Showing posts with label බට්ටිගේ ඇස ගැටෙන දේ. Show all posts
Showing posts with label බට්ටිගේ ඇස ගැටෙන දේ. Show all posts

February 22, 2013

කිරි අප්පෝච්චියෝ

අප්පා ..... එපා වෙලා දැන් මට
මේවා අහගෙන ඉදලා
හිතුවේ නැහැ මේ තරම්
අමාරුයි කියලා මේ වැඩේ
එනකොට මං එහෙන්
නමකුත් දාලා ගණයක් පිහිටුවල,
ගිණුමකුත් දාලනේ,
ලයිෆ් ඉන්සුවරන්ස් එකකුත් එක්කම .......
ඉඩමකුත් අරගෙනනේ
ඉස්කෝලයක් අයිනෙන්ම ......
විභාගෙන් ශිෂ්‍යත්ව සමත්වන පහසු ක්‍රම 
දන්නා වූ ගුරුවරුන් කතා කරලාලු දැනටමත් .....
ඉන් පස්සේ  O/L වල් A/L වල් ඩිග්රියේ ලෙවල්
හයිලෙවෙල් ජොබ් එකක් , දීගයක් 
ණයවෙලා හදා ගත් මහගෙයක්
ඒ වගේම කාරයක් .....
තාත්තා වගෙම මරු Life style එකක් 
කිරි අප්පෝච්චියෝ 
හිතාගෙන හිටියේ මං ,
මගේම ලෝකයක ......
පාවෙලා ..... පාවෙලා ..... යන්නනේ ......
අනේ මට නම් බැරියෝ
ආදරණීය පුතෙක් වෙන්න 
මෙහෙම්ම ඉන්නවා මං
හැමදාමත් .......
ඇහෙන්නේ නෑ වගේ මොකුත්ම ,
පේන්නේ නෑ වගේ මොකුත්ම ............



ප.ලි. ටියුෂන් ටියුට් එකක කවරේ තිබුණ ලස්සන නිසදැසක්..ඉතිං හිතුනා කියවලා ඉවර උනාට පස්සේ ඔයාලටත් කියවන්න දාන්න..ඇත්තමයි මටත් මේ උදේහවා වැඩට එන කොට නම් හිතෙනවා පාවී පාවී ඉන්න තිබුණනම් කොච්චර ෂෝයිද කියලා...
අයිතිය ලේඛකයා සතුවිය යුතුය.....
උපුටා ගැනීමක් පමණි...

November 11, 2012

තරුපිරි අහස

බට්ටි බ්ලොග් එක ලියන්න පටන් ගත්ත දා ඉදලම ලිව්වේ කදුළු කතා.කියවන්න ආපු අයට හැමදාම වගේ යන්න වුනේ හිත රිදවගෙන.සමහරු ඒ දවස්වලම කිවුවා.අදත් හිතරිදෙන පෝස්ටුවක් කියලා. දුක අහිමිවීම විතරමයි බට්ටි ලිවුවේ. එතනින් එහාට ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ. ජීවිතේ පුරාම රැදිල තිබුණ දුක ඇස්වල කදුළු පුරවගෙන බ්ලොග් පෝස්ට් කලා. 

ඒත් එක දවසක දිල් අක්කා,මගේ බ්ලොග් ලෝකේ ඉන්න සදාකාලික රැජිණ කිව්වා බට්ටියේ වෙනස් දේවල් ලියන්න කියලා.කදුළු කතා විතරක්ම ලියන්න එපා කෙල්ලේ වෙනස් දේවල් ලියන්න උත්සාහ කරන්න කියලා.ඉතිං බට්ටි හිතුවා හුගක්.අක්කා කිව්ව විදියට පුංචි කාලේ පීරලා සතුටු හිතෙන තැන් බැලුවා.ඉතිං එහෙම අවස්ථාවක් හොයන් ඇවිත් අකුරු කරන්න බට්ටි දක්ෂ නා.ඒ අත්දැකීම අකුරු කලේ සැදෑ අහස සුන්දරද කෙතරම් කියලා.අක්කගෙන් ලකුණු 100%ක් ලැබෙද්දි බට්ටිගේ බ්ලොග් ලෝකේ ඉන්න පතාක යෝයෙක් වන මාර අයියා කිව්වේ ‘‘දිල් කිව්වා වගේ මේ ලියමනනං උපරිමයට ඇවිත් තියෙනවා.. නිදහසේ මහප්‍රාණ නැතිව ඔහේ ලියන ස්ටයිල් එක..මං කවදත් ආසම රටාව..‘‘ කියලා.දෙන්නගේ සහ ඒ කාලේ මං ටා හිටිය අනිත් යාළුවන්ගේ දිරිමත් කිරීම් වලින් හිතට ලොකු ශක්තියක් ලැබුණා.ඉතිං එදා ඉදලා කදූළු පිටුවට ටිකෙන් ටික විරාම වැටුනා. ලගදී අක්ක කෙනෙක් මගේ බ්ලොග් එක කියවලා කියනවා 'බට්ටි ඔයාගේ බ්ලොග් එක කියෙව්වොත් මම තවත් මහත්වෙයි හිනාවෙලාම' කියලා.ඉතිං බට්ටිට හුගක් සතුටුයි.වෙනස් දෙයක් කරන්න පුළුවන් වුන එක ගැන.

