November 7, 2011

මට වෙච්ච දෙයක්


මේ කියන සිද්ධිය වුනේ ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා තියෙන කාලේ. ක්‍රීඩා තරග වලින් මම නම් කරන්නේ මලල ක්‍රීඩා විතරයි. කණ්ඩායම් තරග වලට නම් දක්ෂම නෑ.
ක්‍රීඩා උත්සවේ කිට්ටු කරලා තරග පවත්වන්න පටන් ගත්තා. තරග කාල සටහන් වෙනස් වෙන නිසා තරග වලට ඉන්න ළමයින්ට හැමදාම ක්‍රීඩා ඇදුම් අරන් එන්න කියලා මිස් කියලයි තිබුණේ.
එදා තිබුණේ වොලිබෝල් තරග. අපේ නිවාසේ වොලිබෝල් ටීම් එකේ එක ළමයෙක් ඇවිත් නෑ. නම් දාද්දී කවුරැත් නෑවිත් ඉන්න එකක් නෑ කියලා හිතලා දාන්නම වෙන නමකුත් නෑ කිව්ව නිසා මගේ නම අතිරේක නමක් විදියට දාලයි තිබුණේ. ඉතිං මොනවා කරන්නද? පීනන්න බැරිවුනත් දැන් ඉතිං ගිලිලා මැරෙන්න හරි වතුරට බහින්න වෙන නිසා මාත් කොට සුදු සායයි. සුදු ටී එකයි.කහපාට හෙයාර් බෑන්ඩ් එකයි දාගෙන බැස්සා පිට්ටනියට.
අපේ නිවාසෙට හම්බ වුනේ බයි එක. දැන්නම් ඉතිං පැරදුනත් අනුශූරයෝ වෙන්න පුළුවන් කියලා හිත හදාගෙන තමයි අපි හැමෝම හිටියේ. පළවෙනියට සෙල්ලම් කරලා දිනපු ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න කෝඩ් එකට ගියා.කොහොම හරි ගිය ගමන් මං හිට ගත්තේ කෝඩ් එකේ පළවෙනි රවුමේ අන්තිමට සේව් කරන තැන. දෙතුන් පාරක් අපේ පැත්තේ බෝලෙ තිබුණට මගේ ලගට නම් බෝලේ ආවේ නෑ. ඒත් ඉතිං එක තැන ඉන්න බෑනේ.සේව් එකෙන් සේව් එකට රවුමට යන්න වෙනවනේ.ඒ ගමන මගේ ලගට බොලේ ආවා. මාත් අත්දෙක එකතු කරලා බෝලෙට ගැහුවා. මගේ අත්දෙකේ රැධිර කේශනාලිකා පේන්න පටන් ගත්තා ගහපු පාරට.ගහන ක්‍රමේ හරියට දන්නේ නෑනේ. ඒකයි. මම හිතා ගත්තා ආයෙ නම් මම ඔය මගුලට ගහන්නේ නෑ කියලා. නිකන් වේදනා විදින්න පුළුවන්ද?
සුළු විවේකයක් ලැබුණා. මං දුවගෙන ගිහින් කොට්ටම්බා ගහයට තණ පිස්ස උඩ ඉදගෙන වේදනාවෙන් පුපුරැ ගහන අත්දෙක අත ගා ගත්තා.ඒ ගමන නම් අනිත් ළමයි කිව්වා එයාලා බලා ගන්නම් මට පැත්තකට වෙලා ෂේප් එකේ ඉන්න කියලා.
ආයේ තරගේ පටන් ගත්තා. මගේ ලගට බෝලේ එද්දී මං පස්සට ගියා. ගහන්නම් කියලා කිව්ව එකෙක්වත් බොලෙට පැන්නෙවත් නෑ. ඒ එක්කම අනිත් නිවාසේ පිරිමි ළමයි හූ කිය කියා කෑගහන්න පටන් ගත්තා. එක්කෙනෙක් කිව්වා “අන්න නියම කඩේ,එතන තමයි තැන,කඩේ බලලා දාන්න කියලා” ඒ ඔක්කොම ඉවසුවා කියමුකෝ තව පිරිමි ළමයෙක් මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා කිව්වා තා බත් ඇටයක් කාලා ඇවිත් පත්තර පිටුවක් තියාගෙන ‍ගහන්න කියලා.
ෂික් මෙහෙම ලැජ්ජාවක්. තවත් බෝලෙට නොගහ හිටියොත් නම් මොනවා අහන්න වෙයිද දන්නේ නෑ කියලා හිතලා මං ලගට එන එන එකට පුළුවන් විදියට ගැහුවා. ඇගේ හයිය සේරම දාලා යාන්තම් සේව් දෙකකුත් දාගත්තා. දැන් නම් අත්දෙක හොදටම රිදෙනවා.
ඒ ගමන මං හිටියේ හරි මැද. එ‍හා පැත්තේ ඉදලා බොලේ අපේ පැත්තට ආවා. ගහන්න හිතන් තමයි පැන්නේ. ඒත් බොලේ ආවේ ඔළුවට. මං ඉතිං ඔළුවට උඩින් වම් අත ඇල්ලුවා. අත ඇල්ලුවේ ඇගිලි ටික දිග ඇරගෙන. අයියෝ මගේ වම් අතේ මැද ඇගිල්ල චරාස් ගාලා දෙකට නැමුනා. ඇගිල්ල උළුක්කු වෙලා.
මෙහෙමත් පරිප්පුවක්. මිස්ලා දෙන්නෙක් එක්ක සීයා ‍කෙනෙක්ගේ ගෙද‍රින් උළුක්කුව ඇද ගෙන ගෙදර ආවා.
අනිත් අත නම් කමක් නෑ මයේ ඉතිං වටිනම අතේ වම් අතට මෙහෙම දෙයක් වුනහම කොහොම කියලා උහුලන්නද...................

