August 26, 2012

බට්ටිට නඩුවක්

නඩු අංක 33 උසාවියට කැදවන්න....


පැමිණිලිකරු -    සත්තලන්
විත්තිකරු -        බට්ටි


විනිසුරුතුමා -
මොනාද මැය තමාගෙන් සොරෙන් ගත්තේ..


සත්තලන් -
මගේ හදවත ස්වාමීනි. මාගේ ඇස්පනා පිටම මැය එය සොරකම් කරගෙන ගියා ස්වාමීනි..


බට්ටි -
උයා මෙයා කීන ඒව අහන්න එපා ස්වාමීනි.ඇස්පනා පිට ගත්තනම් ඒක හොරකමක් වෙන්නෙ කෝමෙයි නේද ස්වාමීනි...


විනිසුරුතුමා -

ඕඩර් ඕඩර්....අවස්තාව පැමිණෙන තුරු විත්තිකාරිය නිශ්ශබ්ද වෙනු..ඇරත් හුරතල් වදන් උසාවියේදී කිව්වොත් බර පතල වැඩ සහිතව මාස 6කට බන්ධනාගාර ගත කරන්න නියෝග කරනවා...

බට්ටි -
අම්බෝ..අලි අලි යේනම් මං කීන්නෑ මුකුත්ම....

සත්තලන් -
අර අර ආයෙම කිව්වා ස්වාමීනි.මම අහුවුනෙත් ඕවට තමයි ස්වාමීනි.මැයට මායං 128ක් තියෙනවා ස්වාමිනි..මට අනුකම්පා කරලා මාව බේරලා දෙන්න ස්වාමීනි....

බට්ටි -
මෙයා ආයෙම බොලු කීනවා.උයා කෝමෙයි දන්නේ 128 ක් තීනවා කීලා.ආ...මම උයාට දැම්මේ 2කම 2යී....

සත්තලන් -
මට කවදාවත් මෙහෙම වෙලා නෑ ස්වාමීනි.වැඩක්පලක් කර ගන්නත් නෑ.මතක්වෙන්නෙම මෙයාව.මට මගේ හිත ආයෙම අරන් දෙන්න ස්වාමීනි.
 
විනිසුරුතුමා -
පැමිණිලිකරුගේ හිත සොරකම් කල එක විතරද විත්තිකරු කලේ...?
 
සත්තලන්  -
නෑ නෑ ස්වාමීනි. මට ඔෆීසියේ වැඩක් පලක් කර ගන්න නෑ ස්වාමීනි මෙයා නිසා.නිතරම මැසේජ් කරනවා.ඔන්ලයින් එන්න විදියක් නෑ ස්වාමීනි එකපිට එකපිට මැසේජ් 1000ක් විතර එවනවා ස්වාමීනි.මට මෙයා එක්කම ඉන්න බෑ ස්වාමීනි.ඒක මහ වදයක් කියලයි මට මුලින් දැනුනේ.ඒත් දැන් 24 පැයේම මට මේයාව ඕනි ස්වාමීනි.මම මගේ පාඩුවේ හිටියා ස්වාමීනි. මෙයා මට මොනවද කරලා.මට හිත ආපහු අරන් දෙන්න ස්වාමීනි. ඔබතුමාට පිං අයිති වෙයි.

විනිසුරුතුමා -
විත්තිකාරියට නිදහසට කාරනා තියෙනවද? 
 
බට්ටි  -
ඔව් ස්වාමීනි.මේ සත්තලන් කීන සේලම බොලු..එයා තමයි ස්වාමීනි මට පොන් නම්බර් එක බලෙන්ම එව්වේ.
 
සත්තලන්  -
මම දුන්නා තමයි ඒත් මොකටද ස්වාමීනි මෙයා කෝල් කලේ...
 
විනිසුරුතුමා -
ඒකත් ඇත්ත. ඇයි තමුන් ‍ නම්බර් එක දුන්න පලියට කොල් කරන්න ගියේ..
 
බට්ටි  -
නෑ ස්වාමීනි නම්බර්  එක වැඩ කරනවද බලන්න ගත්තේ ස්වාමීනි.මෙයා තමයි එදාම වැඩේ කෑවේ.මම එදා කෝල් කරද්දි මෙයා ඇදුම් මදිනවා. විනාඩියක්වත් කතා නොකර මම ඉක්මනින් තිබ්බා.ඇවිත් මැසේජ් එකක් තිබ්බා කතා කරන්න ගිහින් ඇදුම් පුච්ච ගත්තෙ නෑනේද කියලා.එතකොට මෙයා දුන්න උත්තරේ දන්නවද ස්වාමීනි.
 
විනිසුරුතුමා -
තමුන්ට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. තේරුනාද ?ඉතිං ඊට පස්සෙ මොකද වුනේ...?
 
