October 21, 2011

සතුටු දිනය ඔබලාට පුදමි ........................................

ඔන්න මුලින්ම කිව්වා  හෙට නම් මට හැමෝගෙම්ම තෑගි ඕන. ඔයාලා දන්නේ නෑනේ හෙට හරිම විශේෂ දවසක්. දැන් ඉතින් කට්ටිය දාහතේ කල්පනා කරනවා ඇති මොකද්ද බොලේ හෙට තියෙන විශේෂය කියලා.හා හා කල්පනා කරන්න ගිහින් නිකං අමාරැවෙ වැටෙන්න එපා. ටිකක් ඉන්නකෝ මම මේ ඒක හෙමිහිට කියන්න තමයි හදන්නේ.
ආයෙ ඉතින් මහා ලොකුවට කිව්වට ඒ හැටි විශේෂයකුත් නෑ. හෙට මේ පිස්සු බට්ටිගේ උපන්දිනේ නේ. (අපෝ බට්ටිගේ බ්ලොග් එක උපන්දින වරැසාවක් කියල නම් කියන්න එපා. මේ මාස දෙකේ විතරයි ආයේ ලියන්නෑ)
තවත් අවුරැද්දක් ගෙවිලා හෙට අවුරැද්දක් ලබනවා. ජීවිතේ පුදුමාකාරයි. මගේ ජීවිතේ මේ අවුරැදු ගානේදී කොයිතරම් නම් සිදුවිම් වල‍ට මුහුනු දීලා තියෙනවද? මගේ ගැන හුගක් දේවල් මම ඔයාලට කිව්වා කොටින්ම තව අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්.ජීවිතේ දිනන්න මං නොකල දෙයක් නැති තරම්. ජිවිතේ සැලකිය යුතු අවුරැදු ගානක් ගෙවල දාලා ඉන්න මං අද ඉන්න තත්වෙ ගැන පසු තැවෙන්නේ නෑ. ඒත් තව අවුරැදු 3කින් ලබන උපන්දිනේදී මං මගේ ඉලක්කෙට කොහොම හරි යන්න ඕන. 
උසස් පෙළ කලාට පස්සේ මං කවදාවත් ගෙදරින් ලෙඩක් දුකක් හැදිලා බැරිම වුනොත් මිසක් අම්මගෙන්වත් කීයක්වත් ඉල්ලගෙන නෑ. මට ඕන වුනේ ස්වාධීන කෙනෙක් වෙන්න. 
මගේ වයසේ ඉන්න කෙල්ලෝ නොකරන දේවල් මං කලා. ගේ ඉස්සරහා තිබුන බට පදුරෙන් බට කපලා මං කූඩු හැදුවා. කූඩු හදලා කොල අලවලා රැලි තියලා මං වෙසක් කාලෙට විකිණුවා. බිම වාඩිවෙලා ඉදන් සතියක් දෙකක් එක දිගට මං කූඩු හදනවා.. කිව්වට විශ්වාස කරන්න මගේ අත්දෙකෙන් එක අවුරැද්දක් කූඩු 96 හදලා විකුනලා තියෙනවා. එක දිගට අවුරැදු 3ක් මං වෙසක් කාලෙට කූඩු හැදුවා. ගමේ හුගක් දෙනෙක් මගේන් කූඩුගන්න පුරැදු වෙලා හිටියා. වෙසක් දවසේ රෑට ගමේ ගෙවල්වල තියෙන කූඩු බලන්න යද්දී මං හදපු කූඩු හුගක් ගෙවල්වල ලස්සනට එල්ලලා තියෙනවා දකිද්දී අත්වල ආපු කර ගැටවල වේදනාවක් මට දැනෙන්නේ නෑ. 
ඊට පස්සේ මං උපන්දින කාඩ් හැදුවා. පේපර් කුලියන් ඕන මලක් මට හදන්න පුළුවන්. බුදු හාමුදුරැවන්ගේ පිහිටෙන් නිර්මාණශීලී අත්දෙකක් මට ලැබිලා තියෙනවා.ඕන දෙයක් බලාගෙන හදන්න පුළුවන් ඇහැක් මට තියෙන්නේ. කාඩ් හදලා A4 මල් හදලා මං විකුණුවා. හැම දෙයක්ම විකුණන්න කලින් මම සිය වතාවකට වැඩිය අතපත ගාලා ඒක රස විදිනවා. පුදුමාකාර සතුටක් මං ඒ දේවල් වලින් ලැබුවේ.