ඉතිං හදිසියේම මේක මතක් වුනේ මේ නිසා.එදා මම රාත්‍රි අහසත් ලියන්න තීරණය කලා.ඒත් අද වෙනකල් ඒක ලියා ගන්න බැරි වුනා.ඉතිං හිතුවා අද ඒකට හොදම දවස කියලා. හැබැයි වෙනස් විදියකට.අකුරු වෙනුවට පින්තූරයෙන් බට්ටි දැකපු තරුපිරි අහසේ සුන්දරත්වය කියවන්න මගේ යාළුවනේ.......

July 6, 2012

බස් (වල) රේඩියෝ

 ඔන්න අද මේ බට්ටි කියන්න හදන්නෙ ගිම්හානි අක්කයි ,ප්‍රියන්ත අයියයි නිශාන්තය කරන බස් රේඩියෝ ගැන නම් නෙවෙයි. මම දන්නවනේ ඉතිං කස්ටිය සුට්ටක් විතර රැවටිලා තමයි ආවේ කියලා. මම ඉතිං එහෙම කියන එකේ වරදක් නෑනේ.මොකද 'හා..මූ ද?'ගැන ලිව්වහමි මූද බලන්නත් කට්ටිය ආවනේ..:D ඒකත් ඉතිං සුට්ටක් විතර මරු.

බ්ලොග් කියවන හැමෝම ඉතිං බස් වල යන අය හරි කවද හරි ගිහින් තියන අයනේ. සමහරු නම් ඇති කවමදාවත් බස් එකක ගිහින් නැති. අම්මා ...ඒක නම් මාරම පිනක් තමයි. සමහරු බස්වල යන්නෙ නෑ දාඩිය ගදයි කියලා. බස්වල යද්දි හුස්ම ගන්න බෑලු දාඩිය ගද නිසා. අනේ ඉතිං අපිනම් දාඩිය මහන්සියෙන් වැඩ කරන අයනේ . බස් නැත්නම් ඉතිං ගමනක් යන්නෙ දෙපයින් තමයි. 

අද වැඩි හරියක්ම පාරෙ තියෙන්නේ පෞද්ගලික බස්. මිනිස්සු යන්නත් කැමති එව්වගෙම තමයි. මොකද සමහර සී.ටී.බී බස් එකක සුදු ඇදුමක් ඇදන් ගියොත් බහිද්දි ඒක කළු එකක් වෙනවනේ. දැන් නම් ඉස්සරට වඩා මේ තත්ත්වෙ හුගක්ම අඩුයි. 


ඉතිං මේ අපි යන බස් වල හැම එකකම වගේ තියෙනව රේඩියෝ එකක්. මොනවද මේවගෙ දාන සිංදු , කවුරු කැමති ඒවද මේවගෙ දාන්නෙ.. ?
සමහර බස් වල උදේට දානවා රේඩියෝ චැනල්. ඒහෙම චැනල් එකක් දාද්දි නම් හුගක් දුරට ලංකාවේ තියෙන බොහෝ ගුවන් විදුලි සේවා වල උදේට ගැලපෙන වැඩ සටහන් ඒවගෙ යන නිසා ගැටළුවක් නෑ. 

එත් බස් වල වැඩිපුරම යන්නේ එයාල ලග තියෙන පීස් වල සිංදු .සමහර බස් වල දානවා අහගෙන යන්න ආස හිතෙන සිංදු..එත් සමහර ඒවගේ..අ‍පොයි දෙයියනේ කන් දෙකේ ඇගිලි ගහ ගන්න හිතෙන ඒව තමයි දාන්නේ....