බට්ටි -
මෙයා කිව්වා ස්වාමීනි ඇදුමනම් පිච්චුනේ නෑ ඒත් පොන් එක කට් කරද්දි මගේ හිතනම් පුච්චුනා කියලා.මෙයා ඒක කිව්වෙ ප්ලෑන් කරලමයි ස්වාමිනී..ඉතිං ස්වාමීනි මම ඔය ගත්තා කියන හිත ගත්තේ සනීප කරන්න. කුකුල්තෙල් ගාලා ගාලා පිච්චුන හිත සනීප කරන්න වින්ද මහන්සිය දන්නේ මම විතරයි ස්වාමීනි. එහෙම සනීපකරපු හිත මෙයා ඉල්ලන එක වැරදී ස්වාමීනි.ඒ හිත මගේ ඒක අයිති මට....
 
 සත්තලන් -
හිත පිච්චුනේ මෙයා නිසා ස්වාමීනි. මම කරන හැමදේම ඉවසලා ඉවසලා අන්තිමේදි ඇස් පනා පිට මගේ හිත හොරකම් කලා ස්වාමීනි...

බට්ටි -
මම මුකුත් කලේ නෑ ස්වාමීනි සත්තමයි. මෙයාතමයි මගේ පස්සෙන් ආවේ මුලින්ම. බොලුනම් මයෙ මිස්ටිගෙන් අහන්න ස්වාමීනි..එයා සේලම දන්නවා...

මිස්ටිව උසාවියට කැදවයි.මිස්ටී ඇසින් දුටු සියලු කරුණු විස්තර කරයි.සියලු කරුණු ජූරිට සලකා බලයි........


විනිසුරුතුමා -

සියලුකරුනු විමසා බැලීමෙන් පසුව විත්තිකාරිය නොහොත් බට්ටිව නිදොස් කොට නිදහස් කරන බවත්...බොරුනඩු දමා උසාවිය නොමග යැවීමට වෙහෙසුනු සත්තලන්ට දඩුවම් වශයෙන් ජීවිතාන්තය දක්වා බට්ටි සමගම සිටීමට නියෝග කරමි...

බට්ටි -
හුලේ හුලේ........

විනිසුරුතුමා -
උසාවිය නිශ්ශබ්දවනු..
 
ප.ලි.සිතුවිල්ලක් පමණි.හුදෙක් විනෝදය සදහා පමණක්මයි..
උදේ මුණුපොතේ නිකමට ලිව්ව මේය යාළුවන්ගේ ඉල්ලීම නිසා ටිකක් වෙනස් කරලා පෝස්ටුවක් කලා...

August 11, 2012

දිව්ව හොදම දිවිල්ල....