ඔහොම ඉන්න කොට මට ඕන වුනා මගේම කියලා ව්‍යාපාරයක් කරන්න. අතේ ඉතුරැ වේච්ච සල්ලි තිබුන නිසා මං වැඩේ පටන් ගත්තා. උදේ 2.45 ට ගෙදර ලගින් බස් එකේ නැගලා තනියම මහර ගමට ඇවිත් ඇදුම් ගෙනියනවා. උදේ 7 වෙද්දි මං මහරගමට යනවා. ඊට පස්සේ ඇදුම් ටිකක් අරගෙන උදේට කනවා. කොහොම හරි විසි තිස් දාහක රෙදි මේ අත්දෙකෙන් උස්ස ගෙන අමාරැවෙන් දෙහිවලට ඇවිත් බස් එකක් එනකන් ඉන්නවා. එතන තියෙන කඩේකින් කිරි පැකට් 2ක් අරන් එකක් මං ඒ වෙලාවෙම බොනවා. අනිත් එක මගදී බොන්න තියා ගන්නවා. මොකද තේ බොන්න බස් එක නැවැත්තුවට මං බහින්නේ නෑ. දුක් මහන්සියෙන් උස්ස ගෙන එන රෙදි බෑග් එකක් අරන් කව්රැ හරි බැස්සොත් කියලා මං හරි බයයි. කොච්චර මහන්සි වුනත් බස් එකේදි පොඩ්ඩක්වත් නිදියන්නෑ. ‍ගෙදර එන කොට 3.15 වෙනවා. ඔය විදියට මං දුක් විදින්න පුරැදු වුනා. මට කොහොම හරි නැගිටින්න ඕන වුනා. අතේ අපු කර ගැට කැලැල් අදටත් තියෙනවා. මට ඕන ලොකු තැනකට යන්න.
මේ උපන්දිනේ වෙද්දී මං සැලකිය යුතු පඩියක් ලබන කෙනෙක් වෙලා. මට දැන් ජොබ් එකක් තියෙනවා. කම්පියුටර් ගැන පුංචි දැනුමක් තියෙනවා. තවත් ඒ ගැන ඉගෙන ගන්නත් මං යනවා. මේ හැමදේම මං කරන්නේ මගේ ඉලක්ක වෙනුවෙන්. 
හෙට ලබන උපන්දිනේ ගැන කියන්න ගිහින් මේ දේවල් ලිව්වේ මගේ ජීවිතේ දුක් විදලා අද ඉන්න තැන ගැන පුංචි ආඩම්බරයක් තියෙන නිසා.
හෙට ලබන උපන්දිනේ කාට මතක තියේවිද කියන්න මං දන්නේ නෑ. කව්රැ සුභ පැතුවත් නැතත් මං මේ උපන් දිනේදී ඉන්නේ හුගක් සතුටින්. මූණු පොතේ පිහිටෙන් මට ලැබුණු අතිජාත සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් අදටත් මා එක්ක කතා කරනවා. මං විශ්වාස කරනවා මගේ ලොකු අයියටත් කොච්චර වැඩ තිබුනත් ම‍ට කෝල් එකක් දෙන්න අමතක වෙන එකක් නෑ කියලා.කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්නේ නැති මං මල්ලියගෙන් නම් පුංචි තෑග්ගක් ඉල්ලුවා. ඒ කකුල් දිග බෝනික්කෙක්. මං ආසයි එයාලට. 
ඉතින් හෙට තියෙන උපන් දිනේ තියෙද්දී අද පෝස්ට් එක දැම්මේ මං හෙට නිවාඩු නිසා.ජීවිතේ හැම දුකක්ම බෙදා ගන්න ඔයාල‍ට කේක් කෑල්ලක් නොදී කොහොමද. ඉතින් යාළුවනේ අන්තිමට මං ඔයාලගෙන් ඉල්ලන එකම තෑග්ග මාත් එක්ක හැමදාම ඉන්න. ලබන හැම උපන්දිනයක්ම විවිදාකාර වෙනස්කම් එක්ක සමරන්න. 

