මිනිස්සු කියන්නෙ
හරිම පුදුම ජාතියක්. ඒ මිනිස්සුන්ගෙ හිත් කියන්නේ හිතන්නවත් අමාරු තරමටම මහම මහ
පුදුම දෙයක්. ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු එකි නෙකට කොයි තරම් වෙනස්ද? රූපෙන් ,
තරාතිරමෙන්,සිතුවිලි වලින් ඒ හැමෝම එකිනෙකට වෙනස්. කෙනෙක් එක දෙයකට හුගක්ම ආසයි
අනිත් කෙනා ඒ දේට පොඩ්ඩක්වත් ආස නෑ. හරියට මේ වගේ.අපේ තාත්තා බණ්ඩක්කා කන්න ආසම
ආසයි. හැබැයි ඒව හැදුවොත් මම එදාට කන්නෙ නෑ. එකම විදියට ලේ මස් නහර වලින් හැදුනත්
කොයිතරම් මේ මිනිස්සු අතර වෙනස්කම් තියෙනවද..?
අනිත් දේ තමයි
මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිය. එහෙමත් නැත්නම් ලද දෙයින් සතුටු නොවීම. තමන්ට නැති
දේ ගැනයි හිතන්නේ. අනේ එයාට ලස්සන කාර් එකක් තියෙනවා මට නෑ නේ. ඉතිං ඉන්නෙම හිතෙන්
විදව විදවා දුකින්. එයා ලග තියෙන බයික් එකේ අගය යටපත් වෙලා නැති දේ ඇති අගේ ඉස්මතු
වෙනවා. හැබැයි මම කියන්නෙ නෑ තමන්ට නැති දෙයක් ලබා ගන්න හීන මවන එකේ වරදක් තියෙනවා
කියලා. ඉන්න තැනට වඩා තැනකට යන්න, තියෙන දේවල් වලට වඩා සැපපහසු දේවල් ලබා ගන්න
අවශ්‍යතාවක් ඇති කර ගෙන වැඩ කලොත් කවදාවත් එක බැරි වෙන්නෙත් නෑ. මොකද ලෝකය දිනලා
තියෙන්නේ අඩියෙම හිටපු මිනිස්සු. ඒත් තියෙන දේ අගයක් නැතුව නැති දේ ගැන හූල්ල
හූල්ල ඉන්න එක නම් මහම මහ මෝඩකමක්. සමහර මිනිස්සුන්ට කොයි තරම් තිබුණත් කටේ
තියෙන්නෙම නෑ. ඇහුවොත් නෑ. අරකට අච්චර යනවා මේකට මෙච්චර යනවා. අනේ අරක නෑ මේක නෑ
කියලා තමයි කියන්නේ. මම නම් තියෙද්දිත් නෑතිවාදන් කියන මිනිස්සුන්ට නම් කැමතිම නෑ.
බට්ටිට මහ හුගක් නැති වුනාට තියෙන ටික ඉහටත් උඩින් ඇති. බට්ටි කවදාවත් අනේ මගේ අතේ
සතේ නෑ කියලා අද තාවනතුරු කියලා නෑ. ඒ ආශිර්වාදෙන්ද කොහේද අද තාවනතුරු නැති වෙලත්
නෑ. ඔන්න ඔය හේතුව නිසා තමයි බට්ටිගෙ ගෙදර අය බට්ටිට මහ බැංකුව කියන්නේ. මොකද ඒකෙ
නැතිවුනත් මයෙ ලග නැතිවෙන්නෙ නෑ කියනවා ගෙදර අය කියනවා.
මිනිස්සුන්ගෙ තවත්
දෙයක් තමයි තමන් පහත් කොට සිතීම. ඒ කියන්නේ එයා තමයි වැඩ්ඩා එයා තමයි පොර කියලා
හිතලා අනේ මම එහෙම නෑ කියලා හිතින් තැවෙනවා. මේකට ලස්සන උදාහරණයක් නිතර කඩේට එන
ටියුෂන් සර් කෙනෙක් මට කිව්වා.