හුග දවසකට පස්සෙ හිතුනා පොස්ට් එකක් ලියන්න.හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත් වැඩ වැඩිකම නිසාම ටයිප් කර ගන්න බැරිවුනා.ෂොප් එකේ මැෂින් එකට යකෙක් ගහලද මන්දා අනේ බ්ලොග් යන්න, මේල් බලන්න, බුකියට ලොග් වෙන්න මුකුත් බෑ.යන්න පුළුවන් මැෂිමට කොච්චර සිංහල දාන්න හැදුවත් දාන්න බෑ.වැඩ කරලා මහන්සිවෙලා ඇවිත් පොස්ට් එකක් ටයිප් කරන එක ලේසි නෑ. භාගයක් ටයිප් කරද්දි බෙල්ල සාක්කුවේ. ඒත් ඉතිං එහෙම කියලා බෑනේ. ඉතිං මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවා.
ඔන්න අදත් බට්ටිට හිතුනා ඉස්කෝලෙ යද්දි බට්ටිට වෙච්චි දෙයක් කියන්න. මතක් කර කර හිනා වෙන්න පුළුවන් ලස්සනම කාලේ ඒකනේ.ජනවාරි මාසේ කියන්නේ ඉතිං ඉස්කෝලෙ යද්දි බට්ටි ආසම මාසයක්. ඒ ඉතිං නිවාසාන්තර ක්‍රීඩා තියෙන්නේ ජනවාරියේ නිසා තමයි. මේ වගේ ක්‍රීඩා තියෙන කාලෙක නොද්ද වැඩ කරන්න ගිහින් බට්ටි ඇගිල්ලක් කඩා ගනිපු හැටි හැමෝටම මතක ඇතිනේ....?මේ සිද්ධිය වෙද්දි බට්ටි 8 වසරේ. තරගවලට තෝරද්දි කැමති ළමයින්ට ගමහරහා දිවීමේ තරගයටත් නම් දෙන්න කිව්වා.  ආ එහෙම නම දෙන අයට ගෙදරින් අවසර අරන් එන්න කිව්වා. තාත්තාගෙන් ලියුමක් අරන් ඇවිත් බට්ටිත් ලිස්ට් එකට නම දාගත්තා. නිවාසාන්තර තරග වලින් මුලින්ම තියෙන්නේ මේ ගමහරහා දිවීමේ තරගය තමයි.
ඔන්න ඉතිං තරගය පවත්වන දවස උදාවුනා. ක්‍රීඩා කරද්දි අදින පුංචි සුදුපාට සායයි , නිවාසේ පාටින් ටී එකකුයි ඇදලා බට්ටි වගේම අකීකරු කොණ්ඩේ මූණට නොවැටෙන්න ටී එකේ පාටින් හෙයාර් බෑන්ඩ් එකකුත් දාලා හැඩ වෙලා තරගය පටන් ගන්න තැනට බට්ටිත් ගියා.ආ ග්ලූකෝස් එහෙම කාලා ශක්තිය අරගෙන තමයි ඉතිං බට්ටි ගියේ.එක නිවාසෙකින් 25ඒගානේ ළමයි 75ක් ගමහරහා දුවන්න ලෑස්තිවෙලායි හිටියේ.
අවුරුදු තුන හතරක් එක දිගට මේ තරගෙන් කප් එක ඉස්සුවේ එකම අක්කා කෙනෙක්. බට්ටිගේ වාසනාවට ඒ අක්කා බට්ටිට හුගාක් ආද‍රේයි.ඉතිං මේ අක්කා කලින්ම පොරොන්දු වුනා එයා එක්කම බට්ටිට දිනුම් කණුව ලගට එක්කර ගෙන එනවා කියලා.ඉතිං තරගේ පටන් ගන්න කලින් ඉදන් මම ඒ අක්කා ලගින් හෙලවුනේවත් නෑ. ඉස්කෝලෙ ඉදන් අල්ලපු ගමේ හන්දියට දුවලා ආයෙම ඉස්කොලෙට එන්නයි තිබුනේ.මේ පාරෙම තමයි බට්ටිගෙ ගෙදර තියෙන්නෙත්. ඒ අක්කා කිව්වේ මුලින්ම හෙමිල් ගිහින් පස්සෙ ලීඩ් කරමු කියලා.ඉතිං අක්කා යන විදියට බට්ටිත් අක්කා එක්කම ගියා.
ඔයා යන පාරේ තියෙනවා වෙලක් එක්ක ටිකක් විතර පාළු හරියක්. ඒ හරියෙ තියෙනවා පරණතාලෙ ගෙයක්. ඒ ගෙදරට ගමේ අය රහසින් කිව්වේ කොටි ගෙදර කියලා.ඉතිං ඔය ගෙදර ලගින් යද්දි පැන්නෙ නැතැයි එළියට මේ මේ කොටියෙක් නෙවෙයි අලිද? තඩි බල්ලෙ.බල්ලට බයවෙච්ච අක්කා පොරොන්දු අමතක කරලා පණ කඩන් දුවන්න පටන් ගත්තා. අයියෝ බට්ටිගේ දිනුම් කණුවේ හීනේ.දැන් ඉතිං භාගයක් දුර ඇවිත් නතර වෙන්න පුළුවනැයි.තනියෙම දිව්වා අක්කව අල්ල ගන්න.අක්කා පේනතෙක් මානෙකවත් නෑ.මම හන්දිය කිට්ටු කරන්න යද්දි මෙන්න බොලේ අක්කා ගිහිල්ලා ආයෙමත් එනවා.
වෙන ඕන දෙයක් කියලා බට්ටිත් දැන් තියෙන උපරිම වේගෙන දුවනවා.ආයෙම එද්දි වතුර තිබහයි ඉන්න බැරිවෙන්නම.ඉල්ල ගන්න ඒ විදියේ ෆිට් තැනකුත් නෑ.තිබහ උහුල ගන්නම බැරි තැනට ඇවිත්. දුවා ගන්න පණත් නෑ.ගෙදරින්ම වතුර බොනවා කියලා හිතන් එද්දි ගෙදරත් කවුරුත් නෑ.ගර්ර්ර්ර්ර්.....ගෙදර අයත් දුවන් ඇවිල්ලා පිට්ටනියේ මාව වැටුනොත් කියලා අල්ල ගන්න ඉස්කෝලෙට ගිහින්. පිට්ටනියේ වැටෙන්න යන්න ඉතිං මෙතන නොවැටි ඉන්න එපැයි.මේ තරගයක් හින්දා යසට තියෙන දිව ගිලෙනකල් බලන් ඉන්න පුළුවන්ද?දිනුවත් එකයි පැරදුනත් එකයි කියලා හිතලා  අපේ ගෙදරටම තිබුණ එකම ෆ්‍රිජ් එකෙන් වතුර අරන් බඩ පැලෙන්න බිව්වා. ආ කියන්න බැරි වුනානේ මේ ෆ්‍රිජ් එක ගැන ඒකෙ වතුර හරිම කූල්.ගමේ හැමේම ආසයි ඒකෙ වතුර බෙන්න. මැටි පොලොවෙ තියපු මැටි කලේක වතුර ඉතිං කොහොමත් කූල්නේ නේද?
එහෙම බඩපැලෙන්න වතුර බීලා ඇවිත් ඉස්කෝලෙ කිට්ටු වෙද්දි මෙන්න ළමයි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හරියට ජීවිතේට බට්ටි දැකලා නැති අයවගේ.මේ විදියට නම් මෙයාලා කෑගහන්නේ ෂුවර් එකට මම අන්තිමයා වෙන්න ඇති කියලමයි හිතුවේ. ඒත් පස්ස හැරිලා බලද්දි එක්කෙනෙක් එනවා පිටිපස්සෙන්.දැන්නම් ඉතිං හිතට සතුටුයි ඇයි ඉතිං අන්තිමයට කලින් කෙනා වුනත් ඇතිනේ.පුංචි ගැප් එකකින් පිටිපස්සෙන් ආපු කෙනාට කලින් බට්ටි තරගේ ඉවර කලා.හැමෝම ඇවිත් මාව වට කර ගත්තා.අන්තිමයට කලින් ඇවිත් මේ තරම් පිලි ගැනීමක්.නෑ නෑ බට්ටි තරගෙන් තුන් වෙනියා වෙලා.විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා කොහොම විශ්වාස කරන්නද සහතිකේ දෙනකල් මටවත් හරියට විශ්වාසයක් තිබුණේ නෑ.පස්සේ දුක හිතුනා වතුර බෙන්න ගිය එකට. මොකද එහෙම නොවුන නම් බට්ටි එදා තුන නෙවෙයි දෙකනේ.හැබැයි ඉතිං තාරපාරේ දුවලා කකුල්වල ගල්තැලැම්ඹු ආපු නිසා බට්ටි ආයෙම කිසිම දවසක ගමහරහා දිව්වේ නෑ.....