2011-10-22 
ප.ලි. හෙටින් ලබන මගේ උපන් දිනෙත් එක්ක මගේ බ්ලොග් එක ලස්සන වෙයි. කවදාවත් නැති විදියට. හිතේ සතුට එක්ක ලියමි හිත නිවෙන තුරැ. 

October 17, 2011

කාලය කෙතරම් අපූරැද ......................

ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. ඒවගේම කාලය කියන්නෙත් ඒ ජීවිත පුදුමාකාර විදියට වෙනස් කරන එක්තරා මෙවලමක්.මේ ලිපිය ඔයාලා කියවද්දි පුදුමත් වෙයි. මොනවා කරන්නද මේක තමයි හිතේ නියම ස්වභාවය. මේ ලියන්න යන දේ ගැන හුගක් ලියන්න පුළුවන් වුනත් තියෙන පුංචි ඉඩෙන් මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් තරමක් ලියනවා.
ගිය අවුරැද්දේ මැයි මාසේ 28 වෙනිදා. එදා ගෙදරින් ආපු මම තාවනතුරැ ගෙදර ගියේ නෑ කියන එක ඔයාලට විශ්වාස කරන්න පුළුවන් වෙයිද ? ඒක තමයි මගේ ජීවිතයේ ඇත්තම ඇත්ත. ඊටත් වඩා දෙයක් තියෙනවා. ඒ තමයි මම එදා ඉදන් අද වනතුරැ තාත්ත එක්ක එකම එක වචනයක්වත් කතා නොකල හරිම අකීකරැ දුවෙක්. අම්මගේ උපන්දිනේට මාස ගානක් තිස්සේ හීන දැක දැක සැලසුම් හදපු මං තාත්තගේ එක උපන් දිනයක් අමතකම කරලා හෙට ලබන උපන්දිනේටවත් සුභ පතනවද කියලා දෙගිඩියාවෙන් හිටියේ.
 මෙහේ මගේ හෙවණැල්ල වගේ මාව රැක ගන්න අක්කා. එයා කියනවා හැම තිස්සේම බට්ටියෝ පරන දේවල් අමතක කරලා තාත්තට කතා කරන්න කියලා.
ඔව් මං හෙට අනිවාර්යයෙන්ම තාත්තට කතා කරනවා. මේ ජීවිතේ එයා අපට මොනවත් නොදුන්නත් හැමදාම මැරෙනකල් ඒ මගේ තාත්තා. ඒක කොහොම වෙනස් කරන්නද? බීපු වෙලාවට තමයි තාත්තා නරකම නරක. බොනදේ ඇරැනු කොට එයා  වෙන කිසිම වරදක් කරලා නෑ.
කුකුල්මස් ගෙනපු දවසට කකුල කපන්නෙම නැතුව උයලා අල්ලගෙන කන්න මං හරිම ආසයි. මං තාත්තට කතා නොකරත් ඇනටත් එයා මස් කපද්දි දෙපාරක් තුන්පාරක් කකුල කපන්න ගිහින් නොකපා මං හිටිය නම් කියලා කියනවලූ. ඉතිං තාත්තාගේ වැරදි කොච්චර තිබුනත් මං කොහොමද හිත හයිය කරන් ඉන්නේ.
එයා මගේ තාත්තා හැමදාටම. තාත්තටත් කොතනදි හරි ලොකු වරදක් වෙන්න ඇති.නැත්නම් ගිය ආත්මේ අපි ඔක්කොම එකතු වෙලා ලොකු පවක් කරන්න ඇති. එයා බලාපොරොත්තු වුන තැනට අපිට එන්න බැරිවුනා. ඒකෙ දුක එයාට උහුල ගන්න අමාරැ ඇති.
කොච්චර වැරදි කලත් ඉස්කෝලේ තියෙන හැම රැස්වීමකටම තාත්තා ආවා. මාත් හරිම ආසයි තාත්තා එනවට. මොකද අපි කවුරැත් ලස්සන නැති වුනාට තාත්තා හරිම ලස්සනයි.සුදු අත්දිග ෂර්ට් එකක් ඇදලා කළු කලිසම ඇදලා සපත්තු ඩීසන් එකට තමයි තාත්තා එන්නේ. හැම අවුරැද්දෙම ඉස්කොලේ නිවාසාන්තර
තරග වල අම්පර්යාර් විදියටත් තාත්තා යනවා.
ලියන්න දේ කොච්චර දේ තිබුනත් අහස උසට වැඩ නිසා මේ ලිපිය කෙටි කරන්න වෙනවට සමා වෙන්න.
මං පරන හැමදේම අමතක කරලා තාත්තට හෙට සුභ පතනවා.