November 6, 2011

කොහෙමද කියලා කියන්නකෝ මගේ බෝනික්කා.....

සෙනසුරාදා කියන්නේ මට ලැබෙන එකම නිවාඩු දවස. එදාට තමයි කරන්න තියෙන හැම වැඩක්ම කරලා මගේ පන්තියටත් යන්නේ. ඉතිං මේ සතියේ නිවාඩු දවසේ ටිකක් විවේකයෙන් ඉන්න ඕන කියලා හිතලා කරන්න තිබුණු හැම වැඩක්ම සිකුරාදා රෑ කරලා ඉවර කරලයි නින්දට ගියේ. 
බට්ටිට ඉතිං නිකන් ඉන්න බැරි පොඩි පහේ ලෙඩක් තියෙනවා. පන්ති ගිහින් එද්දී බිත්ති සැරසිල්ලක් හදන්න බඩු අරගෙන ආවා. 
6ට විතර පටන් ගත්තා බිත්ති සැරසිල්ල හදන්න. කළු රෙද්දේ රෝස මල් ඉත්තක් ඇදලා ඒකෙ එම්බෝස් ප්ලේන්ට් ගෑවා. ඒත් ඉතිං එම්බෝස් කරලා පැය 24 ක් වේලෙන්න තියන්න ඕනනේ.දැන් ඉතිං මෙනවද කරන්නේ. 
කරන්න දෙයක් නැතුව හිත හිත ඉදිද්දී මීටරේට ආවා ‍වැඩක්. මං දවසක් දැකපු එකක්. හදන්න ඕන කියලා හිතන් හිටියට හදන්න වුනේ නෑ.
පුංචි බෝනික්කෙක්. හැදුවේ A4 කොළ විතරක්ම යොදා ගෙන. කීටැක් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි හැදුවේ. 
හදලා ඉවර වුනාට පස්සේ ආසාවට මගේ පෝන් එකෙන්  පොටෝ ටිකකුත් ගත්තා. හැබැයි පොටෝ නම් හුගක් පැහැදිලි නෑ. 
ඔයාලා බලලා කියන්නකෝ ලස්සනද කියලා. එහෙම වුනොත් ඉතිං මං වැඩි පුර ටිකක් හදන්න තමයි හිතාන ඉන්නේ.