ප.ලි. ඊයේ පටන් ගත්තට නින්ද ගියා. උදේ තමයි ඉවර කලේ.ඔන්න මධු මාමේ පොරොන්දු කඩකලා කියලා බනිනවා එහෙම නෙවෙයි..



July 30, 2012

ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ?



හැමෝම දන්නවනේ බට්ටිට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියෙකුයි කියලා. අක්කා ඉන්නේ දුර රටක. ආ දැන් ඉතිං බට්ටි ලියන පොස්ට් එයත් කියවන්න පටන් අරන්නේ. සුට්ටටක් විතර ලැජ්ජත් එක්ක. :D එයා ආසයි මම ලියන ඒවට.  ඇයි එයා එක්ක ඉන්න අනිත් ඔ‍ක්කොම අක්කිලත් දැන් ‍බට්ටි කියවන්න පටන් අරන්. ඒක ඉතිං බට්ටිට ලොකු සතුටක්. 

මතකනේ පහුගිය පොස්ට් එකකින් ලිව්වා මිහිරි ළිදේ වැටුන හැටි. අක්කා මේ පොස්ට් කියවලා බට්ටිට කියනවා ඇයි මිහිරි විතරද වැටුනේ අනිත් අය වැටුන ඒවත් ලියන්න කියලා. ඇත්තටම මිහිරිම විතරද ළිදේ වැටු‍නේ? හේ හේ තව අයත් වැටිලනේ. ‍ ඔන්න ඉතිං ලැජ්ජාව පැත්තකින් තියලා අක්කා කිව්ව නිසා බට්ටිත් ලියනවා අර ළිදේ වැටුන අනිත් අය ගැන.....:P 

ඔන්න ලස්සනම ලස්සන ගමක් තිබුණලූ, කදුවැටි , ඇලක් වගේම සීතලම සීතල වතුර පිරුණු ළිං ඕන තරම් තියෙන. ඉතිං මේ ගමේ හිටියලූ කටකාර දගකාර පුංචි කෙල්ලක්. කෙල්ලක් වුනාට මෙයා හරියට ඉස්සෙක් වගේලූ. එක තැනක ඉන්න තේරෙන්නෙම නෑලූ. මේ ඉන්න තැන අර පැත්ත බලලා මේ පැත්ත බලද්දි නෑලූ. ඉතිං මේ පුංචි කෙල්ලට ‘බිං ඇටේ, බටු ඇටේ” වගේ නම් නෑයන්ගෙන් තෑගි ලැබුනලූ. ඔය අතරින් වැඩිපුරම කියන්නේ බිං ඇටේ කියලා තමයිලූ. එහෙම කියන්නේ ඉතිං මෙයා දොඩන් ගෙඩි දෙක්කවත් උස නැති නිසාලූ.  

කන්දේ මාමා කියන්නේ මෙයාගෙ නෑයෙක්ලූ. ඉතිං අයියා අක්කා එක්ක මේ කියන පුංචි කෙල්ල නිතර එහේ යනවලූ. මොකද ලොකුම ලොකු ඔංචිල්ලාවක් තියෙනවාලූ එහේ ඒක පදින්න. හැබැයි ඉතිං පැන ගෙන ගියාට මෙයා හරි බයයිලූ ඔංචිල්ලාව පදින්න. මොකද ඉස්සරහට යනකොට මෙන්න මෙයාගෙ හුස්ම හරිවෙන්න එනවා කියලා ලණුවත් කිටි කිටියෙ තදින් අල්ලගෙන ඇස් දෙකත් තද වෙන්න පියා ගන්නවලූ.පවු නේද මේ පුංචි කෙල්ල.හිකිස්.... 

