න එපා ඒ ගැන.

    ReplyDelete
  36. අනේ.... මටත් ඔය ප්‍රශ්නෙමයි... මහත් වෙන්න මාත් මාරම අඅසයි..කෝ බෑනෙ

    ReplyDelete
  37. අනේ බට්ටියෝ ඔයා යාලුවෝ කියන ඒවා කරලා හරිගියොත් මටත් කියන්න හොදේ..හිකිස්..

    ReplyDelete
  38. අනේ මමත් මාර කෙට්ටුයි..මටත් තියෙන්නේ මහත් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙම තමයි..බර 43 යි..උස 160cm..මහන්සි වෙලා වැඩක් කරන්නෙත් නෑ..උදේ ඉදලා හවස් වෙනකම් වාඩි වෙලාම තමයි ඉන්නෙත්..මෙලෝ රහක් නෑ..කෙල්ලක් නම් කෙට්ටු වුනාට අවුලක් නෑ නෙ.ඒත් කොල්ලෙක්ට එහෙම බැ නෙ..ආසාවට වත් ලේ ටිකක් දන් දෙන්න විදිහක් වත් නෑ නෙ මෙහෙම ඉදල..

    ReplyDelete