Showing posts with label බට්ටිගේ කතා. Show all posts
Showing posts with label බට්ටිගේ කතා. Show all posts

March 22, 2012

දරදඩු සිත



“තමුසෙගේ නම මොකද්ද ? ”
“ සිරිපාල රාළහාමි”
“ සිරිපාල රාළහාමි... මාර නමක්නේ අයිසේ ”
“ නෑ රාළහාමි මගේ නම සිරිපාල”
“ සිරිපාල හිගාකන්න පටන්ගෙන දැන් කොච්චර කල් ද?”
“අවුරුදු 12ක් වෙනවා රාළහාමි”
“ හ්ම්ම් ....සෑහෙන්න කාලයක්. අධි ආරක්ෂිත කලාපේ හිගා කන්න යන්න එපා කියලා අපි තමුසෙලට කොච්චර කියනවද? මොන හයියක් අරන්ද ඕයි ඒකෙම රිංගන්නේ”
කිව යුත්තක් නොමැති වූ නිසා මම ගොළු වුනි. එදින මා ඒ තුලට ඇතුල් වූයේ කැමැත්තකින් නොවේ.
“ කියනවා බලන්න තමුන්ගේ විස්තර ටිකක්”
“මම ඉපදුනේ හුගක් ඈත ගමක. කලවය ගියත් මම විවාහයක් කර ගන්න කැමති වුනේ නෑ රාළහාමි. ඒත් එන්න එන්නම වයසට යද්දී මට තේරුනා තනියම ජීවත් වෙන එක ලේස් නෑ කියලා. ඒ වෙද්දී මට අවුරුදු 55ක්. අක්කගේ දරුවන්ට කරදරයක් වෙන්න බැරි නිසා මම හිතුවා කොහේ හරියන්න. එහෙම ඔළුව හැරුන අතේ යනවා කියලා හිතාගෙන එළියට බැහැලා ආපු ගමන තමයි මේ රාළහාමි.”
“ එතකොට සිරිපාල එහෙම ආවේ තමුසෙට ඒ අය නොසලකන නිසාද?”
“අනේ නෑ. රාළහාමි උන් මට හුගක් ආදරෙයි. අක්කගේ හැම දරුවම ලොකු ලොකු තැන්වල ඉන්නවා.මම මෙහේ ඉන්නවා දැනගෙන උන් කීපපාරක්ම ආවා මාව එක්කරගෙන යන්න. ඊට පස්සේ තමයි රාළහාමි මම මේ රැවුලයි කොණ්ඩෙයි වවන්න පටන් ගත්තේ. උන්ට මාව අදුන ගන්න බැරි වෙන්න.”
“ අපිට දැන් තමුන්ව නිදහස් කරන්න අනිවාර්යයෙන්ම කෙනෙක් ඕන.”
කලයුතු කිසිවක් නොමැති තැන මම ඔහේ කල්පනා කලේ කාගේ මාර්ගයෙන් මෙතැනින් පිට වෙන්නද කියාය. තිබුනේ එකම පිහිටක් පමණි. ඒ මගේ අක්කගේ නිවසට මේ ගැන දැනුම් දීම පමණි.
“රාළහාමි අක්කගේ ගෙදර අංකේ නම් මගේ ලග තියෙනවා. උන්ට කිව්වොත් නෑවිත් ඉන්න එකක් නෑ. ලොකු මුණුබුරා මට හුගක් ආදරෙයි.”
“නම්බර් එක වැඩ කරයිද?”
“වැඩ කරනවා රාළහාමි. මම මේ ලගදීත් අර ගෙන උන්ගේ කටහඩ අහලා තිබ්බා.”
“ මොකද මනුස්සයො ඔය විදියට දුක් විදින්නේ. මැ‍රිච්ච දවසක බල්ලෙක් බළලෙක් වගේ රජයෙන් වළලාල දාවි. එහෙම නැතුව තමන්ගේ මිනිස්සුන්ගේ කරපිටින් ඒ ගමන යනවාකෝ.”