ඉතිං මෙහෙම ඔංචිලි පැදලා අක්කා අයියා එක්ක ගෙදර එන්න ඇවිත්. ලොකු කන්දකනේ කන්දේ මාමගේ ගෙදර තියෙන්නේ ඉතිං මෙයාගෙ ගේ තියෙන්නේ පාර අයිනේලූ. ඉතිං කන්ද බැහැලා එන්න ඕනලූ ටික දුරක්.අක්කයි අයියයි හෙමින් කන්ද බහිද්දි මේ බටු ඇටේ තේ පදුරු අස්සෙන් එයාලව දාලා පහලට දුවලා. කන්ද පහල තියෙනවා නෑ නෑ තියෙනවා නෙවෙයි තියෙනවලූ හරිද ලස්සන ළිදක්. වතුර පිරිච්ච. මේ අර මිහිරි වැටුන ළිද නම් නෙවෙයි හොදද? මේ ළිද තියෙන්නේ ලොකුම ලොකු අඹ ගහක් යටලූ. ඒ ගහේ අඹ මී පැණි තරම්ම රසම රසයිලූ. ඉතිං මේ පුංචි කෙල්ල ළිද ලගට එද්දි  කහම කහපාට අඹ ගෙඩියක් ළිදේ පාවි පාවි තියෙනවලූ. ගන්න කෝටු දැම්මලූ ඒත් බෑලූ. කොටුව වදිද්දිම අඹ ගෙඩිය යට යනවලූ. දැන් ඉතිං කොහොම හරි ඉක්මනින් මේ අඹ ගෙඩිය ගන්නත් ඕනලූ. මොකද අක්කයි අයියයි ආවොත් එයාලා එක්කත් මේක බෙදා ගන්න වෙනවනේ.ඒ මදිවට ලග ලගම ළිදට නාන්න කෙනෙකුත් එනවලූ.කොටුව දාලා දාලා කකුලත් දාලා අඹ ගෙඩිය ලගට ගන්න බැලුවට හරි ගිහිල්ලම නෑ. ඉතිං පමාදවෙලා පසුතැවෙන්න වෙයි කියලා හිතපු මෙයා පැන්නලූ නේ අඹ ගෙඩිය ගන්න ළිදට.දැන් ඉතිං මොනවා කරන්නද? ඒ ළිදේ වතුර පිරිලා. උස එක්කෙනෙක් නම් කමක් නෑ බටු ඇටයක්නේ. මේ පිස්සු කෙල්ලගේ වාසනාවට අර දෙපැත්තෙන්ම එමින් සිටි තුන් දෙනා මෙයාව බේර ගෙන.  ඇදුම් සේරම තෙමාගෙන. ළිදෙන් ගොඩට ගත්තට පස්සේ මෙන්න මෙයා අඩනවලූ කෑගහලා. කට්ටියම හිතලා තියෙන්නේ ළිදේ වැටුන එකට බයේ තමයි මේ අඩන්නේ කියලා. ඉතිං නලව ගන්න එක එක දේවල් කියලා. කෝ ඒත් නෑලු අඩන එක නතර කරන්නේ.මෙන්න ඒ ගමන මෙයා කිව්වලූ ‘අනේ මට අර කහ අඹ ගෙඩිය ඕන.හැබැයි ඔන්න කාටවත්ම කෑල්ලක්වත් දෙන්නෙ නෑ නෑ නෑමයි” කියලා.අපොයි පෙරේතයි කියලා මෙහෙමත් පෙරේත වෙනවද මං අහන්නේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ල බේරිලත් හිතන්නේ අඹ ගෙඩිය ගැන.මතකනේ මේ පෙරේත කෙල්ල එක පාරක් ඩොන්කා කන්න ගිහින් ඔළුව පලා ගනිපු හැටි. ආ ඒ විරද තව තියෙනවලූ ඔහොම කෑම කන්න ගිහින් ඔළු පලා ගනිපු සිද්ධිත්. එව්වා ඉතිං පස්සේ කියන්නම්. බට්ටි දැන් යනවා. හැබැයි ඔන්න මේ පුංචි කෙල්ලට කියන්න එහෙම එපා මම මේවා ඔයාලා එක්ක කිව්වා කියලා අලිද........?:D :D :D

July 21, 2012

කාලය අපි ගෙනියන හැටි

කාලය මිනිස්සුන්ගේ හැමදේම වෙනස් කරනවා.කවමදාවත් මිනිස්සු එක තැනක එක විදියට නතර වෙලා ඉන්නෙ නෑ. ඉන්න ඕන වුනත් ඉන්න වෙන්නෙත් නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපි අකමැති වුනත් අපිට ඒ දේවල් වලට හැඩ ගැහෙන්න වෙනවා. 
අද ඉන්න මිනිස්සු අපි ලග හෙට නෑ. හෙට ඉන්න අය තව ටික කාලයකින් නෑ. ඔය විදියට හොදට නරකට දෙකටම හේතු වෙන මිනිස්සු අපේ ජීවිත වලට ඇවිත් යනවා. සමහරු ගියත් දැනෙන්නෙ නෑ. ඒත් සමහරු යද්දි යන්නේ සදකඩ පහණක නෙලනවා වගේ අමතක නොවෙන රටා අපේ හදවතේ තියලා.
ඉස්කොලෙ යද්දි ගුරුවරු යාළුවෝ තමයි හැමදේම වෙන්නේ.හැම වෙලාවෙම හිතේ තියෙන්නේ ඒ දේවල්. ඒත් ලොකු වෙද්දි සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඉස්කෝලෙ යන කාලේ හිටිය අය නෙවෙයි ඊට පස්සෙ වෙනස් පිරිසක් ජීවිතේට එකතුවෙනවා. ඒපාර රැකියා. ජීවිතේ තවත් පාරකට ඇදල දාලනවා. 
 