October 6, 2011

වදිමි පායුග ඔබේ සදා .....................

ගුණ ධර්ම ලැබ ගන්න
තරණය කරන දිවි යාත්‍රාවේ
නවාතැන් පල නුඹයි......
ව්‍යාජවූ හද තුල
අව්‍යාජයෙන් ඒකාලෝක කළ
ගුණ පහන් ටැඹ නුඹයි .....


හද ඉමට හසරැල්ල වී
නැණ පහස නිවන නූඹට බොහෝ මිරිගු
නිබදවම හද රැදුණ
මට නුඹ ලෙන්ගතු වූ
ඉන්ද්‍රකීලයක් නොවේද ?


අද ගුරැ දිනේ . ඉතින් අද මම පෝස්ට් එකක් දැම්මේ නැත්නම් මම ඒක මගේ ගුරැ මණ්ඩලයට කරන ලොකු වරදක්.
මගේ ජීවිතේ හැම තැනකදිම මට නැගිටින්න පුදුමාකාර විදියට ගුරැවරැ උදව් කලා. ඒ අය නොහියින්න සමහර විට මගේ ජීවිතේ අවලංගු කාසියක් තරම් නොවටිනා දෙයක් වෙන්නත් ඉඩ තිබුනා. පුදුමාකාර බැදීමක් මං පොඩි කාලේ ඉදලම ගුරැවරැ එක්ක තිබුනේ. අද උදේ මගේ මිස්ලට මං කෝල් කලා. එක මිස් කෙනෙක් කිව්වා මගේ කෙල්ලේ ඔයාට වදාවත් වරදින්නෑ උතුරන්න ලගදිම ලැබෙයි කියලා. ඉතින් ඒතරම් ආශිර්වාදයක් ගෝලයෙකුට තවත් තිවෙනවද?
ගමේ ගිහින් දෙපා වැදලා එන්න බැරි වුනත් මගේ මුළු හදවතින්ම මං ගුරැවරැ හැමෝටම නමස්කාර කරනවා. ඒ එය මගේ ජීවිතේ හරියට භාගයක් වගේ. මට එයා ලා වෙනුවෙන් කරන්න පුළුවන් හොද තැනකට යන එක කවදා හරි මං ඒ තැනට යන්වමයි. එදාට මේ ලෝකෙ ඉන්න ආඩම්බරකාරම ගුරැවරැ මගේ සදාදරණීය ගුරැමව්පිය වරැ වේවි. 

September 26, 2011

පමා වුනා මා එන්නට පමා වුනා.......

22 අනිවාර්යයෙන්ම පොස්ට් එකක් දාන්න හිතා ගෙන හිටියත් නරක වෙලාව කියන්නේ එදා ඉදන් දවස් දෙක තුනක් යනකල් අපේ නෙට් වැඩ කලේ නෑ. ඒක නිසා හැමෝම මා ගැන අනුකම්පා කරලා සමාව දෙන්න. 