රාළහාමිගේ අත නිවසේ අංකය තැබුවේ මෙතැනින් පිටවීමට වෙනත් ක්‍රමයක් නොවුනු නිසා පමණි. දැන් නැවතත් ගමේ යෑමට මගේ හිත කොහොමටවත් හදා ගන්නට නම් නොහැකි බව මම සක්සුදක් සේ දැන සිටියෙමි. ගමේ බොහෝ දෙනෙක් මා මෙහි සිටින තත්වය දනී. මට ගමට ගොස් ඔවුන්ට මුහුණ දීමට ශක්තියක්ද නැත.
විස්තර දැන ගත් පසුව ලොකු මුණුබුරා මා කැටුව යෑමට පැමිණෙන බව රාළහාමි පැවසුවේ සිනාමුසු මුහුණෙනි. ඔහුට සිනාසී මාද සතුටු වන බව ඇගෙව්වද මාගේ අරමුණු වූයේ ලොකු මුණුබුරාගේ මාර්ගනේ මෙතැනින්න පිටවීම පමණි.
පොලිසියට පැමිණි ලොකු මුණුබුරු මා වැලද ගත්තේ ඉතාම ආද‍රයෙනි. සති ගානකින් නොසේදූ ඇදුම් ඇද ජරාජීර්ණය වී ඇති මා එතරම් කඩවසම් තරුණයෙකු වැලද ගැනීම අදහා ගත නොහැකි තරම් වුණි. ඒ මොහොතේ සිට දරදඩු මගේ සිත ගැහෙන්නට පටන් ගත්තේ මටවත් විශ්වාස කල නොහැකි තරමටමය.
පොලිසියේ  සියළු ලියකියවිලි වලට අත්සන් කල ලොකු මුණුබුරා  රාළහාමිට නොසෑහෙන්න ස්තූති කර මා සමග පිටත් වුයේ බාබර් සාප්පුවක් වෙතය. ඉතාම දිගට වැවුනු මාගේ කොණ්ඩය සහ රැවුල කැපීමට ඔහුට අවශ්‍ය වුනි. ඔහු පැමිණෙන විට අලුතින් ඇදුමක්ද රැගෙන විත් තිබුණි. නමුත් ඔහු සමග යාමට  අවශ්‍ය නොවූ නිසා බාබර් සාප්පුවට ඇතුල් වීමට පෙර ඔහු මග හැරීමට වැසිකිලියට යාමට අවශ්‍ය යැයි පවසා එතැනින් පිටවුනි. ‍
වැසිකිලියට යාමට අවශ්‍යතාවයක් නොවු නිසා මා ඒ අසල තිබූ කඩයක් පිටුපස බිම වාඩි වී පැය ගනනක් ගත කලෙමි. ඒ වනවිට මුණුබුරා ගොස් ඇතැයි සිතූ නිසා මා වාඩි වී සිටි තැනින් නැගිට එළියට ආවේ නැවත මගේ සුපුරුදු ජීවිතයට ඇතුල් වීම සදහාය.
නමුත් ඒ වන විටත් ලොකු මුණුබුරා එතැන තිබූ ගසක් යටට වී මා එනතුරු මග බලමින් සිටිනු දුටු මට පුදුම සිතුනි. මෙතරම් ආදරය කරන උන් සිටියදී අනුන්ගේ ඉදුල් කන්නේ ඇයිදැයි මගේ සිත මගෙන් ප්‍රශ්න කරන්නට වුනි. ඒ ආදරය හමුවේ තව දුරටත් මට දරදඩු විය නොහැකි වුනි. එබැවින් ලොකු මුණු බුරා සිටි දෙසට මම සෙමෙන් පියවර තැබුවෙමි.
“පුතේ අපි යමු අපේ ගමට.”