සමහරු බලාපොරොත්තු වෙන රැකියාවම ලැබෙනවා. තවත් සමරු තමන්ට ඕන රැකියාව කොහොම හරි ලබා ගන්න හොයා ගෙන යනවා. තවත් සමහරු ලැබෙන රැකියාව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි භාරගෙන කරගෙන යනවා. ඒක තමයි ජීවිතේ හැටි.
කියන්න හිතාගෙන ආවේ වෙන දෙයක් අප්පා. ලියන්න අරන් තියෙන්නේ වෙන දෙයක්. හලි හලි දැන් බට්ටි කියන්න ආපු දේ කියන්නම්කෝ..
බට්ටිගෙ ජීවිතේ හුගක් උදව්වුන හුගාරියක් තනියට ලගින් හිටිය අයව අත ඇරලා බට්ටිට එන්න වුනා. බොහෝ පොස්ට් වල ලියවුනු ඉන්න ගෙදර අක්කලව දාලා බට්ටි ඇවිත් අදට සති දෙකක්. ආදරය රැකවරණය දුක සතුට හැමදේම ඒ වහල යටදි බට්ටිට ලැබුනා. හුගක් වෙලාවට බට්ටිගෙ හැමදේම අහන් ඉන්න තරම් හිටිය ගෙදර අක්කා කාරුණික වුනා. දුක කියා ගන්න බෙදා ගන්න බට්ටිට කෙනෙක් හිටියා. මාස ගානකට උඩදි සයිබරය නිසාම හිත තුවාල කර ගෙන කෑගහල අඩපු මගේ හිත එයා හැමවෙලේම හැදුවා.  විසදුම් දෙන්න බැරි වුනත් උපදෙස් දුන්නා, ඒ වගේම කියන දේ අහන් හිටියා. ඒකාලේ අක්කා බට්ටිට එක මහ ලොකු අස්වැසිල්ලක් වුනා. අද ඒ විදියට අහන් ඉන්න එයා ලග නෑ. අද වෙන අය ජීවිතේට එකතුවෙලා. ඒ හිස්තැනට වෙන අය ඇවිත්. හ්ම් පුදුමයි ජීවිතේ නම්.
බට්ටි හීන මැව්වෙ කොළඹ ඉන්න කල් අක්කලා එක්ක එකට ඉන්න. ඒත් දෛවය ඒක වෙනස් කලා. අපිට ඕන වුනත් අපිට ඕන තැන්වල නතර වෙන්න බෑ. ඉතිං අක්කලා ගෙවල් මාරු කලා. එහේ ඉදන් බට්ටිට වැඩ කරන තැනට හුගාක් දුරයි ඉතිං බට්ටිට ඒ ගෙදරට ආයුබෝවන් කියන්න වුනා. කොළඹට එද්දි යාන්තම් ඇදුම් කෑලි දෙක්ක බෑග් එකට දාන් ආපු බට්ටි, අක්කලා ඒ ගෙදර ඉදන් වෙන එකකට යද්දි කාඩ් බොඩ් පෙට්ටියක් පිරෙන්න බඩු දාන් ගිය බට්ටි, වෑන් එකක් අරන් ගිහින් අල්මාරියක් පුරවලා බඩු අරන් අලුත් තැනක කූඩු වුනා. දෝනා, අත්තම්මා ඒ හැමෝම දාලා බට්ටි ඈතට ආවා. හැමදාම රෑට කකුල් දෙක අල්ලලා වදින අත්තම්මගෙයි අක්කගෙයි කකුල් දෙක අල්ලලා ඒ අය අඩද්දි වැදලා බට්ටි හැමදේමත් අරන් එන්න ආවා. එයාල නැති පාලුව තනිකම මෙච්චරයි කියන්න බෑ.කාගෙන් හරි ඈත් වුනහම මයෙ පපුවට කවම දාවත් මේ තරම් දුකක් දැනිලා නෑ. සති දෙකක් ගියත් ඒ දුක තවම අඩු වෙලත්නෑ. බ්ලොග් කියවන්න කමෙන්ට් කරන්න තරම්වත් හිත එකලාස නෑ. ඒ තරම්ම ඒ දුරස් වීම තවම හිතට දැනෙනවා. 
අලුත් තැන මහ හුගක් හොදයි. ආරක්ෂාවයි. කාලයත් එක්ක එතනට හුරුවෙයි. අක්කලගෙ මතකය හැමදාම හිතේ පැලපදියන් වෙලා තියෙයී. සිංදු කියකියා පිස්සු නටන බට්ටි ඉන්න නිසා අක්කලා කිව්වේ එයාලා රේඩියෝ ගේන්නෙ නෑ, බට්ටි ඉන්න නිසා කියලා. ඒත් අද බට්ටගෙ සිංදු පෙට්ටිය වැහිලා. අලුත් ජීවිතේ නිදහස් නිස්කලංකයි. ඒත් පිස්සු නටපු කටකාරකම් කරපු ඒ ජීවිතේ ලග බට්ටිගෙ හිත තවමත් නතර වෙලා...