November 3, 2011

පුංචි කතාවක් ...

පුංචිම පුංචි කතාවක් මතක් වුනා. අද ඉතිං වැඩත් අඩු එකේ ලියන්න කියලා හිතුනා. තනියම ඉන්න නිසා හරිම කම්මැලියි. 

ඔන්න එක ගොවියෙක්ට තිබුණලු කුකුල් ගොවිපලක්. ඉතිං මේ ගොවිමහත්තයා තමන්ගේ මේ ගොවිපල කරගෙන ඉන්නකොට දවසක් හදිසියෙම කට්ටියක් ආවලු මේ ගොවිපල බලන්න. ඉතිං ඒ ආපු අය ගොවිපල බලලා අන්තිමේදී ඇහුවලු ගොවි මහත්තයෝ මොනවද මේ කුකුල්ලුන්ට කන්න දෙන්නේ කියලා. ගොවිමහත්තයත් ඉතිං ඇත්තම කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් දෙයක් දෙන්නෑ. ඔය අපි කාලා ඉතුරැ වෙන පාන් බත් ටිකක් එහෙම දෙනවා කිව්වලූ. ආපු අය ඒ ගමන කිව්වලු ආ අපිමේ සත්ව හිංසා සංවිධානයෙන් ආවේ සත්තුන්ගෙන් ජීවත් වෙන ගමන් උන්ට හරියට සලකන්නේ නෑ කියලා එදා ඒ ගොවිමහත්තයට ලොකු දඩයකුත් ගහලා යන්න ගියාලූ.

අනේ ඉතිං මේකෙ දුකින් ඉන් මේ මනුස්සයා තමන්ගේ ගෙවිපල කරගෙන යද්දී ආයෙම ආරංචියක් ආවලු ගොවිපල බලන්න කට්ටියක් එනවා කියලා. ගොවි මහත්තයා හිතුවලු එද්දෙන්කෝ මේපාර මං කියන්නම් කියලා හොදට කියන්න ඕන දේවලුත් හිතාගෙන සූදානමින් හිටියලූ. ඔන්න බලාපොරොත්තු වුන විදියටම ඒ අය ආවලූ. ඉතිං මේ අය හැමතැනම පරීක්ෂාකරලා අන්තිමේදී ගොවිමහත්තයගෙන් ඇහුවලූ මොනවද ඔබතුමා මේ කුකුල්ලුන්ට කන්න දෙන්නේ කියලා. ගොවිමහත්තයත් ඒක අහපු ගමන්ම ආයෙ ඉතිං පාඩන් කරගෙන හිටිය මුළු ලිස්ට් එකම කිව්වලු. උදේට කිරි වීදුරැවක් දෙනවා කිව්වලූ. තව හැම් , චිකන් ඔය විදියට රටේ නැති සුපිරි ආහාර ලැයිස්තුවක් කිව්වලූ. ඒ මදිවට සැන්ට් පවුඩර් දාලා හොදට නාවනවා කියලත් කිව්වලූ.  මොනා කරන්නද නරක වෙලාවනේ මේ ගමන ඇවිත් තියෙන්නේ ආදායම් බදු එකෙන්. ආ කුකුල්ලුන්ට ඔහොම සලකන්න පුළුවන් ඉතිං සෑහෙන්න ආදායමක් ලැබෙනවා ඇති නේද?ඒත් තමුන් බදු ගෙවන්නෙ නෑ කියලා එදා කලින් ගහපු දඩේට වඩා සෑහෙන්න ලොකු දඩයක් ගැහුවලූ.