පහුවෙච්ච දවසක වැඩ ඇරිලා මාත් සුපුරුදු විදියට ගෙදර යන්න නැග්ග බස් එකට. ඉස්සරහ දොරෙන් නැග්ගෙ. සෙනග හිටියා හොදටම. යාන්තම් ඉතිං ඇතුලට රිංග ගත්තා. ඒ බස් එකේ දාලා තිබුණා සිංදු දාන්න පුළුවන් උපරිම සද්දෙ දාලා. මොනවද දන්නවද දාලා තිබුනේ.මේ ලොකෙ මනුස්සයෙක් අහන්න අකමැති විකාර නන්ස්ටොප් එකක්. අනේ ඉතිං අනුන්ගෙ බස් වල යද්දි අපි ඉතිං අහන් ඉන්න බැරි වුනත් ඔහේ පාඩුවෙ යනවා. වෙන මොනවා කරන්නද?

ඒත් ඉතිං එහෙම පාඩුවේ කට පියාගෙන යන්නෙ නැති ඇන්ටි කෙනෙකුත් හිටියා මේ බස් එකේ. ඇන්ටි බනිනවා බනිනවා ඉවරයක් නෑ. ''මගේ නම් ඔළුව පැලෙන්න වගේ.මේ මොන ජරාවක්ද දාලා තියෙන්නේ. මොකක් දැම්මත් මනුස්සයෙක්ගෙ කණට දරා ගන්න පුළුවන් ප්‍රමාණයකින් දාන්න මෙයාලට මොළයක් නැද්ද" ඔය විදියට කියව කියව ගියා. ඒත් ඕක අපිට ඇහුනට ට්‍රයිවර්ටයි, කොන්දොස්තර මහත්තයටයි නම් ඇහුන්නෑ. ඇහෙන්නෙ කොහොමද රේඩියෝ එකේ සද්දෙට එතන ලග කෙනෙක් කියන දෙයක් වත් ඇහෙන්නෙ නැති තරම්....

හැබැයි ඉතිං ඇහෙන්නෑ කියලා ඇන්ටි නෙවෙයි විරෝධ දැක්වීම නතර කලේ. කොන්දොස්තර එතනින් යනකල් ඉදලා කිව්වා මෙච්චර වෙලා කිය කිය හිටිය එක. ඒ ගමන කොන්දොස්තර මහත්ත‍යා කියපි '' මේ මිස් මිස්ට අහන් ඉන්න බැරිනම් මිස් බැහැලා ඊලග බස් එකේ එන්න. මේකෙ දාන්නෙ අපිට ඕන සිංදු අපිට ඕන විදියට". දැන් ඉතිං ඇන්ටි තව මොනවා කියන්නද ? ඇන්ටිගෙ සටනට කවුරුවත් හෙල්ප් එකක් දුන්නෙත් නැති නිසා ඇන්ටි වීදුරුව පැත්ත බලාගෙන පාඩුවේ වාඩිවෙලා ගියා......

ඇත්තටම බලද්දි ඇන්ටි වැරදිත් නෑ. මොකද ඉතිං ඔය වෙලාවට මිනිස්සු මහන්සිවෙලා වැඩකරලනේ ගෙදර යන්න බස් එකට නගින්නේ. සමහරුන්ට ඔය බස් ‍එකේ යන ටිකේ තමයි නිදහසේ යන්න පුළුවන්. ආයෙම ගෙදර ගිහිල්ලා යුද්ධෙ වගේ වැඩ කරන්න වෙනවා. නිදහසේ ඇස් දෙක පියාගෙන පාඩුවෙ යන්න තමයි මම වුනත් කැමති. 

මගේ පෞද්ගලික මතය වෙන්නේ බස් වල දාන රේඩියෝ එක යම් හරයක් තිබිය යුතුමයි කියලා. මොකද ගෙදරක දාන දෙයක් නෙවෙයි. පොදු මහජනතාවටම අහන්න දාන දෙයක්. මිනිස්සුන්ගෙ රුචිකත්වය එකිනෙකට වෙනස්. හැමෝටම රුචි සිංදු හොයන්න බෑ තමයි. සමහරෙක් කැමති එකකට තවත් කෙනෙක් කැමති නෑ. ඒත් හුගක් සිංදු තියෙනවා මනුස්සයන්ට අහන් ඉන්න ප්‍රිය කනට අමිහිරි නැති ඒවා. එහෙම තමයි ගැලපෙන්නේ...