‘‘එක්තරා රටක හිටියලූ
ගල් වඩුවෙක්. ඉතිං මේ මනුස්සයා මේ විදියට ඉන්නකොට මෙයාට ඕන වුනාලු පොරක් වෙන්න.
එහෙමත් නැත්නම් වැඩ්ඩෙක් වෙන්න. එයාට පෙනුනලු සල්ලි තියෙන මිනිස්සු තමයි පොරවල් කියලා.ඉතිං
මේ මනුස්සයා මහන්සි වෙලා මහන්සිවෙලා සල්ලි එකතු කරාලූ. එහෙම එකතු කරලා ලොකුම ලොකු
සල්ලිකාරයෙක් වුනාලු. ඉතිං ඔය විදියට සල්ලිකාරයෙක් වගේ ඉන්න කොට ඒ රටේ රාජ්‍ය
සේවකයො යද්දි මෙයාට කොයිතරම් සල්ලි තිබුණත් ඒ අයට ඔළුව නමලා ආචාර කරන්න වුනාලු.
ඉතිං මෙයා හිතුවලූ සල්ලිකාරයෙක් වෙලා වැඩක් නෑ රජතුමාගේ සේවකයෙක් වෙන්න ඕන එයාල
තමයි පොරවල් කියලා. ඒගමන සේවකයෙක් වෙලා දක්ෂතා පෙන්වලා තනතුරුවලින් ඉහලටම ගියාලු.
මෙයා දැන් ගමන් බිමන් යන්නෙත් දෝලාවෙන්ලූ. ඔහොම දවසක් යද්දි දොලාවෙ ආවරණයෙන් ඇතුලට
ඉර එළිය ඇවිත් මූණට වැටෙනවලූ. ඉතිං මෙයා පහත් වෙවී එහෙ මෙහෙ වෙවී ඉර එළියට මුවා
වුනාලූ. ඒ ගමන මේ මනුස්සයට හිතුනලූ ඉර තමයි වැඩ්ඩා කියලා. එහෙම හිතලා ඉර වුනාලු.(දැන්
ඉතිං අහනවා නෙවෙයි කොහොමද මිනිහා ඉර වුනේ කියලා. මේක කතාවක් අලී. මොකද ඔය පුරස්නෙ
මාත් අහලා එයා කිව්වෙත් ඕක. :D) දැන් ඉතිං මෙහෙම ඉර වෙලා ඉන්න කොට
එක දවසක් කළු වළාකුලක් ඇවිත් මෙයාව වැහුනලූ. ඒ ගමන හිතුවලූ අනේ ඉර නෙවෙයි වැඩ්ඩා
කළු වළාකුල තමයි කියලා. එහෙම හිතලා වුනාලූ කළු වළාකුලක්. එහෙම වෙලා ඉන්නකොට මෙයාට
නිකන් දැනෙනවලු තමන්ව කවුරු හරි තල්ලු කරනවා වගේ. ඒ ගමන් බැලුවලු කවුද ඒ කියලා. බැලින්නම්
සුළගලූ. ඉතිං හිතුවලූ කළු වළාකුල නෙවෙයි වැඩ්ඩා සුළග තමයි කියලා සුළග වුනාලු. සුළග
වෙලා ඉන්නකොට එයාව මහ ලොකු දෙයක හැප්පිලා විසිවෙනවා වගේ දැනුලාලූ. ඒ ගමන හොයල
බැලුවලු ඇයි කියලා. බලද්දි ඒක ලොකුම ලොකු කළු ගලක්ලූ. හරි කළු ගල තමයි වැඩ්ඩා
කියලා මෙයා කළු ගලක් වුනාලු. ඔය විදියට කළු ගල වෙලා ඉන්නකොට එයාට දැනුනලූ තමන්ව ටික ටික අඩු වෙනවා පුංචි වෙනවා කියලා.