 දැන්නම් ගොවිමහත්තයාට හොදටම කේන්තිලූ වෙච්ච දේට. මොනවා කරන්නද කියලා හිත හදාගෙන මාස ගානක් ඉන්න කොට කලින් වතාවල වගේ ආයෙම ආවලූ ගොවිපල බලන්න. ඉතිං මේ ගමනත් බලලා ඉවරවෙලා සුපුරැදු ප්‍රශ්නයම ගොවිමහත්තයගෙන් ඇහුවලූ. දැන් ඉතිං ගොවිමහත්තයා සෑහෙන්න මේ ප්‍රශ්නෙන් මට්ටු වෙලා ඉන්න නිසා ගොවිමහත්තයා " අනේ මහත්තයෝ වෙන ඕන ප්‍රශ්නයක් අහන්න උන්ට කන්න දෙන්නේ මොනවද කියල නම් අහන්න එපා මම ඕක නිසා ලක්ෂ ගානක් දඩකාලා ඉන්නේ දැන් මං හැමදාම උදේට හැම එකාටම රැපියල් 100 , 100 දෙනවා උඹලට කැමති දෙයක් අරන් කාපන් කියලා" කිව්වලූ. 

November 2, 2011

මෙන්න නියම ට්‍රිප් ..........................2


ත්‍රී විල් එකේ 6 දෙනයි. කොහේද හැබෑටම මේ යන්නේ ................................?
යන්නේ කොහේද කියලා අහස පොළොව ගැට ගහ  ගහ ඉන්න බැරිම තැන මං තාත්තගෙන් ඇහුවා ඇත්තටම තාත්තේ අපි කොහේද දැන් මේ යන්නේ කියලා. මලමගුලයි එතකොට තමයි දන්නේ තාත්තවත් ඒක දන්නෙ නෑ කියලා.පුදුම වැඩේනේ නඩේගුරාවත් යන්නේ කොහේද කියලා නොදැන ට්‍රිප් යන රටක් අහලා තියෙනවද?
තාත්තා ත්‍රී විල් එකේ අයියට කිව්වා ඩොනල් මල්ලී මට දෙන්න පුළුවන් ගාන කිව්වනේ. ඔන්න ඒකෙන් යන්න පුළුවන් දුරක් යන් කියලා. ත්‍රීවිල් අයියත් ඇහුවා යන්න ඕන කොහේද කියලා. මෙන්න එකපාරටම මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය අම්මා කියපි සිරීපාදෙ යන්න ඇත්නම් ශෝක් කියලා.
තාත්ත නම් 13 පාරක් ගිහින් තියෙනවා කිව්වා. ඒත්  අපි ගිහින් නැති නිසා සිරීපාදෙ යන්න තීරණය කලා.
ත්‍රීවිල් එකේ ගැස්සි ගැස්සි කකුල් දෙකත් වහළට තියන් මාත් ඔහේ වැනි වැනි යනවා. අයියෝ කිසිම ගතියක් නෑ. මෙහෙම නම් ට්‍රිප් ගියාට කෝ ෆන් එකක්. වැඩේ හරි යන්නේ නැති නිසා මං දැම්මා බට්ටි FM  එක.එක දිගට පැය 24 වුනත් ඇඩ්නැති සිංදු විතරක්ම තියෙන එකම චැනල් එක. අයියා කියන්නේ ඔය චැනල් එක දැම්මොත් ඉතිං නතර කරන්න බැට්රි පන්නන්න ඕන කියලා.
එක සිංදුවෙන්ම කට්ටියම එකතු වුනා වැඩේට. ට්‍රිප් යන කොට නොකියන සිංදු ආයෙ කවදා කියන්න කියලා අරන් තියන්නද නේද? එදා කියපු සිංදු වලින් මං ආසයි තාත්තයි මායි කිව්ව “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ” සිංදුව. ගායකයගේ කොටස තාත්තා කිව්වා. ගායිකාවගේ ටික මම කිව්වා. මට හොදට මතකයි ඒ සිංදුව කියද්දි ත්‍රීවිල් එකේ අයියත් හෙමිහිට ගියේ.