ඒත් ඉතිං තමන් ගැන විතරක් හිතලා වැඩකරන මිනිස්සු ඉන්න‍ ලෝකෙක, අනිත් කෙනා පාගලා බිමට ඇදලා දාලා තමන්ගෙ අරමුණු ඉටුකර ගන්න මිනිස්සු ඉන්න ලෝකෙක හැම දෙනෙක්ටම රසවිදින්න පුළුවන් රේඩියෝ එක්ක බස් වල දාවිද.......................? 

ප.ලි. 
ටරාං ටරාං ...... 
ඔන්න බට්ටි අද ඉදන් තෑගි දෙනවා...
තෑගි ඇනවුම් කලේ හද අල්ලපු රටින්...එත් කෝ ඒක කර ගන්න බැරි වුනා. ඒත් ඉතිං බට්ටි නෙවෙයි සැලුනේ. බට්ටි තෑගි ‍ගෙන්නුවා කෙලින්ම සදෙන්ම....

February 23, 2012

රුපියල දෙනවද ?

      බට්ටි ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර යද්දී බස් එකේ හරිම අමුතු විදියේ වලියක් ගියා. කට්ටියම දන්නවනේ අර අපේ මාමා නෑ නෑ අපේ නෙවෙයි අර සමහරුන්ගේ මාමා ලෝක වෙළද පොලේ තෙල් මිල ගැන හිතලා මෙහෙත් තෙල් මිල ඉහල දැම්මා කියලා. අනේ ඉතිං මේකෙන් පස්සේ බස් මාමලත් මිල නැග්ගුවේ කිසිම හිතක් පපුවක් නැති විදියටනේ. 

    අප්පා කියන්න ගිය එකත් අමතක වුනානේ මේ මාමලා නිසා. මේකයි සිද්ධිය. ඔන්න බස් එකේ කොන්දොස්තර අයියා හැමෝගෙන්ම සල්ලි එකතු කර කර යනවා. එහෙම යද්දි ටික ටික ෂිට් වලින් කුටු කු‍ටු ගානවා. මට නම් ඕක හරියටම මීටර් වුනේ නෑ. මොකද ඉතිං 25ට ගෙදර ගිය බට්ටිට මාරු කාසි ප්‍රශ්න ඇති නොවෙන්න වැඩි පහසුව සදහා කෙලින්ම ගාන 30ක්ම කරානේ. ඒකෙන් නම් ලොකුම පාඩුව වුනේ මගේ පුංචි කැටේට. ඇයි ඉතිං හැමදාම එයාට දෙන රුපියල් 5 ට නේ තට්ටු වුනේ. දැන් ඉතිං අර බස් එකේ කුටු කුටු ගාගා හිටිය අයගෙන් එක ඇන්ටි කෙනෙක් වහාම ක්‍රියාත්මක වුනා.

ඇන්ටි               -           අහවල් තැන ඉදලා අහවල් තැනට දැන් කීයද  
                                      අලුත් බස් ගාස්තුව
කොන්දොස්තර  -           19 යි
ඇන්ටි               -           එහෙනම් මනුස්සයෝ මොකටද මගෙන් 20 ක් 
                                     ගත්තේ. එතකොට ඉතුරු රුපියල කෝ?
කොන්දා නෙවෙයි ගානකට ගත්තේ. මෑන්ස් හෙමින් ඉතුරු අයගෙන් සල්ලි අරගෙන පිටි පස්සටම ගියා. හැබැයි ඇන්ටි වැඩේ අත අරින පාටක් නෑ.
ඇන්ටි               -           එහෙන් බස් ගාස්තු වැඩි කරා මදිවට මුන් අපේ 
                                     ඉතුරු රුපියලටත් විදින්න පටන් අරන්නේ.
            
මගියෙක්           -           කී දෙනෙක්ට රුපියල දුන්නේ නැද්ද. ගෙයක් 
                                     හදන්න රුපියලේ කාසි ඇති.
තව මගියෙක්     -           ඔයා රුපියලක් දීලා දෙකක් ඉල්ලන්න. රුපියල් 
                                     දෙකේ ඒවා නැති වෙන්නේ නෑනේ.
ඇන්ටි               -           ආනේ ඇත්තමයි....

           ඇන්ටි කොන්දොස්තරට රුපියලක් දීලා 2ක් ඉල්ල ගත්තා. අනිත් අය නම් ඉතිං නොලැබුන රුපියල අත ඇරලා සද්ද නොකරම හිටියා. ඇයි ඉතිං රුපියල මේ පාවෙන හැටියට එහෙම ඉන්න එකෙත් වරදක් නෑනේ.
මට නම් මේ සිද්ධිය වෙච්ච වෙලාවේ මතක් ‍වුනේ අපේ තාත්තා කියපු කතාවක්. ඔන්න ඒකත් මේ ගමන්ම කියන්නම්කෝ.