හොයලා බැලුවලූ මොකද වෙන්නේ කියලා. එහෙම වෙන්නෙ ගල් වඩුවෙක් ගල ටිකටික කඩන නිසා
කියලා මෙයා දැන ගත්තලූ. ඒක දැන ගෙන ගල් වඩුව තමයි වැඩ්ඩා කියලා ගල් වඩුවෙක්
වුනාලූ. ඉතිං මෙයා වටේ කැරකිලා ආයෙම ආවෙ හිටිය තැනටමයි. එතකොට තමයිලු තේරුනේ බලන්
යද්දි එයාත් වැඩ්ඩෙක් තමයි කියලා”
ඉතිං බලන් යද්දි
අපිත් ඒ ඒ පැතිවලින් පොරවල් නෙවෙයිද?
ප.ලි. පොස්ටුවක්
ලියන්න හිතන් හිටියට ඒක කරගන්න බැරි තරමට පන්තියේ වැඩ තිබ්බා. ඒකයි පමාවුනේ. ඔන්න
20 වෙනිදා බට්ටි කිව්ව හීනෙ හැබෑ වුනා. ඒ
තමයි බට්ටිට ලැප් ටොප් එකක් ලැබුනා. බට්ටිට ඉන්නෙ එක අක්කෙකුයි එක අයියෙකුයි.
අක්කා ඉන්නෙ මැලේසියාවෙ. ඉතිං බට්ටිගෙ අක්කා තමයි හීනෙ හැබෑකලේ. තාත්තා අක්කා අත
ඇරලා කොළඹට ඇවිත් ජපානෙ ඩිස්නිලන්තෙ පහල වුනත් ගෙදර අයෙම යන්නෑ කිව්ව මගේ හිත
වෙනස් කරලා ගෙදර අය එක්ක එකතු කරන්න ඉන්න ගෙදර අක්කා හුගක් මහන්සි ගත්තා. නිතරම
කිව්වෙ ගෙදර අයගෙ මොනව වරද තිබුණත් ඒ අය නැතුව අපිට ජීවිතයක් නෑ බට්ටො කියලා. ඒ මග
පෙන්වීමෙන් බට්ටිගෙ සිතුවිලි වෙනස් කරගත්තා. තාත්තා අක්කා ගෙදර හැමෝම එක්ක
එකතුවුනා. ඉතිං මට ලැබුණ ලැප් ටොප් එක ලැබුණෙත් ඉන්න ගෙදර අක්කා මාව නිවැරදි ට්‍රැක්
එකට දාපු නිසා. ඉතිං අවුරුද්දකට විතර කලින් දැකපු හීනෙ එළිය කල මගේම අක්කට ස්තූති
කියන්න මගේ ලග වචන නෑ.මට වගේම අම්මටත්. මේලෝකෙ මගේ හීන එළිවෙද්දි මට වඩා සතුටු
වෙන්නෙ අම්මා. ඉතිං අක්කා ලැප් ටොප් හීනෙ
එළි කරද්දී මගේ ජීවිතේට මහ හුගක් සමීපකෙනෙක්
ඩොන්ගල් එකක් අරන් දුන්නා.ඒ වගේම ලැප් එක් අඩුපාඩු හදලා පන්තියෙ වැඩයි අනිත් වැඩයි කර ගන්න පුළුවන් විදියට සෝෆ්ට් වෙයා දාලා ලැප් එක පාටිෂන් කරල දුන්නෙත් හෘදයාංගම හිතවතෙක්. ඉතිං එයාලට හැමෝටම මහ හුගක් පිං.දැන් ඉතිං බට්ටි හරිම
සතුටින්.
මේ සතුට සමරන්නම ඕනනේ. දුකේදි සැපේදි ලගින් ඉන්න මගේ යාළුවො ටික එක්ක ඇරෙන්න වෙන කා එක්ක සතුට සමරන්නද? මෙන්න බට්ටිගෙන් හැමෝටම අද කේක්. මමත් පොඩි කෑල්ලක් කපා ගත්තා. කට්ටිය තා නෑනේ...
චොකලට් හැමතැනම ගාගනිපු අය අත් පිහිදාගෙනම යන්න.:D :D