මූණුපොතේ තිබුන මේ පොටෝව නිසා තමයි කම්මැලි වෙලා හිටිය බට්ටිට පොස්ටුවක් ලියන්න හිතුනේ. හිටිය ගෙදර අත්තම්මගෙ බත් කටක් කාල එන්න හෙට බට්ටි යනවා.අවුරුදු දෙකක් දුන්න රැකවරණයට ආදරයට මම ඒ අයට මහ හුගක් ණයගැතියි. ජීවිතේ තියෙන තුරාවටම....

July 11, 2012

ඉදිකටුවයි නූල් බෝලෙයි...


කොහොමද මගේ යාළුවනේ..බට්ටි නම් මේ දවස් වල ටිකක් අවුල් වෙලා ඉන්නේ. පෙරේදා පෝස්ට් එකක් දාන්න හිතන් දුක් ගීයක් ලියන්න පටන් ගත්තා. ඒත් අන්තිමේදී ඒක කතාවක් වුනා. භාගයක් ලියද්දි තව අඩන්න බැරි නිසා නතර කලා. ඉතුරු ටික හෙමින් ලියන්නයි හිටියේ ඒත් මගේ යාළුවා ෆාතිමාට ලියලා ඉවර කලටික යැව්වා කියවන්න. ඉතිං එයා කිව්වේ එපා බට්ටි ඕනෙ නෑ ඉතුරු ටික ලියන්න ඒකෙන් වෙන්නේ හිතේ තියෙන දුක වැඩි වෙන එක විතරයි කියලා. ඉතිං ලියපු ටික බට්ටි ඩිලීට් කරලා දැම්මා.හ්ම්....ඉතිං මේ ආදරණීය යාළුවා කියලා එහෙම කලාට පස්සෙ බට්ටිගේ හිත දිව්වා පුංචිම කාලෙට. ඒ බට්ටි එක්ක හෙවණැල්ලක් තරම්ම ලගින් හිටිය යාළුවා ලගට..

            මම බට්ටි එයා මිහිරි.ඒ කාලේ අපි දෙන්නට හැමෝම කිව්වේ ඉදිකටුවයි නූල් බෝලෙයි කියලා. බට්ටි කොතැනද මිහිරි එතැන. අපි දෙන්නා හැමදාම ඉස්කෝලෙ යන්නේ එකට. කලින් ලෑස්තිවෙන කෙනා අනිත් කෙනාගෙ ගෙදරට යනවා ගිහින් එයත් එක්ක තමයි නැලවි නැලවි පැද්දි පැද්දි රටේම තියෙන ගස්වලින් මල් කඩ කඩ ඉස්කො‍්ලෙට යන්නේ. ගෙදර ලග ඉදන් ඉස්කෝලෙට වැඩි දුරක් නැති නිසා ඕන තරම් නැලවෙන්න පැද්දෙන්න වෙලා තිබුණා. මේ දවස් වල අපි දෙන්නම ගෝනි බිල්ලන්ට හරිට බයිය. නිදා ගත්තත් පේන්නෙම ගෝනිබිල්ලො ඉන්න හීන. ගෝනි බිල්ලෝ ඇවිත් බඩේ තෙල් ගාලා අපිව ගිලී කියලා නැත්නම් ගෝනියක දාලා අරන් යයි කියලා අපි දෙන්නම හිටියේ මාරම බයකින්. ඉස්කෝලෙ ඇරිලා එද්දි කෙච්චර පැද්දි පැද්දි ආවත් නිකන් පාරෙ යන වාහනයක් වේගෙ බාල කලත් දෙන්නා පණ කඩාගෙන දුවනවා. අම්මෝ.. දැන් නම් මතක් වෙද්දිත් හිනා.

            දවල්ටත් ඉතිං ඉස්කෝලේ ඇරිලා ඇවිත් එක්කෝ මම බත් එකත් බෙදාගෙන මිහිරිලගෙ ගෙදර යනවා. නැත්නම් මිහිරි අපේ ගෙදර එනවා. වැඩි පුරම යන්නෙ මම තමයි. මොකද මිහිරිලගෙ ගෙදර නාන්න ෂෝක් ළිදක් තියෙනවා. වතුර අයිස්කැට වගේ. ළිදට ඉස්සරහින් තියෙන්නෙ කුඹුරක්. දෙන්නම ඉතිං කුඹුරේ තියෙන ලස්සන ලස්සන පුංචි ගස් ජාති ගලව ගලව ඇවිදලා, නාගෙන තමයි කන්න පටන් ගන්නේ. දෙන්නම යන නිසා ළිදට යන්න අවසර ලැබිලා තිබුණා. 