සිංදු කියකියා අර පිටිපස්සේ තියෙන වීදුරුකෑල්ලෙන් පාරෙ යන අයට පොඩි වෙට්ටුවකුත් දා දා යද්දී කෑම වෙලාවත් ආවා. අම්මා කෙසෙල් කොලේ ඔතපු බත් පාර්සල් ගෙදරදී හදන් ඇවිත් තිබුණා. අපේ අම්මගේ කෑම නම් ඉතිං මතක් කලත් බඩ පිරෙනවා. ඒ තරම් රසයි. මං අම්මට කියන්නේ “ මේ ලෝකෙ ඉන්න හොදම අම්මා බට්ටිගේ අම්මා, මේ ලෝකෙ රසට උයන්නේ බට්ටිගේ අම්මා, බට්ටිට දෙයියෝ දීපු එකම මැණික අම්මියා තමයි”.
හවස් වෙද්දිවත් සිරීපාදේ නගින්න පටන් ගන්න ඕන කියලා අපි ඉක්මනින් ගියා. මස්කෙලිය චෙක්පොයින්ට් එකේදී අපිව නතර කලා. ඒත් කිසිම දෙයක් චෙක්කලේ නෑ. එන්නේ ගාල්ලේ ඉදන් කිව්වහම මෙච්චර සෙනගක් ත්‍රීවිල් එකකින් මේතරම් දුරක් ආපු පළවෙනි පාර කියලා අපිට යන්න කිව්වා.
අපි ඔන්න දෙයියනේ කියලා සිරීපාදෙටත් ආවා. අයියයි , ත්‍රී විල් අයියයි ඉක්මනින්ම නැග්ගා. අපි ඉතිං හෙමින් තමයි නැග්ගේ.මට ඉතිං දුව දුව යන්න ඕන වුනත් අම්මයි තාත්තායි ඉතිං ටිකක් ඇග මහත නිසා හෙමින් ආවේ. ඒක නිසා එයාල එක්කම නගින්න වුනා. අක්කා මගදී කකුල් රිදෙනවා කිව්වා. තාත්තා බැන්නා කට වරද්ද ගන්න එපා කියලා. මම ඒ බනින සීන් එක නම් මං උඩගෙදර අක්කගෙන් ඉල්ලන් ගිය කැමරාවේ සටහන් කර ගත්තා. පස්සේ කාලෙක ප්‍රයෝජනවත් වෙනවනේ ඔය වගේ දේවල්. තාමත් තියෙනවා. තාත්තා බනිද්දී අක්කා මූණ බෙරි කරන් ඉන්න හැටි. මතක් වෙද්දිත් හිනා.
මහගිරිදඹ දගිද්දී පුංචියට පොද වැටුනා. ඔය අතරේ ඉතිං යන අය එක එක කවි කියනවනේ. (සයුරිගේ සිරීපාදෙ පෝස්ට් එකේ ඔය කවි හුගක් ලියලා තියෙනවා) ඉතිං ඔහොම කවි කියද්දී වැදලා බහින නැන්දා කෙනෙක් අපේ තාත්තට කවියක් කිව්වා. කවිය නම් මට හරියටම මතක නෑ. කොහොම හරි කිව්වේ නම් වදින්න යන මේ අයියට උඩමළුවෙදි නංගි කෙනෙක් ලැබෙන්න කියලා. ආයෙ ඉතිං අම්මාත් ලග ඉදිද්දී එහෙම කවි කියන්න දෙන්න පුළුවන්ද? එයාලා සද්ද නොකර හිටියට මං ඉදී එහෙම. මාත් ඉතිං හැරෙන තැපෑලෙන් දුන්නා කවියට උත්තර. අන්තිමේදී ඒ නැන්දා සමාවෙන්න කවියකුත් කියලමයි පහලට බැස්සේ.