March 8, 2012

සින්දරෙල්ලා සිහිනය


‘‘ඔයාට අද මහන්සි පාටයි”
“ඔව් චුට්ටක් විතර. ඒත් ඉතිං මේ පැටියා දැක්කහම ‍ඒ සේරම අමතක වෙනවනේ”
එහෙම හුරතල් වෙවී කියන ඔහුව පපුවට තුරුළු කර ගන්නට සිතුණත් මා ආයාසයෙන් එය මැඩ පවත්වා ගත්තේ දාඩිය දමාගෙන ආ විට මා එසේ කරනවාට ඔහු අකමැති බව දන්නා නිසාය.
‘‘ මොකද රත්තරන් මේ ඇගිල්ලට වෙලා තියෙන්නේ”
‘‘ මේ චුට්ටක් විතර ඉදි කටුවට තුවාල වුණා”
‘‘ මම ඔයාට කොච්චර කියනවද රත්තරන් අපිට සින්දරෙල්ලට ඕන හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් කියලා.”
‘‘හරි පැටියෝ මේ චුට්ටක් නේ තුවාල වෙලා තියෙන්නේ. අනේ අපේ පැටියා ආසවෙයිනේ අම්මි මහපු ඇදුම් ඇදලා ඉන්න”
‘‘පණ්ඩිත ආච්චි”
උදාර එහෙම කියලා මාව කේන්ති ගස්සන්නට කොණ්ඩයට දමා තිබූ බූලයද ගලවා ගෙන ඉහල මාලයට දිව්වේ
‘‘හූ හූ අල්ලයි මගේ නැට්ට” කියා කියමින්ය.
ඔහු පොඩි එකෙකු මෙන්ය. දවල් දවසේ තනිව නිවසට වී සිටින මා ඔහු නැතුව ගෙවන හැම තප්පරයක්ම ගෙවා දමන්නේ අමාරුවෙනි. හදපුරා රැකවරණය දෙන ආදරෙය දෙන ඔහු සමග සිටින විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැත. සැබැවින්ම විටෙක ඔහු මට පියෙකි.තවත් විටෙක සැමියෙකි. බොහෝ විට අම්මෙකුගේ තුරුලෙහි නැලවෙන දරුවෙකු වැනිය.
රෑ කෑමෙන් පසු දෙදෙනාම නින්දට ගියද, නින්ද මා අහලකටවත් ආවේ නැත. ශරීරය පුරා දැනුන වේදනාව උහුලාගෙන මා උදාර මුනින්තලා වී නිදා සිටින අයුරු බලා සිටියෙමි. සැප නින්දේ සිටින ඔහුව අවදි කරන්නට මට ලෝබ සිතුනි. දරා ගෙන සිටීමට කොතෙක් උත්සාහ ගත්තද කොදු නාරටිය දිගේ පහලට ඇදීගෙන ආ වේදනාවෙන් මට උහුලා ගැනීමට‍ නොහැකිවුනි.
‘‘ වස්තුවේ මට අමාරුයි”
හීන් හඩින් මා කෙදිරූ හඩට උදාර ගැස්සී අවදි වුනි.
‘‘ ඇයි මැණික ? මොකද මගේ මැණික ?”
“මට ටිකක් අමාරුයි”
“අපි යමු ඉක්මනට ඩොක්ටර් ලගට”
කලබලෙන් කාරය එළියට ගත් උදාර මාව වඩාගෙන ගොස් කාරයෙන් ඉන්දවා නළල සිප ගනිද්දී කොහේදෝ තිබුණු කදුළු ගොනියක් ඇස් මගේ දෙකෙන්  බිමට කඩාගෙන වැටුනි. 

“අනේ රත්තරන් මම මැරුනොත් ඔයා මගේ සින්දරෙල්ලව බලා ගන්නවා නේද?”
“නෑ මගේ රත්තරන් මගේ රත්තරන්ට මුකුත් වෙන්නෑ.”
වේදනාවෙන් මිරිකී සිටි මා සනසවමින් ඔහු එක අතකින් මගේ හිස අතගාන ගමන් වේගයෙන් කාරය ඉදිරියට ගෙන ගියා.
“ රත්තරන් නැගිටින්න දෙයියෝ. අපි හොස්පිටල් එක ලග ඉන්නේ”
උදාරගේ ඒ හඩ මට ඇසුනේ යාන්තමින්ය. ඇස ඇර බලන්නට උත්සාහ කලත් ඔහුගේ රූපය යාන්තමින් පෙනී බොදවී යනු මතකය.
නැවත සිහිය එන විට උදාර මා සිටි ඇදේ වාඩිවී මගේ එක අතක් ඔහුගේ පපුවට තුරුළුකර ගෙන ඉවත බලාගෙන සිටි‍යා. ඔහුගේ ඇස් දෙකෙන් රූරා වැටුනු කදුළු මගේ අත මතට වැටෙත්ම මට සියල්ල අවබෝධ වුණි. මා කිසිම දවසක උදාර හඩනවා දැක නැත. නමුත් අද ඔහු ඉවත බලා ගෙන කදුළු වගුරවද්දී මා ද ඇඩුවොත් එය ඔහුට දරාගැනීමට නොහැකි වනු ඇත.  හැම සැප සම්පතක්ම තිබෙන අපේ කැදැල්ලට කුළුදුලේ ගේන කිරිකැටියාට හුරතලේට “සින්දරෙල්ලා” යැයි කීමට ඔහු ආස කල තරම්. කෑ ගසා අඩන්නට සිතුණි. මැසූ රෝස පාට ඇදුම් සියල්ලම දැන් මා කාට නම් අන්දන්නද? මා අවදිව සිටිනු දුටු උදාර මා බදාගෙන අඩන්නට වුණි.
“ රත්තරන් , සින්දරෙල්ලා ගියා. අනේ අපේ සින්දරෙල්ලා සිහිනය ඉවරයි මැණික”
ප.ලි. කෙටි කතාවකි. බට්ටි හා හා පුරා කියා ලියූ පළමු කෙටි කතාව. අඩු පාඩු එමට ඇති. කියවල යද්දී ඒ ගැන කියලා යන්න අමතක කරන්න එපා. බට්ටිට ඒ වචන හුගක් වටිනවා.