විසිදෙවෙනිදා කියන්නේ මගේ ජීවිතේ මං ලබපු පළවෙනි ජයග්‍රහණය උදා කර ගනිපු දවස කියලයි මං හිතන්නේ. මේ සතුට මට ලගා කර ගන්න බ්ලොග් ලෝකේ ඔයාලත් හුගක් උදව් වුනා.
අම්මගේ උපන්දිනේට මං ඒදා අම්මව පුදුම කරන්න හිත හිත හිටියේ. මේ දවස් වල හුගක් වැඩ නිසා ජොබ් එක කරන තැනින් දවසෙම නිවාඩු ගන්න ලැබුනේ නෑ.අම්මටත් ඉන්න ගෙදර නෝනා රට ගිහින් කොහේවත් යන්න එන්න වෙන්නේ නෑ කිව්වා. මට වැඩ කරන තැනින්2 න් පස්සේ යන්න කිව්වා.මම කොහොමත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නිසා ඒ වෙලාව වුනත‍් ඇති කියලා සතුටින් බාරගත්තා. 2ට යන්න ගත්තට පොත් ප්‍රදර්ශනේ ‍නිසා හොදටම පරක්කු වුනා. ඒ වෙද්දි මං කේක් එක අරගෙනත් නෑ. මොනවා කරන්නද කොච්චර පරක්කු වුනත් මං කොහොම හරි කේක් එක අරන්මයි යන්නේ කියල නම් හිතා ගෙන හිටියේ. කොහොම හරි කඩවල් හතර පහකට ගියාට පස්සේ යනතන් මගේ හිතට හරියන කේක් එකක් තිබුනා. කේක එක නම් හරි ඊට පස්සේ ඉටිපන්දම් දෙකක්.5 එකකුයි 0 එකකුයි. කඩවල් කීපයකට ගියාට පස්සේ සරසවි පොත්හලට ගිහින් ඉටිපන්දම් දෙක ගත්තා. 

ඒ වෙද්දිත් අම්මා කොල් කරනවා හෝගාලා. මොකද මෙච්චර වෙලා කරන්නේ කියලා. ගෙනිහිපු කේක් එකේ ඉටිපන්දම් දෙක ගහලා අම්මට හදන් ගිය කාඩ් එක දුන්නා. ගෙදර හිටියේ පොඩි දුවයි එයාගේ බබයි විතරයි. අපි ලස්සනට අම්මට සුභ පතද්දි අම්මා කේක් එක කැපුවා. ඒ ඇස් දෙකේ මං ඒ වෙලාවේ දැකපු සතුට මීට කලින් කවදාත් දැකලා නෑ. අම්මටත් සතුට වැඩි කමට කේක කවලා ඉවර වෙනකල් ඉටිපන්දම් නිවන්න අමකන වුනා. ඒ ගෙදර ඉන්න පුංචි පුතු පැටියා ඉටිපන්දම් දෙක නිවලා දැම්මා.අම්මා කොච්චර සතුටු වුනාද කියනව නම් හැමෝටම කෝල් කරලා කිව්වා මම කේක එකක් ගෙනාවා ජීවිතේ පලවෙනි වතාවට උපන්දිනේට කේක් එකක් කැපුව කියලා.  

මේ ලෝකේ මට වටින එකම දේ අම්මගේ සතුට.‍මං ජීවත් වෙන්නේ අම්මා නිසා.ඉදිරියටත් මගේ අම්මා හැමදාම සතුටින් තියන්න පුළුවන්නම් මට මේ ලෝකේ වෙන කිසිම දෙයක් ඕන නෑ. 

තා පොඩ්ඩෙන් අමතක වෙනවනේ මෙන්න අම්මා ඔයාලා හැමෝටම කේක දුන්නා .............




September 16, 2011

කෙසේ පිනවන්ද මා ඇගේ හදමඩල ......