සිරීපාදෙ යන්න පුදුමාකාර පිනක් කරන්න ඕන කියලයි මං උඩට නැග්ගහම හිතුනේ. ඉරසේවේ බලන්න පැය ගානක් ඉන්න ඕන කියපු නිසා හෙට උදේ වෙද්දී දැම්ම ගියොත් ගෙදර යන්න පුළුවන් කියලා ඉක්මනින් බැස්සේ. ඔය එන අතරේ මම නම් ආවේ හොද කරනමකුත් ගහලාත හැබැයි ඉතිං සුමන දෙවි පිහිටෙන් කිසිම හීරීමක්වත් වුනේ නෑ. ඉක්මනින් පහලට ඇවිත් රෑටත් තෝසෙ කාලා අපි යන්න පිටත් වුනා.
හිතුවෙවත් නැති විදියට එක දවසින් ගෙදර යනවා කිව්වනේ ‍දැන් ඉතිං මොනවා කරන්නද? ගිනිගත් හේනට එද්දී රෑ2 විතර වෙලා. ත්‍රීවිල් එක අතර මග නතර වුනා. පෙට්ට්‍රල් ඉවර වෙලා. මරැ වැඩේ තමයි. දැන් ඉතිං මොනවා කරන්නද උදේ 6  වෙනකල් කිසිම තැනක් නෑලු පෙට්ට්‍රල් ගන්න. මම නම් ඉතිං මගේ සුවපහසු අසුනට වෙලා හොදට නිදිය ගත්තා. උදේ පට්ට්‍රල් ගෙනැත් ඇහැරනකන්ම නින්ද ගියා.   ලග තිබුන ගෙදරකට ගිහින් අපි හැමෝම මූණ හොද ගත්තා. කොහොමින් කොහොම හරි හැමෝම වෙන ඇදුමකුත් ඇද ගත්තා.
දැන් ඉතිං ගෙදර යයිද? 
තාත්තා කිව්වා මොකද කියන්නේ බට්ටි නුවර මාළිගාවත් වැදලම යන්ද කියලා. ආයෙ ඉතිං මොනවා හිතන්නද මං හා කිව්වා. ඔන්න ඩොනල් මල්ලී එහෙත් ගිහින් එමු.  අපි මාලිගාවෙත් ගිහින් මල්වත්තටත් ගිහින් එදා රෑ වෙද්දී දෙයියනේ කියලා ගෙදර ආවා. ඔන්න ඔය විදියට දවස් දෙකක් ට්‍රිප් එකක් බට්ටි ත්‍රීවිල් එකේ පිටිපස්ස කෑල්ලෙ හාන්සිවෙලා ගිහින් ආවා.
මේ ලිපිය මේ තරම් දිග වෙයි කියල නම් හිතුවෙම නෑ. කොහොම කෙටියෙන් කියන්නද? මගේ ජීවිතේ ගිය ලස්සනම ට්‍රිප් එක. මේක තමයි අපි හැමෝම ජීවිතේටම ගිය එකම ට්‍රිප් එක. ආයෙ කවදාවත් යන්න වෙන එකක් නැති වෙයි. දැන් පස්දෙනා පස්පලක. මොනවා කරන්නද?

හිතන්නෙපා කවී කියලා....ඔබ රැවටේවී......

 
උදේට ටික දුරක් එනවා පයින් මම...
එහෙම එද්දී හරි වැඩකුයි උදේ උනේ...
ලයිසන් තියෙන එක මිනිහෙක් ගියා උඩින්....
අයියෝ දෙවෙනි පාරටත් මං නාගත්තා....

දැන් හැම තැනම හරි වැස්සක් නොවැ ඇත්තේ...
පාරේ තියෙන තඩි වළවල් උතුරන්නේ....
වාහන වල යන උදවිය නැද්දෝ දන්නේ .....
පයින් යන මිනිසුන් ඇයි මේ ලෙස නාවන්නේ .....
අනේ ඉතිං පහත් වෙලා ගල් ගෙඩියක් ගන්න නොහිතුනාම නොවෙයි.ආයෙ ඉතිං මොකටද බොරුවට පොලීසි ගානෙ යන්නෙ කියලා හිතලා ගිහින් මොකක් හරි කොටලා තරහා නිවා ගන්න හිතන් මං ආවා.