October 27, 2011

සමාධි (පළමු කොටස)


ඈත අහස දිහා උළුවස්සට හේත්තු වෙලා බලන් හිටිය මම කලබලෙන් නැගිට්ටේ ලිපේ තියලා ආපු කේතලේ වතුර නටනවා ඇති කියලා මතක්වුන නිසා.  ඉක්මනින් කුස්සියට ගිහින් මම ගෙදර හැමොටම තේ හදන්න ගත්තා. ඒ වෙද්දිත් ගෙදර හැමෝම හොදටම නිදි.
“අම්මේ තේ හැදුවා නැගිටින්න”
“මොකද කෙල්ලෙ මේ පැන්දරම නැගිට ගෙන”
“නිකං ඇහැරැනා අම්මේ, පහුගිය ටිකේම පාඩම් කරන්න නැගිටපු නිසා දැන් පුරැද්දටම ඒ වෙලාවට ඇහැරෙනවා”
“ලොක්කියේ හාල් ටිකක්වත් ලිපට කරපන්කෝ පොල් සම්බලක්වත් හදලා පොඩි වුනාට ඉස්කෝලෙ ගෙනියන්න දෙන්න”
මම හාල් ටිකකුත් වළදට දාගෙන හොදන් එද්දී අයෙමත් ලිප නිවිලා. පොල් කොල දෙක තුනක් පත්තු කරලා ආයෙමත් යාන්තම් ලිප අවුල ගත්තා. ඇවිලෙන ගින්න දිහා බලන් හිටියේ මං මීට පස්සේ මොනවද කරන්නේ කියලා හිත හිතා. විභාගෙත් ඉවරයි.කැම්පස් යන්න ලැබුනොත් නම් හොදයි. තාත්තා කරන සිල්ලර බඩු කඩේ නිසා මුදල් අතින් ඒතරම් අගහිගයක්  ඒ හැටි දැනෙන්නේ නෑ. ඒ වුනත් හැමදාම තාත්තගෙන් කකා බිබී ඉන්න පුළුවන්ද?
“ලොක්කියේ මොනවද ඔය තරම් අහස පොළොව ගැටලන්න තරම් කල්පනා කරන්නේ”
විභාගෙ ඉවර වුන දවසේ ඉදලම මං හිටියේ හීන ලෝකෙක. අනාගතේ ගැන ලොකු බයක් හිතේ හිරවෙලා තිබුනා.
“නෑ අම්මේ මං මේ හිතුවේ රස්සාවක් හොයලා දෙන්න කියලා මාමටවත් කියන්න කියලා”
“ඒ ගමන රස්සාවල් කරන්න හිතුවේ ඉගෙන ගෙන ඉවර කරලද ලොක්කියේ”
“කවුද අම්මේ දන්නේ කැම්පස් යන්න ලැබෙයිද? නැද්ද? කියලා”
“ඉතිං ලොක්කියේ මේ ගමන බැරිනම් ආයෙම විභාගෙ කරන්න ලෑස්ති වුනානම් නේද හොද? දෙයියනේ කියලා තාත්තා අඩුපාඩු ටික බලාගන්නවනේ ලොක්කියේ”
“ඒ වුනාට අම්මේ හැම‍දාම තාත්තාට ඔය කඩ කෙරැවාව කරන්න පුළුවන්ද? දැනුත් තාත්තට නිතරම ලෙඩ.”
“අනේ මන්දා” 
අම්මා එහෙම කියලා ලොකු හුස්මක් පිටකරලා ගේ ඇතුලට යන්න ගියා. මමත් කළෙත් අරගෙන ළිද ලගට ගියේ අම්මා මොනව කිව්වත් කොහොම හරි රස්සාවක් හොයා ගන්නවා කියලා හිත හිතා.  



ප.ලි.
මගේ හිතේ තිබුනු ලොකු හීනයක්.මගේම කියලා නවකතාවක් ලියන එක. මේ ඒකේ පළවෙනි කොටස.කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හැකි උපරිමයෙන්ම සුන්දර කතාවක් ඔයාලට කියවන්න දෙන්න මං උත්සාහ කරනවා.