         ඔන්න එක දවසක් වයසක සීය කෙනෙක් බස් එකෙන් ගමනක්  ගියාලු. ඉතිං මේ සීයා ටිකට් ගත්තලූ. ‍ඉතිං ටිකට් එක ලැබුනට ඉතුරු ලැබිලා නෑ. ඉතිං සීයා ආයෙම කොන්දොස්තර එනකන් ඉදලා ඇහුවලූ ‘‘කොලුවෝ මගේ ඉතුරු සත පනහ” . කොන්දොස්තර කොලුව ගත් කටටම කිව්වලූ ‘‘අයියෝ සීයේ සතපනකත් මොකද්ද” කියලා. කොලුවා එහෙම කිව්වට දුක් මහන්සියෙන් හම්බකරපු සතපනහ නිකම්ම අත අරින්න සීයා කැමති වෙලා නෑ. කොලුවා ආයෙම එතනින් යද්දි සීයා එයාට කතා කරලා ‘‘කෝ මට රුපියලක් දෙන්න මම ඔයාට සත පනහක් දෙන්ම්” කියලා සීයා සාක්කුවෙන් සත පනහක් එළියට අරන් පෙන්නුවලූ. ඒ ගමන ඉතිං කොන්දොස්තර කොලුවා සීයට රුපියලක් දීලා. ඊට පස්සේ සීයා රුපියලයි සත පහනයි දෙකම සාක්කුවේ දාගෙන. මේක දැකපු කොන්දොස්තර කොලුවා ඇහුවලූ ‘‘ සීයේ සත පනහ”. ගත් කටටම සීයා කිව්වලූ ‘‘ අයියෝ කොලුවෝ සත පනහත් කජ්ජක්ද” කියලා.  


ප.ලි.  හිත මෙව්ව වෙලා හිටිය මට හිත ශක්තිමත් කර ගන්න වචනයකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම මහ හුගක් පිං. ඔන්න ආයෙම බට්ටි සුපුරුදු ප්‍රීතියෙන්. හැම දේම වෙන්නේ හොදට කියනවනේ. මේ පාර නම් අහිමි වුන දේවල් වලට සිය දහස් ගුණයක් වැඩි දේවල් බට්ටිට ලැබුනා. ඒ තමයි මානසිකව හොදටම වැටිල හිටිය මාව අපේ ‍පවුලේ අය තුරුළු කරන් නැගිට්ටුවා. අපි පස් දෙනාගේ බැදීම කිසිම දාකටත් වඩා ශක්තිමත් වුනා. ඉතිං දැන් බට්ටිට වෙන මොනවා නැතත් මොකද නේද?

January 27, 2012

හෙට සුභ වීමට අද

එක්තරා නගරයක රාත්‍රීයේ දල්වන ලද සියළුම ගිණි සිළු නින්දට යාමට ප්‍රථම නිවා දමන්නට නීතියක් පැවතුනා. නමුත් දිනක් එක් නිවසක ගෙහිමියන් නින්දට යනවිට ඔවුන්ගේ නිවසේ දැල්වෙන ගිණි සිළුව නිවා දමන්නට අමතක කලා. ඒ රාත්‍රියේ නගරයේ දැල්වුනු එකම ගිණි සිළුව මෙයයී. නමුත් ඒ එක ගිණි සිළුව උදෑසන වන විට මුළු නගරයම අවුළුවා තිබුණා. 



ඝාතනයන්ගෙන් දරුණුතම ඝතනය වන්නේ චරිත ඝාතනයයී. ඔබගේ දිවෙන් පුද්ගලයෙකුගේ චරිතය ගොඩ නැගීමටත් එම චරිතය ඝාතනය කිරීමටත් හැකි. එය අර නිවසේ නිවා නොදැමූ ගිණි සිළුව වැනිය. මුළු නගරයම ගිණි ගත්තේ එක් ගිණි සිළුවක් නිසාය. එබැවින් එහෙට සුභ වීමට අද මේ ගැන මොහොතක් සිතන්න.

ප.ලි. ඉහත සටහන මීට සතියකට පෙර ‘හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න’ ගුවන් විදුලි වැඩසටහන බට්ටිට මතක විදියට අකුරු කිරීමකී.  