අද 2011.09.16 හරියටම තව දවස් 6කින් මගේ ජීවිතේගේ උපන් දිනේ. මගේ ජීවිතේ කියන්නේ මගේ ආදරණිය අම්මා. අම්ම තමයි මගේ පන. සැප්තැම්බර් 22 මගේ අම්මගේ රිදී ජුබිලිය. ඒ කියන්නේ අවුරැදු 50ක් ලබනවා. 
හැම මනුස්සයෙක්ම තමන්ගේ සැදෑ සමයේ නිදහසේ ඉන්නයි ආස කරන්නේ. මගේ අම්මගේ හිතෙත් ඒවගේ හීන කොච්චරනම් හිර වෙලා ඇද්ද? ඒත් නිදහසේ ඉන්න අම්ම‍ට අදටත් වරම් නෑ. පුංචි කාලෙවත් සතුටක් නොලබපු මගේ අම්මා අදටත් දුක් විදිනවා. අම්මා පුංචි කාලෙදිම අම්මගේ තාත්තා ගහකින් වැටිලා මැරැනලූ. ඊට පස්සේ අත්තම්මා ළමයි නෑයෝ වෙන අයගේ ගෙවල් වල නතර කරලා තියෙන්නේ ආර්ථීක තත්වේ එක්ක රැක ගන්න අමාරැ බව දැනුන නිසාමයිලූ. අම්මා බාප්ප කෙනෙක්ගේ ගෙදර නතර කරලා තියෙන්නේ. කොච්චර නෑයො වුනත් එයාලා අම්මව   ඉස්කොලෙ යවලා නෑ. එහේ ළමයි 4 දෙනෙක්. අම්මා තමයි ඒහැමෝ‍ගෙම වැඩ කරලා තියෙන්නේ. පුංචි කාලේ ඉදලම නොසෑ හෙන්න දුක් විදලා. එහෙම ඉන්න කොට ‍තමයි තාත්තාව මුන ගැහිලා එයා එක්ක යාළුවෙලා තියෙන්නේ. ඉන්න ගෙදරින් සතුටක් නැති නිසාම එයා සතුට හොයාගෙන තාත්තා එක්ක හොරෙන්ම ඇවිත්. ඒත් අන්තිමේදි වුනේ කබලෙන් ලිපට වැටුන එක විතරයි. 
තාත්තා අදටත් හරි හැ‍ඩකාරයි. ඉතින් ඒ දවස් වලත් හොද හැන්ඩි පාට ඉදලා තියෙනවා. තාත්තා අක්කා හම්බ වෙනකල් හොදට හිටියලූ. ටිකෙන් ටික තාත්තා නාස්තිවෙලා. ‍හදිසියෙන් බිබී හිටපු එයා හැමදාම බොන්න පටන් ගෙන. අම්මාට උයන බත් ටික කන්න ලැබෙයිද නොලැබෙයිද කියන සැකෙන් හැම දාම ජීවත් වෙන්න වුනා. අක්කට පස්සේ අයියා අයියට පස්සේ මම. අපිත් ඒ ජීවිතේට ඉ‍බේම හුරැවුනා. තාත්තා රන්ඩු වෙද්දි  අම්මා මාත් උස්සගෙන ගේ පිටිපස්සේ කැලේට හරි ලග ගෙදරකට හරි යනවලු. හරියට ඇවිද ගන්නවත් බැරිවයසේ හිටිය මං අම්මා ගිහින් හැන්ගෙන ඕන තැනක කිසිම සද්දයක් නැතුව  පැය ගනන් ඉන්නවලු. 
ඔය විදිය‍‍ට අම්මගේ ජීවිතේ පුරාම දුක විතරමයි සටහන් වුනේ. 
අම්ම‍‍ට දැන් අවුරැදු 50 ක් වෙන්න යනවා. මගේ අම්මා අදටත් ගෙදරක වලං පිගන් හොදනවා. මට පුළුවන් අම්මට කන්න අදින්න දෙන්න. ඒත් ගෙදර ගිහින් කවදාවත් අම්මට සතියකට වඩා සතුටින් ‍ඉන්න ලැබෙන්නේ නැති නිසා ගෙදර යන්නේ නැත්තේ. ම‍ගේ අම්මා තරම් ඉවසන අම්මෙක් මේ ලොකෙ කෙහේවත් නැතුව ඇති. 
අම්මටත් දැන් සැරින් සැරේ ලෙඩ. ‍මට තමයි කොල් කරලා කියන්නේ. අම්මලගට වෙලා අම්ම‍ට සලකන්න බැරි එක මට මානසික වදයක් වෙලා. අම්මට සැපක් දෙන්න ලැබෙන්නේ කවදද කියලා මං හැමදාම හීන දකිනවා. 
අම්මගේ උපන් දිනේ දවසට මට එයාව ගොඩක් සතුටු කරන්න ඕන. අම්මා ඉන්න ගෙදරට මං එදාට යනවා. මම හිතුවේ අම්මගේ අතේ අදටත් මුද්දක් නෑ මම හිතුවේ මුද්දක් අරන් දෙන්න කියලා. ඒත් හරියටම ඇගිල්ලේ සයිස් එක දන්නේ නෑ. බලන් ඇවිත් ගත්තෙත් උපන්දිනේ දවසට දෙන්න වෙන්නේ නෑ. 
අනේ මංදා මට අම්මව සතුටින් තියන්නයි ඕන. මම එදාට මොනවද කරන්නේ ?