අපිට ඉතිං ට්‍රිප් එකක් යන්න ලැබෙන්නේ ඉදලා ඉදලා යාන්තම් හාවා හඳ දකිනවා වගේ තමයි. මේ ගමන නම් යාන්තන් යෝජනා සම්මත වෙලා ජූරිය විසින් තීරණය කළා ගෙදර හැමෝමයි ගමේ තව පවුල් තුනකුත් එක්ක ට්‍රිප් එකක් යන්න. යන දවස ලං වෙද්දී අනිත් අයගෙන් කිසිම හාවක් හූවක් නෑ. බැරිම තැන තාත්තා අම්මට කිව්වා ගිහින් අහලා බලන්න යනවද නැද්ද කියලා. ගෙවල් දෙකකින් මොන මොනවද ප්‍රශ්න කියලා යන්න වෙන්නේ නෑ කිව්වලු. අන්තිමේදී අපේ ගෙදර අයයි තාත්තගේ යාළුවෙක්ගෙ ගෙදර අයයි එයාලගේ වෑන් එකෙන් යන්න ලෑස්ති වුනා.
අම්මා ඊට කලින් දවසෙ වම්බටුමෝජු , සීනි සම්බෝල හදලා බෝතල් වලට දාලා තිබ්බා. ආ කියන්න අමතක වුනානේ මං මේ ලෝකෙ ආසම පැණි රස කෑම සුදු අලුවා ටිකකුත් මමම හැදුවා. යාන්තම් ඉතිං මට ඔය ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ පුළුවන් ඔය කැවිලි හදන එක විතරයි. අනිත් කෑම ඉතිං අඩු ගානේ මටවත් කන්න බෑ. අපරාදෙ කියන්න බෑ ඒ තරම් රසයි. (මාර සරණිය ප්‍රින්ට් කරන් නම් ගියා තාම වැඩේ කරන්න බැරි වුනා.බලමුකෝ මාරයියාගේ පිහිටෙන්වත් ඒ ප්‍රශ්නෙන් ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා.)
කොහොමින් කොහොම හරි ගමනට ඕන කරන හැම දෙයක්ම කලින් දවසෙ ලෑස්ති කරලා තිබ්බා. උදේ 4 වෙද්දී වෑන් එකෙන් ඒ මාමලා එනව කිව්ව නිසා අපි ඉතිං වෙලාවටත් කලින් ලෑස්තිවෙලා හිටියා. 4 වැදුනා, 4.30 වැදුනා, 5 ත් වැදුනා වෑන් එක නම් එන පාටක් නෑ. දැන් ඉතිං මොනවා කරන්නද? ඒ දවස් වල ඔය ෆෝන් එහෙම තිබුනෙ නෑනේ. එහෙම වුනා නම් ඉතිං පැය ගානක් බලන් ඉන්න ඕනෙ නෑනේ. බලන් ඉදලා බැරිම තැන 5.30 ට විතර තාත්තා උඩහ ගෙදරින් පුට්සයිකල් එකක් ඉල්ලගෙන ඒ ගෙදරට ගිහින් එන්න ගියා.
ඔන්න බොලේ පැය භාගයක් විතර යද්දී තාත්තා එනවා. ඈතදිම මූණේ ලක්ෂණ අධ්‍යනය කරලා මම නම් දැන ගත්තා දැන්නම් එන්නේ අසූහාරදාහට නැගලා තමයි කියලා. එහේ වෑන් එක කැඩිලලූ. ස්ටාර්ට් වෙන්නෙ නෑලු. ඒක නිසා ඇවිත් නැත්තේ. දැන් ඉතිං මොනවා කරන්නද ඇදුම් මාරු කර ගන්න හිතන් අපි ගෙට ගියා.
මිදුලට වෙලා හිටිය තාත්තා ඔහොමම තව ටිකක් ඉන්න කියලා බයික් එකෙන්ම කොහේද ගියා. තාත්තා කිව්වොත් ඉතිං අපි නෝ හෙල්ලුන් තමයි. (ඒක නිසා හිටිය මිසක් නැත්නම් ඉතිං 3.30 ඉදන් ඇදගෙන තව මොනවා ඉන්නද)
ඔහොම ඉදිද්දී ඩොනල් අයියගේ ත්‍රීවිල් එක ඇවිත් මිදුලේ නතර කලා. ඒ එක්කම තාත්තත් ආවා. දැන් හරි අපි මේකෙන් යමු කියලා තාත්තා කිව්වහම කවුරුත් කිසිම ඇඩ් එකක් නොදා ඒකෙන් යන්න ලෑස්තිවුනා. වැඩිය බඩු දාගන්න ඕන නෑ කියපු නිසා අපි දාගෙන හිටිය ඇදුම් ටිකක් අඩු කරා.
අපේ ගෙදර පස්දෙනයි ත්‍රීවිල් එකේ අයියයි ඔක්කොම හය දෙනෙක්. අම්මයි තාත්තයි වාඩි වුනහම යාන්තම් තව එක්කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ ඉතුරු වෙනවා. මොනවා කරන්නද කොහොම හරි යන්නත් ඕනනේ. මම ඉතිං නැග්ගේ මගේ අතිජාත පිලෝ යාළුවත් තුරුල් කර ගෙනමයි.
ඒ ගමන තාත්තා කියපි එයාලා වාඩිවෙන ෂීට් එකට පිටිපස්සෙන් අර ත්‍රීවිල් වල බෆල් එහෙම හයි කරන කෑල්ල තියෙන්නේ අන්න ඒකේ කොට්ටෙ දාගෙන මට හාන්සි වෙලා යන්න කියලා. (දැන් ඉතිං කට්ටියටම හිතා ගන්න පුළුවන් නොවැ මගේ සයිස් එක.හැබැයි ඉතිං මෙහෙම ගියේ මීට අවුරුදු 10කට කලින් )
මාත් සනීපෙට හාන්සි වෙලා පිටිපස්සෙ වීදුරු කෑල්ලෙන් නියමෙට වටපිට බල බල ගියා. අම්මෝ කියන්න බැරි වුනානේ මේ විදියට ගියාට මොකද අපි ඉතිං තාම දන්නේ නෑ මේ කොහේද යන්නේ කියලා. අපි කියන්නේ මායි, අක්කයි, අයියයි තුන්දෙනා. අනිත් අය නම් දන්නවා ඇතිමයෙ හිතේ.....
සමාවෙන්න මං මේක කොල කෑල්ලක ලිව්වේ ගෙදර කවුරුත් නැතුව කරුවලේ එළියට වෙලා පඩි පෙළේ වාඩි වෙලා ඉදිද්දී. ඔන් දැන් ගෙදර අය ආවා. ඉතුරු ටික ඉක්මනින්ම ලියන්නම්......