October 26, 2011

සැදෑ අහස සුන්දරද කෙතරම්.......................


ගේ ඉස්සරහ තියෙන මාළු ටැංකිය ලග තියෙන බංකුවට වෙලා කන්ද පාමුලින් අවරට යන ඉර දිහා බලන් ඉන්න මං හරිම ආසයි. එක එක දවසට අහසේ පාට එක එක විදියයී. පාට පෙට්ටියකට කවදාවත් එකතු කරන්න බැරි තරම් අහසටම උරැම වෙච්ච පාට කොයි තරම් ඇද්ද? වළාකුළු ගොඩක් එකතුවෙලා එහෙට මෙහෙට පාවෙද්දී මට නම් හරිම ලෝබයි.මොකද ඒ සැහැල්ලුව කවදාවත් අපිට ලබා ගන්න බැරි නිසා.
හවසට ඉර තමන්ගේ රාජකාරිය ඉවරකරලා අවරට යන ලස්සන බලන් ඉදිද්දී ඔය අතරේ තව කීදෙනෙක් නම් වැඩ ඉවර වෙලා කඩිමුඩියේ තමන්ගේ නවාතැන් වලට යනවද. එහෙම යන අයගෙන් ඇහැ ඉවතට ගන්නම බැරි අය තමයි සුදු කොක්කු රෑන්. එක රංචුවකට අඩුගානේ 10ක් 12ක් වත් ඉන්නවා. පුදුමෙ කියන්නේ වෙන වෙනම රංචු වලට එක එක වෙලාවට ගියත් උන් හැමෝම යන්නේ එකම හැඩයකට. සමහර විට එහෙම කියල දෙන පංතියක්වත් තියෙනවද දන්නේ නෑ. නැත්නම් කොහොමද අනේ එච්චර ලස්සනට යන්නේ. අපිට ක්‍රීඩා උත්සව දවස් වල මාඡ්පාස්ට් එක කීපාරක් ගහ ගහද ලොකු අයියලා අක්කලා කියලා දෙන්නේ. පුංචි කාලේ අහස දිහා බලන් ඉන්න වාඩි වෙද්දිම හිතනවා අදනම් හැම කොකෙක්ම ගනිනවමයි කියලා.  මොනවා කරන්නද කිසිම දැනුම් දීමක් නැතුව රංචු තුන හතරක් එකපාරටම  ගියහම ගනන් කරන එක ඉබේම අමතක වෙලා යනවා.ඔය අතරෙ දකින්න ලැබෙ හොදම සිද්ධිය තමයි තමන්ගේ රංචුවට සෙට්වෙන්න බැරිවෙලා පන කඩාගෙන පියාඹන කොක්කු . එහෙම දෙයක් දැකපු දවසට නම් මම පැය ගානක් යනකල් කල්පනා කරනවා එයා රංචුවට එකතු වුනාද? පාර හොයාගන්න පුළුවන් වුනාද කියලා.  හවසට අහසේ තියෙන ලස්සන අම්මෝ කියලා ඉවරයක් කරන්න බෑ. අහස දිහා බලන් ඉදිද්දි හිතට දැනෙන සතුට වචන වලට කොහොම පෙරලන්නද? ඒවා මතක් වෙද්දි නම් ගමේ තියෙන ගේ ඉස්සරහා බංකුව උඩ ඉදගෙන අහස දිහා බලන් ඉන්න ඇත් නම් කියලා හිතෙන වාර අනන්තයි.
අද කාලේ හැමෝම කාර්ය බහුල වෙලා. අහස දිහා පැය ගනන් බලන් ඉන්නවා තියා යන එන ගමන්වත් බලන්න අමතක වෙලා. නිකමට බැලුවත් කොක් රංචු නෙවෙයි අඩුගානේ තමන්ගේ කැදලි හොයාගෙන යන එක කොකෙක්වත් දකින්න ලැබෙන්නේ නෑ. කාලේවෙනස් වෙලා පරිසරය වෙනස් වෙලා. කොහොමත් ගමේ තියෙන නිස්කලංක බව ලස්සන නගරේ අහසේ නෑ. සමහර විට නගරේ අහසත් ගමේ අහස තරම්ම නැතත් බලන් ඉදිද්දි ලස්සන ඇති. ඒත් ඒ ලස්සන අපිට හොයා ගන්න බැරි අපේ වරදක් නිසාද? එහෙම නැත්නම් කාලයේ වෙනස් වීම නිසාද?