            ඔන්න ඉතිං එක දවසක් බට්ටිට ඉස්කෝලෙ ඉවර වෙලා පොරොන්දු වුන විදියට මිහිරිලාගෙ ගෙදරට යන්න බැරුව ගියා. යද්දි ටිකක් පමාවුනා. යද්දි මිහිරි මූණ දෙක කර ගෙන අඩ අඩ ඉන්නවා. ඇගත් සේරම තෙමිලා. ඇයි කියලා අහන්න හැදුවා විතරයි මෙන්න පරමාණු බෝම්බයක් වගේ මගේ ඇගට කඩන් පැන්නා. ඔයා නිසා තමයි මේ සේරම වුනේ කියලා මිහිරි මට බනිනවා. ඇයි වදේ මොන වරදක් කලාටද මෙයා මේ මට බනින්නේ. මමත් ඉතිං සද්ද නැතුව හිටියේ නෑ එයාටත් බැන ගෙන බැන ගෙන ගියා. එහෙම බනින අතරේ මම හොරෙන් එයා දිහා බැලුවා. බලද්දි එයාගේ මුළු ඇගම හීරිලා. දැන්නම් ඉතිං මට කේන්ති නෑ හෙමින් ඇහුවා මොකද වුනේ කියලා. එපාර එයත් කූල් ඩවුන් වෙලා සිද්ධිය කිව්වා. මම එන්න පමාවුන නිසා සීයත් කුඹුරෙ හිටිය නිසා එයා ළිදට ගිහින්. ඒ ළිදේ වතුර පිටාර යනවා අපි හැමදාම කරන්නේ එතන රෙදි තියලා පොකුණක් වගේ වතුර එකතු කරන එක. මෙයා එහෙම කර කර ඉදලා. මම ඒත් නැති නිසා මෙයා නාන්න පටන් ගෙන. වතුර එකක් ගන්න පහත් වෙද්දිම මිහිරි ළිදට වැටිලා. ළිද එච්චර ගැඹුරු නැති වුනාට අපි එතකොට හුගක් පුංචි නිසා අපිට වඩා අඩි දෙක තුනක් වතුර තිබුණා. මිහිරිගෙ වෙලාවට එක අතකින් ළිදේ ගැට්ට අල්ල ගන්න පුළුවන් වෙලා. අමාරුවෙන් එල්ලිලා හිටියත් කෑගහ ගන්න බෑලු බය වැඩි නිසා. හොද වෙලාවට වතුර බොන ළිදට ඒ වෙලාවේ නැන්දා කෙනෙක් ඇවිත් වතුර ගෙනියන්න. එයා තමයි මිහිරිව අරන් තියන්නේ. මම අල්ලලා බලද්දි මිහිරිගේ අත හොදටම තුවාල වෙලා තිබුණා. ඊට පස්සෙ මම මිහිරිගෙන් සමාව ගත්තා පමාවුනාට. මොකද මම ආවනම් එහෙම වෙන්නෙ නැති නිසා.මේ සිද්ධිය නිසා අපි කවුරුත් නැතුව ළිදට යන්න බය වුනා වගේම ගෙවල්වලිනුත් තහනම් වුනා. 

            ඔය විදියට ඉදිකටුවයි නූල් බොලෙයි වගේ හිටිය අපි දෙන්නට හතර වසරේ අන්තිම වාරෙදී වෙන් වෙන්න වුනා. මිහිරි ඉස්කෝලෙන් අයින් වුනා.එයාලා කොළඹ පදිංචියට ආවා. අපේ යාළුකම චුට්ටක් නෙවෙයි මහ හුගක් ඈත් වුනා. මිහිරිලා මාස ගානකට පාරක් ගමේ ආවහම ඉන්න දවස් දෙක තුන විතරයි අපිට සෙල්ලන් කරන්න වුනේ. එයාලා ගමේ එන කාලේ ලොකු ‍වෙද්දි අමතර පන්ති නිසා එන්න එන්නම අඩු වුනා.බට්ටිගේ අඹ යාළුවා ඈත් වුනා හෙමින් හෙමින්. එයා ගියාට පස්සෙ බට්ටි කවමදාවත් යාළුවෙක් ජීවිතේට ලං කර ගත්තේ නෑ. යාළුවෝ හිටියෙ නැතුව නෙවෙයි. ඒත් එයා තරම්ම සමීප වුන යාළුවෙක් හොයා ගන්න බට්ටිට ඕන වුනෙත් නෑ. සමහර විට ඒ අඩුව වෙන කෙනෙක්ගෙන් පුරවන්න බෑ කියලා හිතුනද මන්දා. ගමේ ආවොත් අපි මුණ ගැහෙනවා. ඒත් ඉස්සර තරම්ම අපේ යාළුකම දැන් නෑ කියාල දැනෙනවා. එයාටත් වෙන යාළුවෝ ඉන්නවා. ගිය අවුරුද්දෙ මිහිරි බැදලා දුර රටක පදිංචියට ගියා. ඔන්න එයා අන්තිමට මුණ ගැහුන දවසේ කියලා ගියේ දැන් බට්ටිගේ ෆයිල් එකත් උඩ ඇවිත් තියෙන්නේ දැන්ම ඉතිං මොනවා හරි කර ගන්න කියලා. පුංචි කාලේ අඹ යාළුවා බැදන්දා කියලා එහෙම වැඩ මෙහෙම කලබලේට කරන්න පුළුවන්ද නේද? බට්ටිට හීන ගොඩයි. එව්වා එළිකර ගෙන තමයි ඉතිං අනිත් වැඩ ගැන හිතන්නේ. එහෙම හොදයි නේද මගේ යාළුවනේ...:D